2025 ජුලි 05 වන සෙනසුරාදා

ධීවර අනතුරු වැළැක්වීම කමිටුවකින් කළ හැකිද?

 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:04 17

පසුගිය සතියේ සිදුවූ ධීවර යාත්‍රා අනතුරු සහ ඊට හේතු වූ කරුණු පිළිබඳ වඩාත් පුළුල් සොයා බැලීමක අවශ්‍යතාව මේ වන විටත් නිර්මාණය වී තිබේ. දෙවුන්දර, තංගල්ල, හික්කඩුව, බේරුවල යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සිදුවූ මෙම අනතුරු හේතුවෙන් ධීවරයන් හත් දෙනකුගේ ජීවිත අහිමි විය. ආසන්න දින දෙකක් තුළ සිදුවූ මෙම සිදුවීම් පෙළ මුළු රටම කම්පා කළ බව අපි දනිමු. කෙසේ වෙතත් මෙම අනතුරු පිටුපස ඇති අවාසනාවන්ත සත්‍යය තවදුරටත් දියේ ගිලී යාමට ඉඩදිය නොහැකිය.
මේ වන විටත් රජය ධීවර අනතුරු පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කර තිබේ. නුදුරේදීම ඔවුන් විසින් නිර්දේශ ඉදිරිපත් කරනු ඇත. මෙම කමිටුව පත් කිරීම සහ වැඩිදුරටත් විස්තර සොයා බැලීමට දරන උත්සාහය අගය කළ යුත්තකි. කෙසේ වෙතත් මේ ආදී අනතුරු සහ සිදුවීම් සම්බන්ධව ශ්‍රී ලංකාව තුළ කමිටු පත්වීම සහ නිර්දේශ ලබාදීම පිළිබඳ අපට ඇත්තේ යහපත් අත්දැකීමක් නොවේ. ප්‍රායෝගිකත්වයෙන් බොහෝ විට බැහැර වන මෙම ක්‍රියාවලිය තුළින් අවසාන වශයෙන්ම සැබෑ ගැටලු‍වලට පිළියම් ලැබෙන අවස්ථා විරලය.

වාර්තා වූ ධීවර අනතුරු තුන පිළිබඳ වෙන වෙනම සලකා බලන විට පෙනී යන පොදු කරුණු කිහිපයක් හඳුනා ගත හැකිය. ඒ අතරින් පළමුවැන්න නම් ධීවරයන් විසින් මුහුදු ගමන්වලදී අනුගමනය කළ යුතු ජීවිත ආරක්ෂක උපාය මාර්ග අනුගමනය නොකිරීමයි. මේ වන විටත් පරීක්ෂණ පවත්වන කමිටුව ඍජුවම ධීවරයන්ගේ මෙම නොසැලකිල්ල පිළිබඳ ප්‍රකාශ නිකුත් කර තිබේ. කෙසේ වෙතත් ධීවරයන් වෙත චෝදනා කිරීමට පෙර බලධාරීන් විසින් සොයා බැලිය යුතු කරුණු රැසක් පවතින බව සිහිපත් කළ යුතුය.

ධීවරයන් හට ජීවිත ආරක්ෂක කබා පළඳින ලෙසට නීතියක් පනවා ඇත්තේ අදක ඊයෙක නොවේ. විශේෂයෙන්ම බහුදින ධීවර යාත්‍රා තුළ ප්‍රමාණවත් ජීවිත ආරක්ෂක උපකරණ තිබේද යන්න, එම යාත්‍රා පිටවීමට පෙර වෙරළ ආරක්ෂකයෝ පරීක්ෂා කරති. එනිසාම සියලු‍ යාත්‍රා සතුව ප්‍රමාණවත් ජීවිත ආරක්ෂක කබා තබා ගැනීමට ධීවරයෝ කටයුතු කරති. එහෙත් සැබෑවට සිදුවන්නේ මෙම කබා හුදු ප්‍රදර්ශන භාණ්ඩ පමණක් ලෙස ඔවුන් තබා ගැනීමයි. මෙම තත්ත්වය වෙරළ ආරක්ෂකයන් හෝ බලධාරීන් නොදන්නා තත්ත්වයක් නොවේ. ඔවුන් දැන පිළියම් ලබා නොදුන් තත්ත්වයකි.

