රටේ යළිත් වරක් පොහොර හිඟයක් ඇතිවීමේ අවදානමක් උද්ගතව ඇති බවට ආරංචි පළ වේ. පොහොර නොලැබීම නිසා කුඹුරු ගොයම පිදුරු බවට පත්වීමේ තත්ත්වයක් ඇතිවී ඇති අතර, නිසි කලට පොහොර නොලැබීම නිසා අපේක්ෂිත අස්වැන්නෙන් අඩකට වඩා ලබාගත නොහැකි බවට ගොවීහු මැසිවිලි නගති. ඔවුන් කහ පැහැති ගොයම් ගස් උදුරාගෙන මාධ්‍යයට ප්‍රදර්ශනය කරමින් ගොයම් ගස් සහ මඩ කමින් ආණ්ඩුවට විරෝධය පළ කරන බවක් දක්නට ඇත.
ගෝඨාභය රාජපක්ෂ පාලන යුගයේ වී වගාව විශාල ලෙස හානියට පත්වූයේ කිසිදු සැලසුමකින් තොරව රසායනික පොහොර හා පලිබෝධනාශක ආනයනය තහනම් කිරීම නිසාය. එම හදිසි තීරණය නිසා අස්වැන්න සියයට 37 කින් පමණ අඩු වූ අතර, සහල් ආනයනය කිරීමෙන් ජනතාව සාගතයෙන් මුදවාලීමට කටයුතු කෙරුණි. ගොවීන් පවසන්නේ අද වන විටද එවැනි තත්ත්වයක් උද්ගතව ඇති අතර, එයට හේතුව පොහොර ආනයනය තහනම් කිරීම නොව තිබෙන පොහොර හරිහැටි බෙදා හැරීමට අපොහොසත් වීම බවය.
එසේම පොහොර සහනාධාරය ද නිසි පරිදි නොලැබීමෙන් ගොවීන්ට ඉහළ මිලට පොහොර ලබා ගැනීමට ගෙවල්වල භාණ්ඩ පවා උගස් තැබීමට සිදුව ඇතැයි පැවසේ. එහෙත් ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් පවසන්නේ එවැනි පොහොර හිඟයක් නොමැති අතර, ගොවීන්ට අවශ්‍ය තරම් පොහොර ඇති බවය. පොහොර නොමැතිවීමෙන් අස්වනු පාළුවීමක් සිදුව නොමැති අතර, පොහොර සහනාධාරය නිසි පරිදි ලැබුණද එහි සුළු ප්‍රමාදයක් පසුගිය දිනවල සිදුවූ නමුත් දැන් එම ප්‍රමාදය වළක්වා ඇතැයි ද ඔවුහු කියති.
එහෙත් ගොවීන් නම් කියන්නේ වෙනස් කතාවකි. රට පුරාම පොහොර හිඟයක් ඇතිවී ඇති අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් අසාධාරණ ලෙස මිල ඉහළ ගොස් ඇත. විවෘත වෙළෙඳපොළේ රුපියල් 8200 ට අලෙවි කළ යූරියා පොහොර මිටිය මේ වනවිට රුපියල් 9350 දක්වා මිල වැඩි වී තිබේ. මෙවැනි අධික මිලකට පොහොර ගැනීමට ගොවියාට දුෂ්කර වී තිබේ. ඒ නිසා වගාව පොහොර නැතිකමින් විනාශ වෙමින් පවතී. යල කන්නයේ වී වගාවට යූරියා දෙවැනි මුරය මේ වනවිට යෙදිය යුතු වුවද පොහොර හිඟය නිසා රට පුරා වී වගාව කහ රෝගයට බිලිවෙමින් පවතින බව ද ගොවීහු කියති.
