2025 ජුලි 12 වන සෙනසුරාදා

හැමදාම ගොවීන් රවටන සහතික වී මිල බොරුව

 2025 ජුලි 12 වන සෙනසුරාදා, ප.ව. 02:05 37

ගොවීන්ට යල කන්නයේ තෙත වී අලෙවි කිරීමට අවස්ථාව දෙමින් තෙත වී වලට පසුගියදා රජය අවම මිලක් නියම කළේය. තෙත නාඩු කිලෝව රුපියල් 102, සම්බා කිලෝව රුපියල් 105 හා කීරි සම්බා කිලෝව රුපියල් 112 බැගින් මිලට ගන්නා බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පසුගිය සතියේ ප්‍රකාශ කළේය. වී මෝල් හිමියන් සමඟ බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවැති සාකච්ඡාවකදී මෙම මිල නියම කර ඇති බව නියෝජ්‍ය ඇමැතිවරයා මාධ්‍යයට පැවසුවේය.
තෙත වී අලෙවි කරන විට මෙම අවම මිලට වඩා අඩු මිලට අලෙවි නොකරන ලෙස නියෝජ්‍ය ඇමැති ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය. එම මිලට වඩා වැඩි මිලකට ඕනෑම කෙනකුට වී මිලදී ගත හැකි බව හෙතෙම කියයි.

මේ අතර යල කන්නයට වී මිලට ගැනීම රජය ජූලි 3 දා සිට ආරම්භ කරන බව කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය. නාඩු සහල් කිලෝව රුපියල් 120, සම්බා රුපියල් 125, කීරි සම්බා රුපියල් 132 මිලට ගොවීන්ගෙන් මිලට ගන්නා බව රජය නිවේදනය කරයි. වී ගබඩා ප්‍රතිසංස්කරණය කර අවසන් බවද පවසන ඇමැතිවරයා සහල් මිල ඉහළ නැගීම පාලනය කිරීමට නම් රජය වී තොග මිලට ගත යුතු අතර ඒ සඳහා අවශ්‍ය මුදල් වී අලෙවි මණ්ඩලයට මුදාහැර ඇති බවද නිවේදනය කරයි. එසේම ඇමැතිවරයා තරයේ ප්‍රකාශ කරන්නේ රට වෙනුවෙන් වී ලබාදීම ගොවියන්ගේ යුතුකමක් බවය.

පවතින තොග තත්ත්වය ගැන සලකා බලා කීරි සම්බා සහල් ආනයනය කරනවාද නැද්ද යන්න තීරණය කරන බවද ඇමැතිවරයා කියයි. කෙසේ වුවද මෙයට පෙර සහල් මිල ඉහළ ගිය අවස්ථා දෙකකදී රජය සහල් ආනයනය කළ බවද සිහිපත් කරනු වටී.
කෙසේ වුවද රජය සහල්වලට පනවා ඇති සහතික මිල පුස්සක් වී ඇති බව අද වෙළෙඳපොළේ පවතින ඉහළ සහල් මිල අනුව පෙනී යයි. එසේ තිබියදී තෙත වී වලට සහතික මිලක් නියම කළේ ඇයිද යන්න ගැටලු සහගත බව බොහෝ දෙනාගේ අදහසය. එසේම තෙත වී පමණක් නොව වියළි වී පවා ගබඩා කර තැබීමට සුදුසු ගබඩා නොමැත. බොහෝ ගබඩාවලට තවමත් ඉබි යතුරු දමා තිබේ. මේ තත්ත්වය මත ඇමැතිවරයාගේ ඉල්ලීමට ගරු කරමින් ගොවීන් මණ්ඩලයට වී අලෙවි කළහොත් ඒවා තබාගන්නේ කෙසේද යන්න ගැටලු සහගතය.

