ටින් යන නාමය මේ රටේ ආන්දෝලනාත්මක මාතෘකාවක් වී හමාරය. ඒ මෙරට සමාජයේ බොහෝ දෙනකු බදු ගෙවන කොටස්කරුවන් බවට පත් කරමිනි. මෙරට 18 ට වැඩි සැම දෙනාටම ටින් අංකය අනිවාර්ය කර තිබේ. 18 තරුණයාගේ සිට වැඩිහිටියා දක්වා සියලු දෙනාම මේ වනවිට බදු ගෙවන්නෝ වෙති. සෑම පුරවැසියකුටම ජාතික හැඳුනුම්පත් අංකයක් තිබෙන ආකාරයටම බදු අංකයක් පැවතිය යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
වර්තමානය වනවිට හැඳුනුම්පත ලබා ගැනීමේ පටන් රාජ්‍ය සේවයේ බොහෝ සේවා ලබා ගැනීමේදී මෙන්ම වාහනයක් ලියාපදිංචි කිරීමේදී, වාහන පැවරීමේදී, ඉඩම් ලියාපදිංචියේදී, ව්‍යාපාර ලියාපදිංචියේදී, සමාගමක කොටස් හුවමාරුවේදී මෙම ටින් අංකය අත්‍යවශ්‍ය සාධකයක් වී ඇති අතර මෙරට බැංකුවලින් ක්‍රෙඩිට් කාඩ් ලෙස හඳුන්වන ණය කාඩ්පතක් ලබා ගැනීමේදී ද බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් දැඩි කතාබහක් සමාජයේ නිර්මාණය වී ඇති අතර ටින් අංකය නොමැති අයට ඒ සම්බන්ධයෙන් තැන්පතු මුදල් මත අය කෙරෙන රඳවා ගැනීමේ බද්දෙන් සහනය ලබා ගැනීම සඳහා බැංකු හා මූල්‍ය ආයතන වෙත ඉදිරිපත් කළ යුතු ස්වයං ප්‍රකාශන, තමන්ට ටින් අංකයක් නොමැති වුවද බැංකු වෙත යොමු කළ හැකි බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දුන්නේය.
මහජනතාවගේ මුදල් තැන්පතු සඳහා ලැබෙන පොලිය මත මෙතෙක් අය කළ සියයට 5ක රැඳවුම් බද්ද සියයට 10 දක්වා ඉහළ දැමීමට අයවැයෙන් තීරණය කෙරිණි. එහෙත් පුද්ගලයකුගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට වඩා අඩු වන්නේ නම් එම පුද්ගලයාගෙන් මෙම රැඳවුම් බද්ද අයකර ගැනෙන්නේ නැත. ඒ අනුව එවැනි පිරිසට එම සහනය ඉල්ලා සිටිමින් බැංකු හා මූල්‍ය ආයතන වෙත ස්වයං ප්‍රකාශනයක් ඉදිරිපත් කළ හැකි බව රජය නිවේදනය කළේය. එම ස්වයං ප්‍රකාශනයට ටින් අංකය අනිවාර්ය බැවින් එය ලබා ගැනීම සඳහා මේ දිනවල විශාල ජනකායක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැමිණෙමින් සිටින බව එම දෙපාර්තමේන්තුව පවසයි.
යම් පුද්ගලයකුගේ වාර්ෂික ආදායම ලක්ෂ 18ට අඩු නම්, එවැනි පුද්ගලයන්ට ස්වයං ප්‍රකාශයක් ලබා දී “රඳවා ගැනීමේ බදු” සහනය ඉල්ලුම් කළ හැකි බව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් බී.කේ.එස්. ශාන්ත මහතා පැවසීය. එසේ ඉල්ලුම් කිරීමේදී ඔවුන් සතුව “බදු ගෙවන්නා හඳුනා ගැනීමේ අංකය හෙවත් ටින් අංකය තිබීම අනිවාර්ය වුවද, ජනතාවගේ පහසුව සඳහා දැනට ටින් අංකය නැතත්, එම ස්වයං ප්‍රකාශය ඉදිරිපත් කිරීම පමණක් වුවද ප්‍රමාණවත් බව ඒ මහතා පැවසීය.
පොලී ආදායම සියයට 10 ක අනුපාතයකින් අත්තිකාරම් ආදායම් බද්දට (රඳවා ගැනීමේ බද්ද) යටත් වන නමුත්, තක්සේරු වර්ෂය සඳහා තක්සේරු කළ හැකි ආදායම රුපියල් ලක්ෂ 18 ක පුද්ගලික සහන මුදල නොඉක්මවන අයකුට පොලී ගෙවීම් මත රඳවා ගැනීමේ බදු සහනය ඉල්ලා සිටිය හැකි බවද ඒ මහතා පැවසීය.
