2025 ජුනි 14 වන සෙනසුරාදා

කම්හල් හාන්සි කළ සීනිවලින් ගහන ගේම්!

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:03 68

“එකෝමත් එක කාලයක බිම්බරක් සෙනග ගැවසුණු චන්ද්‍ර සූර්යයා ඉපදුණු ස්වර්ණ භූමියක් කියලා කටකයිවාරු ගැහුව තැනක කට්ට අව්වේ දහදිය හෙලූ උක් ගොවීන්ගේ වගාබිම්වලින් අක්කර තිස්දාහක් බහුජාතික සමාගම්වලට පවරා දුන්නා. ඒකට විරුද්ධව වෙල්ලස්සේ කියලා පැත්තක මිනිස්සු මොණරාගල කච්චේරිය වට කර තියෙනවා. පස්සෙ කාලෙක ඕම ගිහින් ලංකාවේ එවුන්දැලාට සීනි කවන්න ඒරොප්පෙන් සීනි ගෙනත් ලංකාවේ උක් ගොවීන් හාන්සිම කළා. උන්ටත් උන්ගේ පවුල්වලටත් මෙලෝ බඩකඩිත්තුවක්වත් නැතුව පවුල් පිටින් පණ ගැටගහගන්න සිද්ධ වුණා. ඒකෙන් සෙවනගල කම්හලේ සීනි ටොන් 17,000 ක් ගොඩගැහුණා. පස්සෙ කාලෙක පිටරටින් සීනි ගෙන්වද්දී රටේ බදු ගහලා තියෙනවා. සත විසි ගාණට තිබුණු සීනි බද්ද රුපියල් පනහ දක්වා වැඩි කර එක සමාගමකට සීනි තොගයක් නිදහස් කරල දීලා මේ කිව්ව ස්වර්ණ භූමියේ ලොකුම සීනි බදු වංචාව වුණා කියලා පරසිද්ධ වුණා. වෙල්ලස්සේ උක් ගොවියන්ගේ හුස්ම උඩින් සෙවනගල කියන සීනි කම්හල පණ ඇද ඇද යද්දී විකුණාගන්න බැරිව උක් දඬු කරත්ත කම්හල වටේ පාරේ තැන තැන නවතා දමා ගොවියන්ට හුස්ම අයදින්න වුණා. උක් ගොවියෝ පත්තරවලට ඇවිත් අඳෝනා කියද්දී සමාගම් ලොක්කෝ ෆෙස්බුක් ඇවිත් උත්තර දුන්නාම ඇමැති කෝල් දීලා ගෙදර යවලා. පිටරටවලින් සීනි ගෙන්වපු සමහරු ඒ කාලේ සීනි මිටි පිටින් හංගපු කාලයකුත් තිබිලා තියෙනවා..”

තවත් සියවස් ගණනාවකට එහායින් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය වූ දිනෙක පවුලක ආච්චි අම්මා කෙනකු තම මුනුපුරු මිනිපිරියන්ට රටේ ඉතිහාසය කියා දීමට තම දුරකතනයෙන් අන්තර්ජාලය හරහා දරුවන්ගේ ෆෝන්වලට යැවූ පත්තර කොළයක ඡායාරූපයක එසේ සඳහන් විය.

කොහොමින් කොහොම හරි මේ දවස්වල හතර වටෙන්ම ඇහෙන්නේ පැණි බේරෙන කතාය. ඒ වගේම තවත් ප්‍රශ්නයක් වන්නේ පැලවත්ත සීනි තිත්ත ද පැණිරස ද කියාය. කාලයෙන් කාලයට එන කතාන්දර ගොඩට ලු‍ණු කැටයෙන් පසුව ආපු සීනි කැටය ගම්මිරිස් ඇටයට වඩා සැර විය. ලංකාවේ උක් කර්මාන්තයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාගේ කාලයේ පටන් මෙරට උක් වගාව පැවතිණි. ගොවියන්ගේ උක් අරන් සීනි හදන්න අපේ රටේ කම්හල් අතර පැල්වත්ත සීනි කම්හල සක්‍රීය සහ සුවිශේෂී වෙයි. වර්තමානයේ සීනි අර්බුදය ඇතුළේ එළියට නොපෙනෙන සහ නොදැනෙන රස්නයක් ඇතුළෙන් දැනෙයි.

ආනයනික සීනි කිලෝවක් සඳහා අය කරන බද්ද රුපියල් 30 කින් ඉහළ නැංවීමට මහා භාණ්ඩාගාරයේ සූදානමක් තියෙද්දී ආනයනකරුවන් පිරිසක් මෙට්‍රික් ටොන් 60,000 ක පමණ විශාල සීනි තොගයක් සඟවාගෙන අධික ලාභයක් ලැබීමට කටයුතු කරන බව පිටකොටුව තොග වෙ‍ළෙඳපොළෙන් පසුගියදා අනාවරණය විය. දේශීය සීනි කර්මාන්ත ශාලා දෙක වර්තමානය වනවිට දැඩි මූල්‍ය අර්බුදයක ගිලී සිටින අතර එයට විසඳුමක් ලෙස ආනයනික සීනි කිලෝවක් සඳහා දැනට අය කරන රුපියල් 50 ආනයනික බද්ද රුපියල් 80 දක්වා ඉහළ නැංවීමට මහා භාණ්ඩාගාරයට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ. ආනයන බද්ද කිලෝවට රුපියල් 80 ක් ලෙස ඉහළ නැංවූ පසුව සීනිවල තොග හා සිල්ලර මිල ඊට සාපේක්ෂව ඉහළ යන අතර, අඩු බදු යටතේ ආනයනය කළ සීනි තොගය වැඩි මිලට අලෙවි කිරීමෙන් ආනයනකරුවන්ට විශාල ලාභයක් ලැබිය හැකිය. පැවති ආනයන බද්ද යටතේ ආනයනය කළ සීනි තොගයක් පසුව වැඩි මිලට අලෙවි කිරීමේ අරමුණින් මහා පරිමාණ ආනයනකරුවන් පිරිසක් සීනි තොග සැඟවීමේ සූදානමක් ඇතැයි මාධ්‍ය මගින් අනාවරණය කළේය.

රජය ආනයනික සුදු සීනි සියයට 18 ක බද්ද සහ සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දෙන් නිදහස් කර දේශීයව නිෂ්පාදනය කරන දුඹුරු සීනි සඳහා පමණක් දැරිය නොහැකි වැට් බද්දක් අය කිරීම මෙම සීනි අර්බුදයේ ලොකුම තිත්ත කසාය බව වෘත්තීය සමිති චෝදනා කරයි.

අපේ රටේ වාර්ෂික සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් ලක්ෂ 7 ක් පමණය. මෙරට කර්මාන්ත ශාලා හතරක් මගින් නිෂ්පාදනය කළ හැකි සමස්ත සීනි ප්‍රමාණය මෙට්‍රික් ටොන් පනස් හය දාහකි. රටට අවශ්‍ය ඉතිරි සීනි අවශ්‍යතාව සපුරා ගැනීමට සිදුවන්නේ සීනි ආනයනයෙනි. මෙම මෙට්‍රික් ටොන් 56000 න් පනස්දාහක්ම නිෂ්පාදනය කරනුයේ රජය අනුබද්ධ සෙවනගල පැල්වත්ත සහ ගල්ඔය සමාගම්ය. ඉතිරිය පමණක් පෞද්ගලික අංශය සතු ඇතිමලේ වැවිලි සමාගම හරහා නිෂ්පාදනය කරයි. 2024 වසරේදී මෙරට ආනයනය කර ඇති සීනි තොග ප්‍රමාණය කිලෝ කෝටි 57 කි. 2025 මාස දෙකට පමණක් සීනි කිලෝ කෝටි 14 ක් ආනයනය කර ඇත.

රජයේ සමාගම් පාඩු ලබමින් ඉදිරියට ඇදෙද්දී සීනි තොග සහ එතනෝල් අලෙවි නොවීමෙන් සමාගම් සේවකයන්ගේ පඩි නඩි ගෙවා සමාගම් පවත්වාගෙන යාමේ ගැටලු‍ මතු වී තිබේ.

පැල්වත්ත වෘත්තීය සමිති කේන්ද්‍රයේ ලේකම් ප්‍රේමසිරි දිසානායක මහතා පෙන්වා දෙන්නේ මෙරට දුඹුරු සීනි කිලෝවක් හදන්න රුපියල් 283 ක් වැය වුවද එය රුපියල් 180 කට විකිණීමට සිදුවීමෙන් නිෂ්පාදනය කරන සෑම සීනි කිලෝවකින්ම රුපියල් 100 ක් සමාගම පාඩු ලබන බවයි. එතනෝල් ලීටරයක් හදන්න රුපියල් 510 ක් වැය වෙද්දී එය රුපියල් 500 කට විකුණන්න සිදුවීමෙන් එයිනුත් සමාගමට කිසිදු ලාභයක් නොලැබෙන බවත් හෙතෙම පැවසුවේය. දිසානායක මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම ගැටලු‍ව පැල්වත්තට පමණක් නොව සෙවනගල, හිඟු‍රාණ සහ ඇතිමලේ යන සියලු‍ සමාගම්වලට පොදු ප්‍රශ්නයක් බවයි. උක් ගොවියන් කියන්නේ කාලයක් තිස්සේ තිබුණු ප්‍රශ්නවලට නව ආණ්ඩුවෙන් විසඳුමක් ලැබේවි යැයි තමන් සිතුවත් සිදුවී ඇත්තේ අලු‍ත් වයින් පරණ බෝතලයටම දැමුවාක් මෙන් වැඩක් බවයි. සීනි ප්‍රශ්නයෙන් පසුගිය දා දියවන්නාවත් උණුසුම් වූ අතර එහිදී කර්මාන්ත සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා මෙරට සීනි ගැටලු‍ව සම්බන්ධයෙන් මැතිසබේදී මෙසේ පැවසුවේය.

2025 මාර්තු 3 වැනිදා වනවිට ගල්ඔය වැවිලි පෞද්ගලික සමාගමේ මේ වනවිට සීනි තොග මෙට්‍රික් ටොන් 6000 ක්, එතනෝල් ලීටර ලක්ෂ 20 ක්, සීමාසහිත ලංකා සීනි පෞද්ගලික සමාගමේ මෙට්‍රික් ටොන් 18000 ක් එතනෝල් ලීටර් තුන්ලක්ෂ පනස්දාහක් මේ වනවිට ඉතිරි වී තිබේ.

මේ ආකාරයට සීනි ගැටලු‍ව ඔඩුදුවද්දී අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් කැඳවමින් මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේ, ගොවීන් යැයි කියාගන්නා පිරිසක් පවසන මෙම තත්ත්වය සැබෑ තත්ත්වයක් නොවන බවයි. මෙරට පෝලිම් යුගයක අත්දැකීම් ලබපු අපට සීනි පෝලිම්වල සිටින්නට සිදුවන පරිසරයක් උදා නොවේවා යැයි අපි පතමු.

• සසංක චලන ගිම්හාන