2017 ජුලි 01 වන සෙනසුරාදා

බුදු දහමේ මූලධර්ම ගැන කතා කරන්න පොලිස් අවසරය ගන්නලු!

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 505

හෑගොඩ විපස්සි හිමියෝ බුදු දහමට එල්ලවන තර්ජන පිළිබඳ නිරන්තර අවදියෙන් සිටින විද්වත් තෙරනමකි. බුද්ධාගම පිළිබඳ විවිධ පර්යේෂණයන්හි නිරතවන උන්වහන්සේ රත්මලාන ධර්ම පර්යේෂණලයේ අධ්‍යක්ෂධුරය හොබවති. මේ වනවිට විවිධ පාර්ශ්වයන් බුදු දහම විනාශ කිරීමට ඍජුව සහ වක්‍රව කටයුතු කරන අන්දම අපට පේනවා. ඒ සඳහා විවිධ බලවේග රාශියක් රට තුළ ක්‍රියාත්මකයි. මේක සරලව බැලිය යුතු කාරණයක් නොවෙයි. සහජීවනය ලෝකයටම කියාදුන් බුදුදහමට මෙහෙම වෙන්නේ ඇයිද කියලා සොයා බැලීමට රාජ්‍ය මැදිහත්වීමක් අත්‍යවශ්‍යයි.

මේකෙ යටි අරමුණක් තිබෙන බව පේනවා. ජාතික වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද මෙම කුමන්ත්‍රණකාරීන් ක්‍රියාත්මකයි. ථෙරවාද බුදුසමය ගැන ලොකු සංවාදයක් අද දවසේ ගොඩනැංවිය හැක්කේ ශ්‍රී ලංකාව තුළයි. ථෙරීය සම්ප්‍රදාය ලංකාව තුළ සුරක්ෂිත වී පවතිනවා. මෙය ලංකාවෙන් අතුරුදන් කළ යුතු බවට ඉඟියක් මේ කුමන්ත්‍රණකාරීන්ගේ කටයුතුවලින් පේනවා. අමෙරිකාව ලෝකයේ ඉහළම තාක්ෂණයත් තමන් අතට අරගෙන තියෙනවානේ. ඒ වගේ මේ විදිහට ගියොත් තව අවුරුදු 40කින් පමණ ථෙරවාදී බුදුදහමේ නිසි බලධාරියා අමෙරිකාව වීමටත් ඉඩ තිබෙනවා. අපට බුදුදහම දැනගැනීමට ඒ ගොල්ල හොයාගෙන යන්න වෙන තැනට පත්වේවි.

අපි මේවාට හේතු විමසා බලමු. එක් හේතුවක් වන්නේ බුද්ධාගමට උරුමකම් කියන ඉපැරැණි සාධක විනාශ කිරීමයි. උතුරු නැගෙනහිර බෞද්ධ ජනතාව අඩු ප්‍රදේශවල පුරාවිද්‍යා ස්ථාන ඍජු ලෙසම විනාශ කරනවා. ඒ වගේම වෙනත් ප්‍රදේශවල සිද්ධස්ථාන රාශියක් නටබුන් වීමට ඉඩහැර තිබෙනවා. ඒ වගේම ඓතිහාසික ස්ථාන වහනවා. ශිලා ලේඛන කඩා බිඳ දමනවා. මේවායින් මතුපිටින් පෙනෙන දේට වැඩි යමක් තිබෙනවා. ඒවායේ යටි අරමුණ බෞද්ධ අනන්‍යතාව විනාශ කිරීමයි. අවුරුදු 2300ක පමණ වූ බෞද්ධ ඉතිහාසය මෙලෙස ක්‍රමයෙන් විනාශ කරන්නේ ලොකු යටි අරමුණක් ඇතිවයි. බුදු දහම සුරක්ෂිත වූ තරමට අනෙක් ජාතීන්ටත් සාමය හා සහජීවනය සැලසෙන බව රජය තේරුම් ගත යුතුයි.

