2025 ජුනි 07 වන සෙනසුරාදා

මගේ වැඩ තහනම් කරලා වැරැද්ද දන්වලා නෑ - රවි කුමුදේශ්

 2025 ජුනි 07 වන සෙනසුරාදා, ප.ව. 02:05 398

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතාගේ වැඩ තහනම් කිරීමට පසුගියදා පියවර ගෙන තිබිණි. පසුගිය සමයේ පරිපූරක වෛද්‍ය සේවයේ විවිධ ගැටලු‍ සම්බන්ධයෙන් එම බලමණ්ඩලය විවිධ උද්ඝෝෂණ සිදුකළ අතර, මෙම වැඩ තහනමට ආසන්තම හේතුව පසුගිය දිනවල ගන්නා ලද වෘත්තීය ක්‍රියාමාර්ග බවට වාර්තා වේ.

පරිපූරක වෛද්‍ය සේවාවේ පැන නැගී ඇති ගැටලු‍ විසඳා ගැනීමට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමඟ අවස්ථා කිහිපයකදී සාකච්ඡා සිදුකළ ද ඒ සියල්ලක්ම අසාර්ථක වූ බව ප්‍රකාශ කරමින් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පසුගිය 27 වැනිදා වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹිණි. රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් උපාධි හදාරන ලද සිසුන් සෞඛ්‍ය වෘත්තීන් සඳහා බඳවා නොගැනීම, පවතින පුරප්පාඩු සඳහා විසඳුම් ලබා නොදීම ඇතුළු කරුණු රැසක් මුල්කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එළැඹීමට ඔවුන් තීරණය කර තිබිණි. එම වෘත්තීය ක්‍රියාමාර්ගය එක් දිනක් පමණක් පැවැති අතර, පසුව ඔවුහු එම වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හැර දැමීමට පියවර ගත්හ.

රවී කුමුදේශ් මහතාගේ වැඩ තහනම ක්‍රියාත්මක කෙරුණේ ඒ අතරය. සිය වැඩ තහනමට එරෙහිව නීති උපදෙස් ලබා ගනිමින් ක්‍රියා කිරීමට කටයුතු කරන බව සඳහන් කළ ඔහු, “ආයතන සංග්‍රහයේ වගන්ති විවිධාකාරයෙන් පටලවමින් ඔවුන් මගේ වැඩ තහනම් කළ බව දැනුම් දී තිබෙනවා. නමුත් මේ සියල්ලට හේතුව කට වැසීම සහ මර්දනය. රජයේ වැරදි පෙන්වා දීම, අරගල කිරීම මීට හේතු වී තිබෙනවා. අපි වෘත්තීය සමිති ලෙසත්, පුරවැසියන් ලෙසටත් පැවැති සෑම රජයකටම එරෙහිව කටයුතු කළා. මගේ රාජකාරි තහනම සම්බන්ධයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරයක් විදිහටත් යම් ඉදිරි පියවරක් ගැනීමේ සූදානමක් තිබෙනවා. සම සෞඛ්‍ය නිලධාරීන් බඳවා ගැනීම සම්බන්ධ සටන අපි අත්හරින්නේ නැහැ. එය කොහොම හරි ජයග්‍රහණය කරනවා. ආණ්ඩුව මර්දනකාරී ක්‍රියාවලියක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. මම වසර 24 ක් පමණ වෘත්තීය සමිති ව්‍යාපාරයේ කටයුතු කර තිබෙනවා. සෞඛ්‍ය සේවය බාරව පැමිණි සෑම ඇමැතිවරයෙක් සමඟම අප සටන් කර තිබෙනවා. ඒ වගේම අවශ්‍ය අවස්ථාවලදී අප ඔවුන් සමඟ සහයෝගයෙන් වැඩ කර තිබෙනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

මෙම වැඩ තහනම් කිරීමේ ලිපියට අත්සන් තබා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා නොව අතිරේක ලේකම්වරයෙකි. එහිදී සෞඛ්‍ය අමාත්‍යංශය ලේකම්වරයා නොව වෙනත් නිලධාරියෙක් බිල්ලට දී ඇතැයි ඔහු දේශයට සඳහන් කළේය. “කෙහෙලිය රඹුක්වැල්ල ඇමැතිවරයාව හිරේ යවන තැනට වැඩ කෙරුවේ අපියි. අපි ඔහුට එරෙහිව විවිධ අවස්ථාවල කටයුතු කළත් අමාත්‍යංශය මෙවැනි ක්‍රියාමාර්ග ගත්තේ නැහැ. කෙහෙලිය රඹුක්වැල්ල ඇමැතිවරයාගේ ඉමියුනොග්ලොබියුලින් වංචාව හෙළිදරව් කළ අවස්ථාවේ ඔහු සෞඛ්‍ය ලේකම්වරයාට මගේ වැඩ තහනම් කරන ලෙසට කියා තිබෙනවා. එහෙත් සෞඛ්‍ය ලේකම්වරයා එම ලිපියට අත්සන යෙදුවේ නැහැ. ඔහු වටහා ගත්තා එසේ කිරීම සුදුසු නොවන බවට. එහෙත් වත්මන් ලේකම්වරයා මේ කිසිවකට මැදිහත් වෙන්නේ නැහැ. අවස්ථා කිහිපයකදීම මට විමර්ශනවලට අනුව දඬුවම් කිරීමේ අවශ්‍යතාව ඔවුනට තිබුණා. මෙවර ඇමැතිවරයා හෝ, ලේකම්වරයා හෝ වෙනත් අයෙක් හෝ මේ සම්බන්ධයෙන් ටිකක් වැඩිපුර හිතලා මගේ වැඩ තහනම් කර තිබෙනවා.” යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය.

