එළිමහන් ප්‍රසංග කලාකරුවන් මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් ජනපති සමඟ පැවති සාකච්ඡාවක් පසුගිය දිනක ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණි. මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලාංකික ප්‍රාසාංගික කලාකරුවන්ගේ ඒකාබද්ධ සංසදය අතර පැවති හමුවේදී සාර්ථක විසඳුම් ලැබුණු බව සාකච්ඡාවට සහභාගි වූ කලාකරුවෝ දේශයට අදහස් දක්වමින් පැවසූහ.
“ජනාධිපතිතුමා සමඟ පැවති සාකච්ඡාව ඉතා සාර්ථක වුණා. අපි ඉදිරිපත් කළ ගැටලුවලට ඉතා ඉක්මනින් විසඳුම් ලබාදීමට එතුමා පොරොන්දු වුණා. සාමාන්‍යයෙන් ප්‍රසංගයක් පවත්වද්දී මීට පෙර අදාළ පොලිසිය රුපියල් නවසීයක බද්දක් අය කළා. එම මුදල රුපියල් හාරදහස් පන්සීයක් දක්වා වැඩි වුණා. අපි මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාව දැනුවත් කර එයට යම් සාධාරණයක් ලබා දෙන්නැයි ඉල්ලීමක් කළා. ඒ අනුව එතුමා 50% අඩුකර දීමට පොරොන්දු වුණා.” යැයි ෆ්ලෑෂ් බැක් සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු මහතා පැවසීය.
මීට අමතරව එළිමහන් සංගීත ප්‍රසංගයක් පවත්වන විට අදාළ ප්‍රදේශයේ ඇති ප්‍රාදේශීය සභාවෙන් විනෝද බද්දක් අය කරයි. එම විනෝද බද්ද මේ වනවිට ලංකාවේ විවිධ පළාත්වල විවිධ මිල ගණන් යටතේ අය කරගැනීම සිදුවේ. ඒ සඳහා නිශ්චිත මිලක් නියම වී නැත. ප්‍රාදේශීය සභාවලින් හිතුමතේට මෙම බද්ද අය කරයි. මේ නිසා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කර එළිමහන් ප්‍රසංගයක් පවත්වන විට සෑම ප්‍රාදේශීය ලේකම් සභාවකින්ම අය කරන විනෝද බද්ද එකම මිලකට නියම කරන ලෙස ද මෙම හමුවේදී කලාකරුවෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ. ඔවුන්ගේ ඉල්ලීම වූයේ මෙම බද්ද 7% ක් හෝ 10% ක් කරන ලෙසය. මේ වන විටත් ප්‍රාදේශීය සභා පිහිටුවමින් පවතින බැවින් ඒ සඳහා යම් කාලයක් ලබා දෙන ලෙසත්, සියලුම ප්‍රාදේශීය සභා නිසි පරිදි පවත්වාගෙන යාමේදී ඒ සඳහා සලකා බලා නිශ්චිත බද්දක් තීරණය කරන බවත් ජනාධිපතිවරයා එහිදී පැවසීය.
එළිමහන් සංගීත ප්‍රසංගයක් පවත්වන විට ඍජුව හෝ වක්‍රව බොහෝ පිරිසක් ඒ හරහා ආදායම් ලබති. ප්‍රසංගයක් සංවිධානය කරද්දී සංගීත කණ්ඩායම හා සහභාගි වන ගායක ගායිකාවන්ට අමතරව වක්‍රව බොහෝ පිරිසක් එමගින් තම ජීවනෝපාය සරි කර ගනිති. කඩල විකුණන වෙළෙන්දාගේ සිට ප්‍රසංග වේදිකාව නිර්මාණවේදියා දක්වා මෙමගින් යැපෙති. එළිමහන් ප්‍රසංගයක් පැවැත්වෙන විට ඒ මගින් ලක්ෂ හයක පමණ වෘත්තිකයන් පිරිසක් ජීවත් වන බව සොයාගෙන ඇත.
“ජනාධිපතිතුමා මුණගැහෙන්න යද්දී මෙම එළිමහන් ප්‍රසංගයකින් ලක්ෂ හයක පමණ වෘත්තිකයන් පිරිසක් ජීවත් වෙන බව එතුමා දැන සිටිනවාද කියලා අපි දැනගෙන හිටියේ නැහැ. නමුත් එතුමා ඒ සම්බන්ධයෙන් පුදුම විදිහට අධ්‍යයනය කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් හොඳ දැනුමක් එතුමාට තිබුණා. එතුමා හරිම සාධාරණව අපේ ගැටලු දිහා බැලුවා.” යැයි රොෂාන් ප්‍රනාන්දු වැඩිදුරටත් දේශයට පැවසීය.