එළවළුවලටද යූරියා හිඟය බලපා තිබේ. යල කන්නයේදී අක්කර දහතුන් ලක්ෂ පන්දහසක වී වගා කර ඇති අතර, අක්කර පනස්හය දහසක එළවළු වගා කර ඇත. එළවළු වගාව අදියර කිහිපයක් යටතේ සිදු කරන නිසා දිගටම පොහොර යෙදීම අවශ්‍ය වන නමුත් හිඟය එයට හරස් වී ඇත. ප්‍රමිතියෙන් තොර යූරියා පොහොර රට තුළ බෙදාහරින්නේද යන්න පිළිබඳ බරපතළ සැකයක් හටගෙන තිබේ. යූරියා හිඟ වීමෙන් කහ පැහැ ගැන්වෙන වී වගාවෙන් යල කන්නයට අපේක්ෂිත අස්වැන්න නොලැබේ යැයි ගොවීහු කියති. මේ තත්ත්වය පිළිබඳ රජයේ පාර්ශ්වයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබීම නිසා තමන් කලකිරී සිටින බව ගොවීහු පෙන්වා දෙති.
පවතින යූරියා පොහොර හිඟය වැළැක්වීමට රජයේ පොහොර සමාගම් මෙතෙක් ක්‍රියා කර නැති අතර, දේශීය පොහොර යාන්ත්‍රණය චීනයට ලබාදීමට කූට සැලසුමක් ඇතැයි සැක පහළ වන බව ගොවි සංගම් ද කියා සිටී.
එහෙත් මෙම වටපිටාව මත ඉඩම් සහ වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මාධ්‍යවලට ප්‍රකාශ කර තිබුණේ ඉදිරි දෙමස ඇතුළත පෝස්පේට් සමාගමේ ඛනිජ ලවණ භාවිතයට ගෙන පෝස්පේට් පොහොර මෙරට නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බවකි. ගොවිජන සේවා දෙපාර්තමේන්තුව හරහා දැනටමත් පොහොර හිඟය හඳුනාගෙන ඇති අතර, එම නගරවල ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත පොහොර නිකුත් කරන බව ඔහු කියයි. ඒවාට ගොස් ගොවියාට අවශ්‍ය පොහොර ලබාගත හැකි යැයි ඔහු කියයි.
ඇමැතිවරයා පවසන්නේ පොහොර මිල ඉහළ නංවා නැති බව සමාගම් පැවසුවද පොහොර මාෆියාව අදටත් ක්‍රියාත්මක වන බව තමා ද පිළිගන්නා බවයි. පොහොර මිල රජය මගින් වැඩිකර නැති අතර, වෙළෙන්දන් සම්මත මිලට පොහොර අලෙවි කළ යුතු බව ඔහු කියයි.
“පොස්පේට් ආයතනයේ වංචා දූෂණ රැසක් පසුගිය කාලයේ සිදුවී තිබෙනවා. එම ආයතනය පහුගිය කාලයේ මුදල් අවභාවිත කර ඇති බවක් ද පෙනෙනවා. මේ වනවිට නව පාලනයක් යටතේ සමාගම හොඳ අතට හැරෙමින් තිබෙනවා.”
දැනට යල කන්නයට අවශ්‍ය පොහොර ලංකා පොහොර සමාගම සතුව ඇති අතර, තමන් ඒ ගැන සොයා බැලූ බවද, සමාගම් සමඟ සාකච්ඡා කළ බවද නියෝජ්‍ය ඇමැතිවරයා කියයි. දැනට ඔවුන් ගබඩාවලට අවශ්‍ය පොහොර අවශ්‍ය තරම් සපයාගෙන ඇති නිසා ඒ පිළිබඳ ගැටලුවක් පැන නගිනු නැතැයි ඔහු කියයි.
අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පුංචිරාල රත්නායක:
දැන් සති දෙකක තුනක සිට පොහොර හිඟයක් මතුවෙලා තියෙනවා. අපට ලැබෙන පොහොර ප්‍රමිතියෙන් බාලයි. එසේම මිල රු. 9000 – 10,000 වගේ කළුකඩ මිලක් බවට පත්වෙලා. පොහොරවල ප්‍රමිතිය බලන්නේ පොහොර මහලේකම් කාර්යාලයයි. ඒ අය තමා නිකුත් කිරීම අනුමත කරන්නේ. ඒත් ඒක හරියට වෙනවාද කියලා කියන්න බැහැ. ගහලා දින 5 ක් යනවිට ගොයම කහ පාට වෙනවා. ඒකෙන් අපට හිතාගන්න පුළුවන් පොහොර බාලයි කියලා. ඒකට අමුතු විශේෂඥ දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ.