බහුදින ධීවර යාත්‍රාවක් යනු මහ මුහුදේ වැඩපොළක් හා සමාන වන අතර එහි ගමන් කරන ධීවරයන් සියලු‍ දෙනා අධික ලෙස වෙහෙස වී වැඩ වැඩ කරති. එනිසාම මෙම වැඩ කටයුතු අතරතුර ජීවිත ආරක්ෂක කබා පැළඳ සිටීම බාධාවක් ලෙස ඔවුහු සලකති. සැබවින්ම අත්‍යවශ්‍ය මොහොතක හෝ කබා පැළඳ වැඩ කිරීමට ඔවුන් දක්වන මැලිකම ඔවුන්ගේ අදහසට අනුව ප්‍රායෝගිකය. එහෙත් සැබෑව නම් එය සිය ජීවිත අනතුරේ හෙළාගන්නා අනුවණ ක්‍රියාවකි. එහෙත් ඔවුන්ගේ ප්‍රායෝගික අවශ්‍යතාව සහ මෙවන් කර්මාන්තයක නිරත වන බොහෝ දෙනාගේම බුද්ධි මට්ටම සැලකූ විට හුදෙක් මෙම තත්ත්වය ඔවුන්ගේම වරදක් යැයි චෝදනා කිරීම ප්‍රායෝගික නැත.

එනිසාම ධීවරයන්ට ජීවිත ආරක්ෂක කබා පැළඳීම අනිවාර්ය කරන ලෙසට අඬබෙර ගැසීම හෝ දොස් දෙවොල් තිබීම ප්‍රතිඵල විරහිත ක්‍රියාවකි. මෙරට ධීවර කර්මාන්තය හුදෙක් සාම්ප්‍රදායික කර්මාන්තයක් පමණක්ම නොවේ. ප්‍රමාණවත් පුහුණුවක් හෝ තාක්ෂණික යාවත්කාලීන වීමක් ධීවරයන් වෙත නොලැබේ. අඩු අධ්‍යාපනය, කායික ශක්තිය විශ්වාස කිරීම සහ සාම්ප්‍රදායික විශ්වාස පද්ධති මත කටයුතු කිරීම නිතර ධීවරයන් තුළ පිළිබිඹු වන තත්ත්වයකි. ඒ අනුව කර්මාන්තය යාවත්කාලීන කරමින් කර්මාන්තය තුළ අවදානම් වළක්වා ගැනීමේ උපක්‍රමවලට ඔවුන් හුරු කිරීම පුළුල් විධිමත් කාර්ය පටිපාටියක් කරා සිදුවිය යුත්තකි. එහෙත් ධීවර කර්මාන්තය පිළිබඳ වගකීම් දරන්නන් ඉතා පසුගාමී පිරිසකි. ඔවුන් බහුතරය මෙම කර්මාන්තය පිළිබඳ පෙන්නුම් කරන්නේ සංදර්ශනාත්මක සැලකිල්ලක් පමණි.

ආසන්න අනතුරු කිහිපය පිළිබඳ හොඳින් අවධානය යොමු කරන විට ඒවා ඈත දියඹේ සිදුවූ අනතුරු නොවන බව පැහැදිලිය. බොහෝ අනතුරු සිදුව ඇත්තේ වෙරළ ආසන්න මුහුදු තීරයේය. සාමාන්‍යයෙන් වෙනදාට ධීවරයන් සඳහා මුහුදු ගමන් වෙත කාලගුණ වාර්තා හරහා සීමා පැනවීම සිදුවේ. එහෙත් මෙම අනතුරු සිදුවූ දිනයේදී එම අනතුරු ඇඟවීම් ප්‍රමාණවත් පරිදි සිදුව ඇති බවක් නොපෙනෙයි. විශේෂයෙන්ම වෙරළ ආසන්න රළවල ප්‍රබලත්වය පිළිබඳ සහ එම රළ හරහා සිදුවිය හැකි අනතුරු පිළිබඳව කාලගුණ බලධාරීන් තුළ ප්‍රමාණවත් අවබෝධයක් තිබුණේද යන්න ගැටලු‍ සහගතය.

බොහෝ විට මෙරට ධීවරයෝ නිසි අනතුරු ඇඟවීම් ලැබෙන විට මුහුදු ගමන්වලින් වැළකී සිටීමට කටයුතු කරන්නෝය. එහෙත් අප සොයා බැලූ පරිදි මෙම අනතුරු සිදුවූ දිනයේ එලෙස ඔවුන් මුහුදු ගමන්වලින් වැළකී සිටි දිනයක් නොවුණි. එසේ නම් අනතුරු ඇඟවීමේ ක්‍රියාවලිය පිළිබඳව ද නැවත තක්සේරුවක් අත්‍යවශ්‍යය. එසේම මෙවන් අනතුරු ඇඟවීම් පිළිගැනීමට ධීවරයන් තුළ සාධනීය බුද්ධි මට්ටමක් නිර්මාණය කිරීමද සිදුවිය යුත්තකි. හුදෙක් ධීවරයන් මතම වරද පටවමින්, ප්‍රශ්නය මගහැර යෑමට කිසිදු බලධාරියකුට අයිතියක් නොමැති බව අපි මෙහිදී අවධාරණය කර සිටිමු.

මීළඟට බේරුවල අනතුර පාදක කරගෙන නිර්මාණය වූ වෙරළ ජීවිත ආරක්ෂකයන්ගේ හැකියාව පිළිබඳ ගැටලු‍ව ද සුළු කොට සැලකිය නොහැකිය. මෙහිදී විපතට පත් වූ ධීවරයන්ගේ පවුල් විසින් එල්ල කළ චෝදනාව වූයේ ජීවිත ආරක්ෂකයන්ට දැනුම් දුන්නද ඔවුන් වෙරළාසන්නයේ විපතට පත් වූ ධීවරයන් ගලවා ගැනීමට උත්සාහ නොදැරූ බවයි. කෙසේ වෙතත් වෙරළ ආරක්ෂකයන්ගේ පාර්ශ්වයෙන් කියැවෙන්නේ මුහුද ඉතා රළු අවස්ථාවකදී මෙවන් ගලවා ගැනීමක් සිදු කිරීමට අවශ්‍ය පහසුකම් ඔවුන් සතුව නොවන බවයි. ඔවුන්ට යාත්‍රාවක් පවා මේ අවස්ථාවේදී නොතිබූ බව අප කළ සොයා බැලීම් අනුව පෙනී ගියේය.

මේ අනුව වෙරළ ආරක්ෂකයන් දිවයින පුරා ජනාකීර්ණ වෙරළ තීරවල රඳවමින් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න සැබවින්ම ගැටලු‍සහගතය. ප්‍රමාණවත් උපකරණ සහිතව මෙම පිරිස රැඳවීම සිදු නොවන්නේ නම්, සැබවින්ම ආරක්ෂකයන් වෙනුවෙන් කාලය හෝ වියදම් දැරීම ප්‍රායෝගික නොවන ක්‍රියාවකි. බේරුවල අනතුරේදී ජීවිත ආරක්ෂකයන් වෙත වරද පැටවීම කෙසේ වෙතත්, ජීවිත ආරක්ෂකයන් සතු නොවූ ශක්‍යතාව පිළිබඳ සොයා බැලීම බලධාරීන්ගේ වගකීමකි.

මීළඟට සඳහන් කළ යුත්තේ මෙම අනතුරුවලදී පොදුවේ ගලවා ගැනීම සඳහා ඉදිරිපත් වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව පිළිබඳවයි. ප්‍රායෝගිකව ඉතා දුෂ්කර වුවත් ඔවුන්ගේ මැදිහත් වීම අගය කළ යුතුය. වෙරළාසන්න අනතුරු හේතුවෙන් ඔවුනට මෙම මැදිහත්වීම සිදු කළ හැකිව තිබුණි. එහෙත් සැබෑවටම ඉතා පුළුල් ජාත්‍යන්තර මුහුදු තීරයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවට ඈත දියඹේ අනතුරුවලදී ගලවා ගැනීමේ යානා දියත් කිරීමේ හැකියාව ඉතා සීමිතය. මේ වන විටත් නාවික හමුදාව ඇතුළු අදාළ බලධාරීන් තමන් සතු හැකියාව පිළිබඳ පැහැදිලි කර තිබේ. එහෙත් එයින් සෑහීමකට පත්ව පසෙකට වී සිටීම නොව, ගුවන් හමුදාව මේ සඳහා බලගැන්වීම සහ ඔවුන්ගේ ශක්‍යතාව වර්ධනය කිරීම බලධාරීන්ගේ වගකීමකි.

කෙසේ වෙතත් මේ ආදී අනතුරු වළක්වා ගැනීම සරල කර්තව්‍යක් ලෙස අපි නොසලකමු. ඉකුත් තනතුරුවලදී ජීවිත බේරා ගැනීමට ඉදිරිපත් වූ ගුවන් හමුදාව, නාවිකයන් සහ ධීවරයන් ඇතුළු සියලු‍ ප්‍රජාවට සියලු‍ දෙනාගේ ගෞරවය හිමිවිය යුතුය. රටක් සංස්කෘතියක් ලෙස අප සතුව පවතින අන්‍යොන්‍ය සහයෝගය මෙවන් අනතුරුවලදී බොහෝ විට කැපී පෙනෙයි. ජීවිත ගලවා ගැනීමට, නැවත සිරුරු සොයා ගැනීමට ඉදිරිපත් වූ සිවිල් ප්‍රජාවගේ මැදිහත් වීම සැබවින්ම අගය කළ යුත්තකි. කෙසේ වෙතත් අනාගතයේ මීට වඩා විධිමත් ක්‍රියාවලියක් ධීවර අනතුරු පිළිබඳ සකස් විය යුතු බව අවසාන වශයෙන් අපි නැවතත් සිහිපත් කර සිටිමු.

• චමිඳු නිසල් ද සිල්වා

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:05