2025 මැයි 24 වන සෙනසුරාදා

ලු‍ණු සහ ලණු!

 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:05 68

ලු‍ණු ප්‍රශ්නය අඹ ප්‍රශ්නයට වඩා සංකීර්ණ වී තිබේ. මේ දවස්වල කැඳත් නැතිව සිටි බොහෝ දෙනාට දැන් දැන් ලු‍ණුත් නැත. රට පුරා ලු‍ණු හිඟයෙන් බොහෝ දෙනා පීඩාවට පත් වී සිටිති. ගමේ ගෙදරක කිසිදාක හිස් කරන්නේ නැති දෙයක් වේ නම් ඒ ලු‍ණු පොල්කට්ටය. තුනපහ බෝතලේ හිස් වුණත් ලු‍ණු පොල්කට්ට හිස් නොකිරීම සිංහලයාගේ සිරිතය. ලු‍ණු පොල්කට්ට මිදී ඇත්නම් එය සෞභාග්‍යයේ සංකේතයක් ලෙස එදා ගැමියෝ සැලකූහ. ඒත් මේ වනවිට ගෙදර කුස්සියේ ළිප ළඟ තබා ඇති ලු‍ණු පොල්කට්ටද හිස් වෙලාය.

මේ වනවිට කරළියේ තිබූ ලු‍ණු ප්‍රශ්නය දියවන්නාව දක්වා ගොස් තිබේ. ලු‍ණු හිඟය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරු ආණ්ඩුවට චෝදනා කළහ. මේ හේතුවෙන් පාර්ලිමේන්තුව පසුගියදා උණුසුම් විය. මේ සම්බන්ධයෙන් වර්තමාන පාලනයට විරෝධය පළ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මන්ත්‍රීවරයා පැවසුවේ, මේ ලු‍ණු ප්‍රශ්නය අද ඊයේ පැමිණි දෙයක් නොවන බවත්, ශ්‍රී ලංකා රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාව මාස හයක් තිස්සේ ලු‍ණු ගෙනාවත් ඒ ගෙනා ලු‍ණුවලට කුමක් වූවාදැයි සෙවිය යුතු බවත්ය. ආණ්ඩුව ලු‍ණු කිලෝවට රුපියල් හතළිහක බද්දක් ගසා ඇති බවත්, සහල් මාෆියාවට අමතරව ලු‍ණු මාෆියාවකුත් සෑදී ඇති බවත් රහුමාන් මන්ත්‍රීවරයා පැවසුවේය.

එමෙන්ම මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී තවත් අනාවරණයක් කළේය. මෙරට උග්‍ර ලු‍ණු හිඟයට හා අධික මිලට හේතුව රජයට අයත් රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාව විසින් ආනයනය කරල ලද කැට ලු‍ණු තොග පෞද්ගලික සමාගමකට අලෙවි කිරීමත්, එම සමාගම කුඩු කරන ලු‍ණු ඉහළ මිලකට අලෙවි කිරීමත් යැයි මුජිබුර් මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසුවේය. මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය. “ආනයනය කරන්නට අවසර දුන්නේ කැට ලු‍ණු විතරයි. ආණ්ඩුව ලු‍ණු කිලෝවකට රු. 40 ක බද්දක් පනවා තිබෙනවා. ලංකාවට ලු‍ණු කිලෝවක් ආනයනය කරනකොට මිල රු. 24 යි. වටිනාකම් එකතු කරලා රු. 100 ක සිල්ලර මිලට විකුණන්න පුළුවන්. ඒත්, සමාගම් දැන් ලු‍ණු විකුණන්නෙ රු. 300 කට වැඩි මිලකට.” නව රජය විසින් පුත්තලම ලු‍ණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කරන ලද ආචාර්ය රවී ලියනගේ ඉසි ලු‍ණු නිෂ්පාදනය කරන රයිගම් සමාගමේ සභාපතිවරයා බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා රජය විසින් ආනයනය කරන ලද ලු‍ණු රජයේ සමාගමේ අධ්‍යක්ෂවරයා විසින් මිලදී ගෙන සිය පෞද්ගලික සමාගම හරහා අධික මිලකට අලෙවි කරන බවටත් මන්ත්‍රීවරයා චෝදනා කළේය. රජයේ ලු‍ණු සංස්ථාවක අධ්‍යක්ෂවරයකු මෙලෙස පෞද්ගලික සමාගමක් මගින් ලු‍ණු බෙදාහැරීම කිසිසේත් අනුමත කළ නොහැකි කරුණක් වන අතර මෙවැනි පුද්ගලයන් රජයේ තනතුරුවලට පත් කිරීම කෙතරම් සුදුසුදැයි රටවැසියෝ බලධාරීන්ගෙන් ප්‍රශ්න කරති.

ලු‍ණු ප්‍රශ්නය පාර්ලිමේන්තුවේ කතාබහ‌ට ලක්වූ අවස්ථාවේ අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙසේ පැවසුවේය.

“පුත්තලමේ ලු‍ණු තියෙනවා. හැබැයි මඩ ලු‍ණු. අපි ගෙනාපු ලු‍ණු මෙට්‍රික් ටොන් දොළොස් දාහෙන් අටදාහක්ම දුන්නේ හම්බන්තොටට. රටට දිනකට මෙට්‍රික් ටොන් 400 ක් අවශ්‍යයි. විපක්ෂය ලු‍ණු ගැන බොරු කියනවා. වැස්ස නිසා හිඟයක් ඇතිවුණා. ලු‍ණු කන්ටේනර් 25 ක් ඇවිල්ලා තියෙනවා. පෞද්ගලික වෙළෙන්දෝ ගෙනත් තියෙන්නෙ. සංස්ථාව ඇණවුම් කරපු ලු‍ණු එනවා. එතකොට ලු‍ණු ප්‍රශ්නය ඉවරයි. මේ ගැන චෝදනා ප්‍රතික්ෂේප කරනවා.

