2025 ජුනි 14 වන සෙනසුරාදා

පරවිදූපතේ ඇරඹුණු මුහුදු පතුල ක්ලීන් කිරීම

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:04 35

වෙනදා කිමිදුම්කරුවන් ත්‍රිකුණාමලයේ පරෙවි දූපත මුහුද යටට පිවිසෙන්නේ එහි අලංකාරය නැරඹීමටය. එහෙත් පසුගිය දා කිමිදුම්කරුවන් රාශියක් කිමිදුම් කට්ටලවලින් සැරසී බෑගයකුත් අතේ ඇතිව කොරල්පරවලින් සහ මාළුන්ගෙන් අලංකාර වූ මුහුද යටට පිහිනා ගියේ එහි අලංකාරය දැකගැනීමට නොවේ. මුහුදේ එකතු වී ඇති කැලිකසළ ඉවත් කර මුහුදු පතුල පිරිසිදු කිරීමටයි. එහිදී ඔවුන් පොලිතින්, ප්ලාස්ටික් කොටස්, නයිලෝන් ධීවර දැල් කොටස්, රිජිෆොම් ආදී ද්‍රව්‍ය රාශියක් එකතු කර ගෝනිවලට දමා බෝට්ටුවලින් ගොඩබිමට රැගෙන ගියේ විනාශ කිරීමටය. සාගර ජීවීන් හට සුවපහසු පරිසරයක් සැකසීම මෙන්ම මුහුදේ පිරිසිදුකම ඉහළ නැංවීම මෙහි අපේක්ෂාවයි. දූපතේ සිටි සංචාරකයන් ද ඉතා උනන්දුවෙන් මෙම කටයුත්ත දෙස බලා සිටිනු දැකගත හැකි විය.

ලෝක පරිසර දිනය නිමිත්තෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සම්බන්ධීකරණය කළේ ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය විසිනි. මේ සඳහා රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන කිහිපයක දායකත්වය ලැබිණ. මේ අවස්ථාවට එක්වූ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර සඳහන් කළේ මෙවැනි පරිසරය පිරිසිදු කිරීමේ කටයුතු පරිසර දිනයට පමණක් සීමා නොකොට දිගටම පවත්වාගත යුතු බවත් ඉන් සාගර පරිසරය වඩාත් අලංකාර කිරීමට හේතු වන බවත්ය. පිරිසිදු කිරීම වගේම පිරිසිදුකම රඳවා ගැනීමත් වැදගත් යැයි ඔහු කීවේය.

මෙම වැඩසටහනේදී කොරල්පර පරිසර පද්ධතියට විශාල තර්ජනයක් එල්ල කරන ආක්‍රමණශීලී ක්‍රවුන්-ඔෆ්-තෝර්න්ස් නමින් හඳුන්වන ස්ටාර් ෆිෂ් ඉවත් කිරීම, සාගර ජීවීන්ට අනතුරක් කරන සහ ජෛව විවිධත්වය යථා තත්ත්වයට පත් කිරීමට බාධා කරන මාළු දැල් සහ අනෙකුත් හානිකර සාමුද්‍රික සුන්බුන් ඉවත් කිරීම සිදුවිය.

ඉතා ආකර්ශනීය නොගැඹුරු මුහුදු පතුලකින් යුත් පරෙවි දූපත සමුද්‍ර ජාතික වනෝද්‍යානය, නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයට ඊසාන දෙසින් නිලාවේලි වෙරළේ සිට කිලෝමීටර 1 ක් පමණ දුරින් පිහිටා තිබේ. ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් වාලෙයිඋක්‌කු ග්‍රාමසේවා වසම තුළ මෙම ජාතික උද්‍යානය පිහිටියේය. පරෙවි දූපත සමුද්‍රීය අභය භූමිය මුලින්ම අභය භූමියක් ලෙස නම් කළේ 1973 මැයි මාසයේදීය. පසුව එහි පාරිසරික වැදගත්කම සලකා වර්ෂ 2003 දී ජාතික වනෝද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. එය දූපත් දෙකකින් සමන්විතය. සංචාරකයන්ගේ විශාල ආකර්ශනයට ලක්වූ එම දූපත්වල පිහිටි ගල්පර්වතවල ගල් පරෙවියන් වාසය කරන නිසා පරෙවි දූපත යන නම ලැබී තිබේ. සමුද්‍ර උද්‍යානය ආසන්න වශයෙන් හෙක්ටෙයාර් 471 ක් පුරා පැතිරී ඇති අතර, ගොඩබිම පවතින්නේ හෙක්ටෙයාර් 9 ක් පමණි. විශාල දූපතේ ගල්පරයක් දළ වශයෙන් මීටර් 200 ත් 100 ත් අතර උසකින් සහ මුහුදු මට්ටමේ සිට මීටර් 44.8 ක් දක්වා උසකින් යුක්ත වේ. මෙම දූපත ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයෙන් යුත් සහ පාරිසරික වශයෙන් සංවේදී සමුද්‍ර උද්‍යානවලින් එකක් ලෙස සැලකේ. මෙහි විශාල දූපත ප්‍රදේශයේ නොගැඹුරු මුහුදේ මීටර 200 ක් පමණ දිගින් හා මීටර 100 ක් පමණ පළලින් යුතු කලාපයක් පුරා අලංකාර කොරල්පරයක් පැතිර තිබේ. ශ්‍රී ලංකාවේ වෙනත් ප්‍රදේශයකින් හමු නොවන ආකාරයේ ඉතා දුර්ලභ කොරල් විශේෂ 100 ක් පමණ මින් වාර්තා වේ. මෙහි කොරල් විශේෂ 100 ක්‌ සහ පරාශ්‍රිත මත්ස්‍ය විශේෂ 300 ක්‌ ද දැකිය හැකිය.

