2025 ජුනි 21 වන සෙනසුරාදා

ඩීල් කතා මැද පුංචි ආණ්ඩු හැදුණු හැටි!

 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:04 128

මෙවර පළාත් පාලන මැතිවරණය 2025 මැයි මස 6 වැනි දින පැවැත්විණි. ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන 341 ක් ඇත. ඉන් මෙවර පළාත් පාලන මැතිවරණය පැවැත්වුණේ, පළාත් පාලන ආයතන 339 ක් සඳහාය. ඒ අනුව, කල්මුණේ මහ නගර සභාව සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව යන ආයතන හැර සෙසු පළාත් පාලන ආයතන සඳහා මෙවර මැතිවරණය පැවැත්විණි.

මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජනබලවේගය පළාත් පාලන ආයතන 339 න් 266 ක ජය අත්පත් කර ගැනීමට සමත් විය. එහෙත් ඉන් පළාත් පාලන ආයතන 186 ක බහුතර බලය ලබා ගැනීමට ඔවුන්ට හැකි වූයේ නැත. එලෙස තනි පක්ෂයකට බහුතරයක් නොලද පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ යම් අර්බුදකාරී තත්ත්වයක් ඇතිවූයේ බොහෝ ආයතනවල ජාතික ජනබලවේගය ලබාගත් සභික සංඛ්‍යාවට වඩා විපක්ෂයේ සියලු‍ පක්ෂ එක්ව ගත් කල ඔවුන් වැඩි සභිකයන් සංඛ්‍යාවක් හිමිකර ගැනීම හේතුවෙනි. තනි පක්ෂයක් ලෙස ජාතික ජනබලවේගය වැඩි සභිකයන් පිරිසක් හිමිකර ගත්තද විපක්ෂයේ සියලු‍ කණ්ඩායම් එක්ව කියා සිටියේ තමන්ට මාලිමාවට වඩා වැඩි සභික පිරිසක් සිටින හෙයින් එම පළාත් පාලන ආයතනවල බලය තමන්ට හිමිවිය යුතු බවටය.

දිවයිනේ විවිධ ප්‍රදේශවල පැවති පළාත් පාලන ආයතනවල නිර්මාණය වූ මෙම ගැටලු‍ව විසඳීමේ වගකීම පැවරුණේ ඒ ඒ පළාත්වල පළාත් පාලන කොමසාරිස්වරුන්ටය. ඒ අනුව රහස් ඡන්දයකින් හෝ විවෘත ඡන්දයකින් එම පත්කිරීම් සිදු කෙරිණි. පළාත් පාලන ආයතන අතුරින් ප්‍රධානතම පළාත් පාලන ආයතනය වන්නේ කොළඹ මහ නගර සභාවය. එහි නගරාධිපති සහ උප නගරාධිපති පත්කර ගැනීමේදී විශාල වියවුලක් නිර්මාණය වූ බවක් දැකිය හැකි විය. නගරාධිපති ධුරය සඳහා ජාතික ජනබලවේගයෙන් ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය නම් කෙරුණු අතර සමගි ජනබලවේගය නම් කළේ මොහොමඩ් රීසා සරූක් මහතාවය. ජාතික ජන බලවේගයට සභිකයන් 48 ක් හිමිවෙද්දී විරුද්ධ පක්ෂ සභිකයන් 69 දෙනකුගෙන් සමන්විත විය. එහිදී පළාත් පාලන කොමසාරිස්වරිය විමසා සිටියේ නගරාධිපති තෝරා ගැනීමේ ඡන්ද විමසීම විවෘතව සිදු කරන්නේ ද රහස් ඡන්දයකින් සිදු කරන්නේ ද යන්නයි. එහිදී සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් විවෘත ඡන්දයක් ඉල්ලා සිටි අතර, ජාතික ජනබලවේගය ඉල්ලා සිටියේ රහස් ඡන්දයකි. මෙහිදී මතු වූයේ අර්බුදකාරී තත්ත්වයකි.

