ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයන් 9 දෙනකු යටතේ සේවය කළ ජ්‍යෙෂ්ඨතම සිවිල් නිලධාරියකු වූ දේශමානය බ්‍රැඩ්මන් වීරකෝන් අභාවප්‍රාප්ත විය. ඒ, 94 වැනි වියේදීය. 1930 ඔක්තෝබර් මස 20 වැනිදා උපත ලැබූ රොබින් බ්‍රැඩ්මන් වීරකෝන්ට බ්‍රැඩ්මන් යන නම ලැබී ඇති ආකාරය, අපූරු සිද්ධියකි.
ඒ පිළිබඳව බ්‍රැඩ්මන් වීරකෝන්ගේ පුත්‍රයා වන ඇසල වීරකෝන් බීබීසී සිංහල සේවයට පැහැදිලි කළේ, මෙසේය.
“ඒ කාලයේ අළු බඳුන ටෙස්ට් තරගාවලියට ඔස්ට්‍රේලියාව එංගලන්තයට යන්නෙ නැවෙන්. ඒ යන අතර ඔවුන් ගිය නැව කොළඹ වරායේ නතර කරල තියෙනවා. ඒ කාලෙ අපේ සීයා කොළඹ වරාය පොලිසියේ ස්ථානාධිපති. එයා ක්‍රිකට්වලට ආසා කරපු කෙනෙක්. ඒ නිසා එයා 1930 ඔක්තෝබර් 20 වැනිදා කොළඹ වරායට ආව ඩොනල්ඩ් බ්‍රැඩ්මන් ඇතුළු කණ්ඩායම හම්බවෙලා තියෙනවා,” ඇසල වීරකෝන් පැවසීය.
බ්‍රැඩ්මන් වීරකෝන් උපත ලබා තිබුණේ, එදිනමය.
“සීයා ඩොන් බ්‍රැඩ්මන් හම්බවෙලා නර්සිං හෝම් එකට එද්දී අපේ ආච්චි පුතෙක් බිහි කරලා තිබුණලු. ඒ තමයි අපේ තාත්තා. ඉතින් ඒ ඉපදිලා හිටිය පුතාට සීයා නම දාලා බ්‍රැඩ්මන් කියලා. ඒ විදිහට තමයි තාත්තා බ්‍රැඩ්මන් වීරකෝන් වුණේ.”
සිය පියා කළුතර ප්‍රදේශයේ සේවය කරන අවධියේ අධ්‍යාපන කටයුතු ඇරඹූ බ්‍රැඩ්මන් වීරකෝන්ගේ පළමු පාසල වූයේ, කළුතර සිරි කුරුස විද්‍යාලයයි.
පසුව, ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළු වුණු ඔහු එම විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කළ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විය.
ඔහු කොළඹ, රාජකීය විද්‍යාලය සමඟ පැවති වාර්ෂික නිල් මහ සටන ක්‍රිකට් තරගයකට ද ක්‍රීඩා කළේය.
දෙවැනි ලෝක සංග්‍රාමය පැවති සමයේදී ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය හමුදා රෝහලක් බවට පත් කිරීමට තීරණය වූ අතර, 1942 වසරේ පෙබරවාරි මාසයේ දී එහි සිටි සිසුන් සඳහා ඌව පළාතේ ගුරුතලාව ප්‍රදේශයට ශාන්ත තෝමස් විද්‍යාලය ගෙන යන ලදී.
ඒ අනුව, ගුරුතලාව ශාන්ත තෝමස් විද්‍යාලයේ පළමු සිසු කණ්ඩායමට බ්‍රැඩ්මන් වීරකෝන් ඇතුළත් විය.
පසුව ඔහු එවකට පැවති ලංකා විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සහ සමාජ විද්‍යාව පිළිබඳව දෙවැනි පන්ති ඉහළ සාමාර්ථයක් සමගින් පළමු උපාධිය ලබා ගත්තේය.
ඉන්පසු ඔහුට ඇමෙරිකාවේ පශ්චාත් උපාධි අධ්‍යාපනය ලැබීම සඳහා ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් ලැබිණි.
ඒ අනුව, ඔහු 1952 වසරේදී මිචිගන් විශ්වවිද්‍යාලයෙන් සමාජ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගත්තේය.
අනුරාධපුර රජයේ ඒජන්තවරයා යටතේ පුහුණුවන්නකු ලෙස බ්‍රැඩ්මන් වීරකෝන් ලංකා සිවිල් සේවයට බැඳුණේ 1954 වසරේදීය.
එහිදී, ඔහු වසරක කාලයක් යාපනයේ සේවය කළ අතර එහිදී දෙමළ භාෂාව ඉගෙන ගත්තේය.
ඉන්පසු ඔහු බදුල්ලට මාරු කරන ලද නමුත් ඔහු රාජකාරි බාර ගැනීමට පෙර නියෝගය ආපසු හරවා අගමැති කාර්යාලයට පත්වීමක් ලබා දී තිබිණි.
එවකට අගමැති සර් ජෝන් කොතලාවල යටතේ ඔහු අග්‍රාමාත්‍යවරයාගේ සහකාර ලේකම්වරයා ලෙස පත් කරන ලදී.
පසුව ඔහු අග්‍රාමාත්‍යවරයාගේ ලේකම් ධුරයට පත්වූ අතර 1956 දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැති ධුරයට පත්වීමෙන් පසුව ද එම ධුරයෙහි සේවය කළේය.
බණ්ඩාරනායකගේ අභාවයෙන් පසු, ඔහු විජයානන්ද දහනායක සහ සිරිමාවෝ බණ්ඩාරනායක සහ ඩඩ්ලි සේනානායක යන අග්‍රාමාත්‍යවරුන්ට ද සේවය කළේය.
