වසර හයක් පුරා ඇදී ගිය නඩුවක තීන්දුව පසුගිය බ්‍රහස්පතින්දා බස්නාහිර පළාත්බද මහාධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. 2015 ජනාධිපතිවරණයට සමගාමීව රට පුරා ක්‍රීඩා සංගම් වෙනුවෙන් බෙදාහැරීම සඳහා රාජපක්ෂ ආණ්ඩුව විසින් කැරම් බෝඩ් 14,000 ක්, සහ දාම් බෝඩ් 11,000 ක් ආනයනය කිරීම හරහා රජයට රුපියල් මිලියන 53 ක පාඩුවක් සිදුකිරීමට අදාළව මෙම චෝදනාව එල්ල වී තිබුණි. මේ කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ගෙන්වීමට අදාළව සිදුවූ දූෂණයට චෝදනා එල්ල වුණේ එවකට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ එවකට සතොස සභාපති (රනිල් වික්‍රමසිංහ රජයේ වෙළෙඳ කටයුතු අමාත්‍ය) නලින් ප්‍රනාන්දු යන දෙදෙනාටය.
මේ දූෂණය සම්බන්ධයෙන් පැමිණිල්ල එවක ජවිපෙ වෘත්‍තීය සමිති නායකයකු වන වසන්ත සමරසිංහ විසින් ගොනු කළ අතර, මේ සඳහා අවශ්‍ය තොරතුරු සහ සාක්ෂි සොයා දී තිබුණේ රාජ්‍ය සේවයේ අවංක මෙන්ම තම රාජකාරිය නිසි ලෙස ඉටුකළ රාජ්‍ය නිලධාරියකු වූ ලලිත් අඹන්වෙල යන අයයි. කෙසේ වෙතත් මෙම පැමිණිල්ලට අදාළ පරීක්ෂණ කටයුතු මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් ආරම්භ කළ අතර, එහිදී චෝදනාවට ලක්වූවන් එක් අවස්ථාවකදී අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළද, එය දේශපාලන බලපෑම් මත සිදු නොවුණු බව නොරහසකි.
එකල දේශපාලන පෙරළියත් සමඟ අවුරුදු ගණනින් බොහෝ නඩු කල් ගියේය. ඇතැම් නඩු වසා දමන බවට තීන්දු කෙරිණි. බොහෝ නඩුවලට නීතිපතිවරයාගේ උපදෙස් ලැබී තිබුණේ නැත. මේ නිසා ඇතැම් නඩු දියාරු වී ගියේය. නඩුව කැඳවන විට ඇතැම් අවස්ථාවල විමර්ශන අවසන් වී තිබුණේ නැත. තවත් අවස්ථාවල එවකට සිටි නීතිපතිවරයා උපදෙස් ලබා දී තිබුණේ නැත. මේ නිසා නඩු දියවී යන හැටි ඇස් පනාපිට දැකගත හැකි විය. අවස්ථා කිහිපයකදී මේ නඩුවටද ඒ සෙතේම සිදුවිය.
එලෙස වසර පහක් පුරා ඇදී ගිය නඩුවේ තීන්දුව ලබා දීමට නියමිත වූයේ 2024 ජූලි 09 දාය. එහෙත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම තීන්දුව ජූලි 11 දාට කල් තැබූහ. ඒ නඩුව විත්තිවාචික කැඳවනවාද, එසේ නොමැති නම් නොකැඳවා නඩුව අවසන් කරනවාද යන තීන්දුව ලබා දීමටයි. ඒ අනුව නඩුව නැවත කැඳවූයේ ජූලි 11 දාය. එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කළේ, මෙම නඩුව විත්තිවාචික කැඳවීමටය. ඒ සඳහා අගෝස්තු 23 දාට දින නියම කෙරිණි.
ඒ අනුව නඩුව නැවතත් ආරම්භ වුණු අතර, එහිදී විත්තිවාචික කැඳවා කරුණු විමසීමත් සමඟ නඩුවේ තීන්දුව පසුගිය බ්‍රහස්පතින්දාට (29) ලබා දීමට නියමිත විය. ඒ අනුව කැරම් බෝඩ් 14000 ක් සහ දාම් බෝඩ් 11000 ක් ආනයනය කර රුපියල් මිලියන 53 ක මුදලක් රජයට පාඩු කිරීම හේතුවෙන් සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු හට බරපතළ වැඩ සහිත වසර 25 ක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂ හතරක දඩයක්ද, එසේම හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේට බරපතළ වැඩ සහිත වසර 20 ක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂ දෙකක දඩයක් ද විනිසුරු මඩුල්ල විසින් නියම කරනු ලැබූහ.
එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විත්තිකරුවන් හට අදහස් දැක්වීමට අවස්ථාව ලබා ද තිබිණි. ඒ අනුව විත්තිකරුවන්ගේ නීතිඥයෝ අධිකරණය ඉදිරියේ අදහස් දැක්වූහ. (බීබීසී උපුටා ගැනීම)
එහිදී විත්තිකාර නලින් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා කරුණු දක්වා සිටියේ මෙසේය.
“ස්වාමිනී... දැන් නඩුවේ තීරණය ප්‍රකාශ වෙලා ඉවරයි. දැන් මොනව කිව්වත් ප්‍රයෝජනයක් නැහැ. සතොස. කියන්නේ වෙළෙඳ ආයතනයක්. ඔවුන් තමන්ට ලැබෙන ඇණවුම් අනුව භාණ්ඩ ආනයනය කරනවා. මගේ සේවාදායකයා සිදු කරලා තියෙන්නේ මේ කටයුත්තට අදාළ ණයවර ලිපි විවෘත කිරීම පමණයි. ඔහු වැරදි ක්‍රියාවක් සිදුකළ බවට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වෙලා නැහැ. මේකෙන් රජයේ නිලධාරීන්ට පාඩමක් ලැබෙනවා. රජයේ නිලධාරීන් පුළුවන් තරම් වැඩ ප්‍රමාද කරන්න. ඉක්මනට කාර්යක්ෂමව වැඩ කරන්න ගියොත් අල්ලස් කොමිසමෙන් නඩුවක් වැටෙයි. මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. මේ වගේ ක්‍රියා නිසා රාජ්‍ය නිලධාරීන්ට කාර්යක්ෂමව වැඩ කරන්න බැරි වෙනවා. මේ වරද නිසා විත්තිකරුට සමාජයෙන් විශාල අපවාදයක් එල්ල වෙනවා. ඔහුට දේශපාලනය කිරීමට තියෙන අවස්ථාවත් නැති වෙනවා. විත්තිකරුට ව්‍යාපාරයක් තියෙනවා. ඒ සඳහා ඔහු විශාල මුදලක් ණය වෙලා තියෙනවා. ඔහු සිරගත වුණොත් මේ ණය ගෙවා ගන්න බැරිව ව්‍යපාර කඩා වැටෙන්න පුළුවන්. ඔහුට පෙර වැරදි නැහැ.” එසේ අදහස් දක්වමින් ජනාධිපති නීතිඥවරයා, විත්තිකරුට ලිහිල් දඬුවමක් ඉල්ලා සිටියේය.
අනතුරුව විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශානක රණසිංහ ද කරුණු ඉදිරිපත් කළේය. (බීබීසී උපුටා ගැනීම)
“ස්වාමිනී... මේ භාණ්ඩ ආනයනය කිරීම හරහා මගේ සේවාදායකයාට කිසිදු ප්‍රතිලාභයක් ලැබිලා නැහැ. ඒ පිළිබඳව ඔහුට නිසි වැටහීමකුත් නෑ. දඬුවම් නියම කිරීමේදී මාගේ සේවාදායකයා යම් ප්‍රතිලාභයක් ලබා තියෙනවාද කියා සලකා බැලිය යුතුයි. ඒ කාරණය සැලකිල්ලට භාජනය කරන්න කියලා මා අධිකරණයෙන් ඉල්ලා සිටිනවා. විත්තිකරු හැට එක් වැනි වියේ පසුවන පුද්ගලයෙක්. ඔහුට පෙර වැරදි කිසිවක් නැහැ. 2015 වසරේ මෙම විමර්ශනය ආරම්භ වුණත් තීන්දුව ප්‍රකාශ වන්නේ 2025 වසරේ. ඒ නිසා දඬුවම් නියම කිරීමේදී එම කරුණත් සැලකිල්ලට ගන්නා ලෙස මා ඉල්ලා සිටිනවා.” යැයි සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, සිය විත්තිකරුටද ලිහිල් දඬුවමක් නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉන් අනතුරුව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්ෂ අනුත්තරා ජයසිංහ අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙසේ පැවසුවාය. (බීබීසී උපුටා ගැනීම)
