මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ පසුගිය 30 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබිණි. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06 කින් අඩු වූ අතර එහි නව මිල රුපියල් 293 කි. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20 කින් අඩු වූ අතර එහි නව මිල රුපියල් 341 ක් ලෙස දැක්වේ. සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 12 කින් පහළ වැටී ඇති අතර එහි නව මිල රුපියල් 274 කි. එමෙන්ම ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06 කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 325 කි. ලංකා භූමිතෙල් මිල ද රුපියල් 05 කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 178 ක් ලෙස දැක්වේ.
ඉන්ධන මිල මෙලෙස සංශෝධනය වීම ජනතාවට එක්තරා ආකාරයක වාසි ගෙන දෙන්නක් වූ නමුත්, පොදු ප්‍රවාහන බස් රථවල සහ මගී ප්‍රවාහන ත්‍රීරෝද රථවල ගාස්තුව තවමත් අඩු වී නොමැත. ඉන්ධන මිල සදා කල් එක ලෙස පවතින්නක් නොවේ. එය විවිධ හේතු කාරණා සහ අවස්ථා පාදක කොටගෙන විවිධාකාරයෙන් උච්ඡාවචනය වන්නකි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවයේ ඇති ගැටලුව නම් ඉන්ධන මිල වැඩි වන විට ප්‍රවාහන ගාස්තුව වැඩි වන නමුත්, ඉන්ධන මිල අඩු කළ විට එහි වාසිය පොදු මහජනතාවට නොලැබීමය.
ශ්‍රී ලංකාවාසී ජනතාවගේ අති බහුතරයක් දෛනික ගමන් පහසුව සලසාගනු ලබන්නේ දුම්රිය සහ බස්රථ මගිනි. ඒ අතරිනුත් ජනතාව වැඩි වශයෙන් ගමන් බිමන් යන්නේ බස් රථවලිනි. ඊට අමතරව ත්‍රීරෝද රථ සේවා ලබාගන්නා පිරිසක් ද සිටිති. සාමාන්‍ය ජනතාව මැසිවිලි නගන්නේ ඉන්ධන මිල වැඩිවීමත් සමඟ ඉහළ යන ප්‍රවාහන ගාස්තුව, ඉන්ධන මිල අඩුවන විට අඩු නොවන්නේ මන්දැයි විමසමිනි.
මෙම ගැටලුකාරී වාතාවරණය පිළිබඳව ‘දේශය‘ සිදු කළ විමසීමකදී ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ ඩීසල් මිල රුපියල් 12 කින් අඩු වුවද, බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවය. තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙලෙස පවසා සිටියේය.
“අපි මිල සූත්‍රයක ඉන්නවා. අපි අවුරුදු විස්සක් තිස්සේ ජාතික ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. බස් ගාස්තු අඩු වැඩි වෙන්නේ ඒ ප්‍රතිපත්තිය අනුව. 4% ක ප්‍රතිශතය තුළ ඩීසල් වැඩි කළා කියලා ගාස්තුව වැඩි කරන්නෙත් නැහැ, අඩු කළාම ගාස්තුව අඩු කරන්නෙත් නැහැ. මේක තමයි අවුරුදු විස්සක් පුරාවට සිද්ධ වුණේ.”
තෙල් මිල අඩුවීමත් සමඟ ත්‍රීරෝද රථවල ප්‍රවාහන ගාස්තුවේ සංශෝධනයක් සිදුවේදැයි ‘දේශය’ කළ විමසීමකදී, ලංකා ස්වයංරැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති මහින්ද සුනිල් මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.