පරෙවි දූපත පමණක් නොව ලංකාවේ සමස්ත සාගර පරිසරයම දූෂණය වී ඇති බව පර්‌යේෂණවලින් හෙළිව තිබේ. ජාතික ජලජ සම්පත් පර්‌යේෂණායතනය (නාරා ආයතනය) පවසන්නේ, ශ්‍රී ලංකා මුහුදු තීරය බරපතළ ලෙස දූෂණය වී ඇති අතර, ශ්‍රී ලංකා සාගර පත්ලෙන් 50% කට වැඩි ප්‍රමාණයක කැලිකසළ රැස්වීමෙන් දූෂණයට ලක්ව ඇති බවයි. නාරා ආයතනයේ ගවේෂණයකට අනුව වැඩි වශයෙන් දූෂණයට ලක්ව තිබෙන්නේ බස්නාහිර මුහුදු තීරයයි. එම මුහුදු තීරයෙන් 80% කට වැඩි ප්‍රමාණයක් කැලිකසළ තැන්පත් වීමෙන් දූෂණයට ලක්ව තිබේ. ශ්‍රී ලංකා මුහුදු තීරය දූෂණය වීමටද බලපා ඇති ප්‍රධානම සාධකය වන්නේ ක්ෂුද්‍ර ප්ලාස්ටික්ය. ශ්‍රී ලංකාවේ වයඹ දිග මුහුදු තීරය ක්ෂුද්‍ර ප්ලාස්ටික් හේතුවෙන් දැඩි ලෙස දූෂණය වූ මුහුදු තීරය ලෙස නාරා ගවේෂණයේදී හඳුනාගෙන ඇති අතර, වයඹ මුහුදු තීරයේ ඝන මීටරයට ක්ෂුද්‍ර ප්ලාස්ටික් 0.89 ක් හඳුනාගෙන ඇත. ගිනිකොන මුහුදු තීරයේ එම ප්‍රමාණය ඝන මීටරයට ක්ෂුද්‍ර ප්ලාස්ටික් 0.28 කි. නිරිතදිග මුහුදේ එම ප්‍රමාණය 0.29 ක්ද, දකුණු මුහුදේ 0.27 ක් හා ඊසානදිග මුහුදේ 0.21 ක්ද වශයෙන් ගණනය කර ඇත. සාගරය දූෂණය වීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව වටා සාගරයේ මත්ස්‍ය සම්පත පසුගිය වසර 40 ක කාලසීමාව තුළ ශීඝ්‍රයෙන් අඩු වී තිබෙන බවද මෙම ගවේෂණයේදී අනාවරණය වූ කරුණකි.
පරෙවි දූපත අවට පරිසර පද්ධතියට ඇති ප්‍රධාන අභියෝග ලෙස නීතිවිරෝධී පිළිවෙත් මගින් මසුන් ඇල්ලීම, හානිදායක ලෙස කොරල් අස්වැන්න නෙළීමේ ක්‍රම, අවිධිමත් සංචාරක ව්‍යාපාරය නිසා ඇතිවන කොරල් හානිය ආදිය දැකගත හැකිය. දේශගුණික විපර්යාස හා මුහුදු උෂ්ණත්වය ඉහළ යාම මත ද පරෙවි දූපත අවට කොරල්පරවලට හානි සිදුවේ.

පරෙවි දූපත සංරක්ෂණය කිරීමේ මූලික අදියරක් ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම වැඩසටහන සඳහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA), ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා සංචාරක කාර්යාංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) සහ ශ්‍රී ලංකා කිමිදුම්කරුවන්ගේ සංගමය, ශ්‍රී ලංකා පොලීසිය, වනජීවී දෙපාර්තමේන්තුව, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නිලාවේලි බෝට්ටු සංගමය සහ සර්වෝදය යන ආයතනවලද සහයෝගය ලැබී තිබුණි.

මුහුදු පතුල පිරිසිදු කිරීමේ කාර්යය සිදු කළේ පාරිසරික සහ ආරක්ෂක ප්‍රමිති අනුගමනය කරමින් කොරල්පරවලට හානියක් නොවන අන්දමිනි. ඒ සඳහා පුහුණුව ලත් කිමිදුම්කරුවන්, සමුද්‍ර ජීව විද්‍යාඥයන් සහ ස්වේච්ඡා සේවකයෝ ද එක්ව සිටියහ.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ජී.එම්. හේමන්ත කුමාර යන මහත්වරු සහ නාවික හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු, ප්‍රදේශවාසීහු සහ විදේශ සංචාරකයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ. සාගරයේ පිරිසිදු බව රැකගැනීම සඳහා 1981 අංක 59 දරන සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත අදාළ වේ. නමුත් හොර රහසේ සාගරයට අපද්‍රව්‍ය මුදාහරිමින් දූෂණයට ලක්කිරීම ලංකාවේ බහුලය.

• කුසුම්සිරි විජයවර්ධන