තවද රජය තෙත වී මිලට ගැනීම සඳහා සහල් මෝල් හිමි මහා පරිමාණ ව්‍යාපාරිකයන් හැරුණුවිට වෙනත් කිසිදු පාර්ශ්වයක් සමඟ සාකච්ඡා කර ඇති බවක් නොපෙනේ. අප මේ පිළිබඳ හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර‌යේෂණ ආයතනයේ උසස් නිලධාරියකුගෙන් විමසූ විට හෙතෙම පැවසුවේ තමා දන්නා තරමට එවැනි සාකච්ඡාවක් පැවැත්වූ බව කිව නොහැකි බවය. එවැනි සාකච්ඡාවක් කැඳවා නොමැති බවද හෙතෙම පැවසීය. එසේම ගොවි සංවිධානද පවසන්නේ රජය තමන් සමඟ සාකච්ඡා නොකර වී මෝල් හිමියන් සමඟ සාකච්ඡා කර ඒකපාර්ශ්විකව මෙම තීරණය ගෙන ඇති බවකි. මෙයින් සිදුවන්නේ තෙත වී යැයි පවසා මුදලාලිලාට අඩු මිලට වී ගැනීමට මාර්ගය පෑදීමක් පමණක් වන බවද ඔවුහු කියති.

මේ අතර ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික සංවිධායක විමල් වත්තුහේවා පවසන්නේ රජයේ තෙත වී මිල පාදක කරගෙන මේ වනවිට තෙත වී කිලෝවක මිල රුපියල් 98-100 දක්වා අඩුවීම නිසා ගොවියන් දැඩි අසාධාරණයකට ලක්ව ඇති බවය.
“මීට පෙර කන්නවලදී තෙත නාඩු වී කිලෝවකට රුපියල් 110 ක සහතික මිලක් නියම වී තිබුණු අතර මෙවර එම මිල රුපියල් 102 දක්වා අඩු කිරීම අසාධාරණයි. නිතරම පෞද්ගලික වෙළෙඳුන් වී මිලට ගන්නේ රජයේ මිලට අඩුවෙන්. රජයේ ගබඩාවල තෙත වී මිලට ගැනීමක් සිදුවන්නේ නැහැ. අස්වැන්න නෙලන යන්ත්‍රවලින් නෙලාගන්නා වී වල නියමිත වියළි තත්ත්වය නැහැ. සමස්ත අස්වැන්නෙන් අති බහුතරයක් නෙලාගන්නේ යන්ත්‍රවලින් පමණයි. මෙවර බහුතරයක් ගොවීන්ට තම අස්වැන්න අඩු මිලට අලෙවි කිරීමට සිදුවෙලා. මේ කන්නයේ සෑම අංගයකම වියදම ඉහළ ගිහින්. ඒ නිසා තෙත වී නාඩු කිලෝවක් රුපියල් 110 දක්වාද, තෙත සම්බා හා කීරි සම්බා කිලෝවක මිල පිළිවෙළින් 115 හා 122 දක්වාද ඉහළ දැමිය යුතුමයි. වියළි වී දෙන්න අපහසුයි. මේ වනවිට සමහර ප්‍රදේශවල වැස්ස පටන් අරන්.”

රාජාංගණය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති හා ජාතික ඒකාබද්ධ දිස්ත්‍රික් ගොවි සංවිධානයේ ලේකම් නිහාල් වන්නිආරච්චි:

“මේක තනිකරම ජාවාරමක්. රජයේ ඇතැම් කොටස් මහා පරිමාණ වී මෝල් හිමියන් සමඟ එකතු වෙලා කරන ජාවාරමක්. මෝල් හිමියන්ට තුට්ටු දෙකට වී ගන්න ලබාදුන් වරප්‍රසාදයක්. රුපියල් 90-100 ට ගන්න වී වියළා 126 ට අලෙවි කිරීමට අවස්ථාව ලබාදීමයි මෙයින් කරලා තියෙන්නේ. ඒ අය තමා සල්ලි උපයන්නේ. රජය මිල නියම කළාට තෙත වී මිලට ගන්නට කිසිදු වැඩපිළිවෙළක් නැහැ. එහෙම නම් මිලට ගන්නට සැලසුමක් සකස් කළ යුතුයි. එහෙම කිසිවක් වෙලා තියෙන බවක් අපට නම් පෙනෙන්නේ නැහැ. රජය සාකච්ඡා කරන්න ඇත්තේ මහමෝල් හිමියන් සමඟ පමණයි. ඒ අයගේ යෝජනාවක් අනුව මෙය කළ බවයි පෙනෙන්නට ඇත්තේ.

