කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2025/26 අධ්‍යයන වර්ෂය සඳහා විදේශ ශිෂ්‍යයන් සහ කැඩෙට් නිලධාරීන් පමණක් බඳවා ගැනීමට රජය තීරණය කර ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා මැයි 22 වැනි දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කොතලාවල ආරක්ෂක විශ්විද්‍යාලයේ විවිධ පාඨමාලා සඳහා ශිෂ්‍යයන් බඳවා ගැනීම සඳහා මැයි 21 වැනි දින ප්‍රසිද්ධ දැන්වීම් පළ කර ඇති අතර, එම දැන්වීමේ වෛද්‍ය පීඨය සඳහා ශිෂ්‍යයන් බඳවා ගැනීම සම්බන්ධයෙන් වන වගන්ති නිවැරදි කිරීමක් කළ යුතුව තිබෙන බවත්, පාර්ලිමේන්තුවට දැනුම් දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙවර වෛද්‍ය පීඨයට විදේශීය ශිෂ්‍යයන් සහ කැඩෙට් නිලධාරීන් පමණක් බඳවා ගැනීමට තීරණය කර ඇති බවටය.
පීඨ 11 කින් යුතු, හමුදා සහ සිවිල් සිසුන් 8000 කට ආසන්න සංඛ්‍යාවක් අධ්‍යාපනය හදාරන මෙම විශ්වවිද්‍යාලය 1981 අංක 68 දරණ පාර්ලිමේන්තු පනත යටතේ කොතලාවල ආරක්ෂක ඇකඩමිය ලෙස පිහිටුවන ලද්දේ ආරක්ෂක අංශ සාමාජිකයන් සඳහා උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීම සඳහාය. මෙම ආයතනය විශ්වවිද්‍යාල මට්ටමට උසස් කර ඇත්තේ 1988 අංක 27 දරණ සංශෝධන පනත මගිනි. එයට උපාධි ප්‍රදානය කිරීමේ නෛතික බලය හිමිවූයේ 2007 අංක 50 දරණ සංශෝධිත පනත මගිනි.
ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඒ වනවිට ත්‍රිවිධ හමුදාවන්හි පැවැති වෛද්‍ය නිලධාරීන්ගේ ඌණතාවය සම්පූර්ණ කිරීමේ අරමුණ ඇතිව 2009 වර්ෂයේදී වෛද්‍යවේදී හා ශල්‍ය වෛද්‍යවේදී උපාධි පාඨමාලාව ආරම්භ කළේය. ත්‍රිවිධ හමුදාවන්හි පැවති වෛද්‍ය නිලධාරීන්ගේ අවශ්‍යතාවය ක්‍රම ක්‍රමයෙන් සම්පූර්ණ වීමත් සමඟ, රටට අවශ්‍ය විදේශ විනිමය ජනනය කිරීමේ අරමුණ ඇතිව විදේශ පුරවැසිභාවය සහිත ශ්‍රී ලාංකික මව්පියන්ගේ දරුවන්ද එම උපාධි පාඨමාලාව සඳහා බඳවා ගැනීම 2013 වර්ෂයේදී ආරම්භ විය. තවද, දකුණු ආසියානු තාක්ෂණික සහ වෛද්‍ය විද්‍යා ආයතනයෙහි (SAITM) වෛද්‍යවේදී සහ ශල්‍ය වෛද්‍යවේදී පාඨමාලාව සඳහා ලියාපදිංචි වූ සිවිල් සිසුන් 864 දෙනකු 2017 වර්ෂයේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨය වෙත අන්තර්ග්‍රහණය කරන ලද්දේ සයිටම් ආයතනයට එරෙහිව පැන නැගුණු විරෝධතා හේතුවෙන් එය වසා දැමීම හේතුවෙනි.
එමෙන්ම ජාතික විශ්වවිද්‍යාල සිසුන් බඳවා ගැනීමේ නිර්ණායක ප්‍රතිසංශෝධනය කිරීම හේතුවෙන් උද්ගත වූ ගැටලුව විසඳීම සඳහා 2022 වර්ෂයේදී සිවිල් සිසුන් 87 දෙනකු ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි වෛද්‍යවේදී සහ ශල්‍ය වෛද්‍යවේදී උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් යොමු කර තිබිණ. ඒ අනුව 2018 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා සිසුන් 828 දෙනකු වෙත එමගින් වෛද්‍ය උපාධිය ප්‍රදානය කර තිබේ.
