2017 ජුලි 01 වන සෙනසුරාදා

රටම හැඬවූ කඹුරුපිටියේ එල්ලුම් ගහ

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 435

අම්මා, තාත්තා සමඟ විරසක වී අක්කලා දෙන්නාත් නිවසේ තබා ගෙදරින් ගිය බව සැලවී දින ගණනාවකි. ගංවතුරට යටවීමෙන් ගෙදර වස්තුව සියල්ල ගසාගෙන ගිය බවද කීවේද මේ අතරය. ආදරණීය පියාගේත් සොහොයුරියන් දෙදෙනාගේත් දුක සැප බලන්නට සිතූ රන්සෑගොඩ මංගල පොඩි හාමුදුරුවෝ උපන් නිවෙසට වැඩම කළේ මහනුවර ප්‍රදේශයේ සිය පන්සලේ සිටය.

දවසක් දෙකක් නිවසේ ගත කළ පොඩි හාමුදුරුවෝ තාත්තාගේ හැසිරීමේ වෙනසක් දැක්කද ඊට ගුරුහරුකම් දෙන්නට සමත් නොවීය. අම්මා අපිව දාලා ගියායින් ගෙදර ප්‍රශ්න ගොඩයි. ගමේ උන් කතා හදන එක ඉවසන්න බෑ... නංගිලාට ඉස්කෝලෙ යන්නත් බැරිලු.... මට කෙල්ලො බලාගන්න අමාරුයි. අම්මා නාවොත් ළමයින් මරලා මාත් මැරෙනවා...

මේ ආකාරයේ කලකිරුණු කතා රාශියක් දුරකථනය මගින් කියනවා පොඩි හාමුදුරුවන්ට ඇසී තිබුණි. උන්වහන්සේ හොඳාකාරවම දැන සිටියේ තාත්තා එසේ පැවසුවේ තම වැඩිමහල් සොහොයුරා වන හංගමුව ජයබෝධි විහාරයේ වැඩවසන රන්සෑගොඩ සුදත්ත හිමියන්ට බවය.

අමාවක ගෙවී දිනයක් දෙකක් ගතවිය. හැමතැනකම මෙන් එදිනද කඹුරුපිටිය බෙරළිඅතුර ප්‍රදේශය ඝන අන්ධකාරයෙන් වැසීගෙන තිබුණි. ගම පුරා විහිදුණු තේවතු හා රබර් වතු නිසා අහල පහළක ගෙදරක් පෙනෙන්නට නොවීය. රන්සෑගොඩ පොඩි හාමුදුරුවන්ගේ නිවස පිහිටියේද හුදෙකලාවය. සීතල අන්ධකාරයේ නින්දට සූදානම් වෙමින් සිටි ගම්මුන්ට ඈතින් පුපුරන ශබ්ද කීපයක් ඇසෙන්නට විය. නුපුරැදු ශබ්දය සෝදිසි කරන්නට මිදුලට බැස්ස ගම්මුන්ට ප්‍රියන්තගේ ගෙදර පැත්තෙන් විශාල ගිනිගන්නා එළියක් පෙනෙන්නට විය. ප්‍රියන්තගේ නිවහන මහා ගිනි ජාලාවකින් වැසී ගොසිනි. ගම්මුන් ප්‍රියන්තගේ ගෙදර දෙසට දිවයන්නට වූහ. ඒ අතර අයෙක් පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ 119 අංකය අමතා,
මාතර, කඹුරුපිටියෙ බෙරළිඅතුර රන්සෑගොඩ ගමේ ගෙදරක් ගිනි ගන්නවා... මේ ගෙදර තුන් හතර දෙනෙක් මිනිස්සු ඉන්නවා. ඉක්මනට බලන්න... යැයි දැනුම් දුන්නේය.