“ඉන්ධන මිල සාමාන්‍යයෙන් රුපියල් පහකින් දහයකින් අඩු වුණා කියලා අපිට ගාස්තුව අඩු කරන්න බෑ. සමස්ත වියදම බැලුවාම වාහනයේ අමතර කොටස්වල මිල අඩුවීමක් වෙලා නැහැ. එතකොට අමතර කොටස්වල මිලත්, අලුත්වැඩියාවට යන වියදමත් එක්ක බැලුවම ඉස්සර වගේම මුදලක් දෛනිකව අපිට වැය වෙනවා. ඒ නිසා අපිට ත්‍රීරෝද රථ ප්‍රවාහන ගාස්තුව අඩු කරන්න බෑ. හිතන්නකෝ තෙල් මිල රුපියල් දහයකින් අඩු වුණා කියලා. එතකොට අපිට ගාස්තුව අඩු කරන්න වෙන්නේ රුපියලකින් වගේ. ඉතින් රුපියලක් වගේ අඩු කරලා ගාස්තුව කියන එකේ තේරුමක් නැහැනේ. එකවර ටිකක් දැනෙන විදිහට තෙල් මිල රුපියල් විස්සකින්, විසි පහකින් වගේ අඩු වෙනවා නම් අපිට පුළුවන් අඩුම තරමේ පළවෙනි කිලෝමීටර් ප්‍රමාණයට ගාස්තුවෙන් රුපියල් දහයක්වත් අඩු කරන්න, එතකොට තමයි මගියාට සහනයක් ලැබෙන විදිහට අඩු කරන්න පුළුවන් වෙන්නෙ. එහෙම නැතුව මේ යන විදිහට නම් අඩු කරන්න බෑ.”
මේ අතර, සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ සංගමය, මාධ්‍ය හමුවකදී පවසා සිටියේ, පෙට්‍රල් මිල අඩු කිරීම අනුව ත්‍රීරෝද රථ සහ කුලී රථ ගාස්තු අඩු කිරීමට නොහැකි බවය. එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසා සිටියේ, ගාස්තු සංශෝධනය කිරීමේ තීරණය ගත යුත්තේ බස්නාහිර පළාත් ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව සහ ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව වන බවයි. බස්නාහිර පළාත් ජාතික ප්‍රවාහන කොමිසම මෑතකදී බස්නාහිර පළාතේ ත්‍රීරෝද රථ කුලී රථ ගාස්තු නියාමනය කිරීමට තීරණය කළ බවද හෙතෙම පවසා සිටියේය. ඒ අනුව ත්‍රීරෝද රථ සඳහා පළමු කිලෝමීටරයට ගාස්තුව රුපියල් 100 ක් සහ අමතර සෑම කිලෝමීටරයකටම රුපියල් 90 ක් ලෙස නියම කර ඇති නමුත් එය කිසි විටෙක ක්‍රියාත්මක නොවූ බවද ලලිත් ධර්මසේකර මහතා පවසා සිටියේය.
සමස්තයක් ලෙස ගත් කල බස් රථ, ත්‍රීරෝද රථ ආදී ප්‍රවාහන සේවා ගාස්තු ඉහළ ගියා විනා මෑතකදී පහළ වැටුණේ නැත. තෙල් මිල කොපමණ අඩු වුවද ත්‍රීරෝද රථ, බස් රථ ඇතුළු පොදු ප්‍රවාහන සේවා ගාස්තු අඩු නොවීමට හේතු විමසමින් දේශය කළ කතාබහකදී පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය. “පසුගිය අවුරුදු දහයක ඉතිහාසය දිහා බැලුවොත් තෙල් මිල අඩුවෙන කිසිම වෙලාවක සේවා ගාස්තු අඩුවෙලා නැහැ. බස් රථ, ත්‍රීරෝද රථ සහ ඒ බලපෑමෙන් අනෙකුත් යෙදුම්වලින් වෙන අඩුවීම ඉතිහාසයේ ඉඳලාම පාරිභෝගිකයාට ලැබිලා නෑ. හැබැයි මිල වැඩිවෙනකොට සියලු සේවා සපයන ආයතන ඔවුන්ට වෙන අවාසිය පාරිභෝගිකයාගෙන් පියවා ගන්නවා. ඉතින් මේක ලංකාවේ සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වෙලා තියෙනවා. දැන් තෙල් මිල වැඩි කළොත් බස් ගාස්තුත් වැඩි වෙනවා. ත්‍රීරෝද රථ ගාස්තුත් වැඩි වෙනවා. එතකොට ඒකට අදාළ අනෙක් නිෂ්පාදනවල මිලත් වැඩි වෙනවා. ඒක ඇත්තටම එයාලගේ ලාභය වැඩි කරගන්න කරන ක්‍රමයක්. මේවා පිළිබඳව සොයා බලන්න, නියාමනය කරන්න ඕනෑ. මේකෙ ගණනය කරන්න පුළුවන් ත්‍රීරෝද රථයකට තෙල් ලීටරයකින් කොපමණ කිලෝමීටර් ගණනක් ධාවනය කරන්න පුළුවන්ද? ටයර් වේස්ට් එක, එන්ජින් වේස්ට් එක, රියැදුරාගේ වැටුප සහ ලාභය ගැන හොයලා බලලා තීරණය ගන්න පුළුවන් නම් ඇත්තටම වටිනවා. ව්‍යාපාරිකයකුට ලාභයක් තියෙන්න ඕනෑ. ඒක අපි පිළිගන්නවා. ඒ ලාභය ගැන පරිභෝගිකයා දැනගන්නවා නම්, අපි මේ යන ත්‍රීරෝද රථයේ හිමිකරු මෙච්චර ලාභයක් ගන්නවා කියලා අපිට ඒක සාධාරණයි කියලා හිතන්න පුළුවන්. අන්න ඒ වගේ ක්‍රමවේදයකට අපේ රට එන්න ඕනෑ කියලා තමයි මම කියන්නෙ.
