2025 ජුනි 21 වන සෙනසුරාදා

යුද්දෙන් තෙල් මිල නැග්ගොත් ඔක්කොම කනපිට!

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:02 101

පසුගිය 13 වැනි සිකුරාදා සිට ඉරාන – ඊශ්‍රායල යුද්ධය තීව්‍ර වූ අතර, එහි ප්‍රතිඵලයක් වශයෙන් බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමට පටන්ගෙන ඇත. තෙල් මිල ඉහළ යාම සියයට 9-10 අතර බව වාර්තා වෙයි. පසුගිය 15 ඉරිදා වනවිට බ්‍රෙන්ට් බොරතෙල් බැරලය අමෙරිකානු ඩොලර් 74.23 ක් දක්වා ඉහළ ගොස් තිබිණ. මෙය ඩොලර් 4.87 කින් හෙවත් සියයට 7.02 කින් ඉහළ යාමක් බවට වාර්තා විය. චෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියට් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 72.98 ක් දක්වා ඉහළ නැග තිබේ. මෙය ඊට පෙර තිබූ මිලට වඩා ඩොලර් 4.94 කින් හෙවත් සියයට 7.26 කින් ඉහළ යාමකි. මෙම වෙනස් වීම 2022 වසරෙන් පසු තෙල් මිල පිළිබඳ සිදුවූ වැඩිම වෙනස් වීම බව පැවසේ.

මෙලෙස තෙල් මිල ඉහළ යාම දිගටම පැවතුණහොත් එය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඉතාම අහිතකර ලෙස බලපානු ඇතැයි යන්න මැදහත් ආර්ථික විශ්ලේෂකයන්ගේ මතය වේ. ලොව බොරතෙල් සංචිතයෙන් සියයට 9 ක් ඉරානය සතුව ඇති අතර, ඉරානය දිනකට තෙල් බැරල් මිලියන 4 ක් නිපදවයි. ඉරානය ලෝකයේ තෙල් නිපදවන රටවල් අතර 7 වැනි ස්ථානයේ පසුවේ. ලොව ප්‍රධානතම බොරතෙල් ප්‍රවාහන මාර්ගයක් වන “හෝර්මූස්” සමුද්‍ර සන්ධිය වසා දමන බවට ද ඉරානය තර්ජනය කර ඇතැයි ජාත්‍යන්තර පුවත් මාර්ගවලින් පැවසේ.

රොයිටර් පුවත් සේවය පවසන පරිදි ඉරානය හා ඊශ්‍රායලය යන දෙරට තුළම තෙල් සහ ගෑස් නිෂ්පාදනය කරන ප්‍රදේශවල යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ලවීමෙන් එම කර්මාන්ත ශාලාවලට විශාල හානියක් සිදුව තිබේ. මෙම තත්ත්වය දිගු කාලයක් පැවතුණහොත් ගැටුම කලාපීය වශයෙන් ව්‍යාප්ත වීමෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 80-100 දක්වා ඉහළ යනු ඇති බවට අනතුරු ඇඟවේ. ශ්‍රී ලංකාව මුළුමනින්ම ආනයනික ඉන්ධන සමඟ යැපෙන රටක් වීම නිසා වැඩි මිලට ඉන්ධන ගැනීමට සිදුවීමෙන් බොරතෙල් ආනයනය සඳහා පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 500-600 පමණ මුදලක් අමතරව වැය වෙනු ඇති බවට විශ්වාස කිරීමට හේතු තිබේ. මේ තත්ත්වය සමඟම දැනට දුර්වල වෙමින් පවතින අපේ රුපියල තවදුරටත් බිඳවැටෙන අතරම, විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඉන්ධන ආනයනයට වැය වුවහොත් ගෙවුම් ශේෂ අර්බුදයක් ඇතිවනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයෝ බිය පළ කරති. එසේම එයින් නොනැවතී රටේ මිල මට්ටම ඉහළ යාමටද මේ තත්ත්වය හේතු වෙනවා ඇත. අද පවතින තත්ත්වය අනුව ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගියහොත් මෙරට ඉන්ධන මිල ඉහළ යාමට එය හේතුවක් වෙනවා ඇත. එසේම නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් විදුලි ගාස්තු ද තවත් වරක් වැඩි කිරීමට සිදුවීම තුළින් උද්ධමනය ද වැඩි වී විශාල ජීවන වියදම් අර්බුදයක් ඇතිවීමට ඇති ඉඩ වැඩිය. දැනටමත් විදුලි ගාස්තු සංශෝධනය නිසා ජනතාව හිරිහැරයට ලක්ව තිබෙන අවස්ථාවක යළිත් මිල ඉහළ දැමුවහොත් එය රජය ද අපකීර්තියට පත්වීමට හේතුවක් වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ පවසති.