“ස්වාමිනී... මෙම විත්තිකරුවන් වරදක් සිදුකර තිබුණත්, ඔවුන් පෞද්ගලිකව ප්‍රතිලාභ ගෙන නොමැති බව ඔවුන්ගේ නීතිඥවරු ප්‍රකාශ කළා. ඒ වගේම ඔවුන් අල්ලස් කොමිසම ගැනත් වැරදි අදහසක් සමාජගත කරන්න උත්සාහ කළා. ඔවුන් ප්‍රකාශ කළා, කාර්යක්ෂමව වැඩ කරන නිලධාරීන්ට නඩු වැටෙන බවට. මා සඳහන් කරන්න කැමතියි, මේ නඩුවේ විත්තිකරුවන්ට චෝදනා එල්ල කළේ, ඔවුන් අල්ලස් පනත යටතේ දූෂණය නමැති වරද සිදුකර රජයට පාඩුවක් සිදු කිරීම නිසා. මේ විත්තිකරුවන් දෙදෙනාම රජයේ සේවකයන්. ඔවුන් මෙම ක්‍රියාව හරහා රජයට පාඩුවක් සිදුවන බව දැන දැනම තමයි මේ නීති විරෝධී ක්‍රියාව සිදු කර තියෙන්නෙ. පළමු විත්තිකරු සතොස. ආයතනයේ සභාපති වගේම පසුව කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් පත්වුණා. දෙවැනි විත්තිකරු හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා. ඔහු තමාට අදාළ නොවන ක්‍රියාවක් තමයි කරලා තියෙන්නෙ. ඔවුන් එක්ව තමන්ට අදාළ නොවන ක්‍රියාවක් බලය අයුතු තුළ ලෙස යොදවමින් ක්‍රියාවේ යොදවා තියෙන බව සාක්ෂිවලින් පැහැදිලි වෙනවා. මේ වරද හරහා ඔවුන් රුපියල් මිලියන 53 කට වැඩි මුදලක් රජයට පාඩු කර තියෙනවා. මේ මුදල් කාගෙද? මේවා මහජනතාවගේ මුදල්. දඬුවම් නියම කිරීමේදී ඔබතුමන්ලාට අභිමතයක් තියෙනවා.
ඒ අභිමතය ක්‍රියාත්මක කිරීමේදී මා සඳහන් කරන කරුණු ගැන සැලකිලිමත් වන ලෙස මා ඉල්ලා සිටිනවා. වරද සිදුකළ අවස්ථාවේදී පළමුවැනි විත්තිකරු රාජ්‍ය සමාගමක සභාපතිවරයෙක්. දෙවැනි විත්තිකරු කැබිනට් අමාත්‍යවරයෙක්. ඔවුන්ට විශාල බලයක් පැවරී තියෙනවා. මහජන මුදල් මහජනතාවගේ සුබසාධනය වෙනුවෙන් වගකීමකින් යුතුව යොදා ගැනීමේ බලයක් ඔවුන් වෙත පැවරී තියෙනවා. ඔවුන් තමන් වෙත පැවරී ඇති වගකීම පසෙකලා මහජන සුබසාධනය සඳහා යෙදවිය යුතු මුදල් වෙනත් ක්‍රියාවක යෙදවීම හරහා වරදක් සිදු කර තියෙනවා. මෙවැනි ක්‍රියා නිසා රජයට විශාල පාඩුවක් සිදුවී රට බංකොලොත් වීමටත් හේතු වුණා. කැමති වුණත් අකමැති වුණත් අපි ඒක පිළිගත යුතුයි. විත්තිකරුවන් සිදුකළ ක්‍රියාව නිසා වින්දිතයන් බවට පත්වුණේ එක් පුද්ගලයෙක් නෙවෙයි. මුළු සමාජයම වින්දිතයන් බවට පත් වී තියෙනවා. මෙවැනි බලය අවභාවිත කළ පුද්ගලයන්ට නීතියෙන් ලබා දිය හැකි දැඩි දඬුවම් ලබා දිය යුතු යැයි මා ඉල්ලා සිටිනවා. මෙවැනි නීති විරෝධී ක්‍රියා සිදු කරන පුද්ගලයන්ට බියක් දැනෙන ආකාරයේ දඬුවමක් නියම කරන ලෙස මා ඉල්ලා සිටිනවා. ඒ වගේම දූෂණයට එරෙහිව ක්‍රියා කරන පුද්ගලයන්ට අභිප්‍රේරණයක් ඇතිවෙන ආකාරයේ දඬුවමක් ලබා දෙන ලෙසත් මා ඉල්ලා සිටිනවා. ඒ වගේම බලය වැරදි ලෙස ක්‍රියාවේ යෙදවීමට අපේක්ෂා කරන පුද්ගලයන්ටත් පණිවිඩයක් ලබා දිය හැකි ආකාරයේ තීන්දුවක් ලබා දෙන මෙන් මා ඉල්ලා සිටිනවා. සාමාන්‍ය ජනතාව අතර මතයක් තියෙනවා, තෝරු මෝරු සියල්ල නීතියෙන් බේරී යනවා, හාල්මැස්සෝ විතරයි නීතියට අහුවෙන්නේ කියලා. ඒ නිසා ලොකු පොඩි සැමට නීතිය එක ආකාරයෙන් ක්‍රියාත්මක වන බව තහවුරු කළ හැකි නඩු තීන්දුවක් ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා.” යැයි සඳහන් කළ අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය, විත්තිකරුට නීතියෙන් ලබා දිය හැකි උපරිම දඬුවම් ලබා දෙන ලෙස ද ඉල්ලා සිටියාය.
කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු මහේෂ් වීරමන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙසේ පැවසීය. (බීබීසී උපුටා ගැනීම)
“රාජ්‍ය අයවැය තුළින් මහජන සුබසාධනය සඳහා වෙන් කළ මුදල් ප්‍රතිපාදන මෙම විත්තිකරුවන් මෙම වැරදි ක්‍රියාව සිදුකිරීම සඳහා යොදාගෙන තියෙන බව පැහැදිලි වෙනවා. විත්තිකරුවන්ගේ ක්‍රියාව නිසා රටට විශාල ඩොලර් ප්‍රමාණයක් අහිමිවෙලා තියෙනවා. විත්තිකරුවන් පෞද්ගලිකව ලාබයක් නොලැබුවද ඔවුන් කළ ක්‍රියාව නිසා මහජන මුදල් අපතේ යාමක් සිදුවී තියෙනවා. මෙවැනි තත්ත්වයන් නිසා රටේ දේශීය හා විදේශීය ණය ගෙවීමට නොහැකි වී ආර්ථික පරිහානියක් ඇතිවීමට ද හේතු වුණා. එම නිසා මෙවැනි නීති විරෝධී ක්‍රියාවල නිරත පුද්ගලයන් අධෛර්යමත් වන ආකාරයේ තීන්දුවක් ලබා දිය යුතු බව අධිකරණයේ මතයයි. ඒ වගේම වැරදි උපදෙස් මත රාජ්‍ය නිලධාරීන් ක්‍රියාත්මක නොවිය යුතු බව අවධාරණය කරන තීන්දුවක් ලබා දිය යුතුයි.” යැයි සඳහන් කළ විනිසුරුවරයා, අනතුරුව අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසුව දෙදෙනාම වැලිකඩට රැගෙන ආ අතර ඔවුන්ට ජම්පරය අන්දවා පැදුරක් කොට්ටයක් ලබා දී සාමාන්‍ය වාට්ටුව වෙත යොමු කෙරිණි. කෙසේ වෙතත් සිකුරාදා දින ඔවුන්ට අයත් බරපතළ වැඩ වෙන් කිරීම සිදුකිරීමට නියමිත විය.
මෙම තීන්දුවට අභියෝග කරමින් ඔවුන්ට අභියාචනාධිකරණයට යාමේ හැකියාවක් නැත. ඒ තීන්දුව ලබාදුන්නේ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් බැවිනි. එහෙත් ඔවුන්ට ශ්‍රේෂ්ඨාධිකරණයට යාමේ හැකියාව පවතී. එසේ ගියද අදාළ නඩුව සලකා බැලීම සඳහා අග්‍රවිනිශ්චකාරවරයා විසින් පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කළ යුතුව ඇත. එබැවින් ඉදිරියේදී මෙම තීන්දුව බොහෝ විට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරනු ඇත.
දූෂණයෙන් සහ වංචාවෙන් පිරුණු මෙකී දේශපාලන මඩ ගොහොරුව සුද්ධ පවිත්‍ර කළ හැක්කේ මෙලෙස කටයුතු කිරීමෙන් මිස වෙනත් ආකාරයකින් නොවේ. ඒ නිසා මේ තීන්දුව දූෂිත දේශපාලනයට හොඳ පිළිතුරක් බව කිව යුතුය.
• ගයාන් ගාල්ලගේ