2025 ජුලි 05 වන සෙනසුරාදා

පණ අදින සමූපකාරයට සේලයින් ලැබේවිද?

 2025 ජුලි 05 වන සෙනසුරාදා, ප.ව. 02:02 53

ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරය යනු දීර්ඝ ඉතිහාසයක් සහ විශාල ජන සහභාගීත්වයක් සහිත ප්‍රබල ව්‍යාපාරයකි. දශක ගණනාවක් තිස්සේ ජනතාවගේ දෛනික ජීවිතයට සමීපව බැඳී තිබූ සමූපකාරය වර්තමානයේ අර්බුද රැසකට මුහුණ දෙමින් සිටී. විශේෂයෙන් මූල්‍ය අක්‍රමිකතා සහ පාලනයේ දුර්වලතා පිළිබඳ චෝදනා නිතර වාර්තා වීම, සමූපකාර බැංකු ඇතුළු සමූපකාර ක්ෂේත්‍රය විධිමත් කිරීම සඳහා නව නීති ගෙන ඒම පිළිබඳ අර්බුද නිර්මාණය වීම ඒ අතරින් ප්‍රමුඛය. කෙසේ වෙතත්, මෙම නව නීති ගෙන ඒම පිටුපස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) බලපෑමක් සහ සමූපකාර ව්‍යාපාරයේ විශාල දේපල අත්පත් කර ගැනීමේ රජයේ සැඟවුණු අභිප්‍රායක් තිබේදැයි යන සැකය මේ වන විට මතුව තිබේ.

සමූපකාර සංකල්පය බිහිවන්නේ 19 වැනි සියවසේ කාර්මික විප්ලවය සමඟ බ්‍රිතාන්‍යයේ ඇතිවූ සමාජ හා ආර්ථික ගැටලු‍වලට පිළියමක් වශයෙනි. පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට භාණ්ඩ ලබා දීම, අතරමැදියන්ගේ සූරාකෑම වැළැක්වීම සහ සාමාජිකයන්ගේ සුබසාධනය ඉහළ නැංවීම මෙහි මූලික අරමුණ විය. “එකිනෙකා වෙනුවෙන්, සියලු‍ දෙනා වෙනුවෙන්”‍ යන ආදර්ශ පාඨය පෙරදැරිව සමූපකාර ව්‍යාපාරය ලොව පුරා ව්‍යාප්ත විය. ශ්‍රී ලංකාවට සමූපකාර සංකල්පය හඳුන්වා දුන්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේදීය. විශේෂයෙන් 1911 සමූපකාර සමිති ආඥා පනත මගිනි.

මුල් අවධියේදී ග්‍රාමීය ණය සමිති මූලික කරගෙන ආරම්භ වූ සමූපකාර ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය, වෙළෙඳාම, පාරිභෝගික සේවා, ඉතුරුම් හා ණය සේවා වැනි විවිධ ක්ෂේත්‍ර දක්වා අද වන විට ව්‍යාප්ත වී තිබේ. ලංකාවේ සෑම ගමකම පාහේ සමූපකාර සමිති පිහිටුවා තිබූ අතර, ඒවා සාමාන්‍ය ජනතාවගේ ජීවනෝපායට සහ ආර්ථිකයට යම් පමණක බලපෑමක් සිදු කරනු ලබයි. විශේෂයෙන්ම අඩු ආදායම්ලාභී ප්‍රජාව කෙරෙහි එම සංකල්පය තවදුරටත් මෙරට තුළ සාධනීය කාර්යභාරයක් ඉටු කරන බව සඳහන් කළ යුතුය.

කෙසේ වෙතත් වර්තමානය වන විට සමූපකාර ක්ෂේත්‍රය දැඩි අර්බුද රැසකට මුහුණ දෙමින් සිටී. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ පසුගිය දා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ සමූපකාර බැංකු රැසක මූල්‍ය අක්‍රමිකතා ඇතුළු අවිධිමත් කටයුතු සිදුවන බවට දිගින් දිගටම පැමිණිලි ලැබී ඇති බවයි. මෙම තත්ත්වය හේතුවෙන් මහජනතාවගේ පහසුව වෙනුවෙන් ඇති සමූපකාර බැංකු ක්‍රමයෙන් ජනතාවගෙන් ඈත්වෙමින් පවතින බවත්, යම් සීමිත කණ්ඩායමක් පමණක් ඉන් ප්‍රතිලාභ ලබන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මෙය බැහැර කළ නොහැකි සත්‍යයකි. මෙවැනි තත්ත්වයන් සමූපකාර ව්‍යාපාරයේ මහජන විශ්වාසය පළුදු වීමට ප්‍රධාන හේතුවක් වී තිබේ. කළමනාකරණ දුර්වලතා, විගණන ගැටලු‍ සහ දේශපාලන මැදිහත් වීම් සමූපකාර ක්ෂේත්‍රය පසුගාමී වීමට හේතු වී ඇති බව පැහැදිලිය. සමූපකාර බැංකු පද්ධතිය ඇතුළු සමූපකාර ක්ෂේත්‍රය විධිමත් කිරීම සඳහා නව නීති කඩිනමින් ගෙන ඒමේ අවශ්‍යතාව කලක සිට ආණ්ඩුව අවධාරණය කරමින් සිටින්නේ එබැවිනි. පසුගිය ආණ්ඩුව මෙන්ම මෙම ආණ්ඩුවද මෙම කර්තව්‍යයට අතගසා ඇති බව අමාත්‍යවරයා ඉකුත් දා කරනු ලැබූ ප්‍රකාශය හරහා අනාවරණය විය. ඒ අනුව නව නීති මගින් සමූපකාර ව්‍යාපාරය නිවැරදිව නියාමනය කරමින් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම අත්‍යවශ්‍ය බව අමාත්‍ය වසන්ත සමරසිංහ අවධාරණය කළේය.