කොමසාරිස්වරිය අනතුරුව ප්‍රකාශ කළේ සියලු‍ කරුණුවලට වඩා පළාත් පාලන මැතිවරණ පනත බලවත් වන හෙයින් පනත අනුව තමන් කටයුතු කරන බවටය. එහිදී සජබ සභිකයකු කියා සිටියේ රහස් ඡන්දයක් පැවැත්වීමට පෙර විවෘත ඡන්දයකින් රහස් ඡන්දයක් පැවැත්විය යුතුද නැතිද යන්න තීන්දු කරන ලෙසටය. ඔවුහු සභිකයන් 60 දෙනකු අත්සන් කරන ලද විවෘත ලේඛනයක් ද කොමසාරිස්වරියට ඉදිරිපත් කළහ. එහිදී කොමසාරිස්වරිය ප්‍රකාශ කළේ තමන් පනත අනුව කටයුතු කරන බවත් මාර්ගෝපදේශ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් තමන් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් ලබාගෙන ඇති බවත්ය. ඔවුන් ඉදිරිපත් කර ඇති ලේඛනය පළාත් පාලන කොමසාරිස්වරිය ඉදිරියේ අත්සන් කරන ලද ලේඛනයක් නොවන හෙයින් බහුතර කැමැත්ත අනුව තමන් ක්‍රියා කරන බැව් ඇය පැවසුවාය. පසුව රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය විය. එහිදී ඡන්ද 61 ක් ලබාගත් ව්‍රායි කැලී බල්තසාර් නගරාධිපති ලෙස පත් වූ අතර මොහොමඩ් රීසා සරූක්ට ඡන්ද 54 ක් හිමි විය.

නගරාධිපති තරගය අවසන් වීමෙන් පසු සමගි ජනබලවේගයේ නගරාධිපති අපේක්ෂක මොහොමඩ් රීසා සරූක් කියා සිටියේ තමන් හා සන්ධානගත වූ සුළු පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් නියෝජනය කරන පිරිස් තමන්ට ඡන්දය ලබා නොදුන් බවයි. ඒ අනුව එම පිරිසේ 7 දෙනෙක් තමන්ට එරෙහිව ඡන්ද ලබා දී තිබූ අතර තම කණ්ඩායමේ කළු බැටළුවන් සිටි බවද  තමන් ඔවුන් විශ්වාස කර තරගයට ඉදිරිපත් වුවද අවසානයේ ඔවුන් එම විශ්වාසය බිඳ දමා ඇති බවද ඔහු සඳහන් කළේය.
සජබ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ නගරාධිපති තේරීමේදී මාර්ගෝපදේශ සංග්‍රහය උල්ලංඝණය කර ඇති බවටය. ඒ සම්බන්ධයෙන් ගත යුතු සියලු‍ පියවර ගැනීමට සමගි ජනබලවේගය කටයුතු කරන බවද ඔහු ප්‍රකාශ කළේය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් චෝදනා කළේ ජාතික ජනබලවේගය ඩීල් දේශපාලනයක නිරතව ඇති බවටය.

“ජනාධිපතිවරයා පෙර දින සභිකයන් ජනාධිපති මන්දිරයට කැඳවූ අවස්ථාවේ ජාතික ජන බලවේගයට තිබුණේ ඡන්ද 55 යි. දිනන්න බැරි නිසා ඔවුන් ඩීල් දාල ඡන්ද ටික ගත්තා. ආණ්ඩුව කිව්වා තමන් කොහොම හරි දිනනවා කියලා. කොහොම හරි කියන්නේ නිකම් නෙවෙයි. මේස යටින් ගනුදෙනු කරලා වෙන්න ඕනෙ දිනුවේ. ජනාධිපතිවරයා මැච් ෆික්සිං කළ බව පැහැදිලියිනෙ.” යනුවෙනි.