ත්‍රිවිධ හමුදා සඳහා වාර්ෂිකව අවශ්‍ය වන වෛද්‍ය කැඩෙට් නිලධාරීන් සංඛ්‍යාව බඳවා ගැනීමෙන් පසුව, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයෙහි ඉතිරිව පවතින අවස්ථා සහ සම්පත් ඵලදායී ලෙස යොදා නොගතහොත්, වෛද්‍ය පීඨයේ සහ විශ්වවිද්‍යාලයීය රෝහලේ මූල්‍ය ආයෝජන, යටිතල පහසුකම් සහ මානව සම්පත් වෛද්‍ය වෘත්තිකයන්ගේ දැඩි හිඟයකට මෙරට මුහුණපා සිටින අවස්ථාවක අපතේ යැවීමක් වීම හේතුවෙන් පසුව අමාත්‍ය මණ්ඩලය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි වෛද්‍යවේදී සහ ශල්‍ය වෛද්‍යවේදී උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා සිවිල් සිසුන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගනු ලැබීය.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ 2025/26 අධ්‍යයන වර්ෂය සඳහා විදේශීය ශිෂ්‍යයන් සහ කැඩෙට් නිලධාරීන් පමණක් බඳවා ගැනීමට රජය තීරණය කර ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා මැයි 22 වැනි දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, පෞද්ගලික සිසුන් වෛද්‍ය පීඨයට බඳවා ගැනීමට එරෙහිව ආණ්ඩුව තුළින්ම විරෝධතා මතුවීම නිසා යැයි වාර්තා විය. පාර්ලිමේන්තුවේ ජාතික ජනබලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරු කණ්ඩායම එයට විරෝධය පා ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර තිබිණි. වෛද්‍ය පීඨයට සිසුන් බඳවා ගැනීමේ ප්‍රසිද්ධ දැන්වීම පසුගිය මැයි 21 දින පුවත්පත්වල පළ කර තිබූ අතර, 22 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ මෙම කණ්ඩායම පක්ෂ නායකත්වයට ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබේ. විදේශීය සිසුන් සහ කැඩෙට් සිසුන් බඳවා ගැනීමට තීරණය වූයේ ඒ අනුව බවද වාර්තා විය. ඒ අනුව මෙතෙක් සිවිල් සිසුන්ට ද කොතලාවල වෛද්‍ය පීඨයෙන් වෛද්‍ය උපාධියක් ලබා ගැනීමට තිබූ අවස්ථාව 2025 සිට අහිමිවනු ඇත.
අධ්‍යාපනය මුදලට විකිණීමට එරෙහිව කලක සිට විරෝධතා මතු විය. විශේෂයෙන් වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් විශාල විරෝධතාවක් පැන නැගිණි. මුලින්ම මෙම විරෝධතාව එල්ල වූයේ රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයටය. පසුව සයිටම් වෛද්‍ය විද්‍යාලයට විරෝධතා ඇතිවිය. පසුව කොතලාවල වෛද්‍ය පීඨයට ද එවැනි විරෝධතාවක් පැන නැගිණි.
නියෝජ්‍ය ඇමැතිවරයා විදේශීය ශිෂ්‍යයන් සහ කැඩෙට් නිලධාරීන් පමණක් බඳවා ගැනීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් මෙලෙස සඳහන් කර තිබේ.
“කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තෙවැනි වරටත් සිවිල් සිසුන් බඳවා ගන්නා බවත්, උපාධියක මිල රු. ලක්ෂ 175 ක් බවත් ප්‍රසිද්ධ කරමින් පුවත්පත් දැන්වීමක් පසුගියදා පළ විය. වසර ගණනාවක පටන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට මුදල් පදනම මත සිවිල් සිසුන් බඳවා ගැනීමට එරෙහිව දැවැන්ත විරෝධයක් සමාජය තුළින් මතු වෙමින් තිබිණි. නිදහස් අධ්‍යාපනයට “අත්තටු” දෙන බව කියමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව කොතලාවලට සිවිල් සිසුන් බඳවා ගැනීමට පළ කළ උක්ත පුවත්පත් දැන්වීමත් සමඟ නැවතත් ආන්දෝලනයක් ඇති විය. ජාතික ජන බලවේගයට සහාය දැක්වූ පිරිස් පවා මෙය හෙළා දැක අදහස් පළ කරන ලදී. මෙම තත්ත්වය මත ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳව ප්‍රකාශයක් සිදු කරන ලදී. ඒ අනුව, මෙම වසරට අදාළව කොතලාවල වෛද්‍ය පීඨයට සිවිල් සිසුන් බඳවා ගැනීම් නොකරන බවත්, කැඩෙට් නිලධාරීන් හා විදෙස් සිසුන් පමණක් බඳවා ගැනීම් කරන බවට අදාළ පුවත්පත් දැන්වීම සංශෝධනය විය යුතු බවත් ඇමැතිවරයා පවසන ලදී.