සමහරවිට බෞද්ධයන් වගේම භික්ෂූන් වහන්සේලාත් මේ විනාශයට දායක වෙනවා. ඒ වගේම අබෞද්ධ පිරිස් ඉන්නවා. පසුගිය කාලයේ බුදු හාමුදුරුවන් ලංකාවේ උපන් බව සඳහන් කර මතවාදයක් ගෙන ගියේ ඒවාගේ පිරිස්ම තමයි. ඒ වගේම ධර්මයට නුසුදුසු අර්ථකථන දක්වමින් පොතපත ලියන අය ඉන්නවා. රාවණ වගේ මිත්‍යා සංකල්ප සත්‍යය විදිහට පවසනවා. නමුත් කවුරුවත් දුටුගැමුණු, පරාක්‍රමබාහු, රුවන්වැලිසෑය, මහා වැව් ගැන කතා කරන්නේ නැහැ. නමුත් රාවණ අඟහරු ලෝකයේ දාගැබ් හදපු බව සඳහන් මිත්‍යා පුවත්පත්වල පළ කරනවා. මේ සෑම දේකම අරමුණ බුදු දහමේ පදනම විනාශ කිරීමයි. කවුරුත් දැනගත යුතුයි, බුදු දහම පැවතුණොත් පමණයි. අනෙක් ආගම්ද රැකෙන්නේ කියලා.

බුදුදහමට අන්‍යාගමික බලපෑම් ලැබෙනවා. නමුත් ඇතැම් බෞද්ධ නොවන පිරිස් අපේ ඉපැරැණි ස්මාරක රැකගැනීමට බොහෝ උනන්දු වෙනවා. නමුත් ඇතැම් අය මේ බෞද්ධ උරුමයන් විනාශ කිරීමට සැරසෙනවා.

බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට රාජ්‍ය මට්ටමින් මැදිහත්වීමට බුද්ධශාසන අමාත්‍යංශයක් තිබෙනවා. නමුත් ඒ අමාත්‍යංශය බුද්ධ ශාසනය හැරෙන්න අනෙක් හැම දෙයක් ගැනම කතා කරන බවයි, අපට නම් පේන්නේ. මනඃකල්පිත දේවල් හදන්න යනවා. ශාක්‍ය ජනපද හදනවා.

2002 බුද්ධශාසන කොමිෂන් සභා ජනාධිපති වාර්තාව නිකුත් වුණා. එහි තිබෙනවා පැහැදිලිව අන්‍යාගමිකයන් බෞද්ධ පුරාවස්තු විනාශ කිරීම පිළිබඳව. 1956 බණ්ඩාරනායක යුගයේත් විශිෂ්ට බුද්ධශාසන කොමිෂන් සභා වාර්තාවක් පිටවුණා. බුදුදහමට එල්ලවන තර්ජනවලට ගතයුතු ක්‍රියාමාර්ග පවා එහි සඳහන් වෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කාලයේ බෞද්ධ විහාර දේවාලගම් ඉඩම්වලට අදාළ ගැටලු පරීක්ෂා කිරීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සකස් වුණා.

මේ ආකාරයට රාජ්‍ය මට්ටමින් වගේම රාජ්‍ය නොවන මට්ටමිනුත් බුද්ධ ශාසනයට වන හානි අධ්‍යයනය කරලා වර්තාවන් නිකුත් කර තිබෙනවා. මේ වාර්තාවලින් රජය පවා පිළිගන්නවා බෞද්ධයන්ට අසාධාරණයක් වෙනවා කියලා. පිළිගත්තට පිළියම් කරන්නේ නැහැ. මේ අසාධාරණය ඇස් පනාපිට පේනවා.

ඇතැම් අන්‍යාගමිකයෝ ඍජුවම තම ආගමික ඉල්ලීම් කරනවා. නමුත් අපි ආගමික ඉල්ලීම් කරන්නේ නැහැ. පුරාවිද්‍යා භූමියක්, පුණ්‍ය භූමියක් විනාශ වනවිට එයට එරෙහිව භික්ෂූන් වහන්සේ කතා කරනවා පමණයි. එලෙස කතා කිරීම ජාතිවාදය, ආගම්වාදය ඇවිස්සීමක් කියලා පැවසීම නොමඟ යාමක්.

ඇතැම් අන්‍යාගමික දේශපාලනඥයන් පවසනාව තමන්ගේ ගම්බිම්වල පුරාණ නෂ්ඨාවශේෂ විහාරවල බුදු පිළිම පිහිටුවීම බියජනක පසුබිමක් ඇති කරනවා කියලා. එය විහිළුවට කාරණයක්. මේ හැම පාලකයෙක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බැඳිලා ඉන්නවා බුද්ධාගම සුරක්ෂිත කරන බවට.