“සාමාන්‍යයෙන් කෙනකුගේ වැඩ තහනම් කිරීම සඳහා මොවුන් සොයා බලන්නේ කලින් පැවති විමර්ශන. කිසියම් පුද්ගලයකුගේ වැඩ තහනම් කිරීමට අවශ්‍ය නම් ඔවුන් විමර්ශන අංශයට කියනවා, ඔහුට ඇති විමර්ශන ලබා දෙන ලෙසට. ඒ අතරින් කුමක් හෝ විමර්ශනයක් සම්බන්ධයෙන් එම පුද්ගලයාට චෝදනාවක් දාල වැඩ තහනම් කරනවා. මගේ වැඩ තහනම් කළාට මා කළ වැරැද්ද කුමක්දැයි දන්වලා නැහැ. මෙවැනි පහසුවෙන් විසඳිය හැකි කරුණක් සම්බන්ධයෙන් මෙවැනි තීරණයක් කිසිදු ආණ්ඩුවකින් මීට පෙර අරන් නැහැ.

සෞඛ්‍ය අමාත්‍යංශයේ විමර්ශන අංශය වැඩ කරන්නේ ඇමැතිවරුන්ට සහ දේශපාලන පක්ෂවලට අවශ්‍ය විදිහටයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ විවිධ කරුණු සම්බන්ධයෙන් මම විවිධ අවස්ථාවල කතා කළා. ඒ සම්බන්ධයෙන් මට විමර්ශන ගණනාවක් තිබෙනවා. හිටපු ඇමැතිවරුන්ට විරුද්ධව අපි කළ ප්‍රකාශ සම්බන්ධයෙන් තමයි එම විමර්ශන සිදු කරන්නෙ. උදාහරණයක් ලෙස කොවිඩ් වසංගත කාලේ මම චෝදනාවක් කළා, මුල්ලේරියාවේ කොවිඩ් රසායනාගාරයේ සිදු වූ මිලියන 250 ක අක්‍රමිකතාවක් පිළිබඳව. මිලියන 250 ක් වැය කළත් එය හැදුවේ රිජිෆෝම් යොදාගෙන. විමර්ශන අංශය මට කළ චෝදනාව වූයේ එම තොරතුරු මා විසින් මාධ්‍යයට ලබා දුන් බවටයි. එදා මම කළ චෝදනාව සත්‍යයක් කරමින් මේ වන විට එම රසායනාගාරය බිමට සමතලා වෙලා. ඒක ගැන විමර්ශන අංශය හොයන්නේ නැහැ. මම පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන්න ගිය අවස්ථාවේ අමාත්‍යංශයෙන් විමසා සිටියා මගේ මාණ්ඩලික සේවා තත්ත්වය පැහැදිලි නොමැති හෙයින් මා තරග කළ යුත්තේ කෙසේදැයි යන්න පිළිබඳව. එහිදී අමාත්‍යංශය ලබා දුන් උපදෙස් අනුව මම කටයුතු කළා. පසුව ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කර එහි ප්‍රතිඵලය කුමක්දැයි නොකියා වැඩ තහනම් කළා කියල කියනවා. මගේ වැඩ තහනම් කළේ කුමන හේතුවක් නිසා දැයි මා දන්නේ නැහැ. ඔවුන්ට අවශ්‍ය මගේ කට වහන එක.

එමෙන්ම සම සෞඛ්‍ය සේවයට නිලධාරීන් බඳවා ගැනීම සම්බන්ධයෙන් විශාල අරගලයක් තිබෙනවා. එම අරගලයට නායකත්වය දීම සහ ආණ්ඩුව විවේචනය කිරීම නැවැත්වීමේ උවමනාවකුත් ඔවුන්ට තිබෙනවා. ආණ්ඩුවට අවශ්‍ය වී තිබෙනවා දැනට ඇති නිදහස් වෘත්තීය සමිති ඉවත් කර ඔවුන්ගේ වෘත්තීය සමිති පමණක් තබා ගැනීමට. එම වෘත්තීය සමිති බලවත් කිරීමට නම් අප වැනි වෘත්තීය සමිති නායකයන් ඉවත් කළ යුතුයි. වෙනත් ක්ෂේත්‍රවල එවැනි දෑ සිදු වුණා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවම එය කරගත නොහැකි වී තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති උඩට ගැනීමට සහ ආණ්ඩුව සමඟ එකඟ නොවන වෘත්තීය සමිති මර්දනය කිරීමයි. ආණ්ඩුවට අපව මර්දනය කරන්න ලැබෙන්නේ නැහැ. වැඩ තහනම් කිරීමට එරෙහිව මම නීත්‍යානුකූල පියවර ගැනීමට කටයුතු කරනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා