2025 මැයි 17 වන සෙනසුරාදා

විදුලිබල මණ්ඩලයේ සභාපති ගියාද යැව්වද?

 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:03 143

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පසුගිය දා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බලශක්ති අමාත්‍යංශයට යොමුකර ඇතැයි සඳහන්ය. තමන් මෙම තනතුර භාරගත්තේ කෙටි කලකට බැවින් එම කාලසීමාව අවසන් වීම මත තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව එහි සඳහන් කර ඇතැයි වාර්තා වේ. ඔහු ඉල්ලා අස්වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මීළඟ සමාලෝචනයට පෙර කළ යුතු විදුලිය ගාස්තු සංශෝධය පිළිබඳ කතාබහක් නිර්මාණය වී ඇති පසුබිමකය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ පරිදි විදුලිය ගාස්තුව ඉහළ දැමීමට අදාළ වන යෝජනාව ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට මේ සතියේ යැවීමට නියමිත විය. මෙම යෝජනාව අනුව දැනට අයකරන විදුලි ගාස්තුව සියයට 33 කින් හෝ ඊට වැඩි ගණනකින් ඉහළ දැමීමට යෝජනා කෙරෙනු ඇතැයි වැඩිදුරටත් දැනගන්නට ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සපයන ණය මුදලේ මීළඟ වාරිකය නිදහස් කිරීමට නම් විදුලිය නිෂ්පාදනයේ පිරිවැය ආවරණය වන ගාස්තුවක් පාරිභෝගික ජනතාවගෙන් අය කළ යුතු බව මෙයට පෙර මූල්‍ය අරමුදල නිර්දේශ කළේය.
විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති සඳහන් කළේ දේශපාලන බලපෑම් හේතුවෙන් ආචාර්ය තිලක් සියඹලාපිටිය එම තනතුරින් ඉවත්ව ඇති බවටය. එහෙත් බලශක්ති අමාත්‍යංශයේ අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් පළවූ ඇතැම් මාධ්‍ය වාර්තාවලට අනුව පැවසුණේ ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා පෞද්ගලික අවශ්‍යතාවක් මත විදේශගත වීම සඳහා නිවාඩු ලබා ගැනීමට ලිපියක් ඉදිරිපත් කර ඇති බවටය. මෙම තොරතුරුවල සත්‍ය අසත්‍යතාව සනාථ කර ගැනීම සඳහා අවස්ථා කිහිපයකදී “දේශය” ආචාර්ය තිලක් සියඹලාපිටිය සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.

විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට පසුගිය කාලයේ විවිධ චෝදනා එල්ල විය. ඔහු විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරමින් නීති විරෝධී ලෙස වෙනම ආයතනයක් පවත්වාගෙන යමින් විදුලිබල මණ්ඩලයට සේවා සපයන බවට ඔහුට එරෙහිව විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමය අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිල්ලක් කළේ පසුගියදාය. එහි සභාපති එම්.ඩී.ආර්. අතුල මහතා ප්‍රකාශ කළේ මෙලෙස ආයතනයක සභාපති ධුරය දරමින් ඔහුගේ නමින් වෙනම සමාගමක් පවත්වාගෙන යෑම නීති විරෝධී සහ ආයතන විරෝධී ක්‍රියාවක් බවයි. ආණ්ඩුවට තමන් පත්කළ පුද්ගලයන්ගේ වංචා, දූෂණ නොපෙනෙන බවත් එහෙයින් ඔහුට විරුද්ධව පරීක්ෂණයක් පවත්වන ලෙසට අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණිලි කළ බවත් ඔහු ප්‍රකාශ කළේය. එමෙන්ම සභාපතිවරයා පුනර්ජනනීය විදුලිය විනාශ කරමින් පොසිල ඉන්ධන ව්‍යාපෘති ප්‍රවර්ධනය කරන බවටද එම සංගමය චෝදනා කර තිබිණි.

ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතාගේ ඉල්ලා අස්වීම (හෝ නිවාඩු ලබා විදේශගත වීම) සම්බන්ධයෙන් විදුලිය පාවිච්චිකරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර්. අතුල මහතා මෙලෙස සඳහන් කළේය. “ආචාර්ය තිලක් සියඹලාපිටිය එම තනතුරින් ඉල්ලා අස්වීමට හේතු ලෙස දක්වා ඇත්තේ ආණ්ඩුවේ බලපෑම නිසා ඉල්ලා අස්වූ බවයි. මොකක්ද මේ ආණ්ඩුවේ බලපෑම? කවුද මේ බලපෑම කළේ? මෙහි රහස එය නොවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා තිබෙනවා විදුලිය ගාස්තුව පිරිවැය අනුව ගැලපිය යුතුයි කියලා. දැනට පිරිවැය සකස් කර තිබෙන්නේ විදුලිබල පනතේ 30 වැනි වගන්තිය අනුවයි. එයට එරෙහිව යා නොහැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන පිරිවැයට අනුව යනු ලාබදායී ලෙස මෙය පවත්වාගෙන යා යුතුය කියන එකයි. සියඹලාපිටිය මහතා ඇමැතිවරයා සමඟ දිගටම සිටියේ මේ මතයේ තමයි. දැන් කිසියම් විරසකයක් ඇතිවෙලා. එසේ වීමට හේතුව ඔහු ප්‍රකාශ කළ යුතුයි. ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා විදුලිය ගාස්තුව කිසිම විදියකින් වැඩි කරන්නේ නැහැ කියලා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන පරිදි පිරිවැය සකස් කරන ලෙසට විදුලිබල මණ්ඩලයට සහ මහජන උපයෝගිතා කොමිසමට ඔවුන් කියන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා. ගැටුම ඇත්තේ මෙතැනයි.