නම, ජාතික හැඳුනුම්පත් අංකය සහ තමාගේ නමින් ඇති සියලුම ගිණුම් විස්තර මෙම ප්‍රකාශයේ තිබිය යුතු බවත්, ඕනෑම බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් හෝ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල හෝ දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් මෙම ස්වයං ප්‍රකාශ අයැදුම්පත්‍රය භාගත කරගත හැකි බවත් වයස අවුරුදු 18 ට අඩු අය සඳහා එම ප්‍රකාශය තමන්ගේ භාරකරු විසින් පුරවා ඉල්ලුම් කළ හැකි බවත් හෙතෙම පැවසීය. ඒ සම්බන්ධයෙන් කේ.එස්. ශාන්ත මහතා මෙසේ ද පැවසුවේය.
“වාර්ෂික ආදායම ලක්ෂ 18 ඉක්මවන්නේ නැත්නම් මූල්‍ය ආයතන වෙත ස්වයං ප්‍රකාශයක් සිදු කරන්න පුළුවන්. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ එම ප්‍රකාශය තිබෙනවා. ප්‍රකාශය කරන පුද්ගලයාට ටින් අංකයක් තිබිය යුතුයි. ටින් අංකය ලබා ගැනීමට විශාල පිරිසක් පැමිණෙනවා. ටින් අංකය නැතුව ප්‍රකාශය භාරගන්න කියලා බැංකුවලින් ඉල්ලීම් කළා. මේ මාසයේ ටින් අංක නොමැතිව ප්‍රකාශ ලබා දෙන අයගේ විස්තර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට දැනුම් දෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ටින් අංකය ලබා දෙන්න පුළුවන්. වැරැදි ප්‍රකාශන ලබා දෙන අයට එරෙහිව දඬුවම් දීමේ විධිවිධාන තිබෙනවා.”
මේ බව තවත් පැහැදිලි කරමින් දේශීය ආදායම් මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ජේ.ටී. චන්දන මහතා මෙසේ පැවසුවේය.
“මේ ටින් අංකය සම්බන්ධයෙන් මේ වෙද්දී ලොකු පිරිසක් අපහසුතාවට ලක් වී සිටිනවා. බැංකු හා මූල්‍ය ආයතනවල තිබෙන තැන්පතු මත දේශීය ආදායම් පනත අනුව සියයට 10 ක රඳවා ගැනීමේ බද්දක් අය කර ගන්නවා. එහිදී තැන්පතුකරුවන්ගේ පොලී ආදායමෙන් සියයට 10 ක් අඩු කරනවා. මේ නිසා තැන්පතුකරුවන් විශාල පිරිසක් ගැටලුකාරී තත්ත්වයට පත්වෙලා. ජනතාව තවමත් මෙම ටින් අංකය ලබාගෙන නැති නිසා මෙම ගැටලුව අනවශ්‍ය ගැටලුවක් බවට පත්වෙලා. අවුරුදු 18 ට වඩා වැඩි නම් ටින් අංකය ලබාගන්න ඕනෑ. ජනතාව පත් වී සිටින අපහසුතාවයෙන් ගලවා ගන්න අපි මේ වෙද්දී නිර්දේශ ඉදිරිපත් කර තියෙනවා. දේශීය ආදායම් කොමසාරිස්වරිය බැංකුකරුවන්ගේ ආයතනය වෙත සහ බැංකු වෙත නිවේදනයක් නිකුත් කර තිබෙනවා තැන්පත් පොලී ආදායමෙන් අය කරන්නා වූ සියයට 10 ක රඳවා ගැනීමේ බද්ද කපා ගැනීම කළ යුතු වන්නේ කෙසේද කියන එක සම්බන්ධයෙන්. එක්ලක්ෂ පනස්දාහක් හෝ ඊට වැඩි ආදායමක් තිබෙන පුද්ගලයකු වැටුපෙන් හෝ පොලියෙන් හෝ සියලු ආදායම්වල එකතුව රුපියල් එක්ලක්ෂ පනස්දාහක් හෝ ඊට වැඩි නම් පමණක් තැන්පතු පොලී ආදායමෙන් රඳවා ගැනීමේ බද්ද අය කර ගන්න පුළුවන්.” යැයි චන්දන මහතා පැවසුවේය.
• සසංක චලන ගිම්හාන