මෙයින් කුඩා පරිමාණ මෝල් හිමියන්ට යහපතක් වෙලා නැහැ. මේ නිසා අද වනවිට ගොවියා සහ පාරිභෝගිකයාත් නන්නත්තාර වෙලයි ඉන්නේ. මේ නිසා ගොවියාට තෙත වී වුණත් සාධාරණ මිලකට දෙන්න බැරි වෙලයි තියෙන්නේ. එසේම පාරිභෝගිකයාට සහල් මිල අඩුවීමක්ද සිද්ධ වෙලා නැහැ. තෙත වී මිල අඩු කළා කියලා සහල් මිල අඩු වෙන්නේ නැහැ. මේ වනවිට කීරි සම්බාවලත් මිල පාලනය කරලයි තියෙන්නේ, කිලෝව රුපියල් 245 ට. එහෙම වුණත් අපි නම් කියන්නේ කීරි සම්බාවල මිල පාලනයක් අවශ්‍ය නැති බවයි. අනිත් අතට කීරි සම්බා බුදින ජනතාව අඩුයි. සාමාන්‍ය ජනතාව මේ හාල් ගන්නේ නැහැ. එහෙත් උත්සව අවස්ථාවලට නම් ගන්නවා. ඒ නිසා සාමාන්‍ය ජනතාව නොගන්නා කීරි සම්බාවලට සහතික මිලක් දැමීම අවශ්‍ය නැහැ. දැන් ආනයනය කරන්න යන බවට ආරංචි පළ වෙනවා. මේවා කාගේ වුවමනාවට කරන වැඩද දන්නේ නැහැ.

හැමදාම කන්නේ අස්වැන්න ගන්නකොට මොනවා හරි කරලා හාල් තුට්ටු දෙකට බස්සනවා. එතකොට මහ මුදලාලිලා අරගෙන විශාල ලෙස වැඩි මිලට විකුණලා ලාබ ලබනවා. රජය සහතික මිල නියම කළාට වැඩක් නැහැ මිලට ගන්නේ නැතිනම්. තෙත වී හරි වියළි වී හරි ගන්න ගණන ප්‍රකාශ කරලා ඒ මිලට අරගන්න ඕනෑ. එහෙම නැතිනම් එයින් සිද්ධ වෙන්නේ අතරමැදියන්ගේ කරල පැහෙන එක විතරයි. මේ ආණ්ඩුවෙන් පහුගිය ආණ්ඩුවලින් තරම්වත් ගොවියාට සේවයක් වෙයි කියලා හිතන්න බැහැ.”

මේ පිළිබඳ අදහස් දක්වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය බුද්ධි මාරඹේ පවසන්නේ මෙයට පෙරද තෙත වී වලට සහතික මිලක් නියම කළද එය අසාර්ථක වූ බවයි.

“බන්දුල ගුණවර්ධන වෙළෙඳ ඇමැතිව සිටි කාලයේ වී වලට කිලෝව රුපියල් 50 ක සහතික මිලක්ද තෙත වී වලට රුපියල් 45 ක මිලක්ද නියම කළා. එහෙත් එය නිසි ලෙස ක්‍රියාත්මක වූයේ නැහැ. මෙවර එකවරම තෙත වී වලට සහතික මිලක් නියම කළේ ඇයිද යන්න හිතාගන්නවත් බැහැ. කවුරුන් හෝ සමඟ සාකච්ඡා කළාද, ගොවීන්ගෙන් විමසුවාද, නැතිනම් සහල් නිෂ්පාදනයට සම්බන්ධ සෙසු අංශ සමඟ සාකච්ඡා කරගත් තීරණයක්ද කියලා අපි නම් දන්නේ නැහැ. මෙයින් කවරකුට යහපතක් වෙනවාද කියලා කියන්න බැහැ.

සාමාන්‍යයෙන් වී වල සියයට 19-21 ප්‍රමාණයට ජලය තියෙනවා. මේ ප්‍රමාණය අඩු කරලා තමා අලෙවි කරන්නේ. සියයට 19-21 ට ජලය ඇති වී කවුරුත් මිලට ගන්නේ නැහැ. තෙත වී නිසා විවිධ රෝග ඇතිවෙනවා. සහල්වල ප්‍රමිතියට බලපානවා. ණය යෝජනා ක්‍රමයේදී බැංකුවලින් ණය ලබාගෙන තෙත වී මිලට ගෙන සහල් හදලා වෙළෙඳපොළට නිකුත් කළා. එහෙත් ඒ ව්‍යාපෘතිය අසාර්ථක වුණා. මෙය වියදම් වැඩි ක්‍රමයක් නිසා දිගටම කරගෙන යන්න බැරි වුණා.

