2017 ජුලි 01 වන සෙනසුරාදා

නැගෙනහිර වැනසෙන පුරාවිද්‍යා ස්මාරක‍

 2017 ජුලි 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 429

‍නැගෙනහිර පළාත දිගු කලක පටන්ම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවධානයෙන ගිලිහී පැවති ප්‍රදේශයකි. පසුගිය කාලයේ රට ගිලගෙන තිබූ කොටි ත්‍රස්තවාදය ද එයට හේතු විය. වටිනා බෞද්ධ පූජනීය ස්ථාන, සෙල්ලිපි සහිත ගල්ලෙන්, දාගැබ් ආදිය නිදන් හොරුන්ගේ නිරන්තර අතවරයට පත්වූ අතර මහදවල් පවා නිදන් සොයා දාගැබ් හැරීම සිදුවිය. මේ නිසා නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ස්මාරක හඳුනාගෙන ඒවා ආරක්ෂිත ස්මාරක වශයෙන් ගැසට් පත්‍රයෙන් ප්‍රකාශ කර මායිම් සලකුණු කිරීමේ ව්‍යාපෘතියක් හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකගේ උපදේශකත්වයෙන් ආරම්භ කෙරිණි. 

එහි මුල් පියවර වර්ෂ 2013දී අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ අතර 2016 වනවිට එම ගවේෂණය අවසාන විය. එහිදී ගවේෂණ නිලධාරින්ට දැකගත හැකි වූයේ හඳුනාගන්නා සෑම පුරාවිද්‍යා ස්ථානයක්ම නිදන් හෑරීම නිසා විනාශ වී ඇති අන්දමයි.
අම්පාර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන 430ක් හඳුනාගෙන මායිම් සලකුණු කිරීමට පුරාවිද්‍යා නිලධාරින්ට හැකි වී තිබේ. පුරාණයේ දිගාමඩුල්ල යයි හැඳින්වුණු අම්පාරේ අතීත බෞද්ධ ප්‍රබෝධය කෙතරම් දැයි වර්තමානයට හඬගා පැවසීමට මෙම නෂ්ටාවශේෂ ඉවහල් වේ. මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක හඳුනාගැනීමේ ගවේෂණය 2017 පෙබරවාරි අධ්‍යක්ෂ ජනරාල් (හිටපු) වරයාගේ මඟපෙන්වීමෙන් ඇරඹිණි. අම්පාර තරම්වත් අවධානයට ලක් නොවුණු මෙහි පුරාවිද්‍යා නෂ්ටාවශේෂ ද දැඩි ලෙස විනාශවීමේ හා ඉඩම් අත්පත් කර ගැනීමේ අවදානමට ලක්ව තිබේ. දැනටත් ක්‍රියාත්මක මඩකලපුව ගවේෂණය මගින් මාස දෙකක් ඇතුළත පුරාවිද්‍යා ස්ථාන 46ක් හඳුනාගෙන මායිම් සලකුණු කර තිබුණි. ඒ අතරින් කුසලාන්මලෙයි, පොණ්ඩුකච්චේන, පුළුකුණාව, කරදියනාරැ යන ස්ථාන මුලින්ම කැණීම් කර සංරක්ෂණය කිරීමට සැලසුම් කර තිබේ. මේවා අතරින් වැඩි ප්‍රමාණයක් කොටි සංවිධානය විසින් විනාශ කර තිබූ බවටද හඳුනාගෙන ඇත. මේ අතර අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ 2009 දී කොටි පරාජය කළත් 2015 දක්වා මෙම ස්ථාන සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලක් නොවූ බවයි. මේ වර්ෂය අවසන වනවිට සංරක්ෂණය කළ යුතු ස්ථාන හඳුනාගෙන අවසන් කරන බවද පසුගියදා (මැයි 24) පාර්ලිමේන්තුවේදී නියෝජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න පැවසුවේ ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පුරාණ රාජධානි යුගයේදී මඩකපුව ඇතුළු ප්‍රදේශ හැඳින්වූයේ දීඝවාපිය ලෙසයි. බ්‍රිතාන්‍ය යුගයේදී වර්ෂ 1833දී දිවයින පළාත් 5කට බෙදූ අතර මඩකලපුව ද නැගෙනහිර පළාතට අයත් විය. දීඝවාපී ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා සද්ධාතිස්ස රජු (ක්‍රි.පු. 137-119) දායක වූ බව මහාවංශය පවසයි. ඔහුගෙන් පසු ඔහුගේ පුත් ලජ්ජිතිස්ස (ක්‍රි.පු. 109-119)ද මඩකලපුව අවට ප්‍රදේශ සංවර්ධනයට දායක වූ අතර, ඊට පසු ක්‍රමයෙන් මෙම ප්‍රදේශ වල්බිහි වී ගියේය. පුරාවෘත්ත පවසන්නේ පස්වැනි සියවසේදී ද්‍රවිඩ කුමාරවරු පස් දෙනෙක් මහවැලි ගඟෙන් මෙතෙර පාලනය කළ බවයි. සිංහල රජවරුන්ට කප්පම් දීමෙන් මෙම පාලනය ගෙන ගොස් ඇත.

