කාලෙන් කාලෙට නවකවද මාතෘකාව කලඑළි බහින්නේ ඛේදවාචක අත්දැකීමක් ද සමඟය. මේ දිනවල යළිත් එය අසන්නට ලැබෙන්නේ සබරගමුව විශ්වවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමිනි. අමානුෂික නවකවදය හේතුවෙන් හටගත් මානසික පීඩාවක් නිසා සියදිවි නසාගත් බව කියන විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු නිසා මේ දිනවල සියලුම මාධ්‍ය මේ ගැන අවධානය යොමු කර තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ, ගම්පොළ, අටබාගේ, ඉහළගම ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි චරිත් දිල්ශාන් දයාරත්නය. ඔහු සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙකි. අප්‍රේල් 29 වැනිදා ඔහු සියදිවි හානි කරගෙන තිබේ. සමාජ මාධ්‍යවල හුවමාරු වන සටහන්වල දැක්වෙන්නේ ඔහුට නවකවදය දීමට හේතුව, ඔහු විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාරයේ වැසිකිළියට කොට කලිසමක් ඇඳගෙන යාම නිසා ජ්‍යෙෂ්ඨ සිසුන් උරණවීම නිසා බවය. මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන අතර පසුගිය 4 දා එයට සැකපිට සිසුන් හතර දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ දිනවල ඔවුහු සිරමැදිරියේ කූරු ගණන් කරමින් ඉන්නවා ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන සිටින්නේ සබරගමුව සරසවියේ තෙවැනි වසරේ සිසුන් පිරිසකි.
නවකවදය නරක දෙයක් නොවේ. ඒ එය පළිගැනීමේ චේතනාවෙන් තොරව නවක සිසුන් හඳුනාගැනීමේ අරමුණින් පවත්වන විටය. එය විශ්වවිද්‍යාලය තුළ ආදරණීය සැමරුමක් සිත්වල සටහන් කරන උප සංස්කෘතියකි. ලියුම්කරු ද විශ්වවිද්‍යාල සමයේ එවැනි නවකවදවලට ලක්ව තිබේ. ඉන්පසු ජ්‍යෙෂ්ඨයන් බවට පත්වන නවක සිසුහු ද ඒ කටයුත්තම තමන්ගේ නවක සිසුන් උදෙසා ඉටු කරති. ලෝකයේ විශ්වවිද්‍යාල බොහොමයක නවකවදය තිබේ. ඇමෙරිකාවේ කොලේජ් පාර්ක් හි පිහිටි මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ නවකවද කාලයේ දී නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නවකවදය දෙන්නේ දුප්පත් ශිෂ්‍යයන්ට ආධාර කිරීම සඳහා නගරය පුරා ඇවිද සල්ලි එකතු කරන ලෙස දන්වා නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පිංකැට භාර දීමෙනි. තවත් සමහරුන්ට ලැබෙන නවකවදය වන්නේ තම විශ්වවිද්‍යාලය විසින් කරගෙන යන පුණ්‍ය කටයුතු ජනතාවට විස්තර කරමින් ඇවිදීමය.
රැග් යන වචනයේ අර්ථය ලෙස සඳහන් වන්නේත් පොදු කටයුත්තක් සඳහා අරමුදල් එකතු කිරීමය. එය පසුගිය සියවසේ මුල් භාගයේ පටන් බටහිර රටවල විශ්වවිද්‍යාල ආශ්‍රිතව පැවති අතර රැග් දිනය ලෙස දිනයක් වෙන් කිරීම ද දක්නට ලැබුණි. ලංකාවේ විශ්වවිද්‍යාලවල රැග් කිරීම යනු යම් සිසුවෙක් උපහාසයට ලක්කර මානසික පීඩාවකට ලක්කර ජ්‍යෙෂ්ඨ සිසුන් සිනාවීමයි. එය විහිලු තහලු සහ විනෝදාංග සහිතව සාමාන්‍ය මට්ටමින් සිදුවීම නවකයන්ටත් විනෝදයක් වුණත් සමහර මානසික රෝගී ජ්‍යෙෂ්ඨයෝ තම දුර්වලතාවල ඇරියස් කවර් කිරීමට නවකවදය උපයෝගී කර ගනිති. යම් කිසි පුද්ගලයකු ඉලක්ක කර ඔහු/ඇය මානසිකව හෝ ශාරීරිකව පීඩාවට ලක් කරන්නේ නම් එය ‘බුලි’ (Bullying) කිරීමක් බව විශේෂඥ මතයයි. ‘බුලි’ කිරීම (Bullying) සිංහල භාෂාවෙන් හඳුන්වනු ලබන්නේ අරියාදු ලෙසය.
ඉතිහාසයේ සිට අද වනතෙක් බැලූ කල නවකවදය නිසා ජීවිතය හැර ගියෝද, පූර්ණ ආබාධිත වූවෝද, අධ්‍යාපනය අත්හැරියෝද බොහෝ වෙති. නවකවදය යන ක්‍රියාදාමය පළමුවරට ලෝකයේ උසස් අධ්‍යාපන ආයතනවල උප සංස්කෘතියට ඇතුළු වූයේ පළමු ලෝක යුද්ධයෙන් පසුව බව ඉතිහාස වාර්තා පෙන්වා දෙයි. අධ්‍යාපනය අත්හැර පළමු ලෝක යුද්ධයට එක්වූ තරුණ සොල්දාදුවන්ගෙන් පිරිසක් යුද්ධයෙන් පසුව යළිත් විශ්වවිද්‍යාලවලට ඇතුළු වූහ. ඔවුන් පිළිගැනීමට විශ්වවිද්‍යාල තුළ පැවති ක්‍රියාදාමය නවකවදය ලෙස සමාජගත විය. ඊට විවිධාකාර වූ වෙනස්කම් එකතු වීම නිසා කල් ගතවත්ම මූලික අරමුණුවලින් බැහැර වූ නවකවද සංස්කෘතිය සමහරක් තැන්හි අමානුෂික සහ අවදානම් ස්වරූපයක් ගන්නා බව නොරහසකි. අප රටේ දැනට තියෙන ගණන් හිලව්වලට අනුව මේ රටේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් සියයට 59 ක් දෙනා නවකවදයට ලක්වෙති.
අප රටේ නවකවද පසුබිම මඳක් විමසා බලමු.
අප රටේ මුලින්ම නවකවද සිද්ධියක පැමිණිල්ලක් ගැන වාර්තා වන්නේ 1974 දී විද්‍යාලංකාර (කැලණිය) විශ්වවිද්‍යාලයෙනි. උපාධිය හැදෑරීමට ගුරු වෘත්තියේ සිට පැමිණි පුහුණු ගණිත ගුරුවරු කිහිප දෙනකු නවකවදයට ලක්වීමක් සම්බන්ධව විමර්ශනයක් සිදුකිරීමට, සිරිමාවෝ බණ්ඩාරනායක රජය විසින් වී.ඩබ්. කුලරත්න කොමිසම පත්කරන ලදී. එහි ප්‍රතිඵලයක් වශයෙන්, උපාධි අපේක්ෂකයන් දොළොස්දෙනකු විශ්වවිද්‍යාලයෙන් නෙරපා දැමුණි. මේ සිදුවීම සම්බන්ධව සුදුසු ක්‍රියාමාර්ගයක් ගැනීමට අසමත් වීම නිසා විශ්වවිද්‍යාල නිලධාරීන් සිව්දෙනකුට ද දඬුවම් නියම කෙරුණි.
1975 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරුණු රූපා රත්නසීලී නමැති ගැමි දැරිය එම විශ්වවිද්‍යාලයේ රාමනාදන් නේවාසිකාගාර ශාලාවේදී නවකවදයට ලක්වූ අතර එයින් බේරීම සඳහා විශ්වවිද්‍යාල නේවාසිකාගාරයෙන් බිමට පැන්නාය. එහිදී ඇගේ කොන්ද කැඩුණි. ඇයට විශ්වවිද්‍යාල ජීවිතය අහිමි වූ අතර එදා සිට ඇය ගමන් කළේ රෝද පුටුවකින්ය. 1997 වසරේදී එනම්, 47 වැනි වියේදී සිය ජීවිතය ගැන කලකිරුණු රූපා රත්නසීලී, ගෙවත්තේ පිහිටි ළිඳ ළඟට රෝද පුටුවෙන්ම ගොස් ළිං බැම්මට බඩගා ළිඳට පැන දිවිනසා ගත්තාය.
නවකවද සිද්ධි නිසා 1993 වසරේදී රුහුණ විශ්වවිද්‍යාලය තුළ මරණයකුත්, 1997 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ මරණයකුත්, එම වසරේදීම රුහුණ විශ්වවිද්‍යාලය තුළ හා අම්පාර තාක්ෂණික ආයතනයේදී මරණයකුත් සිදුවිය. මේ සෑම සිද්ධියක්ම නවකවදය නිසා ඇතිවූ මානසික කඩාවැටීම මත සිදුවූ සියදිවි නසාගැනීම් විය.