මෙම තත්ත්වය රටේ ආර්ථික වර්ධනය කෙරෙහි ඍණාත්මක බලපෑමක් ඇතිකරන අතර ලෝක බැංකු පුරෝකථන අනුව මෙම වර්ෂයේ ආර්ථික වර්ධනය සියයට 3.5 කට නංවා ගැනීමේ බලාපොරොත්තුවද බිඳ වැටෙනවා නියතය. කෙසේ වුවද මෙම ගැටලුව අපේ පාලනයෙන් බැහැරව ඇතිවන්නක් නිසා තත්ත්වය සමනය කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග අල්ප වේ. මෙම තත්ත්වය තවදුරටත් ව්‍යාකූල වන්නේ ඉන්ධන හිඟ වේ යැයි ජනතාව අතර ආරංචි පැතිරෙමින් තිබීමය. එහි ඇත්ත නැත්ත කෙසේ වෙතත් හිඟයක් ඇතිවේ යැයි බියෙන් ඉන්ධන වැඩිපුර වාහනවලට පුරවා ගැනීමට මෙන්ම රැස්කර තැබීමටද පාරිභෝගිකයන් උනන්දු වන බවක් මේ දිනවල දක්නට ඇත. වෙනදා ඉන්ධන ටැංකියෙන් අඩක් පුරවා ගන්නා අය මේ හේතුවෙන් ටැංකිය පිරෙන්නට ඉන්ධන ගසාගන්නා අතර, එයට අමතරව බූලි වැනි භාජනවලටද ලබාගෙන ගබඩා කර තබා ගැනීමට පෙළඹෙනු ඇත.

මෙය අද පමණක් සිදුවූ දෙයක් නොව ජනතාව යමක් හිඟ වේ යැයි උපකල්පනය කරමින් වැඩිපුර පාරිභෝජනය කිරීමට පෙළඹීමක් සිදුවිය. මෙලෙස හිඟයක් ඇතිවේ යැයි යන්න කටකතා මගින් හා සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය වූ විට ජනතාව කලබලයට පත්වීම අරුමයක් නොවේ. මෙහි ප්‍රතිඵලය වන්නේ අධි පාරිභෝජනයක් ඇතිවී පිරවුම් මධ්‍යස්ථානවල ඉන්ධන හිඟ වීමය. ඉන්ධන පමණක් නොව ආනයනය කරන බොහෝ දේවල් බාහිර හේතු නිසා හිඟ වේ යැයි ප්‍රචාරය වූ විට ඉල්ලුම වැඩිවීම කවදත් සිදුවන දෙයකි. ආණ්ඩුව ඉන්ධන හිඟයක් නොමැති බව පුන පුනා ප්‍රකාශ කළ ද ජනතාව එය පිළිනොගෙන කටයුතු කිරීම නිසා ඉන්ධන අලෙවිය වැඩිවීමෙන් කෘත්‍රිම හිඟයක් ඇතිවීමට ඇති ඉඩකඩ වැඩි වේ. අද වනවිට එම තත්ත්වය ඇතිවෙමින් පවතින බව පෙනී යයි. මෙයට පෙරද මෙරට ඉන්ධන හිඟයක් ඇතිවූ අවස්ථාවලදී ජනතාව සියලුම කටයුතු පසෙකලා තාවකාලිකව හෝ එම තත්ත්වයට මුහුණ දීමට පියවර ගත් බව අපට මතකය.