කෙසේ වෙතත්, “සමූපකාර සුරැකීමේ ජාතික ව්‍යාපාරය”‍ චෝදනා කරන්නේ මෙම ප්‍රතිව්‍යුහගතකරණය යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාර්ගෝපදේශ අනුව සමූපකාර 16,000 ක් සතු ඇමෙරිකානු ඩොලර් කෝටි 280 කට අධික දේපල හා අනෙකුත් වත්කම්වලට අත තැබීමේ රජයේ උත්සාහයක් බවයි. ඔවුන් පෙන්වා දෙන්නේ පැවති ආණ්ඩුව ඉදිරිපත් කළ සමූපකාරය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව මහජන විරෝධතා හමුවේ අකුලා ගැනීමට සිදුවූ බවයි. එහෙත් වත්මන් ආණ්ඩුව වෙනත් ආකාරයකින් එය ඉදිරියට ගෙන යාමට උත්සාහ කරන බව ඔවුහු කියා සිටිති.

මේ එක්තරා ආකාරයකට බැහැර කළ නොහැකි සත්‍යයකි. සමූපකාර තුළ පවතින අභ්‍යන්තර අර්බුද සහ ගැටලු‍ මෙන්ම සමූපකාරය විනාශ කර දැමීමේ අභිප්‍රාය ද බොහෝ කලක පටන් බලධාරීන් තුළ තිබූ බව පිළිගත යුතුය. මෙය හුදෙක් දේශපාලකයන් සිය දේශපාලන අභිප්‍රායන් ඉටුකර ගැනීමට භාවිත කරන මෙවලමක් පමණි. මේ හරහා සහන සැලසීම වෙනුවෙන් රාජ්‍ය මුදල් වියදම් කිරීම ඔවුන් බහුතරයක් සලකනු ලැබුවේ තමන්ට සිදුවන පාඩුවක් ලෙසය. මෙම තත්ත්වය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරට සහන කප්පාදු කරමින් ආර්ථිකය සුරැකීම සඳහා දියත් කරනු ලබන ව්‍යාපෘතියේ සමූපකාර ඉලක්කයක් වීම මවිතයට පත් විය යුතු කරුණක් නොවේ.

කෙසේ වෙතත් සමූපකාර සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති උපාලි චන්ද්‍රසිරි මහතා පවසන්නේ, මෙය මුළුමනින්ම ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ ජනතාව සන්තක ප්‍රබලතම ව්‍යාපාරය බවට සමූපකාරය පත් කිරීමේ අපේක්ෂාව උඩු යටිකුරු කිරීමක් බවයි. යුරෝපා සංගම් වාර්තා අනුව ශ්‍රී ලංකාවේ සමූපකාර 16,000 ක් ඇති බවත්, ඒවා සතුව ඇමෙරිකානු ඩොලර් කෝටි 280 කට අධික දේපල හා වත්කම් ඇති බවත් ඔහු කියා සිටී. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ මත ආණ්ඩු ඉව අල්ලන්නේ එම දේපලවලට බවත් එම පාර්ශ්වය අවධාරණය කරයි.

2023 දී පැවති ආණ්ඩුවේ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍යවරයා සමූපකාරය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් නිකුත් කළ නමුත් ප්‍රායෝගිකව යථාර්ථයක් බවට පත්කර ගැනීමට එම ආණ්ඩුවට නොහැකි විය. සමූපකාර සුරැකීමේ ජාතික ව්‍යාපාරය සහ වර්තමාන ආණ්ඩුවට එදා සම්බන්ධ වී සිටි පාර්ශ්ව විසින්ම මෙම කැබිනට් පත්‍රිකාව හකුලා ගැනීමට බලකර සිටියේය. නමුත් වත්මන් තත්ත්වය වඩාත් සංකීර්ණ වී ඇති බව පෙනී යයි. එවක විපක්ෂයේ සිටිද්දී මෙම ප්‍රතිව්‍යුහගතකරණයට එරෙහිව සටන් කළ වසන්ත සමරසිංහ වැනි වෘත්තීය සමිති නායකයන් දැන් අමාත්‍යවරුන් වී එම උත්සාහයම වෙනත් මුහුණුවරකින් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවට චෝදනා නැගේ.

