2025 ජුනි 14 වන සෙනසුරාදා

ශ්වසන රෝග, ඩෙංගු, චිකුන් ගුන්යා මදිවාට මී උණත් හිස ඔසොවයි!

 2025 ජුනි 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 18

පවතින වැසි සහිත අහිතකර පාරිසරික තත්ත්වය හේතුවෙන් මේ වන විට විවිධ ශ්වසන රෝග සහ වෛරස් උණ රෝග වැළඳී රෝහල්ගත කරන රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබේ. මේ දිනවල බොහෝ දුරට පැතිර යන රෝග අතරට විවිධ ශ්වසන රෝග, ඩෙංගු, චිකුන් ගුන්යා මැද මී උණත් හිස ඔසවා එමින් තිබේ. ඒ සමඟ නව කොවිඩ් බලපෑම ගැන ද සෞඛ්‍ය අංශයේ අවධානය යොමුව තිබේ.

අලු‍ත්ම සෞඛ්‍ය වාර්තා කියන ආකාරයට බහුල වෛරස් උණ, සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව හෙවත් වාරික ඉන්ෆ්ලු‍වෙන්සාව ඇතුළු හතිය, ඇදුම වැනි ශ්වසන රෝග මෙන්ම ඩෙංගු, චිකුන් ගුන්යා සහ ලෙප්ටෝස්පිරෝසිස් හෙවත් මී උණ රෝගීන්ගේ වැඩිවීමක් දැන් නිරීක්ෂණය වී තිබේ. නිරිතදිග මෝසම හේතුවෙන් මේ රෝගවල ඉහළ යාමක් සිදුවිය හැකි බව ඔවුහු පෙන්වා දෙති.

පසුගිය සහ වත්මන් මාසය තුළ Aedes aegypti නම් මදුරු විශේෂය දෂ්ඨ කිරීමෙන් බෝවන ඩෙංගු රෝගයේ වැඩිවීමක් ජාතික ඩෙංගු මර්දන ඒකකය වාර්තා කර ඇත. මෙම කාලය තුළ මරණ 13 ක් වාර්තා වී තිබුණි. ජාතික ඩෙංගු මර්දන ඒකකය මේ වනවිට ඩෙංගු උණ සඳහා අධි අවදානම් කලාප 38 ක් හඳුනාගෙන තිබේ. වැඩිම සංඛ්‍යාවක් බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වලින් වාර්තා වී ඇත.

එසේම කොළඹ, ගම්පහ සහ මධ්‍යම පළාතේ නුවර, චිකුන් ගුන්යා රෝගයේ ඉහළ පැතිර යාමක්ද පවතින බව වාර්තා වේ. ඩෙංගු මෙන්ම ඊඩීස් මදුරුවන් (Aedes aegypti, Aedes Albopictus නමැති මදුරු විශේෂ) මගින් පැතිරෙන මෙම රෝගයේදී උණ, ශරීර වේදනාව සහ සන්ධි වේදනාව මතුවෙයි. බොහෝ දෙනකු ඉක්මනින් සුවය ලැබුවද, සමහරු දිගුකාලීන සන්ධි වේදනාවෙන් පෙළෙති. ගර්භණී කාන්තාවන්, ළමයින් සහ නිදන්ගත රෝග ඇති අය වැනි කණ්ඩායම් සඳහා අවදානම ඉහළය. ඩෙංගු සහ මෙම රෝගය වෙන්කර හඳුනා ගැනීම සඳහා වෛද්‍ය උපකාර අත්‍යවශ්‍ය වේ. බොහෝ දුරට මේ රෝග දෙකම වැළඳුණු රෝග ලක්ෂණ සම්මිශ්‍රිත අය ද වාර්තා වන අවස්ථා තිබෙන බව කියයි.