පොහොර හිඟයක් වුවමනාවෙන් ඇති කරන්නේ ගෙනත් තියෙන බාල පොහොර අලෙවි කර ගන්නදැයි සැකයක් මතු වෙනවා. දැනට හම්බන්තොට වරායේ ගෙනාපු පොහොර තබාගෙන ඉන්නවා. ඒවා අපට එවන්නේ නැහැ. ගෙනෙන පොහොර හංගාගෙන තිබෙන විට මෙහේ තියෙන පොහොර වැඩි මිලට අලෙවි කරගන්න පුළුවන්. මෙතැන පොහොර මාෆියාවක් ඇතිවී තිබෙන බව පැහැදිලියි. එවැනි තත්ත්වයක් ඇති කරගෙන තියෙන්නේ වෙනත් බලාපොරොත්තු ඉටුකර ගන්නටයි. මේ ගැන හොයන කෙනෙක් නැහැ.
අපි මුලදී පොහොර ගත්තේ රුපියල් 8200, 8500 වැනි මිලටයි. මේ වනවිට 9000 – 10,000 අතරෙයි මිල පවතින්නේ. ඒත් ඒවා බාල පොහොර. ඒවා වැඩි මිලට අරගෙන වගාවලට දැමූ විට මුදල් නාස්තියක් පමණයි වෙන්නේ. ගොවියා තව තවත් අමාරුවේ වැටෙනවා. ලක් පොහොර සමාගම සහ කොමර්ෂල් සමාගම තවමත් වහලයි තියෙන්නේ. ඒවා විවෘත කරන්න රජයේ මැදිහත්වීමක් දකින්න නැහැ. එසේම රජය පොහොර ගෙන්වීමට කර ඇර තිබෙන අතර, ඒ නිසා පෞද්ගලික අංශයෙන් පොහොර මාෆියාවක් ඇතිවෙලා තියෙනවා.
දැන් ගොයමට බන්ඩි පොහොර ගහන වයසයි. දැන් බන්ඩි පොහොර ගෙනත් වැඩක් නැහැ. කල් පැනලයි තියෙන්නේ.
මේ ආණ්ඩුවත් බලයට එන්න කලින් කීවේ පොහොර මිල අඩු කරනවා කියලයි. වසා තිබෙන පොහොර ගබඩා අරින බවත් පැවසුවා. ඒත් දැන් වගේ වගක් නැහැ.
නාමල් කරුණාරත්න ඇමැතිලා පොහොර හිඟයක් නැහැයි කියලා ප්‍රකාශ නිකුත් කරනවා. ඒගොල්ලෝ ඉන්නේ මේ රටේද කියලා සැකයි. නමුත් ඇත්ත තත්ත්වය එයට වෙනස්. බොරු කියලා ගොවියා රවට්ටන්න පුළුවන්කමක් නැහැ. කෘෂිකර්ම ඇමැතිලා අපිත් එක්ක හිටපු අය. ඒගොල්ලෝ ඒ කාලේ හඬ නැගුවේ ගොවි ප්‍රශ්න ගැනයි. මොන රජය තිබුණත් ගොවිතැන ගණන් ගන්නේ නැහැ. අද තත්ත්වයත් ගෝඨාභය ජනාධිපති කාලේ වගේ තමයි. ඉදිරියේදී ගොවියාට පාට බහින්න තමා වෙන්නේ.
අනුරාධපුරය හා පොළොන්නරුව දිස්ත්‍රික්කවල වී වගාවෙන් සියයට 80 ක් පමණ විනාශ වෙමින් පවතිනවා. එහෙම වෙලා තියෙන්නේ තියෙන පොහොර ප්‍රමිතියෙන් පහළ වීම සහ නිසි කලට පොහොර නොලැබීම නිසයි. මෙම හේතු නිසා යල කන්නයට නිෂ්පාදනය වන සහල් ප්‍රමාණය අඩුවෙලා පෙර මෙන් පිටරටින් සහල් ගෙන්වීමටයි සිදුවෙන්නේ. ආණ්ඩුව මේ උත්සාහ කරන්නේ වෙනත් වාසි බලාපොරොත්තුව සහල් ආනයනය කිරීමට බවට සැක මතු වී තිබෙනවා.”