ඉන්ධනහල් අසල දිගු පෝලිම් ඇතිවූයේ ජනතාව කෙසේ හෝ තම වාහනයට ඉන්ධන පුරවා ගැනීමට උත්සාහ ගැනීම හේතුවෙනි. අද මෙන්ම එදා ද බලධරයන් ඉන්ධන හිඟ නොවන බවද රටට ඇතිතරම් ඉන්ධන තිබෙන බවද පුන පුනා ප්‍රකාශ කළ ද ජනතාව එය පිළිගත්තේ නැත. ඒ නිසා ඔවුන් විධිමත් හෝ අවිධිමත් ක්‍රමවලින් ඉන්ධන ලබා ගැනීමට උත්සුක වූ බව අපට මතකය. ඉන්ධන යනු ජනතාවගේ එදිනෙදා කටයුතුවලට අත්‍යවශ්‍යම ද්‍රව්‍යයකි. බඩු මිල තීරණය වන්නේද ඉන්ධන මතය. ඒ නිසා ඉන්ධන සපයා ගැනීමේ දුෂ්කරතාවක් තාවකාලිකව ඇතිවුවහොත් බඩු මිල ඉහළ යාම නොවැළැක්විය හැකිය. එවිට උද්ධමනය ද ඉහළ නැග ජනතාව කබලෙන් ලිපට වැටීම වළක්වා ගැනීම අපහසු වේ. සියල්ල කාලයට බාර දී සිටිනවාට වඩා යම් ප්‍රතිකර්මයක් යෙදීම පිළිබඳ පාලකයන්ගේ අවධානය යොමුවිය යුතු වේ.

මේ පිළිබඳ අදහස් දක්වන දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ, කොළඹ විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්ය සිරිමල් අබේරත්න පවසන්නේ, ඉරාන – ඊශ්‍රායල අරගලය ඍජුව අප රටට බලනොපෑවද එහි අතුරුඵල අපට අත්විඳින්නට සිදුවිය හැකි අවස්ථා වැඩි බවය.

“අද පවතින දෙරටේ යුද්ධය අඩු වෙයිද, වැඩි වෙයිද කියලා හරිහැටි කියන්න අපහසුයි. ඇතැම් වෙලාවට එය බරපතළ වෙලා ලෝක යුද්ධයක් ඇතිවන්න වුණත් පුළුවන්. කොහොම වුණත් අපි ඒ අතුරුඵලවලට මුහුණ දිය යුතුව තිබෙනවා. යුද්ධය තීව්‍ර වෙනවා නම් එයට දින නියම කරන්න බැහැ. එහෙත් එක්වරම ගින්දර මතුවෙන්න ඉඩ තියෙනවා.

ලොව තත්ත්වය ඍජුවම බලපාන්නේ තෙල්වලටයි. අපේ රටේ ඉන්ධන නිපදවන්නේ නැති නිසා වෙනත් රටවලින් තමා ඒවා මිලදී ගන්න සිදුව තියෙන්නෙ. පසුගිය සිකුරාදා සිට මේ වනවිට සියයට 12 කින් පමණ බොරතෙල් මිල වැඩිවෙලා බව පැවසෙනවා. මේක ඉතාම අමාරු අවස්ථාවක්. කෙසේ හෝ ඉන්ධන පාවිච්චිය අවම කරන්න වෙනවා. මේ ඉන්ධන ගැටලුව නිසා සමාජයේ විවිධ ස්ථරවල ගැටලු ඇතිවේවි. මේ තත්ත්වය මත අපට ඉන්ධන පාවිච්චිය අවම කරන්න සිදුවෙනවා. සංචාරකයන් පැමිණීමද බලාපොරොත්තු වූ ප්‍රමාණවලට වඩා අවම වෙන්න පුළුවන්. එසේම අපට ලැබෙන විදේශ ප්‍රේෂණද අඩු වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වන විදේශ විනිමය ආදායම සැලකිය යුතු මට්ටමකින් අඩු වෙනවා. එවැනි තත්ත්වයක් තුළ ඉන්ධන මිල ඉහළ ගියොත් එයට ගෙවීම අපට ගැටලුවක් වීම වැළැක්වීමට අපහසුයි.

අනිත් අතට 2027 වසර මුල වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ අපේ වැඩසටහන සමාප්ත වෙනවා. මූල්‍ය අරමුදල අපට ගෙවිය යුතු ණය වාරික සියල්ල ගෙවා අවසන් වෙනවා. අපට වෙනත් ණය ගත හැකි මාර්ගයක් නැතිවේවි. එපමණක් නොවෙයි, ඒ වනවිට අපට නවතා තිබූ ද්විපාර්ශ්වික හ වාණිජ ණය වාරික ගෙවන්නත් සිදුවෙනවා. ඒ නිසා දුෂ්කර වකවානුවකට තමා මුහුණ දෙන්න සිදුවෙන්නෙ. ඒ අතර ඉන්ධන පිළිබඳ ගැටලුවක් ඇතිවුණොත් විශාල දුෂ්කරතාවකට මුහුණ දෙන්න වෙනවා.

මේ වනතුරුම එවැනි ඉන්ධන අර්බුදයක් ඇතිවුණොත් එයට මුහුණදීමට අපට පෙර සූදානමක් නැහැ. අපට ඉන්ධන ගබඩා කළ හැකි වන්නේ මාසයක් වන කෙටි කාලයකට පමණයි. අනිත් අතට විශාල ලෙස ඉන්ධන ගෙන්වීමට අපට විදේශ විනිමය නැහැ.

යම් විදිහකින් ඊශ්‍රායලය, යුරෝපා රටවල් සහ අමෙරිකාව එකතු වී ඉරානය සමඟ දරුණු යුද්ධයකට ගියොත් අපේ රට වැනි දියුණු වෙමින් පවතින රටවල ආර්ථිකයට එය ඍජුව බලපානවා. ලෝක යුද්ධයකින් අපට ඍජුවම හානි නොවන්න පුළුවන්. ඒත් වක්‍රව සිදුවන පාඩුවලට මුහුණ දිය යුතු වෙනවා. යම් විදිහකින් බොරතෙල් මිල අමෙරිකානු ඩොලර් 100 මට්ටමට ඉහළ ගියොත් අපේ රටේ ඉන්ධන මිල වැඩි කළ යුතු වෙනවා. 100 ට නොගියත් දැන් පවතින මිල සෑහෙන ප්‍රමාණයකින් ඉහළ ගියත් මම හිතන්නේ රටේ ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා. එවිට අපේ රටේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම වළක්වන්න බැහැ. අනිත් අතට යුද්ධයක් ඇතිවුණොත් ඒ නිසා ලොව සෙසු රටවලත් භාණ්ඩ මිල වැඩි විය හැකියි. එවිට අප ආනයනය කරන අත්‍යවශ්‍ය භාණ්ඩවලටද ඉහළ මිලක් ගෙවිය යුතු වෙනවා. අපේ රටේ භාණ්ඩ මිල වැඩිවීමට එය ද හේතුවක් වේවි. අපි අමාරුවෙන් ආර්ථිකය යම් මට්ටමකට පවත්වාගෙන යාමට උත්සාහ කරන විට ඉන්ධන මිල ඉහළ ගියොත් සියල්ල කණපිට හැරෙන බව කිව යුතුයි. දැන්වත් අපි ඒ අනතුර පිළිබඳ සූදානම් විය යුතුයි.”

• යසවර්ධන රුද්රිගු

 

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:05