මෙයින් සිදුවන තවත් අයහපතක් වන්නේ තෙත වී රජය හෝ වෙනත් කවුරුන් හෝ මිලට ගන්නවා නම් ගොවීන් වී වියළීමට උත්සාහ නොකිරීමයි. එයට හේතුව වියළීමට මහන්සි වෙන්නේ නැතුව ඉක්මනින් මුදල් ලබා ගැනීමට ඔවුන්ට හැකි වීමයි. එහෙත් පාරිභෝගිකයාට එයින් ලැබෙන සහල් බාලයි. බත් ඉක්මනින් නරක් වෙනවා. පිසීමේදී හරියට නොපිසෙන්න ඉඩ වැඩියි. අනිත් අතට වී කිලෝව රුපියල් 120 යි කියන්නේ රජය නැතිනම් වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන් ගන්නා සහතික මිලයි. එහෙත් තෙත වී තබා වියළි වී හෝ මිලට ගන්න වී අලෙවි මණ්ඩලය තවම සූදානම් නැහැ. ඒ මොකද අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්කවල තවම වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘත කරලා නැහැ. ගබඩා වසා තබාගෙන වී ගන්නා බව ප්‍රකාශ කරන්නේ ඇයිද යන්න ගැටලුවක්. තව කොහේවත් වී උපරිම මිල ගැසට් කරලා නැහැ. සහතික මිලයි කියන්නේ වී අලෙවි මණ්ඩලය ගන්නා උපරිම මිලයි. එය රුපියල් 120 යැයි නිවේදනය කළාට එවැනි මිලක් අලෙවි කිරීමට නීතිමය ප්‍රතිපාදන නැහැ. වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළ මිල ප්‍රායෝගික නැහැ. අඩුවෙන් ගත්තාට ප්‍රශ්නයක් නැහැ.

මේ වනවිට ගොවීන්ද මෙම මිලට එකඟ නැහැ. ඔවුන් කියන්නේ කිලෝවට රුපියල් 140 ක් ඕනෑය කියලයි. රුපියල් 140 ට වී මිලට ගෙන සහල් දෙන්නේ කීයටද? වී වල මිලට වඩා දෙගුණයක මිලට සහල් අලෙවි කරන්න වෙනවා. රුපියල් 280 කට සහල් කිලෝව අලෙවි කරන්න පුළුවන්ද? එතකොට පාරිභෝගිකයාට මොකද වෙන්නේ? මේ ප්‍රශ්නයේදී පාරිභෝගිකයා දෙසද බැලිය යුතුයි. ගොවියා මෙන්ම පාරිභෝගිකයාටද සාධාරණයක් විය යුතුයි. මෙහිදී ගොවීන් සාධාරණ ලෙස කටයුතු කළ යුතු වෙනවා. අනිත් අතට අද සහල්වල සහතික මිල හෝ වී වල සහතික මිල නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ නැහැ. එහෙම තිබියදී තෙත වී වල සහතික මිල ක්‍රියාත්මක වෙයිද?

අනිත් අතට මෙයින් මෝල් හිමියන්ට, මුදලාලිලාට වන යහපතක් නැහැ. තෙත වී මිලට ගැනීම මුදලාලිලාටත් හිරිහැරයක් වෙනවා. වියළීමට විදුලි ගාස්තු වැය වෙනවා. දැන් විදුලි ගාස්තුත් ඉහළ ගිහින්. ඒ නිසා මුදලාලිලාද මෙයට කැමැති වෙන එකක් නැහැ. ප්‍රමිතියෙන් යුතු කල් පවතින සහල් තෙත වී වලින් තනන්න බැරි නිසා එයින් ඔවුන්ට වෙන යහපතක් නැහැ. ඒ නිසා ඒ අයත් කැමැති වෙන එකක් නැහැ. ඒ නිසා රජය කුමන පරමාර්ථයකින් තෙත වී වලට රුපියල් 102 ක මිලක් නියම කළාද කියලා කියන්න බැහැ. ගන්න සූදානම් නැතිනම් ඇයි මෙවැනි මිලක් නිවේදනය කළේ? මෙහිදී සිදුවී ඇත්තේ නැති ගැටලුවක් ඇති කිරීම පමණයි.”

• යසවර්ධන රුද්රිගූ