සාමාන්‍යයෙන් මිල මුදල් යහමින් ඇති ධනවතුන් තමන්ගේ මානසික ආතතිය, විවේකය ගත කරන්නට යොදා ගන්නේ රාත්‍රී සමාජ ශාලාවකි. එසේත් නැත්නම් තරු පහේ හෝටලයකි. නමුත් සාමාන්‍ය, සරල, දුප්පත් ජනතාව තම මානසික ආතතිය, කාන්සිය මගහරවා ගනු ලබන්නේ එළිමහන් ප්‍රසංගයකට හෝ සිනමා ශාලාවකට ගොසිනි. විශේෂයෙන් තරුණ තරුණියෝ එළිමහන් සංගීත ප්‍රසංගයකට ගොස් ගීත අසන්නට නටන්නට වැඩි කැමැත්තක් දක්වති. මාසික වැටුපකට ජීවත් වන, දෛනික වැටුපකට ජීවත් වන සාමාන්‍ය ජනතාව තම ගමේ ඇති සංගීත සංදර්ශනයකට සහභාගි වන්නේ විඩාබර වූ මනසට යම් අස්වැසිල්ලක් ලබා ගැනීමටය. පිරිසක් එවැනි අහිංසක සතුටක් සැනසිල්ලක් ඉඳහිට ලබන විට විශේෂයෙන් නාගරික පරිසරයේ ඇති රාත්‍රී සමාජ ශාලාවල, තරු පහේ හෝටල්වල දෛනිකව සම්භාෂණ ද පැවැත්වෙයි. සති අන්තයේ පමණක් නොව සතියේ දිනවල රාත්‍රී කාලයේදී ද තරුණ තරුණියෝ මෙම සමාජ ශාලාවලට ගොස් ප්‍රීති වෙති.
“සාමාන්‍යයෙන් එළිමහන් ප්‍රසංග වසරකට දෙවතාවයි තියෙන්නේ. ප්‍රසංග කලාකරුවන්ට තම ප්‍රසංගවලට සහභාගි වෙන්න අවස්ථාව ලැබෙන්නේ මේ අවස්ථා දෙකේදී පමණයි. ඒ අප්‍රේල් 10 සිට අප්‍රේල් 25 දක්වාත්, දෙසැම්බර් 20වැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වාත් පමණයි. මේ කාලය තුළදී පමණක් ටිකක් කාලය කළමනාකරණය කරලා දෙන්නැයි අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා. විශේෂයෙන් ප්‍රසංග අඩුම තරමින් මධ්‍යම රාත්‍රී එක වනතුරුවත් පවත්වන්න ඉඩ ලබා දෙන්නැයි ඉල්ලා සිටියා.” යැයි රොෂාන් ප්‍රනාන්දු වැඩිදුරටත් පැවසීය.
මෙම කලාකරුවන් සතියේ සෑම දිනකම හෝ සති අන්තයේ රෑ එළි වනතුරු ප්‍රසංග පැවැත්වීමට ඉල්ලා සිටියේ නැත. ඒ සම්බන්ධයෙන් ඔවුන් අසාධාරණ ඉල්ලීම් කළේ ද නැත. අසරණ රෝගීන්ට, රැකියාවල නිරත වන්නන්ට, විභාගවලට සහභාගි වන දරුවන්ට, මේ ඝෝෂාකාරී ශබ්දය දිනපතාම ඇසීම එතරම් සුදුසු නොවන බව ඔවුහු දැන සිටියහ. ඔවුන් ඉල්ලා සිටියේ වසරේ මෙම කාලසීමාව තුළදී පමණක් ප්‍රසංග පවත්වන කාලය සුළු දීර්ඝ කිරීමක් කරන ලෙස පමණි.
“අපිට සාමාන්‍යයෙන් ප්‍රසංග වැඩිපුරම තියෙන්නේ අප්‍රේල් සහ දෙසැම්බර් මාසවලයි. ඒ මාසවල තමයි අපේ කලාකරුවන් කීයක් හරි හොයා ගන්නේ. අවුරුද්ද පුරාවට ප්‍රසංග නැහැ. හැම සති අන්තයේම ප්‍රසංග නැහැ. මේ පවත්වන ප්‍රසංග අදාළ පොලිස් ස්ථානයෙන් රෑ දහය වෙද්දි නතර කරනවා. එයින් සංදර්ශනවලට වියදම් කරන මුදල පවා සංවිධායකවරුන්ට හොයා ගන්න කාලයක් ලැබෙන්නේ නැහැ. කලාකරුවෙක් අවුරුදු කාලයේදී සති අන්තයේ එක දවසකට ප්‍රසංග දෙකක් පමණ භාරගන්නවා. හැබැයි එක ප්‍රසංගයකට ගීත ගායනා කරලා අනිකට යන්න ගතවන කාලය මදි. අඩුම තරමින් රෑ එක වනතුරුවත් මේ ප්‍රසංග පවත්වන්න මේ කාලය තුළදීවත් අවසර ලැබෙනවා නම් ඒක ලොකු දෙයක්. මේ ගැන අපි ජනාධිපතිතුමා සමඟ සාකච්ඡා කළා.” යැයි ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහතා පැවසීය.
ප්‍රවේශ පත්‍රයක් නිකුත් කරමින් පවත්වන ප්‍රසංග රාත්‍රී 11 ට පමණ නතර කිරීමෙන් මුදල් ගෙවා ප්‍රසංග බැලීමට පැමිණි ප්‍රේක්ෂකයන්ට සිදුවන්නේ අසාධාරණයකි. ඔවුන්ට තම වියදම් කළ මුදලට සරලන විනෝදයක් ලබා ගැනීමට අවස්ථාව ලැබෙන්නේ නැත. එයින් කුපිත වන ඔවුහු ඇතැම් විට වේදිකාවට ගල් ගසති. අනවශ්‍ය කලකෝලාහල කරති. ඒ අනුව කලාකරුවන්ගේ ඉල්ලීම් ගැන අසා සිටි ජනාධිපතිවරයා සාධාරණ තීරණයක් ලබා දීමට පොරොන්දු වී තිබේ.
• දිශානි ජයමාලි කරුණාරත්න