එම තොරතුරු කඹුරුපිටිය පොලිස්ථානයට දැනුම් දෙනවාත් සමඟම එහි පොලිස් නිලධාරීන් පිරිසක් අදාළ නිවෙස සොයා පිටත්ව ගියෝය. බෙරලිඅතුර රන්සෑගොඩ ගිනි ගනිමින් තිබූ නිවෙස සොයා පොලීසිය යනවිටත් එහි වැඩි ප්‍රමාණයක් ගින්නට හසුවී විනාශ වී ගොස්ය. ඒ වනවිටත් වේලාව රාත්‍රී 9.00 පසුවී තිබුණි. ගිනි ගනිමින් තිබූ නිවස ප්‍රමාණයෙන් විශාල නොවූ කටුමැටියෙන් නිර්මාණය කළ එකක් වැනි විය. ප්‍රදේශවාසීහු පොලීසියේද මැදිහත් වීමෙන් ගින්න නිවා දමන්නට කටයුතු කළහ.

නිවෙසේ මහා ගින්නක් ඇතිවුවද නිවැසියන් ගෙදර ඉන්නා බවක් පෙනෙන්නට නොවීය. පිරිස එක්ව විපරම් කිරීමේදී දකින්නට ලැබුණේ අහස පොළොව නුහුලන තරම් හිත් කම්පාකරවන දෙයකි. නිවෙස ඉදිරිපිටම වූ ගස් දෙබල් දෙකක් අතර රැඳවූ උණ ගසක් මත ගැටගැසූ තංගුස් නූල් තුනක ප්‍රියන්තගේ දරුවන් තිදෙනා ගෙල වැළලාගෙන මියගොස් සිටියහ. ඔවුන් අතර රන්සෑගොඩ මංගල පොඩි හාමුදුරුවෝද වූහ. උන්වහන්සේ පසෙකින් සිය වැඩිමහල් සොහොයුරියන් දෙදෙනාද එල්ලී මියගොස් සිටි අතර තිදෙනාගේම දෑත් පසුපසට කොට ගැට ගසා තිබීම දුටු කාටත් ගැටලුවක් ඉපදවීය. තවදුරටත් සෝදිසි කිරීමේදී ඊට මඳ දුරකට වන්නට පිහිටි ගසක ගැට ගැසූ ලණුවක ආධාරයෙන් දරුවන්ගේ පියා වූ ප්‍රියන්ත ගෙල වැළලාගෙන දිවි නසාගෙන සිටිනු දැකගත හැකි විය.

සැකසහිත ඝාතන පිළිබඳ සෝදිසි කිරීමේදී දරුවන් විසින් ලියන ලද ලිපි කීපයක් ඔවුන් ආසන්නයේ තිබියදී හමුවී ඇත. ඒ අතර දියණියක විසින් ලියන ලිපියක අම්මා බලන්න අපි ආච්චි අම්මලාගේ ගෙදරට ගියා. ඒත් ආච්චි කීවා අම්මා එහේ ආවේ නෑ කියලා. අපි ආපහු එනකොට අහල පහළ අය කීවා අම්මා උදේ හිටියා කියලා. අපිට හරි දුකයි. අම්මා නාවොත් අපිට තාත්තා ගන්න තීරණයකට කැමැති වෙන්න වෙනවා. මගේ අම්මාට බුදු සරණයි. යනුවෙන් සටහන් කර තිබුණේ 16 හැවිරිදි කෞෂල්‍යා සෙව්වන්දි දියණියයි. මේ අතර තවත් ලිපියක සටහන් කර තිබුණේ අම්මේ ඉක්මණින් ගෙදර එන්න. ගමේ මම ගැන වැරදි කතා හදලා කියනවා. අම්මා ඉක්මනට ආවේ නැතිනම් අපි හතර දෙනාම මැරෙනවා. අම්මාට බලන්න වෙන්නෙ අපේ මිනී තමයි යනුවෙනි.

