2025 මැයි 16 වන සිකුරාදා

ගම ගාල්ලෙද?

 2025 මැයි 16 වන සිකුරාදා, ප.ව. 02:06 74

වර්ග සැතපුම් 6.5 ක් විශාල ගාලු‍ නගරය දකුණු පළාතේ අගනුවර සේ සැලකෙන සුන්දර පුරවරයකි. ඉතා විශාල සංචාරක ආකර්ශනයක් සහිත මේ කුඩා නගරයේ පිහිටි කැපීපෙනෙන ස්මාරකය වන එහි කොටු පවුර 1988 දී යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කෙරිණි. කොටුව යුරෝපීය සම්ප්‍රදායට අයත් වන අතර පෘතුගීසි හා ලන්දේසි යුගවලදී ඉදි කරන ලද්දකි. එය ඇතුළත පිහිටි නගරය හා ගෘහ නිර්මාණ ශිල්පීය අංග යටත්විජිත යුගයේ මතක අවදි කරන අපූරු නිර්මාණ ලෙස සැලකේ. ශ්‍රී ලංකාවේ පෘතුගීසි, ලන්දේසි සහ බ්‍රිතාන්‍ය යුගවල අංග ගාලු‍ කොටුව තුළ දක්නට ඇත. පුරාණයේ පටන්ම ගාලු‍ වරාය පෙරදිග දියුණු වරායක් මෙන්ම වෙළෙඳ මධ්‍යස්ථානයක් ද විය. ක්‍රි.ව. 1505 දී අහම්බෙන් ගාලු‍ වරායට ගොඩබට පෘතුගීසි සෙන්පති ලොරෙන්සෝ ද අල්මේදාගේ ආගමනයත් සමඟ ගාල්ලේ මෑත ඉතිහාසය ඇරඹේ. දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ සිට පැයක් ඇතුළත ගාල්ල නගරයට පිවිසිය හැකිය. මේ නිසා එය සංචාරකයන් අතර ජනප්‍රිය ගමනාන්තයක් බවට පත්ව තිබේ.
එහෙත් මෑතක සිට කොටුවෙන් පිටත නගරයට දරාගත නොහැකි තරම් ඉදිකිරීම් සිදුවීම නිසා නගරයේ පෙනුම අවලස්සන වී ඇති අතර මේ නිසාම කොටුවට ඇතුළුවන මාර්ගවලටද බාධක පැන නැගී තිබෙන බව නගරවැසියෝ පවසති. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවේ සුන්දරම ඓතිහාසික නගරයක කීර්තිනාමයට කැළලක් ඇති කරන අතරම, සංචාරකයන්ට සහ ප්‍රදේශවාසීන්ට සැලකිය යුතු පීඩාවක් ද ඇති කිරීමට හේතු වී තිබේ.

ගාල්ල නගරවැසියෙක් අන්තර්ජාලයට එක්කර ඇති අදහසක් මෙසේය: “උනවටුණේ සිට මෙන්ම දකුණු අධිවේග මාර්ගයේ පිවිසුමේ සිට ගාල්ල කොටුවට ඇතුළුවීමට තිබෙන මාර්ග අවහිර කරමින් ඉදිකිරීම් සිදුකිරීම වඩාත්ම ඛේදනීයයි. රජයේ අදාළ ආයතනවල නිලධාරීන් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම එක් හේතුවක්.”

ගාල්ල මහ නගර සංවර්ධන සැලැස්ම නාගරික සංවර්ධන අධිකාරිය සකස් කළේ 2018 දීය. එය 2030 දක්වා සැලසුම් සහිත වාර්තාවකි. “එයට අනුව ගාල්ල නගර සීමාවේ හිරිඹුර, කරාපිටිය වැනි පෙදෙස් සංවර්ධන පීඩනයක් ළඟා කරගත් ප්‍රදේශ ලෙස හඳුනාගත හැකි වූ අතර නගර සීමාව තුළ පැතිර තිබූ සංවර්ධනය කරාපිටිය දෙසට ගමන් කරන ස්වභාවයක් ද මෙහිදී හඳුනාගත හැකිය. ඊට අමතරව සංවර්ධන පීඩනය නගර සීමාව ආසන්නයේ පවතින මිනුවන්ගොඩ, මකුළුව, මිලිද්දුව, කෝන්ගහ හන්දිය, කන්දෙවත්ත ආදී ප්‍රදේශවල ද ඇතිවී තිබෙන බව පැහැදිලිය.” මෙසේ නාගරික සංවර්ධන අධිකාරියම පැහැදිලිව නගර පීඩනය ගැන සඳහන් කරන අතර ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ නිලධාරීන්ගේ සොයා නොබැලීම් නිසා නගරයේ අවිධිමත් ඉදිකිරීම් සිදුවන අතර ඒ නිසා ගාල්ල කොටුවට පිවිසෙන පාර පවා අවහිර වී ඇති බවය.

අපි දැන් ගාල්ල මහ නගර සංවර්ධන සැලැස්මට අවධානය යොමු කරමු.

එයට අනුව රථවාහන නැවතුම් ඉදිකිරීමේදී ද නිවාස සහ ව්‍යාපාරික ස්ථාන ඉදිකිරීමේදී ද නාගරික සංවර්ධන අධිකාරියේ අවසරය අනිවාර්ය වේ. ඒවා තැනීමේදී බාහිර පරිසරයට හෝ අවට ප්‍රදේශයට අහිතකර බලපෑම් ඇති නොවිය යුතු බවත් අවධාරණය කර තිබේ. ඒ අතර නගර සීමාවේ අවසර නොදිය හැකි ඉදිකිරීම් ලෙස අන්තරාදායක කර්මාන්ත, ඇඹරුම්හල්, පාසල්, ගබඩා (අන්තරාදායක අමුද්‍රව්‍ය), රථවාහන සේවා මධ්‍යස්ථාන, ඛනිජ හා කැණීම් කර්මාන්ත සඳහන්ය.

නමුත් සමහර හෝටල් ඉදිකිරීමේදී මහා මාර්ගය පවා අවහිර වන සේ ඉදිකරන බව ගාලු‍ වැසියෝ පවසති. ඒ ඉදිකිරීම් අතයට ගනුදෙනුවලින් පොහොසත් බව ද අසන්නට ලැබේ. වගකිය යුතු රාජ්‍ය ආයතන නිදි බව ප්‍රදේශවාසීන්ගේ අදහසයි.
ගාල්ල කොටුව අවට මෙන්ම නගරයේ තවත් තැන් රාශියක අනවසර ඉදිකිරීම් ගැටලු‍ව පැන නැගී තිබේ. නාගරික සැලැස්ම එම ඉදිකිරීම් කිරීමේදී අමතක වී ඇති සෙයක් පෙනෙයි.

නගර සභාවේ බලධාරීන් ‘ආරක්ෂිත පදික මාර්ග’ තැනිය යුතු බවත් මාර්ගය අවහිර කරන වෙළෙන්දන් සහ අනවසර ඉදිකිරීම් ඉවත් කළ යුතු බවත් වැඩි දෙනෙක් පවසති. සංචාරක කර්මාන්තයෙන් වාර්තාවක් තැබීම රජයේ අරමුණ වී ඇති කාලයක මෙවැනි බාධා ලංකාවට පැමිණෙන සංචාරකයන් තුළ රට ගැන අප්‍රසන්න හැඟීම් ඇති කරවීමට හේතුවන බව නොරහසකි. ගාල්ල මහ නගර සංවර්ධන සැලැස්ම දැඩිව ක්‍රියාත්මක කිරීමෙන් මේ ගැටලු‍ බොහොමයකට විසඳුම් සොයාගත හැකි බව අපගේ හැඟීමයි.

ලෝක උරුම ගාලු කොටුව තුළ ද පසුගිය වර්ෂ කිහිපය තුළ අනවසර ඉදිකිරීම් රාශියක් සිදුකර ඇති බව පුරාවිද්‍යා ආරංචි මාර්ග සඳහන් කරන අතර මෙම අනවසර ඉදිකිරීම් කළ පුද්ගලයන්ට විරුද්ධව දකුණු පළාත් පුරාවිද්‍යා කාර්යාලය මගින් නඩු පවරා ඇත. ගාල්ල කොටු පවුරහි පුරාවිද්‍යා ආරක්ෂිත කලාප තුළ පිහිටි ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය තුළ ද අනවසරයෙන් සිදු කරගෙන යන සංවර්ධන කටයුතු ගැන පසුගිය කාලයේ අසන්නට ලැබුණි. ඒවාට එරෙහිව ද ගාල්ල දිස්ත්‍රික් පුරාවිද්‍යා නිලධාරීන් ක්‍රියාත්මක වී තිබුණි.

ගාල්ල නගරයේ සංචාරක ආකර්ශනයට ඇතිවන තවත් බාධාවක් වන්නේ වැසි ජලයෙන් නගරයේ සමහර පෙදෙස් යටවීමයි. ගාල්ල – වක්වැල්ල ප්‍රධාන මාර්ගයේ ගාල්ල පොලිසිය ඉදිරිපිටින් සහ සංඝමිත්තා විදුහල ඉදිරිපිටින් ජලයෙන් යටවීම බෙහෝ විට සිදුවේ. බස් නැවතුම තිබෙන ප්‍රදේශය පොඩි වැස්සකටත් යටවීම සාමාන්‍ය සිද්ධියකි. නිසි ලෙස වැසි ජලය බැස යන ඇළ මාර්ග සහ කාණු සුද්ද නොකිරීම හා අනවසර ඉදිකිරීම්, සුළු වැස්සකදී පවා ගාල්ල නගරය යටවීමට හේතුවක් වී තිබේ.
“දැනටත්, පොඩි වැස්සකටත් ගාල්ලේ බස් ස්ටෑන්ඩ් එක තියෙන ප්‍රදේශය යටවෙනවා. එතන කාණු ඔක්කොම හිරවෙනවා. වතුර බහින්න ක්‍රමයක් නැති නිසා පොඩි වැස්සකටත් යටවෙනවා. ඉස්සර මම ඉස්කෝලේ යනකොට සපත්තු අතේ අරන් කුණු වතුර පාග පාග ටවුම පැත්තට යන්නේ. ඉතින් මම මගේ ජීවිතේ පුරාම කළේ ගාල්ලට කාණුවක් ඩිසයින් කළ එක.”‍

ජනාකීර්ණ නගර සඳහා ඝන අපද්‍රව්‍ය සිරවීමට ඔරොත්තු දෙන විවෘත කාණු පද්ධතියක් නිර්මාණය කළ ආචාර්ය නදීෂා චන්ද්‍රසේන පසුගිය දා බීබීසී පුවත් සේවයට පවසා තිබුණි.

ඉදිරියේ රටේ ප්‍රධාන විදේශ විනිමය ඉපැයීමක් ලෙස සංචාරක කර්මාන්තය සංවර්ධනය ආණ්ඩුවේ අරමුණය. අතීතයේ පටන් සංචාරකයන්ගේ සිත් දිනාගත් ගාලු‍ කොටුව, උනවටුන වෙරළ තීරය, කොග්ගල කලපුව හා වෙරළ වැනි ආකර්ශනීය ස්ථාන පිහිටි ගාල්ලේ සුන්දරත්වය වැනසීම අනවසර ඉදිකිරීම් හා අනවශ්‍ය නාගරික පීඩනය නිසා සිදුවේ නම් එය කනගාටුවට කරුණකි.

• කුසුම්සිරි විජයවර්ධන

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04