1997 වසරේ සිදුවූ නවකවදයට අදාළ සිද්ධීන් පෙළකින් අනතුරුව, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින්, අධ්‍යාපන ආයතනයන්හි නවකවදය සහ වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා තහනම් කිරීමේ 1998 අංක. 20 පනත සම්මත කර ගන්නා ලදී. නවකවදය, වෙනත් ස්වරූපයේ සාහසික ක්‍රියා සහ නොහොබිනා සැලකීම් ආදිය අධ්‍යාපන ආයතන තුළින් තුරන් කර දැමීම පනතේ සවිස්තරාත්මකව නිරූපණය කර තිබේ. 1978 අංක 16 යන විශ්වවිද්‍යාල පනත යටතේ පිහිටුවා ඇති සෑම උසස් අධ්‍යාපන ආයතනයක්ම සහ පනතට අදාළ උසස් අධ්‍යාපන ආයතන මේ යටතට ගැනේ.
උසස් අධ්‍යාපන ආයතනයක් ඇතුළත හෝ ඉන් පිටතදී හෝ නවකවදය සිදුකරන හෝ ඊට සහභාගි වන තැනැත්තකු මෙම පනත යටතේ වරදකරුවකු වන අතර, මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ සිදු කරන ලඝු නඩු විභාගයකින් එම තැනැත්තා වරදකරුවකු වූ විට, වසර දෙකක් නොඉක්මවන කාලයක් සඳහා අධිකරණය මගින් නියම කරන මුදලකින් වන්දි ගෙවන ලෙසට ඔහු වෙත ආඥා කළ හැකි වේ.
උසස් අධ්‍යාපන ආයතනයක සිසුවකුට හෝ කාර්ය මණ්ඩලයේ සාමාජිකයකුට හෝ නවකවදය සිදුකරන අතරවාරයේ, එම සිසුවාට හෝ සාමාජිකයාට ලිංගික අතවරයක් හෝ බරපතළ තුවාලයක් සිදුකරන තැනැත්තකු මෙම පනත යටතේ වරදකරුවකු වේ. මහේස්ත්‍රාත්වරයකු ඉදිරියේ සිදු කරන ලඝු නඩු විභාගයකින් එම තැනැත්තා වරදකරුවකු වූ විට, අවුරුදු දහයක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාර ගත කිරීමකට ඔහු යටත් විය යුතු බව පනතේ සඳහන්ය. වින්දිතයාට සිදුවූ හානිය වෙනුවෙන් අධිකරණය විසින් තීරණය කරනු ලබන මුදලකින් වන්දි ගෙවන ලෙසට ඔහු වෙත ආඥා කිරීමේ හැකියාවක් ද පවතී. ඒත් පනත සම්මත වීමෙන් පසුව ද සිදුවන සිද්ධීවලින් පෙනෙන්නේ එය නමට පමණක් සීමාවූ පනතක් බවත් බොහෝ විශ්වවිද්‍යාල සිසුන් පවා ඒ ගැන නොදන්නා බවත්ය.
නවකවදයේ දරුණු බව 2002 නොවැම්බර් 7 දා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමන්ත විතානගේ ඝාතනයත් සමඟ ලොවට විවර විය. පරිගණකයක විශාල මොනිටරයකින් හිස දෙපලු වන සේ පහර දී සමන්තව ම්ලේච්ඡ අයුරින් ඝාතනය කළේ ඔහු නවකවදයට පිටුපෑ නිසාය. මේ පහරදීම වෙලාවේ ඉහළ වසරවල ඇතැම් සිසුන් අත්පොළසන් දීලා සන්තෝස වුණා විතරක් නෙවෙයි සමන්තව රෝහල්ගත කිරීමට රැගෙන යාම පවා අවහිර කළ බවත් වාර්තාවල පැවසේ.
ලංකාවේ මතු නොව ඉන්දියාව, පාකිස්තානය, නේපාලය යන ආසියානු රටවලත් දරුණු නවකවද සිද්ධි වාර්තා වේ. ඉන්දියාවේ නවකවදය නීතියෙන් තහනම්ය. ඒ රටේ 2011 දරන නවකවද පනත යටතේ නවකවදය දෙන ශිෂ්‍යයන් හිරේ දැමීම, දඩ ගැසීම හෝ එල්ලා මැරීම සිදු කෙරේ.
ශ්‍රී ලංකාවේ නම් කාලයත් සමඟ සෑම දෙයක්ම අමතක වේ. සබරගමුවේ සිද්ධිය ගැන විශ්වවිද්‍යාල උපාධිධරයන් වන ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරිය ද උනන්දු වී සිටින අතර එයට සාධනීය ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
• කුසුම්සිරි විජයවර්ධන