2025 ජුනි 07 වන සෙනසුරාදා

ලකී බාස්කර් වගේද කඩුවෙල බාස්කර්

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:03 208

බාස්කර් යනු බැංකු නිලධාරියෙකි. ඔහුට බැංකුවේ උසස්වීමක් ලැබීමත් එක්ක බැංකුවේ සංවේදී ගනුදෙනුකරුවන් හඳුනාගන්න අවස්ථාව උදා වෙයි. ඒ හඳුනාගැනීමේ අවස්ථාව එක්ක බාස්කර්ට මහා පරිමාණ කොම්පැණියක හිමිකාරිනියක වන හර්ෂා හඳුනාගන්න ලැබෙයි. හර්ෂා තම ආයතනය හරහා බැංකුවකින් මුදල් අරන් කොටස් වෙළෙඳපොළේ තාවකාලිකව ආයෝජනය කර ඒ ලැබෙන මුදල් නැවත බැංකුවක තැන්පත් කිරීම කාලයක සිට කරගෙන එයි. බැංකු දෙක නොදැනුවත්වම සිදුවන හර්ෂාගේ මේ ජිමික් උගුලට බාස්කර් හසුවන්නේ බාස්කර්ගේ පුතාගේ ඉස්කෝලෙ චොක්ලට් සිදුවීමක් පුතා ගෙදර ඇවිත් කී පසුවය. පුතා කළ දේ තාත්තාටත් කිරීමට ඇතිවන ආසාවක් නිසා උදාවන බාස්කර් තම බැංකුවේ ප්‍රධානියාට හොර රහසේ හර්ෂාගේ මේ ගනුදෙනුවේ කොටස්කාරයකු බවට පත් වන්නේ හර්ෂා වෙනුවෙන් බැංකුවෙන් බිංදු ලොකු ගණන්වලින් මුදල් නිදහස් කර දීමෙනි. මේ නිසා හර්ෂාගෙන් බාස්කර්ට ඉල්ලමක් පෑදුණාක් මෙන් මේ උගුලේ දුවන්නේ තමන්ට අත යටින් කොමිෂන් එකක් හිමිවීමත් සමඟය.

මේ අලු‍ත් සෙල්ලමෙන් බාස්කර් දවසකට ලක්ෂ ගණනින් උපයන්නට වගේම ලක්ෂ ගණන්වලින් කළ ව්‍යාපාර කෝටි ගණනින් කරන්නට ඔහුට වැඩි කලක් ගත වන්නේ ද නැත.‍ කෙසේ වෙතත් අවසානයේ තම හාම්පුතා ඉදිරියේ බාස්කර්ට තමන්ගේ හොර හිත දිගහරින්නට සිදුවන අතර, ඉන්පසු දින 10 කට කලින් වසා දැමූ බාස්කර්ගේ ගිණුමෙන් ඔහු චෙක් ලියා සිය වංචා කළ මුදල් පියවනවා සේ රඟපෑමක් කර බොහෝ දෙනාටම හොරෙන් විදෙස්ගත වෙයි. අවසානයේ මෙම මූල්‍ය වංචාවට සම්බන්ධ වූ සියලු‍ම දෙනාට රටේ නීතිය අනුව දැඩි දඬුවම් හිමිවෙයි.

ලකී බාස්කර් යනු මෑතකදී ඉන්දියාව හෙල්ලූ තෙළිඟු‍ චිත්‍රපටයකි. ජීවිතයේ බිංදුවටම වැටී හිටපු සාමාන්‍ය බැංකු සේවකයකු කාටවත්ම හිතාගන්න බැරි මොහොතක බැරි විදිහට ජීවිතයේ උපරිම සැප සොයන්නට දරන වෙහෙස ගැන කියන මේ කතාවෙන් කියූ චිත්‍රපටය වෙන්කි අට්ලූරි විසින් රචනා කර අධ්‍යක්ෂණය කරන ලද නිර්මාණයකි.

මේ කියපු ලකී බාස්කර් මෑතකදී අප මතකයට ගෙන ආවේ කඩුවෙල ප්‍රදේශයේ බැංකුවක වූ සිදුවීමකිනි. රාජ්‍ය බැංකුවක කඩුවෙල ශාඛාවේ අයකැමිවරයකු එම බැංකුවේ තිබූ රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් මෑත කාලයේ සමාජයේ ආන්දෝලනයට තුඩු දුන්නේය. කඩුවෙල රජයේ බැංකුවක රුපියල් කෝටි දහතුනහමාරක මුදලක් මේ බැංකු අයකැමිවරයා විවිධ ගිණුම්වලට බැර කර ඇත්තේ දවස ගාණේ පොලිය ලබාගැනීමේ අරමුණිනි.