මේ අතර දකින්නට ලැබුණේ නිවසේ හුරතලයට ඇති කරමින් සිටි සුනඛයාද ඝාතනය කර ඇති බවය. විමර්ශන වලින් අනාවරණය වූයේ සාමනේර හිමි නම ඇතුළු දරුවන් තිදෙනා ඔවුන්ගේ පියා වූ වික්‍රමතුංග ආරච්චි පතිරණගේ ප්‍රියන්ත (44) විසින් එල්ලා මරා ඔහුද ගෙල වැළලාගෙන දිවි නසාගෙන ඇති බවය. කෞෂල්‍යා සෙව්වන්දි (16) හිරුණි සෙව්වන්දිකා (10) හා රන්සෑගොඩ මංගල හිමි (14) යන පිරිස මෙහිදී ඝාතනයට ලක්ව සිටියහ.

දරුවන්ගේ පියා වූ ප්‍රියන්ත කුරුඳු තැලීම රස්සාව කරගත් අයෙකි. ඔහු ආර්ථික අපහසුතා රාශියක් මැද කල් ගෙවූ අයෙකි. මේ නිසාම සිය වැඩිමහල් පුත්‍රයා සහ තුන්වන පිරිමි දරුවා සාසනයට පූජා කොට පැවිදි දිවියට ඇතුළත් කොට තිබුණි. අඹු සැමියන් අතර වූ ගැටුම් හේතුවෙන් බිරිය සැමියා හා දරුවන් හැර දමා ගොස් සිටියාය. ඇය නොපැමිණීම හේතුවෙන් කලකිරීම සහ පියා සහ දියණිය සම්බන්ධ කර ගම්මුන් අසම්මත කතා ගොඩනඟා තිබීම සම්බන්ධයෙන් සිත්තැවුලට පත්ව දරුවන් සමඟ පියා දිවි නසාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

එම නිවෙසේ පිරිමි දරුවන් දෙදෙනා ශාසනයට පූජා කරන්නට ඇවැසි කටයුතු සූදානම් කර දී තිබුණේ ඕමල්පේ සෝභිත හිමියන් විසිනි. උන්වහන්සේ ඇතුළු පිරිසක් සිරුර භූමදානය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනයට සහාය වූහ. බෞද්ධ චාරිත්‍රානුකූලව අවසන් කටයුතු සිදුකළ අතර ඒ සඳහා ප්‍රියන්තගේ වැඩිමහල් පුත්‍රයා වූ රන්සෑගොඩ සුදත්ත හිමියෝද සහභාගී වූහ. නමුත් ප්‍රියන්තගේ බිරිය සැමියාගේ හා දරුවන් තිදෙනාගේ මළගමට හෝ සහභාගී වූයේ නැත. එය ඇගේ වැඩිමහල් දියණියගේ ලිපියේ සටහන්ව තිබූ ආකාරයටම සිදුව තිබුණේය.

මියගිය දැරියන් දෙදෙනා අධ්‍යාපනයට උපන් හැකියාවෙන් යුක්ත වූහ. ඔවුහු රන්සෑගොඩ උතුර කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලැබූහ. ගම්මුන්ගේ කටකතා හේතුවෙන් දැරියන්ගේ සිරුරු අධිකරණ වෛද්‍යවරයාගේ දැඩි පරීක්ෂාවට ලක්කෙරුණද කිසිවිටෙකත් ඔවුනට කිසිදු අතවරයක් වී නොමැති බව අනාවරණය වී තිබිණි.

කඹුරුපිටිය පමණක් නොව රටම කම්පාවට පත්කළ සාමනේර හිමියන් ඇතුළු දරු තිදෙනාගේ හා පියාගේ මරණය බොරු, කේලාම්, කටකතා පතුරවන මිනිසුන්ට පාඩමකි. මේ අපරාධය පිළිබඳව සැබෑ කරුණු සමාජගත වන්නේ නම් එය සිත්තැවුලෙන් මියගිය දියණියන් දෙදෙනාගේ හා සාමණේර හිමියන්ගේ මරණවලට සැනසීමක් වනු ඇත. සිද්ධිය පිළිබඳව කඹුරුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

 සමන්ත ප්‍රදීප් විල්තෙර
    ෙස්යාරූ මහේෂ් මලවීරඅාරච්චි