දැන් ලංකාව පුංචි චිකාගෝව වගේය. දවසට වෙඩිල්ලක් දෙකක් පත්තු නොවන දවසක් නැත. මනුෂ්‍ය ඝාතනයක් නොකළත් අහසට හෝ වෙඩි තබා දවසේ වෙඩිල්ල සහතික කරනු ඇත. ඒ තරමට රට අපරාධ රාජ්‍යයක් බවට සහතික කරමින් ඇත. අප්‍රිකානු රටවල කැරලිකරුවන් ගිනිඅවි රැගෙන යතුරුපැදිවලින් එහේ මෙහේ යන්නා සේ මේ රටේ ද පාතාලයෝ ගිනිඅවි රැගෙන එහේ මෙහේ සැරිසරති. මෙවැනි වෙඩිල්ලක් කොහෙන් තමන්ට පත්තුවේදැයි මහජනතාව ඉන්නේ බියෙන් සහ සැකයෙනි.
පසුගියදා ගල්කිස්ස වෙරළ මාවතේ පාර අතුගාමින් සිටි ගල්කිස්ස මහ නගර සභාවේ සේවකයකු වූ අවුරුදු 19 ක තරුණයකුට වෙඩි තැබිණි. එහෙත් වෙඩිල්ල තරුණයාගේ අතේ වැදුණු නිසා ඔහු මරබයේ “අම්මෝ” ගාමින් මර ළතෝනි තියමින් ගාලු පාරට පැන්නේය. ඒ පැය 24 පුරාම ජනයා ගැවසෙන මාර්ගයක් වූ බැවිනි. ජීවිතය බේරාගෙන පාරට පැන්නත් වෙඩික්කරු අරමුණ අතහැරියේ නැත. ඔහු තරුණයා පසුපස දුවගෙන ආවේය. පසුව යතුරුපැදියේ නැගී ආවේය. මරබයේ හති දා පැමිණි තරුණයා මග නැවතුණේය. ඒ මාරයා ගිය බව සිතාය. හිස පහත් කර නැවත ඔසවන විට වෙඩික්කරු තමා හඹා එන බව එම තරුණයා දුටුවේය. අවසානයේ ගැලවීමක් නැති බව තේරුම් ගත් තරුණයා සිය ජීවිතේ කැප කළේ ඔලුව පහත් කරමිනි. එකපිට එක වෙඩි තබා වැටුණු පසුව නැවත ද වෙඩි තැබූ ඔවුහු පැන ගියහ. මේ සියල්ල සිදුවූයේ දහස් ගණනක් යන ගාලු පාරේය.
මෙම තරුණයාගේ මරණය හුදෙකලා මරණයක් නොවීය. ගල්කිස්ස බඩෝවිට කුඩු කල්ලි දෙකක් අතර සිදුවන මාරාන්තික සටනක 9 වැනි බිල්ල වූයේ මෙම තරුණයාය. බඩෝවිට අසංකත් බඩෝවිට කොස් මල්ලිත් අතර වූ කුඩු ආරවුල පටන් ගත්තේ 2024 සැප්තැම්බර් මාසයේදීය. එකී ඝාතන වළල්ලේ 9 වැනි බිල්ල මේ 19 හැවිරිදි තරුණයා විය. මේ තරුණයා බඩෝවිට කොස් මල්ලි නැමැත්තාගේ සහෝදරියගේ ස්වාමියා වූ කළු මල්ලි නැමැත්තාගේ නැගණියගේ දරුවාය. කෙසේ වෙතත් මිය ගිය තරුණයාගේ මවට මහාධිකරණ නඩු රැසකි. ඒ කුඩු නඩුය. අවසානයේ කල්ලි දෙකේ ඝාතන සටනේ 9 වැනි ඝාතනය සිදු වුණේ එලෙසය.