මේ සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ රජය විසින් ලු‍ණු ආනයන සීමා තාවකාලිකව ඉවත් කිරීමෙන් ඉන්දියාවෙන් කඩිනමින් ලු‍ණු තොග ආනයනය කිරීමට කටයුතු කරන බවත්, එම ලු‍ණු තොග ඉදිරියේදී මෙරටට ආනයනය කිරීමට හැකිවන බවත්ය. ඔවුන් පවසනුයේ ආනයනික ලු‍ණු තොග සාධාරණ මිලකට පාරිභෝගිකයාට අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවත්, ලු‍ණු තොග මෙරටට ලැබුණු පසුව මිල තීරණය කෙරෙන බවත්ය. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන පවසනුයේ මේ වන විටත් රටේ ඇතිවී තිබෙන ලු‍ණු හිඟය හේතුවෙන් බේකරි නිෂ්පාදනකරුවන්ට සහ හෝටල් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි.

රටේ ලු‍ණු අවශ්‍යතාව සපුරා ගන්නට රටට ඇති පදමට ලු‍ණු ලේවා කිහිපයක් රට වටා ඇති අතර පුත්තලම, හම්බන්තොට, මන්නාරම හා අලිමංකඩ යනු ඒවාය. මේවායින් ප්‍රධාන තැනක් ගන්නේ හම්බන්තොට මහ ලේවායය. මෙරට ලු‍ණු අවශ්‍යතාවයෙන් සියයට 60 කට වැඩි ප්‍රතිශතයක් නිපදවන්නේ හම්බන්තොට මහ ලේවායේය. වැඩිම ඉල්ලු‍ම ඇත්තේ හම්බන්තොට මහ ලේවායේ නිපදවන ලු‍ණුවලටය. ඔවුන් කියන්නේ “ලක් ලු‍ණු” සන්නාමය යටතේ අලෙවි කෙරෙන හම්බන්තොට ලු‍ණුවල ප්‍රමිතිය බොහෝ ඉහළ බවයි. වෙළෙඳ ඇමැතිවරයා කියන විදිහටත් පුත්තලමේ තියෙන්නේ මඩ ලු‍ණුය. කර්මාන්ත ලු‍ණු, කැට ලු‍ණු, මේස ලු‍ණු ආදී මෙකී නොකී වර්ග රැසකින් මෙහි ලු‍ණු නිපදවයි. මෙට්‍රික් ටොන් එක්ලක්ෂ තිස්දහසක ධාරිතාවෙන් යුතු හම්බන්තොට මහ ලේවායේ ගිය වසරේ නිපදවා තිබුණේ ඉන් බාගයකටත් අඩු ප්‍රමාණයකි. මෙරට ලු‍ණු අර්බුදයේ එක් හේතුවක් වන්නේ මෙයයි. ලු‍ණු අර්බුදයට විසඳුමක් හැටියට ලු‍ණු සමාගම් රජයෙන් ඉල්ලීම් කළේ පිටරටින් ලු‍ණු ගෙන්වීමටය. ලංකා ලු‍ණු සමාගමට මෙට්‍රික් ටොන් දසදහසකුත් ජාතික ලු‍ණු සමාගමට මෙට්‍රික් ටොන් විසිදහසකුත් ආනයනය කරන්නට අවසර හිමිවුණත් ලු‍ණු ප්‍රශ්නය ඔඩුදුවන තුරු ලු‍ණු තොග මෙරටට ගෙන්වන්නට බලධාරීන් ක්‍රියා කළේ නැත. අශ්වයා ගියාට පසු ඉස්තාලය වහන්නට ආණ්ඩුවේ සමහර ඇත්තන්ගේ දැන් කතාවය.

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ පවතින ලු‍ණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලු‍ණු තොගයක් මෙරටට පැමිණීමට නියමිත බවයි. පෞද්ගලික අංශයෙන් ආනයනය කළ ලු‍ණු මෙට්‍රික් ටොන් 250 ක් සහ ජාතික ලු‍ණු සමාගම විසින් ආනයනය කරන ලද ලු‍ණු මෙට්‍රික් ටොන් 2800 ක් ඊට අයත්ය. මෙරට මාසික ලු‍ණු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 15,000 ක් වන අතර වාර්ෂික අවශ්‍යතාව ලු‍ණු මෙට්‍රික් ටොන් එක්ලක්ෂ 80,000 කි.
කන්න දෙකකදී මෙරට ලු‍ණු අස්වැන්න ලබාගන්නා අතර එක් කන්නයක අස්වැන්න පෙබරවාරි මස මැද සිට අප්‍රේල් මාසයේ මැද දක්වාත්, අනෙක් කන්නයේ අස්වැන්න ජූනි මාසයේ මැද සිට ඔක්තෝබර් මාසයේ මැද දක්වාත් ලබා ගැනීම සිදු කෙරේ. කෙසේ වෙතත් පැවති අධික වර්ෂාව හේතුවෙන් පසුගිය වසරේ මෙම කන්න දෙකේදීම අපේක්ෂිත ලු‍ණු අස්වැන්න ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙරට අවශ්‍යතාව සඳහා ලු‍ණු ආනයනය කරන්නට සිදු වූ බව වෙළෙඳ අමාත්‍යවරයා පැවසුවේය. එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දැන ගැනීමට ලු‍ණු සමාගමේ අධ්‍යක්ෂවරයකු වන රවී ලියනගේ මහතා සම්බන්ධ කර ගැනීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.

• සසංක චලන ගිම්හාන

 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 මැයි 24 වන සෙනසුරාදා, ප.ව. 02:03