උපාලි චන්ද්‍රසිරි මහතා මෙය “පිළිකුල් සහගත”‍ ක්‍රියාවක් ලෙස හෙළා දැක ඇත. ඒ අනුව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර අමාත්‍යාංශයේ නිලධාරීන් දැන් උත්සාහ කරන්නේ පැවති ආණ්ඩුව අකුලා ගත් කැබිනට් පත්‍රිකාවේ අන්තර්ගතයම “සමූපකාර ව්‍යාපාරය ප්‍රතිසංවිධානය කිරීම සඳහා වූ යෝජනා කෙටුම්පත 2025” මැයෙන් වෙනත් මුහුණුවරකින් ගෙන ඒමට බවට චෝදනා එල්ල වේ. මෙම ක්‍රියාවලියේදී දින 14 ක් තුළ සමූපකාරිකයන්ගේත් මහජනතාවගේත් අදහස් ලබාගෙන ඉතා හදිසියේ සමූපකාරිකයන් සඳහා නව පනතක් සම්පාදනය කිරීමට නිලධාරීන් මුලදී උත්සාහ කළ බව මෙම ව්‍යාපෘතියට විරෝධය පළ කරන පාර්ශ්ව සඳහන් කරයි.

කෙසේ වෙතත් සමූපකාර සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ විරෝධතාවලින් පසුව සමූපකාරිකයන්ට රැස්වී පනතක් සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට තවත් කාලය ලබා ගැනීමට හැකිව ඇති බව මේ වන විට වාර්තා වෙයි. සැබවින්ම සිදුවිය යුත්තේ සමූපකාරිකයන් සහ මේ පිළිබඳව අවබෝධයක් සහිත විද්වතුන් විසින් නිසි අයුරින් පවතින තත්ත්වය තක්සේරු කිරීමයි. අනතුරුව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ලබා දී ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වීමයි. මන්ද යත් යල් පැනගිය මෙම ව්‍යාපාරය ප්‍රතිව්‍යුහගත කර නැවත සැමට සෙත සලසන ව්‍යාපාරයක් බවට පත් කිරීමේ අවශ්‍යතාව කිසිසේත්ම බැහැර කළ නොහැක්කකි.

මේ අතර මෙම ක්‍රියාවලිය පිළිබඳ නෛතික ගැටලු‍වක් ද නිර්මාණය වී ඇති බව සඳහන් කළ යුතුය. නව රජයේ කැබිනට් මණ්ඩලය 2023/19 දරන පැරණි ආණ්ඩුවේ කැබිනට් පත්‍රිකාව අවලංගු කළ බවට නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය ජූනි මස 4 වැනිදා අධිකරණය වෙත මෝසමක් මගින් කරුණු සැලකර තිබුණි. එවන් පසුබිමක නැවත වටයකින් වෙනත් මුහුණුවරකින් එම උත්සාහයම ගැනීම අධිකරණයටද කරුණු වසන් කිරීමක් බව උපාලි චන්ද්‍රසිරි වැනි පිරිස් වැඩිදුරටත් සඳහන් කර තිබේ. මෙම තත්ත්වය සමූපකාර ව්‍යාපාරය තුළ මෙන්ම පුළුල් සමාජය තුළ ද දැඩි සැකයක් සහ අවිශ්වාසයක් ඇති කර තිබේ.

අවසාන වශයෙන් සඳහන් කළ යුතු කරුණු කිහිපයක් තිබේ. ශ්‍රී ලංකාවේ සමූපකාර ව්‍යාපාරය මේ මොහොතේදී සිටින්නේ තීරණාත්මක සංධිස්ථානයකය. දූෂණ, අක්‍රමිකතා සහ කළමනාකරණ දුර්වලතා නිවැරදි කිරීම සඳහා නව නීති හා රෙගුලාසි අවශ්‍ය වන බවට කිසිදු සැකයක් නැත. එහෙත්, මෙම ක්‍රියාවලිය ජනතාවගේ දේපල ආරක්ෂා වන අයුරින්, විනිවිදභාවයෙන් යුතුව සහ සමූපකාරිකයන්ගේ අදහස්වලට සවන් දෙමින් සිදුවිය යුතුය. එසේ නොවුණහොත්, සමූපකාර ව්‍යාපාරය යනු ජනතාවට සහන සපයන යාන්ත්‍රණයක් වෙනුවට ආණ්ඩුවට සහ ඇතැම් කණ්ඩායම්වලට ප්‍රතිලාභ ගෙන දෙන ව්‍යාපාරයක් බවට පත්වීමේ අවදානමක් පවතී.

අනාගතයේ දී සමූපකාරය යනු කුමක්ද යන්න තීරණය වන්නේ මේ වන විට සිදුවන ප්‍රතිව්‍යුහගතකරණයේ ස්වභාවය සහ එහි සැබෑ අභිප්‍රාය මතය. එනිසාවෙන්ම සියලු‍ දෙනාම අවබෝධයෙන් යුතුව මෙම ක්‍රියාවලිය දෙස බලා සිටීම වැදගත් වේ.

• චමිඳු නිසල් ද සිල්වා

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:05