භික්ෂූන් වහන්සේලා ජාතිවාදය පතුරැවන අය නෙවේ. උන්වහන්සේලා බුද්ධාගම ආරක්ෂා කරන අය. දහවල් 11.00ට රාජ්‍ය ආයතනවල බුද්ධ පූජාව තියන්න කියලා අපි ඉල්ලන්නේ නැහැනේ. නමුත් ඇතැම් ආගමික පූජාවන් වෙනස්ම අනන්‍යතාවයක් ගොඩනගාගැනීමට උත්සාහ කරනවා. වෙළෙඳපොළේ භාණ්ඩ හලාල් කර දෙන්න යයි ඉල්ලනවා. එතකොට කතෝලික ආගමත් ඉල්ලන්න පුළුවන් ශුද්ධ ජලයෙන් සෝදා ඇත කියලා සඳහන් භාණ්ඩ ඉල්ලීමට. හින්දු භක්තිකයන්ටත් ඒ වගේ ඉල්ලීම් කරන්න ඉඩ තිබෙනවා. මේක ප්‍රායෝගික නැහැ. පාසල්වල විභාග කාලය සිකුරාදා 11.00 වනවිට අවසන් කරන්න යයි ඉල්ලීමක් තිබෙනවා. ඉතින් බෞද්ධයන්ටත් පුළුවන් ඉල්ලන්න 11.00 වනවිට බුද්ධ පූජාව තැබීමට අවශ්‍ය යයි කියලා. හින්දු, කතෝලික ආගමත් වෙනම ඉල්ලීම් කරන්න පුළුවන්. එවිට කොහොමද රටක් පාලනය කරන්නේ.

පුද්ගල ආගමික සිතුම් පැතුම් මොනවා වුණත් රජයක් ලෙසට පාලකයා ගැටුම්වීමට හේතු අධ්‍යයනයන් කර ඒවා නිරාකරණය කරන්න ඕනෑ. නමුත් කනගාටුව අපේ පාලකයන්ට ඒක නොතේරීමයි. එක එක අය තම ආගමික සිද්ධාන්ත අනුව ඉල්ලීම් කළ විට අනාගතයේ මොනවද වෙන්නේ. භයානක වෙනවා. ගැටුම්කාරී ස්වරෑපයන්වලට ඒ අවස්ථාවේම පිළිතුරු දියයුතු වෙනවා. ඒක රජයේ මූලික වගකීමයි. රාජ්‍ය මාධ්‍යවලින් අවශ්‍ය දැනුවත්වීම් කරනවා නම් සෑහෙන අවබෝධයක් ඇතිවෙනවා. ඔවුන් හික්මෙනවා.

බලයට පත්වන හැම නායකයෙක්ම කරන්නේ චිරාත් කාලයක් පැවතුණු අපේ බෞද්ධ සංස්කෘතිය දියාරු වෙන වැඩයි. සර්වාගමික විසඳුම් කියන්නේ මිරිඟුවක්. ආගම් එකතු වෙන්නෙ නැහැ. බුදුදහම දේවවාදී ආගමක් නෙවෙයි. මේවා ගැන සංවාදයක් ඇතිවිය යුතුයි. සුද්දන්ට යටත්ව සිටි කාලයේ පානදුරාවාදය, බද්දේගමවාදය වාගේ ප්‍රසිද්ධ වාද විවාද ඇතිවුණා. අද ආගමික වාදයක් කරන්න ගියොත් පොලිසියට අරන් ගිහින් කූඩුවට දමාවි. පස්සේ හිරේ දමනවා. අද අපට බුදු දහමේ මූලධර්ම ගැන කතා කරන්න බැහැ. ඒකටත් පොලිසියෙන් අවසර ගන්න වෙලා. මේවා වැටකඩොලු දාලා සීමා කළ විට ගැටුම් ඇතිවෙනවා. බුදු දහමේ කිසිම ගැටුමක් ඇතිවන සංකල්ප නැහැ.

 කුසුම්සිරි
සේයාරුව I සුමුදු හේවාපතිරණ