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම ඉංජිනේරු විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රන්ජිත් ප්‍රේමලාල් ද සිල්වා පවසන්නේ අද පොහොර පිළිබඳ ඇතිවී තිබෙන තත්ත්වයට හේතුව පොහොර තොග සැඟවීම බවයි. වෙළෙඳුන් එසේ තොග සඟවා ඇත්තේ කෘත්‍රිම හිඟයක් ඇතිකර මිල ඉහළ නැංවීමට යැයි මහාචාර්යවරයා පවසයි.
“ගොවියාට වගා කිරීම සඳහා කාබනික පොහොර හෝ අකාබනික පොහොර මොනවා හරි දෙන්න ඕනෑ. එහෙම නැතුව ගොවිතැන් කරන්නේ කොහොමද? මම හිතන හැටියට පොහොර ගෙන්වීමේ අඩුවක් නැහැ. හරියට නියාමනය නොකරන එකයි ගැටලුව. සහල්වලට වෙලා තියෙන්නෙත් මේ දෙය තමයි. එහෙත් රජය මේ කිසිම අවස්ථාවක් නියාමනය නොකරන නිසා කෘත්‍රිම හිඟයක් ඇතිවෙලා තියෙනවා. පොහොර සඟවා තබාගෙන තිබෙනවා නම් ඒවා පිටතට ගත යුතුයි. වැඩිපුර පොහොර නිකුත් කෙරෙනවා නම් මිල පහළ යනවා. එය සිදුවන්නට නම් යම් නියාමනයක් සිදුවිය යුතුයි.
දැනට පොහොර ආනයනය කරන සමාගම් දෙකම රජයට සම්බන්ධ ඒවායි. කලම්බු කොමෂල් පොහොර සමාගම හා ෆොස්පේට් සමාගම, මේවායින් ආනයනය කරන සහල් තමා වෙළෙඳපොළට එන්නේ. මේ හැර පෞද්ගලික වෙළෙඳුන්ද සහල් ආනයනය කරනවා. රජයට අයිති සමාගම්වලින් අවශ්‍ය පොහොර ප්‍රමාණය ගෙනල්ලා විධිමත්ව බෙදා දෙනවා නම් මිල නියාමනය ඉබේම ඇතිවෙනවා. එසේම හොඳ ප්‍රමිතියෙන් යුතු පොහාරද ලැබෙනවා. ගොවියන්ට පිට වෙළෙඳුන්ගෙන් පොහොර ගන්න අවශ්‍ය වන්නේ නැහැ. ගෙනෙන පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් විධිමත්ව බෙදා හරිනවා නම් කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ.
පොහොරවල ගුණාත්මකභාවය අඩුයි කියලා චෝදනා තියෙනවා, 50 ක් දාන්න ඕනෑ තැනට 75 ක් දාන්න ඕනෑ කියලා. පොහොරවල ප්‍රමිතිය පොහොර ලේකම් කාර්යාලය මගින් පරීක්ෂා කළ යුතුයි. ජනතාවට රජය පිළිබඳ විශ්වාසයක් තියෙනවා නම් වෙළෙඳුන් පසුපස යා යුතු වන්නේ නැහැ. එසේම අපට අවශ වන පොහොර කොපමණද යන්න ගැන කිසිවකු සතුව ඇස්තමේන්තු නැහැ. පොහොර ලේකම් කාර්යාලයට පුළුවන් වගා කරන ඉඩම් අනුව එක එක අවස්ථාවලදී අවශ්‍ය කරන පොහොර ප්‍රමාණය කොපමණද යන්න ඇස්තමේන්තු කරන්න. ඒ අනුව අවශ්‍ය තොග ගෙන්වීමට රජයට පුළුවන්. එවිට ගැටලුව ගොඩින් බේරාගන්න පුළුවන්.
අපේ රටේ වෙළෙඳපොළ ආර්ථිකයක් තියෙනවා. ඒ නිසා ඕනෑම කෙනකුට ගෙනත් අලෙවි කළ හැකියි. එහෙත් අද වෙන වරද තමා නියාමනයක් නැතිවීම. එය විධිමත් කළ යුතුයි.”
• යසවර්ධන රුද්රිගු