දිනක් තරුණියක් සැකකරුට වට්ස්ඇප් හරහා ඇමතුමක් දී කියා ඇත්තේ තමන් තැන්පත් කරන මුදලට දෛනිකව සියයට 10 ක පොලී මුදලක් ලබාගත හැකි බවයි. එය ඇසූ මේ බැංකු අයකැමිවරයා එදාම රුපියල් තිස්දහසක මුදලක් තරුණිය ලබා දුන් ගිණුමකට බැර කර ඇත. ඇය දුන් ගිණුමට මුදල් බැර කර මද වෙලාවකින් රුපියල් තිස්තුන් දහසක මුදලක් ඔහුට හිමි වී තිබිණි. මේ ලැබුණු මුදලින් උදම් වෙමින් පසුදා බැංකු ශාඛාවට පැමිණි අයකැමිවරයා බැංකුවේ තිබූ දහතුන් කෝටි පනස්එක් ලක්ෂයකට වැඩි මුදලක් දුරකතන ඇමතුම් දුන් තරුණිය දුන් ගිණුම්වලට බැර කරන්නට දෙවරක් නොසිතුවේය. ඒ ගිණුම් අංක අතර රාජ්‍ය බැංකු ගිණුම් සහ පෞද්ගලික බැංකු ගිණුම් ද තිබී ඇති අතර, මොහු රුපියල් ලක්ෂ තිහ හතළිහ පනහ ආදී වශයෙන් විවිධ ප්‍රමාණයෙන් ගිණුම්වලට බැර කර ඇත.

මොහුට මේ තරම් බලයක් ලැබුණේ කෙසේදැයි සොයා බැලීමේදී අනාවරණය වූයේ බැංකුවේ ප්‍රධාන අයකැමිවරයා මොහු බවත්, මොහුගේ රාජකාරිමය බලය භාවිත කරමින් මෙම මුදල් ගනුදෙනුව ඔහු ඉතාම සූක්ෂමව සිදුකර ඇති බවත්ය. ඒ වගේම බැංකුවේ ගිණුමෙන් කෝටි 8 කට වැඩි මුදලක් සැකකරුගේ පෞද්ගලික බැංකු ගිණුමටද දමාගෙන ඇති බව කියන මොහු ජංගම දුරකතන මෘදුකාංග ඔස්සේ එම මුදලද නොයෙක් ගිණුම්වලට බැර කර ඇතැයි පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් බැංකු සේවකයා අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 30 හැවිරිදි අයකු වන අතර, ඔහු එම බැංකුවේ වසර දහයකට වැඩි කාලයක් තිස්සේ සේවය කරමින් සිටි අයෙකි.

මෙම සිද්ධිය වූ දිනය අවසානයේ බැංකුවේ මුදල් තුලනය කිරීමට යාමේදී විශාල හිඟ මුදලක් පවතින බවට සිදුවූ අනාවරණය මත බැංකු ශාඛාවේ කළමනාකරු ගොස් තිබුණේ කඩුවෙල පොලිසියට පැමිණිල්ලක් කිරීමටය. පැමිණිල්ල අනුව විමර්ශනය කළ පොලිසිය මෙම බැංකු අයකැමිවරයා අත්අඩංගුවට ගෙන තිබුණේ ඒ අනුවය. සැකකාර අයකැමිවරයා අත්අඩංගුවට ගෙන කළ පරීක්ෂාවේදී ඔහු සන්තකයේ විවිධ ගිණුම් සඳහා බැර කරන ලද ලදුපත් 15 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. කඩුවෙල පොලිසියේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක කාන් වීරසිංහ මහතා ඇතුළු නිලධාරීන් තවදුරටත් සිය උකුසු ඇස ක්‍රියාත්මක කරමින් විමර්ශන සිදුකිරීමේදී අනාවරණය කර ගැනීමට හැකි වූයේ මුදල් බැර කර තිබූ එක් ගිණුමක හිමිකාරියක්ද සිටින බවයි. ඒ අනුව29 හැවිරිදි තරුණියක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම තරුණියට අයත් බව කියන බැංකු ගිණුමකට රුපියල් ලක්ෂ පනහකට ආසන්න මුදලක් සැකකාර අයකැමිවරයා ගිණුම්ගත කර ඇති අතර, පසුව සැකකාරිය වෙනත් ගිණුමකට අදාළ මුදල බැර කර ඇති බවත් අනාවරණය විය. මෙකී ක්‍රියාවලිය වෙනුවෙන් මෙම තරුණියට යම් මුදලක් ලැබී ඇති බවටත් විමර්ශන නිලධාරීහු සිය විමර්ශන තොරතුරු ඉදිරිපත් කරමින් අධිකරණයේදී කරුණු දැක්වූහ. කෙ‍සේ වෙතත් මේ සම්බන්ධයෙන් රාජ්‍ය බැංකුවේ අයකැමිවරයා සහ සැකකාර තරුණිය මෙම මස 13 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නියෝග කළේය.

මෑතකදී බදුල්ල නගරයේ පිහිටි රජයේ බැංකුවක උගස් කර ඇති රන් භාණ්ඩ කිහිපයක් සින්නවීමට යන බව පවසා එය බේරාගෙන මූල්‍ය ආයතනයේ තැන්පත් කරන බව කියමින් ආයතනයකින් ලක්ෂ 22 කට වැඩි මුදලක් ලබාගෙන පලායාමේ සිදුවීමක් අසන්නට ලැබිණි. මේ ආකාරයට මෙම සැකකරුවන් රට පුරා විවිධ මූල්‍ය ආයතනවලින් මුදල් සොරාගෙන ඇතැයිද අනාවරණය විය. පසුගිය කාලය පුරාම මෙවැනි ආකාරයට මූල්‍ය වංචා රට පුරා අසන්නට දකින්නට ලැබිණි. මූල්‍ය විනය සම්බන්ධයෙන් ප්‍රමිතිගත මූල්‍ය ආයතනවල මේ ආකාරයට විනිවිදභාවයකින් තොරව මුදල් ගනුදෙනු සිදු කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් වගකීම්සහගත බලධාරීන් සොයා බැලීම අත්‍යවශ්‍යය.

• සසංක චලන ගිම්හාන