එලෙස පිරිවැය සකස් කළ නොහැකියි. විදුලිබල මණ්ඩලය තමන්ගේ වියදම් ඇස්තමේන්තු නිසි පරිදි ඉදිරිපත් කළ යුතුයි. මොවුන් කියන්නේ වැඩියෙන් දාල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සතුටු කරන්න කියලයි. පසුගිය කාලයේ දිගටම වර්ෂාව පැවතුණා. ජල විදුලිය නිෂ්පාදනය ඉහළ මට්ටමක පැවතුණා. පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය උපදවනවා. දැන් විදුලිබල මණ්ඩලයට පාඩු නැහැ. මේ ප්‍රශ්නය මුල් කරගෙන සභාපතිවරයා ඉල්ලා අස්වෙලා තියෙනවා. පසුගිය කාලය පුරා ඔහු කළ ක්‍රියාවලට ඔහු වගකිව යුතුයි. ආණ්ඩුවේ ක්‍රියාකාරකම් පිළිබඳව ඔහු හෙළිකළ යුතුයි. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා සුදුසු කෙනෙක් එම තනතුරට පත් කරන්න කියලා. මේ සභාපතිවරයාගේ ඉල්ලා අස්වීම පිටුපස ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බලපෑම විනා වෙන දෙයක් නොවෙයි.” යනුවෙන් සඳහන් කළේය.

විදුලිය පාව්ච්චිකරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික ප්‍රකාශ කළේ මෙවැන්නකි. “ආචාර්ය තිලක් සියඹලාපිටිය පත්කළ දවසේ සිටම අපි ආණ්ඩුවට කිව්වා මොහුගේ පත් කිරීම සුදුසු නොවන බව. ලැදියාවන් අතර ඝට්ටනයක් තිබෙන බවත් අප පෙන්වා දුන්නා. ඔහු ඔහුගේ සමාගම්වලට විදුලිබල මණ්ඩලයේ කොන්ත්‍රාත් ලබා දුන්නා. පුනර්ජනනීය බලශක්තිය හීන කිරීමට ඔහු කටයුතු කළා. ඇතැම් සූර්යබල පද්ධති මේ වන විට වසා දමලා. ඔහුගේ ඉවත්වීම විදුලිබල ක්ෂේත්‍රයට විශාල ජයග්‍රහණයක්. එහෙත් ඔහුගේ සගයන් විදුලිබල මණ්ඩලයේ තවම සිටිනවා. විදුලි බිල තීරණය කිරීමේ ප්‍රධාන නිලධාරිනිය තාම ඉන්නවා. මේ අය අයිඑම්එෆ් එකට විද්‍යුත් ලිපි යවලා තියෙනවා විදුලිබල මණ්ඩලය මේ වන විට පාඩු ලබමින් තිබෙන බවට.

විදුලිබල මණ්ඩලය දිගින් දිගටම ලාබ ලැබුවා. හිටපු සභාපතිවරයා පසුගිය ජනවාරි මාසයේ විදුලිය ගාස්තුව අඩු කිරීමට හැකියාව තිබියදී විදුලිය ගාස්තු වැඩි කරන්න හැදුවා. දැන් නැවත බිල්ලෙක් මවනවා. විදුලිබල මණ්ඩලය විදුලිය ගාස්තුව 35% කින් වැඩි කිරීමේ යෝජනාව ටික දවසකින් ඉදිරිපත් කිරීමට නියමිතයි. 2023 විදුලිබල මණ්ඩලය බිලියන 51 ක ලාබයක් උපයා තියෙනවා. 2024 බිලියන 144 ක ලාබයක් උපයනවා. ඒ අනුව මේ වන විට බිලියන 217 ක ශුද්ධ ලාබයක් ලබනවා. මේ වන විට ඔවුන් අත ඇති මුදල් (Cash in hand) බිලියන 48 ක් තියෙනවා. බැංකුවල මුදල් තියෙනවා. හැබැයි ඔවුන් බැංකුවලින් ණය ගන්නවා. මේ සම්බන්ධයෙන් විගණකාධිපතිත් නිහඬයි. විදුලිබල මණ්ඩලයේ වංචා දූෂණවලට මග පෑදුවේ විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපතිවරයායි. ඒ නිසා ඔහුට නිකම් පැනල යන්න දෙන්න බැහැ. ඔහු පසුගියදා එල්එන්ජී ගිවිසුමක් අත්සන් කළා. තමන් විශ්‍රාම යනකොට කොමිස් ගොන්නක් එක්ක යන්න ඔහු කටයුතු කර තියෙනවා. විදුලිබල මණ්ඩලයේ එක්තරා නිලධාරීන් කොටසක් ඉන්නවා ඔවුන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරන ලෙසටත් ඔවුන්ගේ වැරදිවලට නීතිය හමුවට ගෙන ඒමට කටයුතු කරන ලෙසටත් අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනව.” යනුවෙන් සඳහන් කළේය.
ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයට පත් කෙරුණේ 2024 සැප්තැම්බර මාසයේය. බලශක්ති ක්ෂේත්‍රයේ වසර 40 ක පමණ අත්දැකීම් ඇති ඔහු විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරු - ජනන සැලසුම් මෙන්ම

තවත් තනතුරු කිහිපයක කටයුතු කර ඇති අතර 2004 වසරේ සිට 2008 වසර දක්වා ජාතික  බලශක්ති ප්‍රතිපත්ති කමිටුව ද නියෝජනය කළේය.

• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05