ඉන්පසු ඔහු ඩඩ්ලි සේනානායකට සහාය පළ කළ බවට චෝදනා කරමින් 1970 දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය නැවතත් මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු ඔහු අග්‍රාමාත්‍ය ලේකම් ධුරයෙන් ඉවත් කළ බව ඔහුගේ පුත් ඇසල වීරකෝන් පැවසීය.
ඒ අනුව, ඔහු අම්පාර, මඩකලපුව සහ ගාල්ල යන ප්‍රදේශවල දිසාපතිවරයා ලෙස මාරු කර යවන ලදී.
“ඒ කාලේ මට වයස අවුරුදු 10 ක් විතර ඇති. මම තාත්තා එක්ක අම්පාර, මඩකලපුව ප්‍රදේශවල ගම්මානවල ඇවිදින්න යනවා. තාත්තා මිනිස්සුන්ගෙ ප්‍රශ්න ගැන අහල ඒවා ගැන ක්‍රියාමාර්ග ගන්න ඒවා බලා ඉන්නකොට මටත් පරිපාලන සේවයට එන්න හිතුණා. ඒත් මම විදේශගත වෙලා ඉගෙන ගන්න කාලෙ තමයි සිවිල් සේවා විභාගය තිබුණෙ. ඒ නිසා මට ඒක කරන්න බැරි වුණා. ඊට පස්සෙ මම විදේශ සේවා විභාගය ලියල විදේශ සේවාවට එක්වුණා,” ඇසල් වීරකෝන් පැවසීය.
1976 දී බ්‍රැඩ්මන් තනතුරෙන් විශ්‍රාම ගෙන රාජ්‍ය නොවන සංවිධානයක සේවය කළේය.
කෙසේ වෙතත්, 1977 මහ මැතිවරණයෙන් පසු, රාජ්‍ය සේවයෙන් ඉවත් වී වසරකට පසුව, ජේ.ආර්. ජයවර්ධන බ්‍රැඩ්මන් වීරකෝන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයට පත් කළේය. 1980 දී, ඔහු රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයාගේ නිල ලේකම් ලෙස සම්බන්ධ විය.
1983 ජනවාර්ගික කෝලාහලවලින් පසු, පුළුල් පරාසයක පරිපාලන බලතල සහිත අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා (CGES) ලෙස පත් කරන ලදී.
1984 දී, වසර පහක කොන්ත්‍රාත්තුවකට අනුව ලන්ඩනය මූලස්ථානය කරගත් ජාත්‍යන්තර සැලසුම්ගත මාපිය සම්මේලනයේ (International Planned Parenthood Federation) මහ ලේකම්වරයා ලෙස ඔහු තෝරා ගන්නා ලදී.
එහි කාලය අවසන් වීමෙන් පසු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස යටතේ ජනාධිපති උපදේශකවරයෙක් ලෙස කටයුතු කළේය.
ආර්. ප්‍රේමදාසගේ අභාවයෙන් පසු, ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ඩී.බී. විජේතුංගගේ උපදේශකවරයකු ලෙස කටයුතු කර, චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපති ධුරයට පත්වූ විට 1994 දී ඉල්ලා අස් විය.
2001 වසරේදී ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ රනිල් වික්‍රමසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ධුරය සඳහා බ්‍රැඩ්මන් වීරකෝන් නැවතත් පත් කළේය.
පසුව, 2004 වසරේදී රනිල් වික්‍රමසිංහගේ රජය යළිත් බිඳ වැටීමෙන් පසු බ්‍රැඩ්මන් වීරකෝන් සේවයෙන් විශ්‍රාම ගත්තේය.
ඔහු ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ලේකම් ධුරය දැරූ කාල වකවානු මෙසේය.
● 1959 සැප්තැම්බර් සිට 1970 මාර්තු දක්වා
● 1979 සැප්තැම්බර් සිට 1984 මාර්තු දක්වා
● 2001 දෙසැම්බර් සිට 2004 අප්‍රේල් දක්වා
ඒ අනුව, ඔහු අවස්ථා තුනකදී වසර 19 ක කාලයක් අග්‍රාමාත්‍ය ලේකම් ධුරයේ කටයුතු කර තිබේ.
1954 වසරේ සිවිල් සේවය ඇරඹූ ඔහු 2004 ඉන් ඉවත් වන විට අඩ සියවසක කාලයක් සේවය කර තිබිණි.
“මම බ්‍රැඩ්මන් මහත්තයව බලාගන්න ආවෙ 2018 අවුරුද්දෙ. ඒ මහත්තයා පුංචි ළමයෙක් වගේ ගොඩක් ආදරණීය කෙනෙක්. මට ගොඩක් ආදරෙන් සැලකුවා. අවසන් මොහොත දක්වාම සිහි කල්පනාව ඇතුව හොඳින් හිටියා. වයස නිසා තමයි දුර්වල වෙලා හිටියෙ. මහත්තයා හිටියෙ ඇල්ෆ්‍රඩ් හවුස් ගාර්ඩ්න්ස්වල. මහත්තයාගේ පුතා ඇසල මහත්තයත් හිටියෙ එතැනමයි,” බ්‍රැඩ්මන් වීරකෝන් රැකබලා ගත් ක්‍රිෂ්ණපාලන් බීබීසී සිංහල සේවයට පැවසීය.
දේහය පිළිබඳ අවසන් කටයුතු බදාදා (ජූලි 09) පස්වරු 4.30 ට බොරැල්ල සුසාන භූමියේ දී සිදු කෙරුණි.
• BBC