2025 ජුනි 07 වන සෙනසුරාදා

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එකතු වූ අලු‍ත්ම ගුවන් යානය

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:04 55

පසුගියදා බස්නාහිර මුහුදු තීරයේ ඉහළ අහසේ ගමන් කළ අහස් යානය බලාගන්නට බොහෝ පිරිසක් රැස්ව සිටියහ. ඒ පිරිස අතරින් බොහෝ දෙනකු තම ජංගම දුරකථනයෙන් මෙම අහස් යානා ඡායාරූපගත කරගන්නට අමතක කළේ ද නැත. එලෙස ඉහළ අහසේ අපූරුවට දිස් වූයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට වසර හතකට පසුව ලබාගත් wide-body වර්ගයේ ගුවන් යානයයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා අලු‍තෙන් ලබාගත් Airbus A330-200 wide-body ගුවන් යානය ජූනි මස 04 වැනිදා උදෑසන මෙරටට ළඟා වූයේ ප්‍රංශයේ පැරිස් නුවර සිටය.

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළට ගොඩබැස්සවීමට පෙර කොළඹ හා කටුනායක ප්‍රදේශ හරහා අඩි 1500 ක පමණ ඉහළින් පියාසර කිරීම හේතුවෙන් ඉතා ආසන්නව ගමන්ගත් 4R-ALT ලියාපදිංචි අංක දරන මෙම ගුවන් යානය දැක බලා ගැනීමට බොහෝ පිරිසකට හැකියාව ලැබුණි. ගුවන් යානය ශ්‍රී ලංකන් සමාගමේ සේවයට යොදා ගැනීමට පෙර වෙනත් ගුවන් සමාගම් දෙකක ගුවන් ගමන් සඳහා යොදාගෙන ඇතැයි වාර්තා විය. ඒ අනුව මීට පෙර මෙම ගුවන් යානය ඉන්දුනීසියාවේ සහ දකුණු කොරියාවේ ගුවන් සමාගම් දෙකකින් සේවයට එක් කරගෙන ඇත.

“මෙය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් මෙන්ම ගුවන් යානා එකතුව සම්බන්ධයෙන් දීර්ඝ කාලීන ක්‍රමෝපායෙහි නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරනවා. මෙමගින් අපගේ සේවයේ ක්‍රමයෙන් වර්ධනය වන ඉල්ලු‍ම සපුරාලීමට මෙන්ම සංචාරක කර්මාන්තය ජාතික මට්ටමේ ඉලක්ක කරා ළඟා කර ගැනීමට වැඩි දායකත්වයක් ලබා දීමට අපිට හැකි වේවි. ශ්‍රී ලංකාව ඉහළම තලයේ සංචාරක ගමනාන්තයක් ලෙස ජනප්‍රිය වෙමින් පවතින මේ මොහොතේ, ජාත්‍යන්තර සංචාරකයන් ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධ කිරීම සඳහා මෙම ගුවන් යානය මගින් කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුවේවි.”‍ යැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති සරත් ගනේගොඩ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක්වූ මෙම ගුවන් යානය නිෂ්පාදනය කර ඇත්තේ, 2011 වසරේදීය. මෙය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වාණිජ ගුවන් සේවා ව්‍යාපෘතිය වැඩිදියුණු කිරීම සඳහා ගනු ලැබූ ඉතා වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකිය. මෙම ගුවන් යානයේ ඝනත්වය  සලකා බැලීමේදී, මෙහි දිග අඩි 193 කි. පියාපත් විහිදීම අඩි 198 කි. ආසන සංඛ්‍යාව ලෙස Economy class ආසන 242 ක් ඇති අතර, Business class ආසන 18 කින් සමන්විත වේ. ඉන්ධන කාර්යක්ෂමතාවය සැලකීමේදී නවීන තාක්ෂණයෙන් යුතු වන අතර, සාපේක්ෂව අඩු ඉන්ධන ප්‍රමාණයක් වැය වේ. මෙය කෙටි සහ දුර ගමන් සඳහා ඉතා උචිත නවීන පහසුකම්වලින් සැදුම්ලත් ගුවන් යානයකි. පසුගියදා කොළඹ කටුනායක ගුවන් තොටුපොළට ගොඩබැස්වූ මෙම A330-200 Wide-body ගුවන් යානය පිළිගනු ලැබුවේ water salute නම් ගෞරවාන්විත චාරිත්‍රානුකූල ක්‍රමයක් යටතේය. මෙය ගුවන් යානයකට ලබා දෙන උපරිම ගෞරවාන්විත පිළිගැනීමකි. ගුවන් තොටුපොළේ ගිනි නිවීමේ රථ දෙකක ආධාරයෙන් දෙපස සිට ජලයෙන් වළාකුළු ආකාරයට උසට වාෂ්ප හෙළා යානයට ජල ආච් එකක් (arch of water) යොදවා තිබිණි. එය යානයක් සඳහා නව ආරම්භයක්, ගෞරවයක් හෝ විශේෂ අවස්ථාවක් යටතේ සිදු කරනු ලබන අපූරු පිළිගැනීමකි.

මෙම water salute නම් ගෞරවනීය පිළිගැනීමෙන් පසුව ගුවන් යානය තුළදී සියලු‍ ආගම්වලට අනුව ආශිර්වාදය ලබා ගැනීමට ද අමතක කර නොතිබිණි. මේ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරීන්, ගුවන් සේවකයන් මෙන්ම ගුවන් තොටුපළ නිලධාරීහු ද සහභාගි වූහ.

ගුවන් සමාගම විසින් මිල දී ගන්නා ලද මෙම ගුවන් යානය තාක්ෂණය අතින් ඉදිරියෙන්ම පසුවෙයි. සැටලයිට්, කමියුකේෂන්, කාලගුණ දත්ත ලබා දෙන රේඩාර් ඇතුළු සියලු‍ම සංඥා පද්ධති ඉතා හොඳ තත්ත්වයේ පවතී. නැවත ඉන්ධන සැපයීමකින් තොරව මෙයට එකදිගට කිලෝමීටර් 8000 කට වැඩි දුරක් පියාසර කිරීමේ හැකියාවක් පවතී. එමෙන්ම මේ වර්ගයේ ගුවන් යානා පැදවීමේ හැකියාව ඇති නියමුවන් මෙරට සිටීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් ද ගැටලුවක් නැත.

මේ වන විට අලු‍තින් එක්වූ ගුවන් යානයත් සමඟ ශ්‍රී ලංකන් ගුවන් සේවය සතුව wide-body ගුවන් යානා 10 ක් පවතින අතර, Narrow-body ගුවන් යානා 13 ක්ද පවතී.

“මෙය අපගේ ගුවන් යානා එකතුව ශක්තිමත් කිරීමේ උත්සාහයක එක් පියවරක්. ඉදිරියේදී තව තවත් wide-body ගුවන් යානා අපගේ ගුවන් යානා එකතුවට එක් කිරීමට නියමිතයි. මෙම ගුවන් යානයේ මගී ආසන සියල්ලටම රැහැන් රහිත විනෝදාස්වාදය පහසුකම් සමඟ USB Charging ports ලබා දී තියෙනවා. මෙය මගීන්ට වඩා පහසුකම් ගෙන දෙන්නක් වේවි. Rolls-Royce Trent 700 එන්ජින් දෙකකින් මෙය බලගැන්වෙනවා. මෙමගින් දිගු දුර ගමන් සහ කෙටි දුර ගමන් යන දෙවර්ගයටම අයත් ගුවන් ගමන්වල යෙදීමට අපි බලාපොරොත්තු වෙනවා.”‍ යැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන තාක්ෂණ නිලධාරී කපිතාන් පැට්‍රික් ප්‍රනාන්දු මහතා පැවසීය.

• දිශානි ජයමාලි කරුණාරත්න