නිම්බස් හෙවත් NB.1.8.1 ලෙස හඳුන්වන ආසියාවේ ඉහළ පැතිරීමක්ද දක්වන නව කොවිඩ් ප්‍රභේදයේ බලපෑම ගැන ද දැන් දැඩි අවධානයක් යොමුව ඇත. දැඩි සමාජ කථිකාවකට හේතු වී තිබුණද මේ වනතුරු එම කොවිඩ් ප්‍රභේදය මෙරටින් වාර්තා වී නැති බවත්, එහෙයින් ජනතාව මේ මොහොතේ අනවශ්‍ය භීතිකාවක් ඇතිකරගත යුතු නැති බවත් වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ පෙන්වා දෙයි.

සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ද පෙන්වා දී ඇති පරිදි, දැනට ආසියාවේ සහ ලෝකයේ රටවල් ගණනාවක වාර්තා වන මේ ප්‍රභේදය 2024 සිට වාර්තා වන ප්‍රභේදයේම අනු ප්‍රභේදයක් බවත්, 2024 සිට මෙය ලංකාවේද දක්නට ඇති අතර, 2025 මැයි මාසයේ MRI මගින් පරීක්ෂා කළ නියැදියට අනුව මේ පවතින්නේ තවමත් එම ප්‍රභේදයම බව සනාථ වී ඇති අතර, මෙමගින් වඩා උග්‍ර රෝගී තත්ත්වයක් හෝ සංකූලතා ඇතිවීමක් මෙතෙක් වාර්තා වී නොමැති බවත්, එහෙයින් අනිසි බියක් රෝගය ගැන ඇතිකරගත යුතු නැති බවත් ඔහු පෙන්වා දෙයි. කෙසේ වුවද හුස්ම ගැනීමේ අපහසුතා සමඟ අනෙකුත් කොවිඩ් රෝග ලක්ෂණ පවතී නම් නිසි වෛද්‍ය පරීක්ෂාවක් සඳහා රෝහල්ගත වීම සුදුසු බවද අවදානම් සහිත වයස් කාණ්ඩවල අය මේ අවස්ථාවේ වඩාත් සැලකිලිමත් වීම සුදුසු බවද ඔහු පෙන්වා දෙයි.

කෙසේ වුවද නිම්බස් හෙවත් NB.1.8.1 ලෙස හඳුන්වන ආසියාවේ ඉහළ පැතිරීමක්ද දක්වන නව කොවිඩ්-19 ප්‍රභේදය නිසා උගුරේ ඇතිවන අමාරුව ‘රේසර් තල‘ මගින් කැපුණා බඳු මෙන් දැනෙන බව මේ පිළිබඳව බහුලව ඇති ඉන්දියානු වාර්තා කියයි. NB.1.8.1 හෙවත් Nimbus ලෙස හඳුන්වන නව Covid-19 ප්‍රභේදය, Omicron පවුලෙන් පැවත එන්නක් වන අතර, WHO විසින් අධීක්ෂණය යටතේ පවතින ප්‍රභේදයක් (VUM) ලෙස වර්ගීකරණය කර ඇත. මෙය පැතිරීම අවම කිරීම සඳහා යහපත් ශ්වසන සනීපාරක්ෂා පිළිවෙත් පිළිපැදීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව WHO විසින් පෙන්වා දී තිබේ.