පළාත් පාලන ආයතන කිහිපයක සභාපතිවරුන් පත් කිරීමේදී රහස් ඡන්දය පැවැත්වීමට විපක්ෂයේ කණ්ඩායම් විරෝධය පළ කර සිටියහ. මේ හේතුවෙන් සභා තුනක් දින නියමයක් නොමැතිව කල් තැබීමට පළාත් පාලන කොමසාරිස්වරුන්ට සිදු විය. ඒ සීතාවකපුර නගර සභාව, සීතාවක ප්‍රාදේශීය සභාව සහ මාවතගම ප්‍රාදේශීය සභාවය. සීතාවක ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගය රහස් ඡන්දයක් ඉල්ලා සිටි අතර විරුද්ධ පක්ෂ ඉල්ලා සිටියේ විවෘත ඡන්දයකි. කොමසාරිස්වරිය රහස් ඡන්දයක් පැවැත්වීමට තීරණය කළ අතර මෙහිදී ඇතිවූ උණුසුම් තත්ත්වය හේතුවෙන් සමගි ජන බලවේගයේ කණ්ඩායම එම ස්ථානයෙන් නික්ම ගියහ. එම අවස්ථාවේ ඝන පූර්ණයක් නොමැතිවීම හේතුවෙන් සභාව දින නියමයක් නොමැතිව කල් තැබීමට සිදු විය. සීතාවකපුර නගර සභාවේ සහ මාවතගම ප්‍රාදේශීය සභාවේද ඇතිවූයේ එවන් තත්ත්වයකි. කොලොන්නාව නගර සභාවේද ඡන්දය සම්බන්ධයෙන් අර්බුදයක් මතු විය.  එහිදී විපක්ෂයේ එක් මන්ත්‍රීවරයකු ආණ්ඩු පක්ෂයට තම ඡන්දය ප්‍රකාශ කර තිබිණි. කන්දකැටිය ප්‍රාදේශීය සභවේ සභාපති තනතුරට නම් තුනක් යෝජනා විය. එක් නමක් ජාතික ජනබලවේගයෙන් හා නම් දෙකක් සමගි ජනබලවේගයෙනි. එහිදී ජාතික ජනබලවේගයේ සභිකයා තේරී පත් වූ අතර, සමගි ජනබලවේගයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයන් දෙදෙනා අතර ගුටිබැට හුවමාරුවක් ද ඇතිවිය. බොහෝ පළාත් පාලන ආයතනවල සභාපති, උප සභාපති තෝරා ගැනීම සිදුවූයේ රහස් ඡන්ද ක්‍රමය යටතේ වූ අතර, එවැනි ආයතනවල කිසිදු කලබැගෑනියක් ඇති නොවීය. ඇතැම් පළාත් පාලන ආයතනවල තනතුරු හිමිවූයේ කුසපත් ඇදීමෙනි. ඇතැම් පළාත් පාලන ආයතනවල සභාපති ආණ්ඩු පක්ෂයෙන් ද උප සභාපති විපක්ෂයෙන් ද තේරී පත්ව තිබිණි. දේශපාලන විචාරකයන් ප්‍රකාශ කළේ තමන් පරාජය වීම පිළිබඳව ඇතිවූ කෝපයෙන් ඇතැම් පළාත් පාලන ආයතනවල සභිකයන් මෙලෙස හැසිරී ඇති බවයි.

පළාත් පාලන ආයතනවල නිර්මාණය වී ඇති මෙම අර්බුදකාරී තත්ත්වය පිළිබඳව අපි මැතිවරණ නිරීක්ෂකයන්ගෙන් ද විමසා බැලු‍වෙමු. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ මෙවන් අදහසකි.

“මේ සියලු‍ අර්බුද පැන නගින්නේ කරුණු දෙකක් නිසයි. එකක් ශ්‍රී ලංකාවේ දේශපාලන සංස්කෘතියට අවේණික ගැටලු‍. මට පෙනෙන විදියට දැන් අනෙකුත් පක්ෂවලට වඩා ජාතික ජනබලවේගය වෙනස් කියල කිව්වට ඔවුනුත් බලය හමුවේ වෙනත් දේශපාලන පක්ෂ හා සමානයි. දෙවැනි කරුණ දැනට පවතින මැතිවරණ නීති ගොඩක් යාවත්කාලීන වෙලා නැහැ. ඒවා යාවත්කාලීන වී තිබුණා නම් මෙවැනි අර්බුද නිර්මාණය වන්නේ නැහැ.

දැන් නිර්මාණය වී ඇති අර්බුදය නගරාධිපති, උප නගරාධිපති හෝ සභාපති, උප සභාපති තේරීමට අදාළ ඡන්ද ක්‍රමය කුමක්ද යන්න පිළිබඳවයි. එය විවෘත ඡන්දයක්ද රහස් ඡන්දයක්ද කියන එක තමයි මෙම අර්බුදයට හේතුව. මේ සඳහා මූලික වශයෙන් උපයෝගී කර ගන්නා ලේඛන දෙකක් තියෙනවා. පළමුවැන්න පළාත් සභා අමාත්‍යංශය නිකුත් කර ඇති මාර්ගෝපදේශ. දෙවැන්න අංක 262 දරන පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනත. මේ දෙකේම එක් කරුණක් සඳහන් වෙනවා. ඒ තමයි “එක් එක් සභිකයාගේ නම් අඬගසා ඡන්දය විමසීමෙන් අනතුරුව” කියලා. ඒ අනුව එක් එක් සභිකයාගේ නම අඬගසා ඡන්දය විමසිය යුතුයි. විරුද්ධ පක්ෂය මෙය නිර්වචනය කරන්නේ මින් අදහස් වන්නේ විවෘත ඡන්දයක් කියලා.