සුජීව රුවන් කුමාර ද සිල්වා නොහොත් ලොකු පැටී පසුගිය ඉරිදා ලංකාවට රැගෙන ආවේය. ඒ බෙලරූස් රටට පැන සිටියදීය. සක්‍රීය පාතාල කල්ලි සාමාජිකයකු වන ලොකු පැටී ඝාතනය වූ මාකඳුරේ මදූෂ්ගේ සමීපම ගෝලයාය. එයට හොඳම උදාහරණය වන්නේ මාකඳුරේ මදූෂ් සහ නාකොටික් රංගජීව අතර තිබූ ගැටුමට අදාළව පිළියන්දල ප්‍රදේශයේදී නවාස් නැමති ඔත්තුකරු බොරු ඔත්තුවක් ලබා දී ඝාතනය කිරීමට සූදානම් වීමය. එහෙත් රංගජීව බේරුණේ අනූ නවයෙනි. රියැදුරු අසුනේ සිටි කොස්තාපල් සහ අසල කඩයක සිටි 6 හැවිරිදි දැරිවියක් මිය ගියහ. මේ ඝාතනයට පැමිණියේ අහංගම අසංක නැමැති පාතාල සාමාජිකයාය. යතුරුපැදිය පැදෙව්වේ ඉහත කී ලොකු පැටීය.
නැවත ලොකු පැටීගේ නම කියැවුණේ 2024 ජූලි මාසයේදීය. අතුරුගිරිය ටැටූ ස්ථානයක් විවෘත කිරීම සඳහා පැමිණි පිරිසකට ටී 56 ගිනිඅවි දෙකකින් වෙඩි තැබිණි. ඒ ප්‍රහාරයෙන් ව්‍යාපාරිකයෙක් වන ක්ලබ් වසන්ත සහ ගායිකා කේ. සුජීවාගේ ස්වාමියා මිය ගියහ. වසන්තගේ බිරිඳ සහ සුජීවා බරපතළ තුවාල ලැබූහ. මෙම ඝාතනය සිදු කළේ කංජිපානි ඉම්රාන් සහ ලොකු පැටී බව කියැවිණි. ටැටූ හිමිකරුට මෙම ආයතනය දැමීම සඳහා මුදල් ලබා දී තිබුණේද වසන්ත ගෙන එන ලෙසට ආරාධනා කරන්නැයි කීවේද ලොකූ පැටී බව අනාවරණය විය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ලොකු පැටීගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ ඔහු පැවසුවේ මදූෂ්ගේ දියණියගේ ඩුබායි රාජ්‍යයේ තිබූ උපන්දින සාදය වසන්තට කියූ බවත්, වසන්ත එනවා කියා පසුව මගහැරි බවත්, එදා ඩුබායි පොලිසිය එම ස්ථානයට පැන්නේ මෙරට ආරක්ෂක අංශ වෙත වසන්ත දුන් ඔත්තුවක් නිසා බවත්ය. එම පාවාදීම නිසා මෙම ඝාතනය සිදු කළ බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන් විය. එහෙත් එක් වෙඩික්කරුවකු තමන්ගේ බවත්, අනෙක් පුද්ගලයා ඉම්රාන් එවූ බවත් පැවසුවේ, තමන්ගේ වෙඩික්කරු ප්‍රහාර හතරක් වසන්තට එල්ල කරන කරන විට ඔහුගේ ආරක්ෂාවට පිටුපසින් අනෙක් වෙඩික්කරුට සිටින ලෙස බවටය. එහෙත් පිටුපස වෙඩික්කරුගේ හදිසිවීම මත සියල්ල වෙනස් වුණු බවත්, පසුව එසේ වෙඩි තැබුවේ ඇයිදැයි තමන් බැණ වැදුණු බවත් ඔහු පැවසීය. එපමණක් නොව වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ තමන් සහ රොටුඹේ අමිල බෙලරූස් සිට බලා සිටි බවද කීවේය.