මේ සමඟ මී උණ හෙවත් ලෙප්ටොස්පයිරෝසිස් ගැන දැන් අවධානය ඉහළ ගොස් තිබේ. ලොව පුරා ලෙප්ටොස්පයිරෝසිස් ආසාදන දක්නට ලැබුණද, එය නිවර්තන සහ උප නිවර්තන කලාපවල බහුලව දක්නට ලැබේ. සෑම වසරකම සාමාන්‍යයෙන් මිලියන 1.03 ක ජනතාවක් ආසාදනය වන අතර, ගෝලීය වශයෙන් ලෙප්ටොස්පයිරෝසිස් හේතුවෙන් මරණ 58,900 ක් සිදු වේ. වයස අවුරුදු 20-49 අතර ආර්ථික වශයෙන් ක්‍රියාශීලී තරුණ වැඩිහිටි පිරිමින් අතර ආසාදන හා මරණ අසමාන ලෙස සිදු වේ. මෙය බැක්ටීරියා ආසාදනයක් වන අතර, එය සතුන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වේ. සමේ ඇති විවෘත තැලීම් හෝ කැපුම් ආවරණය නොකිරීමෙන් වැසි සමයේදී මේ රෝගය වැළඳෙයි. ලෙප්ටොස්පයිරෝසිස් යනු වී වගාව, ගව පාලනය සහ ඌරු පාලනය වැනි කෘෂිකර්මාන්තය ආශ්‍රිත වෘත්තීන් මෙන්ම මැණික් කැණීම, අපද්‍රව්‍ය සහ ඇළ මාර්ග වැඩ වැනි වෘත්තීන් හා සම්බන්ධ රෝගයකි. වගුරු බිම්වල සහ ජල මූලාශ්‍රවල විනෝදාත්මක ක්‍රියාකාරකම්වල නියැලී සිටින පුද්ගලයන්ටද මෙම රෝගය වැළඳීමේ ඉහළ අවදානමක් තිබිය හැකිය.

මෙහි රෝග ලක්ෂණ වන්නේ, අධික උණ, හිසරදය, මාංශ පේෂි කැක්කුම, උදර වේදනාව සහ පාචනය තත්ත්වයයි. මේ රෝගයට ප්‍රතිකාර නොකළහොත් මාරාන්තික වීමට හැකියාව ඇත.

මේ සමයේ කැපී පෙනෙන අනෙකුත් රෝග අතර සෙම් රෝග සඳහා හිමිවන්නේ විශේෂ තැනකි. කුඩා දරුවන් සෙම් රෝග සඳහා නිරන්තරයෙන් ගොදුරු වීම දක්නට හැකි තත්ත්වයකි. ගර්භනී මව්වරුන් සහ 65 ට වැඩිමහලු අය ද මේ අතරට එක්වීම තවත් දුක්ඛිත තත්ත්වයකි. සෙම් රෝග අතර සාමාන්‍යයෙන් උණ, හෙම්බිරිස්සාව ලෙස හඳුන්වන ප්‍රතිශ්‍යාව වැඩිපුරම ඇතිවිය හැකි රෝගී තත්ත්වයයි. පීනස් රෝග තත්ත්වය ද වැසි කාලයට වැඩිවීම සුලබය. කැස්ස, ඇදුම වැනි රෝග තත්ත්ව ද වැඩිපුරම දැකිය හැක්කේ වර්ෂා කාලයේදීය. මේ කාලයේ බහුලව පැතිර යන තවත් රෝගී තත්ත්වයක් වන්නේ වෛරස උණ සහ ඉන්ෆ්ලු‍වෙන්සා රෝගයයි. මේ බොහෝ රෝගවල ප්‍රධාන ලක්ෂණ ප්‍රතිශ්‍යා ලක්ෂණමය. මේවා නිසි ලෙස හඳුනාගෙන කලට වේලාවට ප්‍රතිකාර නොගතහොත් නිව්මෝනියා බඳු මාරාන්තික තත්ත්වයකට පෙරැළීමට හැකිය. වෛරස් උණ වසර පුරා බහුලව දක්නට ලැබෙන රෝගයක් වන නමුත්, වැසි සමයේදී වඩාත් කැපී පෙනෙන රෝගයකි. උණ, තෙහෙට්ටුව, කරකැවිල්ල, විඩාව, ඇඟ සීතල වීම, මාංශ පේෂි, ශරීරය සහ සන්ධි වේදනාව වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකිය.

මේ දිනවල බහුල සෙම්ප්‍රතිශ්‍යාව හෙවත් හෙම්බිරිස්සාව යනු වෛරස මගින් බෝවන තවත් කරදරකාරී රෝගයකි. ශ්වසන පද්ධතියේ ඉහළ කොටස ආශ්‍රිත රෝගයක් වන අතර, ප්‍රධාන වශයෙන් නාසයට බලපාන්නක් වේ. කැස්ස, උගුරේ අමාරුව, සොටු දියර ගැලීම, කිවිසුම් යාම සහ දින 7 ත් 10 ත් අතර පවතින උණ ප්‍රධාන වශයෙන් පවතින්නා වූ රෝග ලක්ෂණ වේ. සමහර ලක්ෂණ සති 3 ක් පමණ පැවතීමට ඉඩ ඇත. වර්ග 200 කට අධික වෛරස ගණනාවක් සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවට හේතු වන අතර, ඒ අතුරින් බහුලම වර්ගය ලෙස rhinovirus දැක්විය හැක.

සෙම්ප්‍රතිශ්‍යාව ප්‍රධාන වශයෙන් නාසය, උගුර (ග්‍රසනිකා ප්‍රදාහය), කෝටරක (කෝටරක ප්‍රදාහය) සහ කලාතුරකින් ඇතැම් විට ඇස් (අක්ෂි පටල ප්‍රදාහය හේතුවෙන්) යන ප්‍රදේශවලට බලපාන බව සොයාගෙන ඇත. රෝග ලක්ෂණ බොහෝ විට ඇතිවන්නේ වෛරස මගින් සිදු කරනු ලබන පටක විනාශ කිරීමේ ක්‍රියවලිය නිසා නොව, ආසාදනවලට එරෙහිව ශරීරයේ සිදුවන ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය හේතුවෙනි.
දෑත් සෝදා පිරිසුදුව තබා ගැනීම සහ රෝග ලක්ෂණ පහල වූ විට මුහුණු ආවරණ පැළඳීම මගින් ප්‍රාරම්භක වශයෙන් රෝගය වළක්වා ගත හැක. සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාව ඇතැම් විට නියුමෝනියාව (වෛරස මගින් ඇතිවන නියුමෝනියාව සහ බැක්ටීරියා මගින් ඇතිවන නියුමෝනියාව) දක්වා වර්ධනය විය හැක.

සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකර්මයක් නොමැති වුවත්, ඉන් ඇතිවන රෝග ලක්ෂණ සඳහා ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇත. සෙම්ප්‍රතිශ්‍යාව යනු බෝවන රෝග අතරින් නිතර නිතර ඇතිවන්නා වූ රෝගයකි. දළ වශයෙන් වැඩිහිටි පුද්ගලයෙක් වසරකට 2-3 වතාවක් ද කුඩා දරුවෙක් වසරකට 6-12 වතාවක් ද මෙයට ගොදුරුවීමේ ඉඩක් ඇත. පුරාතන කාලයේ පටන් මෙම ආසාදනයට මිනිසුන් ගොදුරුව ඇත.

ප්‍රතිශ්‍යා තත්ත්වය සුව නොවී, දීර්ඝ කාලයක් පැවතුණහොත් වහා සුදුසුකම්ලත් වෛද්‍යවරයකු වෙත පැමිණීම වඩාත් යෝග්‍යය. විශේෂයෙන්ම තද උණ දිගටම පැවතීම මෙන්ම හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාව, උත්සන්න වන කැස්ස, උගුරේ රුදාව, හන්දිපත් රුදාව, මස් පිඬුවල වෙහෙස ගතිය දිගටම පැවතීමත්, ඇතැම් අවස්ථාවල වමනය ඇතිවීමත් ඉන්ෆ්ලු‍වෙන්සා වෛරසයේ උණ රෝගයේ ලක්ෂණයකි.

මේ රෝග වැළඳී දින කිහිපයක් උණ පවතින විට වෛද්‍ය උපකාර පැතිය යුතුමය. ඒ වඩාත් නිවැරැදිව රෝගය නිශ්චිතව වෙන්කර හඳුනා ගනිමින් සුදුසු ප්‍රතිකාර ඉක්මනින්ම ලබා ගැනීම සඳහාය. නැතහොත් මේ සරල හෙම්බිරිස්සාවක් ඇඟේ පතේ වේදනාවක් ලෙස නොතකා හරින රෝගය ඔබේ ජීවිතයට පවා හානිකර මට්ටමට දරුණු විය හැකිය.

• සුගත් පී. කුලතුංග ආරච්චි