ඡන්දය විමසීම යන්නට නිර්වචන දෙකක් තිබෙනවා. එකක් අත එසවීම නැතිනම් රහසින් ඡන්දය ප්‍රකාශ කිරීම. පළාත් පාලන කොමසාරිස්ට බලය තියෙනවා එක් එක් සභිකයාගේ නම් අඬගසා ඔවුන්ගේ ඡන්දය ලබාගෙන බහුතරයකගේ මතය අනුව විවෘත හෝ රහස් ඡන්දයක් පැවැත්වීමට. මේ පිළිබඳව විමසා බැලිය යුතු කරුණු දෙකක් තිබෙනවා. එකක් නීතිපතිවරයාගේ අර්ථකථනයක් තිබිය යුතුයි. එසේ නැතිනම් පාර්ලිමේන්තුව මගින් සම්මත කළ පනතක් තිබිය යුතුයි. පළාත් පාලන ආයතනයක සභාපති හෝ නගරාධිපති තේරීම සම්බන්ධයෙන් එවැනි පැහැදිලි කිරීමක් නැහැ. එවැනි අවස්ථාවකදී කොමසාරිස්වරයාට තමන්ගේ අභිමතය පරිදි කටයුතු කළ හැකියි.

කොළඹ නගර සභාව සම්බන්ධයෙන් ඇතිවූ තත්ත්වය තුළ කිසිදු නීති විරෝධී ක්‍රියාවක් ඇතිවූයේ නැහැ. පළාත් පාලන කොමසාරිස්වරිය තම අභිමතය අනුව කටයුතු කළා. එහෙත් සීතාවක ප්‍රාදේශීය සභාවේදී නම් නීති විරෝධී ක්‍රියාවක් සිදුවුණු බවයි මගේ හැඟීම. එහිදී බහුතර පිරිසක් අත ඔසවා ප්‍රකාශ කළා තමන්ට විවෘත ඡන්දයක් අවශ්‍ය බවට. එහෙත් පළාත් පාලන කොමසාරිස්වරිය රහස් ඡන්දයකට ගියා. එයට විරෝධය ප්‍රකාශ කිරීමටයි සභිකයන් 24 දෙනෙක් සභාවෙන් ඉවත් වුණේ. එතැන කිසියම් ගැටලු‍කාරී තත්ත්වයක් පවතිනවා නම් “අඬගසා ඡන්දය විමසිය යුතුයි” කියා වාක්‍යයක් තිබෙනවා. එම ක්‍රියාවලිය සිදුකළ යුතුයි. දැන් තියෙන්නේ විවෘත ඡන්දයක්ද රහස් ඡන්දයක්ද කියන අර්බුදය නිසයි මේ වන විට ගැටලු‍වක් නිර්මාණය වී තිබෙන්නෙ. පැරදුණු අය පළාත් පාලන කොමසාරිස්වරුන්ට නීතිමය පියවර ගන්නා බවට ප්‍රකාශ කරනවා. පරාජය වූ බොහෝ අවස්ථාවලදි දේශපාලකයන් රජයේ නිලධාරීන්ට සහ ආයතනවලට චෝදනා එල්ල කිරීම සුලබ කරුණක්. අපි දුටුවා මුජිබර් රහුමාන් මහතා මුලින් රහස් ඡන්දයක් ඉල්ලා සිටියා. පසුව විවෘත ඡන්දයක් ඉල්ලා සිටියා. එතැනදී ඔවුන්ගේ මතය වෙනස් වී තිබෙනවා. ඔවුන්ටත් මේ නීතිය පිළිබඳ අවබෝධයක් නොතිබෙන්නට ඇති.” යනුවෙන් සඳහන් කළේය.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති තනතුරින් පරාජයට පත් සජබ සභික රිසා සාරුක් පළාත් පාලන කොමසාරිස්වරියට එරෙහිව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කළේ ඇය පක්ෂග්‍රාහී වූ බවට චෝදනා කරමිනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මංජුල ගජනායක මහතා කියා සිටියේ “කොළඹ නගරාධිපති තේරීම සඳහා රහස් ඡන්දයක් ඉල්ලා සිටියේ සමගි ජනබලවේගයේ රෝයි බෝගහවත්ත කියන සභිකයා. එහිදී ඔවුන් සියලු‍ දෙනා රහස් ඡන්දයකට එකඟ වුණා. මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් චෝදනා කළ යුත්තේ කොමසාරිස්වරියට නෙවෙයි ගිවිසුම කැඩීම සම්බන්ධයෙන් රෝයි බෝගහවත්තටයි. කොමසාරිස්වරිය කිසිදු නීති විරෝධී කටයුත්තක් සිදුකර නැහැ කියන එකයි මගේ මතය. විපක්ෂයට කිසිදු නීතිමය පදනමක් නැහැ. පරාජයේ වේදනාවෙන් එවැනි ප්‍රකාශ කරන බවයි මගේ හැඟීම.” යනුවෙනි.

• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 ජුනි 21 වන සෙනසුරාදා, ප.ව. 02:05