මේක ගණනය කරන්න මොකක් හරි ස්වාධීන ආයතනයක මැදිහත් වීමක් තිබුණොත්, එතකොට මේක ගණනය කරන නිලධාරීන් යම්කිසි ගණනය කිරීමක් පර්‌යේෂණයක් කරලා තමයි රජයට උපදෙස් දෙන්න ඕනෑ. මේ නියාමනයන් කරන්න ගමනාගමන කොමිෂන් සභාව තියෙනවා. පාරිභෝගික සේවා අධිකාරිය තියෙනවා. මහජන උපයෝගිතා කොමිෂන් සභාව තියෙනවා. මේ වගේ ඒවට කරුණු ඉදිරිපත් කරන්න පුළුවන් ආයතනයක් අපි දැකලා නැහැ. විශ්වවිද්‍යාලයක් ඇතුළේ හරි කොහේ හෝ තැනක මේවා පිළිබඳව පර්‌යේෂණ සිද්ධ වෙන්න ඕනෑ. කොහොමද මේක වෙන්නෙ, මෙහෙම වෙන්න හේතුව මොකක්ද කියලා අපි කවදාවත් හේතුව හොයලා නෑ. කෙටියෙන් සරලවම කිව්වොත් තෙල් මිල අඩු කරලා පරිභෝගිකයාට තමයි සහනය දෙන්නෙ. හැබැයි මේක ගන්නේ කූඨ ව්‍යාපාරිකයෝ. ඒ නිසා කිසිම වෙලාවක පාරිභෝගිකයාට සහනයක් ලැබෙන්නේ නෑ.”
මේ සියලු කරුණු විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ ඉන්ධන මිල කොතෙක් අඩු වුවද එහි සැබෑ වාසිය පොදු ප්‍රවාහනය භාවිත කරන පාරිභෝගිකයාට නොලැබෙන බවය. ඉන්ධන මිලෙහි වාසිය ලැබෙන්නේ තම පෞද්ගලික රථවාහන භාවිත කරන පිරිසටය. කෙසේ වෙතත් බොහෝ කාලයක් තිස්සේ සිදුවී ඇත්තේ පොදු ප්‍රවාහනය භාවිත කරන පාරිභෝගිකයා අපහසුතාවලට පත්වීමය. කොටින්ම කිවහොත් මගීන් සූරා කෑමට ලක්වීමය. සියලුම බස් රථවල මෙය සිදු නොවුණද, ඇතැම් විටෙකදී බස් රථවල ඉතිරි මුදල් ලබා දීමේදී පවා මගීන්ට අසාධාරණකම් සිදුවන අවස්ථා දැකගත හැකිය. සැබැවින්ම මෙය විසඳුමක් අවැසි තත්ත්වයක් බව පැහැදිලිව දැකගත හැකි නමුත්, මෙයට විසඳුම ලැබෙන්නේ කොතැනකින්ද යන්න අදටත් ගැටලුවක් බවට පත් වී තිබේ.
• මංගලා පවිත්‍රානි