ලොකු පැටී කොටුවූයේ 2024 අගෝස්තු මාසයේදීය. ඒ රංගජීවට වෙඩි තැබූ සිද්ධියට නිකුත් කළ රතු වරෙන්තුව අනුවය. මොහු එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ කර ඇත්තේ තමන් එම ස්ථානයට යන තෙක් රංගජීව සිටින බවට නොදැන සිටි බවයි. ඒ බව මදූෂ් නොකී බවද ඔහු සඳහන් කර ඇත. මාස නවයක කාලයක් බෙලරූස් අත්අඩංගුවේ සිටි ලොකු පැටී ලංකාවට එන තෙක්ම ඇන්දේ එකම ඇඳුමය. කෙසේ වෙතත් දැන් ලොකු පැටී සිටින්නේ කොළඹ දකුණ අපරාධ කොට්ඨාසයේ රැඳවුම් භාරයේය. එනිසා ඉදිරියේදී තවත් කතා ගොඩක් හෙළිවනු ඇත.
මේ අතර පසුගියදා ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ මහ මොළකරු බව කියන බන්දු හෙවත් කට් බන්දු කුරුඳුවත්ත ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත් විය. එලෙස අත්අඩංගුවට පත්වීමට පෙර බන්දු අප ඇමතුවේය. බන්දු කීවේ තමන් කිසිසේත් ඩෑන් ඝාතනයට සම්බන්ධ නැති බවය. ඩෑන්ගේ මල්ලිගේ ඝාතන සිදුවීමට තමන් කොටුවුණත් මේ සිදුවීමට තමන්ගේ සම්බන්ධයක් නොමැති බව ඔහු කීවේය. කෙසේ වෙතත් ඩෑන් ප්‍රියසාද්ගේ බිරිඳගේ නැගණියක් විවාහ වී සිටින්නේ මෙකී බන්දුගේ පුතා වන මාධව සමඟය. මාධවට බොරු කුඩු නඩුවක් දැම්මේ ඩෑන්ගේ බලපුළුවන්කාරකම හරහා බවද බන්දු කීවේය. පසුව ඩෑන් මේ සිදුවීම ෆේස්බුක් දමමින් කීවේ වැල්ලම්පිටියේ කුඩු විකුණන්නේ මාධව බවටය. මේ නිසා බන්දු සහ මාධව ඩෑන්ට වැඩක් දෙන්නට සිටියහ. එහෙත් ඔහුට තරමක බලයක් තිබූ නිසා ඒ පලිය ගත්තේ මාධවගේ මල්ලි ඝාතනය කර දමමිනි.
ඩෑන් සම්බන්ධයෙන් කංජිපානි ඉම්රාන්ට ගැටලුවක් විය. ඒ ඉම්රාන්ට එරෙහිව වසන්ත ඝාතනයෙන් පසුව විශාල උද්ඝෝෂණයක් සිදු කළ බැවිනි. එසේ සිදු කර ඩුබායි රාජ්‍යයට ගිය ඩෑන් නැවතුණේ තවත් මත් ජාවාරම්කරුවකු වන චමිල නැමැත්තාගේ නිවසේය. මෙය ඉම්රාන්ලා ඉවසුවේ නැත. මේ නිසා මෙම ඝාතනය සිදුවූ බව ප්‍රසිද්ධ රහසකි.
මෙම ඝාතනයට අත්අඩංගුවට පත්වූ බන්දුගේ එක් දියණියක් පවසා තිබුණේ වෙඩි තැබීමට පැමිණියේ බන්දු බවය. මේ නිසා බන්දු වෙඩික්කරු බවටය. පොලිසියට කට්ටි පනිමින් සිටි බන්දු කොටුවුණේ අපුරු ලෙසය. බන්දු මත්පැන් පානය කර සිය වාහනයෙන් පැමිණෙන අතරතුර තවත් මෝටර් රථයක ගැටුණේය. ඒ අන් කවරකුගේ නොව මීට පෙර සිටි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයකු වූ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූවගේ වාහනයේය. පසුව රිය අනතුර සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට ගිය බන්දු ප්රශ්නය විසඳා එන විට පොලිසිය ඔහුව අත්අඩංගුවට ගත්තේය. බන්දු කොටුවුණේ එලෙසය. කෙසේ වෙතත් පොලිසිය කියන්නේ බන්දු වෙඩික්කරු බවය. එහෙත් බන්දු කියන්නේ තමා ඒ ඝාතනයට සම්බන්ධ නොවූ බවය.
• ගයාන් ගාල්ලගේ