2025 මැයි 17 වන සෙනසුරාදා

හරක් කටා කටින් ගැසූ බෝම්බය!

 2025 මැයි 17 වන සෙනසුරාදා, ප.ව. 02:02 144

2023 මාර්තු මාසයේ මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් නඳුන් චින්තක නොහොත් හරක් කටා ශ්‍රී ලංකාවට රැගෙන ආවේය. අනතුරුව මොහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට ඉදිරිපත් කෙරිණි. රැඳවුම් නියෝග ලබා ගැනීමෙන් අනතුරුව හරක් කටා සම්බන්ධයෙන් විමර්ශන ඇරඹිණි. එසේ රඳවා ප්‍රශ්න කරමින් සිටින අතරතුර හරක් කටා ගැන අමුතු පුවතක් ප්‍රචාරය විය. ඒ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට මත් වීමට කිරිටොෆි ලබා දී පැන යාමට තැත් කිරීම පිළිබඳවය.

එපමණක් නොව, එය සාර්ථක නොවුණහොත් කොමාන්ඩෝ පන්නයේ ප්‍රහාරයක් එල්ල කර හරක් කටාව රැගෙන යාමට සූදානම් වූ බව ද පොලිසිය අනාවරණය කළේය. ඒ සඳහා පොලිස් නිලධාරියකු ද සහාය වූ බවත්, ඔහු පැන ගිය බවත් හෙළි කෙරිණි.
ඒ අනුව කොළඹ කොටුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ සිටි හරක් කටා මේ වනවිට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අයත් තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටී. දැන් නැවතත් පරීක්ෂණ ආරම්භ කර තිබේ. මාස තුනෙන් තුනට ත්‍රස්ත මර්දන පනතට අනුව සැකකරුවකු තබාගත හැකි අතර ඊට ආරක්ෂක ඇමැතිවරයා අත්සන් කළ යුතුය. කෙසේ වෙතත් එලෙස තබාගත හැක්කේ මාස 18 ක් පමණි. ඒ අතර කාලයේ සියලු‍ විමර්ශන සිදුකර නඩු පැවරිය යුතුය. එහෙත් එලෙස සිදුවුණේ නැත. මාස 18 හමාර වූ සැණින් පොලිසිය මීළඟ අදියරට ගියේය. එනම් ත්‍රස්ත මර්දන පනතේ 15(1) වගන්තිය අනුව කටයුතු කිරීමයි. එහි සඳහන් වන්නේ යම් පුද්ගලයකු ජාතික ආරක්ෂාවට හෝ මහජන ආරක්ෂාවට තර්ජනයක් වන්නේ නම් ඔහුව නඩු විභාගය අවසන් වන තෙක් රඳවා ගැනීමට හැකියාව පවතින බවයි. එල්ටීටීඊ සාමාජිකයකුට පවා ක්‍රියාත්මක නොවූ මෙම වගන්තිය පොලිසිය මේ අවස්ථාවේ හරක් කටා වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබේ. එහි ගැටලුවක් නැත. ඒ යම් විමර්ශනයක් සිදුවන්නේ නම් පමණකි.

එහෙත් පුදුමය නම් හරක් කටාව අත්අඩංගුවට ගෙන මාස 26 ක් ගතවී ඇතත් ඔහුට එරෙහිව දැමූ නඩුවක් නැත. මාස 26 ක් පුරා අත්අඩංගුවේ සිටි හරක් කටාට අලු‍තින් කියා නඩුවක් ඇත්තේ රහස් පොලිසියෙන් පැන යාමට උත්සාහ කිරීම පමණි. ඒ හැර මත්ද්‍රව්‍ය ජාවාරමට, මනුෂ්‍ය ඝාතනයට හෝ අවි ආයුධ සම්බන්ධයෙන් අලු‍ත් නඩුවක් නැත. එසේ නම් පොලිස් නිලධාරීන් සහ විශේෂ කාර්ය බලකා සෙබළුන් 87 දෙනකු ආරක්ෂාවට යොදවා මාසයකට රුපියල් කෝටියක් වැය කර හරක් කටා රකින්නේ අහවල් දේකටදැයි අපට ප්‍රශ්නයක් ඇත. හරක් කටා ඇල්ලු‍වා කියා කුඩු ජාවාරම නැවතිලා නැතිනම්, හරක් කටා නිසා මිනීමැරීම් නැවතිලා නැතිනම්, ඔහුට එරෙහිව නඩු නොදමා තවදුරටත් කන්න බොන්න දෙන්නේ ඇයි?

මේ සියල්ල මැද පසුගිය බදාදා හරක් කටා කොළඹ මහාධිකරණ අංක හය වෙත රැගෙන ආවේය. එසේ රැගෙන එන අතරතුර මාධ්‍ය මැදට පැන කුමක් හෝ කියන්න ඇතිදැයි විමසීය. එවිට හරක් කටා පැවසුවේ එන ගමන් කියන්නම් කියාය. ඒ අනුව නඩුව අවසන් වී එළියට එන හරක් කටා පැවසුවේ තමාව මෙලෙස සිර කරගෙන සිටින්නේ ටිරාන් අලස් සහ දේශබන්දු යන අය ඉල්ලූ කෝටි 30 ක මුදල ලබා නොදුන් නිසා බවය. එය බරපතළ අනාවරණයක් වූ අතර එසේම එය අහඹු ප්‍රකාශයක් නොවන බවද ඔහුගේ හැසිරීම අනුව පෙනී යයි. එසේ නම් මේ කතාව කුමක්ද?

හරක් කටා රහස් පොලිසියේ අත්අඩංගුවේ සිටියදී පැන යාමට උත්සාහ කිරීමේ සිදුවීමත් සමඟ එවකට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා දකුණු පළාත් පොලිස් නිලධාරීන් හමුවේ අනාවරණයක් සිදු කළේය. ඒ 2023 නොවැම්බර් 04 දාය. එහිදී ඔහු පවසා තිබුණේ හරක් කටා තමන්ට කෝටි 70 ක අල්ලසක් ලබා දී ඩුබායි රාජ්‍යයට පැන යාමට තැත් කළ බවයි. එසේම ඒ ඩීල් එක රැගෙන ආ පුද්ගලයා ද දකුණේදී වෙඩි කා මරණයට පත්වූ බව ද ටිරාන් අලස් කීවේය. එසේ නම් හරක් කටාට පෙර අල්ලස ගැන කීවේ ටිරාන්ය. ඒ ටිරාන් ඉල්ලපු කතාවක් නොව ටිරාන්ට දෙන්න ගිය කතාවකි. එසේ නම් ඩීල් එක රැගෙන ආ පුද්ගලයා කවුද? වෙඩි කෑවේ කවුද?

2023 මාර්තු මාසයේදී හිටපු රාජ්‍ය ඇමැතිවරයකුගේ මාමණ්ඩිය වෙඩි කා මිය ගියේය. ඔහු රත්ගම විදුරගේ මිත්‍රයෙකි. ප්‍රහාරය එල්ල කළේ කොස්ගොඩ සුජී පාර්ශ්වයෙනි. කෙසේ වෙතත් මෙම මියගිය පුද්ගලයා මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වසන්ත මෙන්ඩිස්ගේ සමීප ඥාතියෙකි. එසේ නම් ටිරාන් අලස් නොකියා කීවේ මොහු ගැනද? එය දන්නේ ටිරාන් අලස් පමණි.

එහෙත් මෙහි ගැටලු‍වක් ඇත. ටිරාන් අලස්ට කෝටි 70 ක් දීමට සූදානම් වූවා නම්, ඩීල් දාපු අයකුත් සිටියේ නම් ඊට එරෙහිව වූ පැමිණිල්ල සහ විමර්ශනය කොහේදැයි ප්‍රශ්නයක් තිබේ. පුදුමය නම් ඇමැතිවරයා ඒ බව කියා තිබුණේ අදාළ ඩීල්කරු ද මිය ගිය පසුවය.

හරක් කටාට ආරක්ෂක අංශ මගින් කුණු කරවල දීමත්, වෛද්‍ය ප්‍රතිකාර නිසි ලෙස ලබා නොදීමත් යන කරුණු සම්බන්ධයෙන් ඔහුගේ නීතිඥයෝ පසුගිය නඩු වාරවලදී කරුණු අනාවරණය කළහ. මේ නිසාම මෙම සිදුවීම සිදුවූ දවසේ ද හරක් කටා අධිකරණය ඉදිරියේදී තමන්ට සිදුවූ දේ පවසා තිබිණි. මෙකී ගැටලු‍ව නිසා හරක් කටා මෙලෙස කියන්නට ඇතැයි සැකයක් ඇත.

එහෙත් සැකයේ වාසිය විත්තිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය මේ මොහොතේදී විමර්ශනයක් සිදු කළ යුතුය. කෝටි 70 ට නැතිනම් කෝටි 30 ට හෝ සොයා බැලීමක් සිදු කළ යුතුය. ඒ ඇත්ත කියන්නේ කවුදැයි දැන ගැනීමටය. ඒ නිසා ඒ විමර්ශනය සිදු කළ යුතුමය. කෙසේ වෙතත් අපට දැනගන්නට ඇති ආකාරයට අදාළ විමර්ශන කටයුතු ත්‍රස්ත විමර්ශන ඒකකයට ලබා දී ඇත. ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔවුන් අද හෙටම හරක් කටා හමුවීමට නියමිතය.

කෙසේ වෙතත් දැන් හරක් කටා රැකගත යුතුය. ඔහු සිදු කළ ප්‍රකාශය අනුව ඒ සම්බන්ධයෙන් විමර්ශනය සිදුවෙන තෙක් රැකගත යුතුය. මදූෂ්ට සිදුවූ දෙය සිදුවන්නට නොදිය යුතුය. මදූෂ් ඝාතනය වූයේ රහස් රැසක් තබාගෙනය. ඒ නිසා හරක් කටා දැන් වෙනදාටත් වඩා ආරක්ෂා කළ යුතුය. ඒ වෙන කිසිවක් නිසා නොව ඇතැම් නම් ගම් කියැවෙන විට බොහෝ සාක්ෂිකරුවන් අකාලයේ මිය යන බැවිනි.

• ගයාන් ගාල්ලගේ