අද මඩකලපුවේ ද්‍රවිඩ හා මුස්ලිම් ජනයා බහුතරයක් වෙසෙති. මෙම ප්‍රදේශයට මුස්ලිම්වරු පැමිණියේ 8 වන සියවසේදී අරාබි වෙළෙඳුන් වශයෙනි. පසුව පෘතුගීසි සහ ලන්දේසින්ද මඩකලපුවේ බලකොටු ඉදිකර පාලනය කළහ.

මඩකලපුව නගරයේ පිහිටි ලන්දේසි කොටුව හා මඩකලපුව ප්‍රදීපාගාරය, කප්පලෙන්දි මාතා පල්ලිය මේ ප්‍රදේශයේ විදේශීය බලපෑම් හෙළිකරන ස්මාරක වේ. බොහෝ පැරැණි බෞද්ධ පූජනීය ස්ථාන පසුකාලීනව කෝවිල් බවට පත්කරගෙන තිබේ. කලවඩ්ඩිකුඩි සෙල්ල කදිරගාමර් ආගලයම් කෝවිල එවැනි ස්ථානයකි. ශිලාමය බෝධිසත්ව පිළිම, සඳකඩ පහණ, කොරවක් ගල්, ගල් කණු කොටස් ආදිය එහිදී දැකගත හැකිය. 

රෑගම වැව නටබුන්, කුසලාන කන්ද, කලුදුපොතානමලේ, හෙනන්නේගල ලෙන, නුවරගල ලෙන, කොකාගල, එරුවිල, මාවංග පුල්කුලයාර් කෝවිල, තිරුක්කෝවිල් වෙලායුද ස්වාමි කෝවිල ආදී වශයෙන් පැරැණි ස්මාරක රාශියක් මඩකලපුවේ පැතිර තිබේ. 

හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයා ඉවත් කිරීමේ තීරණයටද නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා ගවේෂණය බලපෑ බවටද ආරංචි පැතිර යමින් පවතී. අමාත්‍ය රවුෆ් හකීම් මැයි 24දා පාර්ලිමේන්තුවේදී පැවසුවේ පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධයෙන් මෑතකදී ගෙන තිබෙන තීරණ පිළිබඳව උතුරු නැගෙනහිර ජනයා නියෝජනය කරන පක්ෂවලට ගැටලු මතු වී ඇති බවයි. ඒ නිසා ඒ ගැන සොයාබැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බවද ඇමැතිවරයා පැවසුවේය. 
එම අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පැවසුවේ නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන විනාශ කිරීම් මෑතක් දක්වාම වාර්තාවන බවයි. ඔහු ඉදිරිපත් කළ විනාශ වූ ස්ථාන නාම ලේඛනයට අනුව 2013 සිට 2017 මැයි දක්වා අම්පාර ස්ථාන දිස්ත්‍රික්කයේ 47ක් මඩකලපුව 17ක් හා ත්‍රිකුණාමලයේ 30ක්ද විනාශයට පත්ව තිබේ. එහෙත් මෙම විනාශයට පිළියම් යෙදීමක් ගැන නම් වගකිව යුතු කිසිවෙක් අදහස් දැක්වූයේ නැත. 

පුරාවිද්‍යා පනතේ පුරාවිද්‍යා ස්ථාන විකෘති කිරීම, සංරක්ෂණ භූමි බාහිර පුද්ගලයන් අත්පත් කර ගැනීම ආදී කටයුතුවලට එරෙහිව ක්‍රියාත්මක වීමට අවශ්‍ය බලතල තිබේ. එහෙත් උතුරැ නැගෙනහිර ප්‍රදේශවල පමණක් නොව රටේ සමහර ප්‍රදේශවලද මෙම පනත ක්‍රියාත්මක වීම නමට පමණක් සීමා වී තිබුණි.

ඒ සඳහා බොහෝ දුරට බලපෑම් එම ප්‍රදේශවල දේශපාලනඥයන්ගේ බල පුළුවන්කාරකම් බව පෙනේ. දෙවනගල විහාරයේ පුරාවිද්‍යා මායිම් කණු සිටුවීමට එරෙහිව ප්‍රදේශවාසීන් නැගී සිටියේ ඔවුන් විහාරයට අයිති ඉඩම් අත්පත් කරගෙන තිබෙන නිසාය. මායිම් කණු තවමත් සිටුවීමට නොහැකිව ඇත. කූරගල තත්ත්වයද එයට සමානය. එහි අනවසර ඉදිකිරීම් රාශියකි. 

මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා සමීක්ෂණය අවසන් කර ත්‍රිකුණාමලයේද ගවේෂණය කර එම පුරාවිද්‍යා ස්ථාන නමට පමණක් රක්ෂිත ස්ථාන බවට පත් නොකර ඒවා ආරක්ෂා කිරීමට අවශ්‍ය පියවර ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මෙම ගවේෂණවලින් සොයා ගන්නා ස්මාරකවලින් තෝරාගත් ස්ථාන සංරක්ෂණය ද නිසි පරිදි සිදුවනු ඇතැයි අපි සිතමු.

කුසුම්සිරි විජයවර්ධන