ඇමැතිවරයාගේ ප්‍රකාශය අනුව පැන නගින ගැටලු කිහිපයක් තිබේ. වත්මන් ආණ්ඩුව නිල වශයෙන් පාර්ලිමේන්තුවේදී හා මැතිවරණ වේදිකාවලදී සිදු කළ මෙවැනි ප්‍රකාශ ගණනාවක් ඉතා ඉක්මනින් වෙනස් විය. ප්‍රකාශ කළ දේට වඩා හාත්පසින් වෙනස් ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව ආණ්ඩුවට මගහැරිය නොහැකි චෝදනාවක් ජනතාවගෙන් එල්ල වෙයි. එබැවින් මෙවැනි වාචික ප්‍රකාශ මත විශ්වාසය තැබිය නොහැකි අතර, වහාම කොතලාවලට සිවිල් සිසුන් බඳවා ගැනීම අහෝසි කරමින් නීති ප්‍රතිපාදන සකස් කළ යුතුය.
දෙවැනි කරුණ වන්නේ ඇමැතිවරයාගේ ප්‍රකාශය තුළ සඳහන් වන්නේ “මෙම වසරට අදාළව” සිවිල් සිසුන් බඳවා නොගන්නා බවයි. ඒ අනුව සිවිල් සිසුන් ඉදිරි වසරවලදී මුදල් පදනම මත බඳවා ගැනීමට ඉඩකඩ තිබේ. උපාධි මුදලට විකිණීම ගැටලුවක් වන්නේ ‘මෙම වසරට’ පමණක් නොවේ.
ජනතා විරෝධය නොතකා කොතලාවල වෛද්‍ය පීඨයට සිවිල් සිසුන් බඳවා ගැනීම ආරම්භ කරන ලද්දේ පැවති රනිල් - රාජපක්ෂ ආණ්ඩුව විසිනි. එම ආණ්ඩුව කොතලාවල වෛද්‍ය පීඨයට සිවිල් සිසුන් බඳවා ගැනීමට අවසර දෙන අතරම, මුදල් පදනම මත උපාධි ලබා දෙන Lyceum, Gateway, NSBM, SLLIT ආයතනවලටද වෛද්‍ය පීඨ ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලබා දෙන ලදී. කොතලාවල වෛද්‍ය උපාධි විකිණීම ගැටලුවක් බව ආණ්ඩුව හඳුනා ගත්තේ නම් මෙම ආයතනවල වෛද්‍ය උපාධි විකිණීමද ගැටලුවක් බව වටහා ගත යුතුය. නමුත් ආණ්ඩුව පත් වූ දා පටන් මේ වනතුරු ඒ පිළිබඳ අප ඉදිරිපත් කළ කිසිදු ප්‍රශ්නයකට නිල ප්‍රතිචාරයක් ලබා දී නැත. එබැවින් එම වෛද්‍ය උපාධි කඩ පිළිබඳව ආණ්ඩුවේ ස්ථාවරය ද වහා ප්‍රකාශයට පත් කළ යුතුය.
කොතලාවල උපාධි කඩයක් වන්නේ වෛද්‍ය උපාධි විකිණීම ආරම්භ කිරීමෙන් නොවේ. වෛද්‍ය උපාධි සඳහා සිවිල් සිසුන් බඳවා ගැනීමට වසර ගණනාවකට මත්තෙන් එහි අනෙක් සියලු උපාධි විකිණීම ආරම්භ කර තිබිණි. අද සම සෞඛ්‍ය (AHS) උපාධිධාරීන්ගේ ගැටලුව මතු වී ඇත්තේ ද මෙම කොතලාවල උපාධි කඩය හේතුවෙනි. එබැවින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය එය ආරම්භ කරන ලද අරමුණට එනම්, ආරක්ෂක අංශ සඳහා පමණක් උපාධි ලබා දීමට සීමා කළ යුතුය. ප්‍රකාශවලට සීමා නොවී සියලු උපාධි සඳහා කොතලාවලට සිවිල් සිසුන් බඳවා ගැනීම අහෝසි කරමින් නීති ප්‍රතිපාදන සකස් කළ යුතු බවටත්, Lyceum, Gateway, NSBM, Sllit ආයතනවල වෛද්‍ය පීඨ ආරම්භ කිරීමට ගත් තීරණ වහාම අහෝසි කරන ලෙසටත්, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කර සිටිමු.” යනුවෙන් එම මාධ්‍ය ප්‍රකාශනයේ සඳහන්ය.
ආණ්ඩුවේ තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ප්‍රකාශ කළේ, ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට දරුවන්ට යාමට ඇති අවස්ථාව කඩාකප්පල් නොකරන ලෙසටය. “ඔය තීන්දුව වෙනුවට ආණ්ඩුව දකින විදිහට එම විශ්වවිද්‍යාලයේ කිසියම් අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කර දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනවා විනා විශ්වවිද්‍යාලය වසා දැමීම නොකළ යුතුයි. මෙම ක්‍රියාමාර්ගය ශ්‍රී ලංකාවේ ශිෂ්‍යයන්ට කරන දැඩි අසාධාරණයක් මෙන්ම ආණ්ඩුව මෙරට අධ්‍යාපනයට ගහපු කනේ පහරක් ලෙසයි මම දකින්නෙ.” යනුවෙන් සඳහන් කළේය.
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා