2025 ජුලි 05 වන සෙනසුරාදා

විවාදයකට ගිය ඇමෙරිකාව යුද අපරාද වියදම් කැපීම

 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:03 45

2025 ජනවාරි 20 වැනි දින බලයට පත්වීමෙන් පසු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය, ඔහුගේ “ඇමෙරිකාව පළමුව”‍ යන ප්‍රතිපත්තිය අනුව ඇමෙරිකානු බදු ගෙවන්නන්ගේ ආරක්ෂා කිරීම සඳහා ඩොලර් බිලියන ගණනක විදේශ ආධාර කපා හැරීමට පියවර ගත්තේය. පෙර නොවූ විරූ මෙම කප්පාදු කිරීම් මගින් එහි ප්‍රමුඛ ආධාර අංශය වන ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය (USAID) වසා දමා ඇති අතර, එමගින් බොහෝ පිරිසකට ජීවිතාරක්ෂාව සඳහා ආහාර සහ වෛද්‍ය ආධාර සැපයීම අනතුරේ හෙළා ඇති අතර ගෝලීය මානුෂීය සහන මෙහෙයුම් අවුල් ජාලයකට පත් කර ඇති බවට වාර්තා වේ.

එලෙස අත්හිටුවීමට නිර්දේශ කර ඇති තවත් වැඩසටහනක් වන්නේ ගෝලීය වශයෙන් යුද අපරාධ සහ වගවීම් පිළිබඳ ක්‍රියාත්මක වැඩසටහන්ය. ඒ අනුව එවැනි වැඩසටහන් 20 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා ලබා දෙන එක්සත් ජනපද අරමුදල් නවතා දැමීමට කළමනාකරණ සහ අයවැය කාර්යාලය මගින් ජූනි 25 දින නිර්දේශ කර ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබේ.

අභ්‍යන්තර රජයේ ලේඛනවලට අනුව මියන්මාරය, සිරියාව සහ යුක්‍රේනයේ රුසියානු අපරාධ සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් යුද අපරාධ සහ වගවීමේ කටයුතු සිදු කරන වැඩසටහන් රැසක් සඳහා එක්සත් ජනපද අරමුදල් නතර කිරීමට කළමනාකරණ සහ අයවැය කාර්යාලය නිර්දේශ කර ඇතැයි එක්සත් ජනපද ප්‍රධාන මූලාශ්‍ර තුනක් සහ රොයිටර් පුවත් සේවය අනාවරණ කර ඇත. මෙය එම වැඩසටහන් නවතා දැමීමේ අවසන් තීරණය නොවන අතර, රාජ්‍ය දෙපාර්තමේන්තුවට අභියාචනා කිරීමට අවස්ථාවක් ලබා දී ඇත. කෙසේ වෙතත්, මෙය කළමනාකරණ සහ අයවැය කාර්යාලය (Office of Management and Budget) සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ සහ ඔහුගේ සහායකයන් අතර විවාදයකට තුඩු දෙන කරුණක් බවට පත්ව ඇතැයි ද රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

මෙම නිර්දේශිත වැඩසටහන් අතර ඉරාකය, නේපාලය, ශ්‍රී ලංකාව, කොලොම්බියාව, බෙලරුස්, සුඩානය, දකුණු සුඩානය, ඇෆ්ගනිස්ථානය සහ ගැම්බියාව යන රටවල ක්‍රියාත්මක වන වැඩසටහන් ද ඇතුළත් බවට වාර්තා වන අතර රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ බවත්, කළමනාකරණ සහ අයවැය කාර්යාලය ප්‍රතිචාර නොදැක්වූ බවත් වාර්තා වේ.

එක්සත් ජනපද නිලධාරීන් තිදෙනකුට අනුව, රුබියෝ බොහෝ වැඩසටහන් දිගටම කරගෙන යාමට ඉල්ලීම් කරනු ඇතැයි අපේක්ෂා කිරීම අසීරුය. කෙසේ වෙතත්, එක්සත් ජනපදයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා වන ඔහුට යුක්‍රේනයේ විභව යුද අපරාධ නඩු පැවරීමට සහාය වීම වැනි තීරණාත්මක වැඩසටහන් පවත්වා ගැනීමට නඩුකරයක් ඉදිරිපත් කළ හැකි බව පැවසේ.

අවසන් කිරීමට නියමිත වැඩසටහන් කිහිපයක් මගින් යුක්‍රේනයේ යුද අපරාධ වගවීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි. ඒවා අතර, යුක්‍රේනය පුරා ලිංගික හිංසනය සහ වධහිංසා පැමිණවීම් වැනි යුද අපරාධ සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පිළිබඳ සාක්ෂි රැස් කිරීමට සහාය වන ග්ලෝබල් රයිට්ස් කොම්ප්ලයින්ස් (Global Rights Compliance) නම් ආයතනය ද වේ. තවත් ආයතනයක් වන්නේ යුක්‍රේනයේ රුසියානු යුද අපරාධ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීම සඳහා දේශීය ප්‍රයත්නයන්ට සහාය වන ලීගල් ඇක්ෂන් වර්ලඩ්වයිඩ් (Legal Action Worldwide) නමැති නීති ආධාර කණ්ඩායමයි.

• ප්‍රමුඛතා වෙනස් කිරීම

අවසන් කිරීම සඳහා නිර්දේශිත වැඩසටහන් වැඩි සංඛ්‍යාවක්, ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් සමාජයන්හි යුක්තිය ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන දේශීය සංවිධාන බලගැන්වීම සඳහා කැපවී ඇති වැඩසටහන්ය. ඇතැම් වැඩසටහන් දශක ගණනාවක් තිස්සේ ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් යන පරිපාලන දෙකම හරහා ක්‍රියාත්මක කර තිබේ.

සෙනෙට් සභිකයකු ලෙස ඔහු සහාය දුන් මෙම වැඩසටහන් වැඩි සංඛ්‍යාවක් ආරක්ෂා කර ගැනීමට රාජ්‍ය ලේකම් මාකෝ රුබියෝ මැදිහත් වුවද, මෙම වැඩසටහන් කළමනාකරණය කිරීමට කිසිවකු ඉතිරි නොවනු ඇතැයි, ප්‍රකාශකයකු සඳහන් කර තිබේ.
කළමනාකරණ සහ අයවැය කාර්යාලයේ නිර්දේශය මගින් ගෝලීය වශයෙන් මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටීමේ වැඩසටහන් ප්‍රමුඛතාවයෙන් ඉවත් කරන බවක් පෙනෙන්නට තිබේ.

යුක්‍රේනයේ සිදු වූ බවට එල්ල වන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් රුසියාව වගකිව යුතු බවට පැවසෙන ජාත්‍යන්තර උත්සාහයකට බාධා කිරීමට එක්සත් ජනපදය විදේශ ආධාර නවතා දැමීම දැනටමත් ආරම්භ කර තිබුණද, ජුනි 25 දින ඉදිරිපත් කළ නිර්දේශ මගින් එක්සත් ජනපදය එම උත්සාහයන් සම්පූර්ණයෙන්ම අතහැර දැමීමේ අවදානමක් මතු කර තිබේ.

අවසන් කිරීම සඳහා නිර්දේශ කර ඇති වැඩසටහන් අතර, ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අපරාධ යුක්තිය මුලපිරීම මගින් ක්‍රියාත්මක කරනු ලබන යුක්‍රේනයේ අභිචෝදක ජනරාල් කාර්යාලය සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තු ඩොලර් මිලියන 18 ක ප්‍රදානයක් සහිත වැඩසටහනක් ද ඇතැයි වාර්තා වේ.

රුසියානු ආක්‍රමණය වැළැක්වීම සඳහා යුක්‍රේනයේ ප්‍රමුඛ උත්සාහයන්ට මෙම වැඩසටහන් ඍජුවම බල නොපවත්වන නමුදු ආධාරකරුවන් පවසන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ ඇතිවූ දැවැන්තම යුද ගැටුමේදී වාර්තා වූ යුද අපරාධ සම්බන්ධයෙන් ලේඛනගත කිරීමට එය කදිම නිදසුනක් වන බවටය. එම ගැටුම මේ වන විට වසර 4 ක කාලයක් දක්වා ඇදෙමින් පවතී.

2022 පෙබරවාරි මාසයේ රුසියානු ආක්‍රමණයෙන් පසු යුක්‍රේනය යුද අපරාධ නඩු 140,000 කට වඩා ගොනු කර ඇති අතර සටනේදී දස දහස් ගණනක් මිය ගොස්, රටේ විශාල ප්‍රදේශයක් විනාශ වී ඇත. එහෙත් රුසියාව පවසන්නේ යුද්ධයේදී තම හමුදාව යුද අපරාධ සිදු කර නොමැති බවටය.

• අභියාචනයක් ඉදිරිපත් කිරීමට ඇති හැකියාව

මියන්මාර හමුදාව රොහින්ග්‍යා සුළු ජාතීන්ට එරෙහි සිදු කරන ලද හිංසා මෙන්ම සිරියාවේ බලයෙන් පහ කරන ලද හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද් විසින් කිතුනුවන්ට සහ අනෙකුත් සුළු ජාතීන්ට කරන ලද හිංසා පීඩා සම්බන්ධයෙන් වගවීම ක්‍රියාත්මක කරන වැඩසටහන් ද අවසන් කිරීමට නිර්දේශිත වැඩසටහන්වලට ඇතුළත් වන බව වාර්තා වේ. කළමනාකරණ සහ අයවැය කාර්යාලය මගින් ඉදිරිපත් කර ඇති නිර්දේශ රාජ්‍ය දෙපාර්තමේන්තුව හමුවේ පසුබෑමකට ලක්විය හැකි වුවද, අභියාචනා කිරීමේ නිර්ණායක ඉතා දැඩි ලෙස සකසා ඇත. අවසන් කිරීමට නිර්දේශ කරන ලද වැඩසටහන් ආරක්ෂා කිරීමට ගන්නා උත්සාහයන් පිළිබඳව තරයේ තර්ක කළ යුතු බවත් වොෂින්ටනයේ ප්‍රමුඛතා සමඟ ඍජුව පෙළගැස්විය යුතු බවත් සඳහන් කර තිබූ බවට අභ්‍යන්තර රාජ්‍ය දෙපාර්තමේන්තුවේ විද්‍යුත් තැපැල් ලිපියකින් අනාවරණ වී තිබේ.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා