2025 මැයි 03 වන සෙනසුරාදා

හරක් කටාගේ අතට ෆෝන් එකක් දුන්නෙ කවුද? අධි ආරක්ෂාව කෝ?

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:04 117

මෙරට පාතාලයේ තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරී ඇත. එළිපිට මදුරුවන් මරන්නාක් මෙන් මිනී මරන්න පටන්ගෙන තිබේ. තුන්වේලට කෑම කන්නාක් මෙන් දෛනික වෙඩි ප්‍රහාර දැන් මේ පුංචි දූපතේ සිදුවෙමින් ඇත. මේ වනවිට රට පුංචි චිකාගෝවක් බවට පත්ව තිබේ. ජාතික ආරක්ෂාව ගැන බංකු තියාගෙන ටියුෂන් කරන්න ලෑස්තිවූවන් සද්දයක් නැත. මහජන ආරක්ෂක අමාත්‍යවරයා තපස් රකින්නේදැයි සැකය. ඔහු දුටු කාලයක් මතක නැත. ජාතික ආරක්ෂාවට අබමල් රේණුවක හිංසාවක් නොවුණත්, එය සමූහ වශයෙන් දූෂණය වී හමාරය. එවන් මොහොතක මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයා ජනතාවට සහතිකයක් දී පාතාලයන්ට අභියෝග කළ යුතුව තිබේ. එහෙත් පාතාලයෝ ආණ්ඩුවට අභියෝගයක් වන තැනට පත්ව සිටිති. කෙසේ වෙතත් කතාව ආරම්භයේම කිව යුත්තේ නියපොත්තෙන් කැඩිය යුතු දේ මන්නයෙන් කපන තෙක් ගෙන යාම ඉතාම නරක තත්ත්වයක් බවයි.

මේ වනවිට මත්ද්‍රව්‍ය ජාලයේ මහ මොළකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන භාරයේ සිටින නඳුන් චින්තක නොහොත් හරක් කටා සමීපයේ තිබී දුරකථනයක් සොයාගෙන තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අනුකූලව රඳවා සිටින නඳුන් චින්තක නොහොත් හරක් කටා මේ ආකාරයෙන් දුරකථනයක් තබාගත්තේ කෙසේද? පොලිස් භාරයේ සිටියදීත් ඔහු දුරකථනයක් භාවිත කළේ නම් එය ඉබේ ප්‍රාදුර්භූත වූවක් නොව ආරක්ෂක අංශයේම අය ලබා දිය යුතුය. එසේ නම් එකී ආරක්ෂක අංශ නිලධාරියා හෝ කණ්ඩායම සොයාගෙන තිබේද?

අප සොයා බැලූ ආකාරයට නඳුන් චින්තකගේ ආරක්ෂාව සඳහා ත්‍රස්ත විමර්ශන සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු 63ක් අනුයුක්ත කර සිටිති. ඊට අමතරව පොලිස් විශේෂ කාර්ය බලකායට අනුයුක්තව සෙබළු 24 දෙනෙක් ද වෙති. මෙවැනි ආරක්ෂාව ලබන ඔහු සිටින්නේ තංගල්ල අධිආරක්ෂිත බන්ධනාගාරය තුළය. එසේ තැබීමට ප්‍රධාන හේතුව වූයේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ රඳවා සිටියදී කිරිටොෆි ලබා දී පැන යාමට උත්සාහ කළ බැවිනි. ඒ අනුව දැඩි ආරක්ෂාව සඳහා මොහුව තංගල්ලට යවා තිබුණද අවසානයේ සිදුවුණේ කුමක්ද? සුපුරුදු පරිදි දුරකථනය භාවිත කර තම ජාලය පවත්වාගෙන යාම පමණි. වසර දෙකක කාලයක් ඉක්මවා රැඳවුම් භාරයේ සිටියද නඳුන් චින්තකගේ වෙනස් වීමක් සිදු නොවීය.                                                                                                                                          
එපමණක් නොව ආරක්ෂක අංශය ගැන ද තව තවත් සැකය දෙගුණ තෙගුණ වී තිබේ. එදා රහස් පොලිසියෙන් පැන යාමට පොලිස් නිලධාරියකු උදව් කළා මෙන් මේ අවස්ථාවේදී ද අදාළ සහාය ලබා දී තිබේ. කෙසේ වෙතත් මාසිකව ලක්ෂ 100කට අධික බරක් දරමින් නඳුන් චින්තකව තබා ගැනීම හරහා මේ රටේ මත්ද්‍රව්‍ය ජාලය අවසන් වූවාද? මත්ද්‍රව්‍ය ගෙන ඒම නැවතුණාද? කොටින්ම හරක් කටාගේ වෙනසක් සිදු වුණාද? නැත. සියල්ල සාමාන්‍ය පරිදි සිදුවේ. ඒ නිසා ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කිරීම හැර මෙවැන්නන් රකිමින් රටේ මහජන මුදල් කාබාසිනියා කිරීමෙන් ඵලක් නැත.

දෙවැනි කාරණය නම් පසුගියදා වූ තවත් සිදුවීමකි. අංගොඩ ලොක්කා මියගිය පසු මෙරට මත්ද්‍රව්‍ය ජාලය පවත්වාගෙන ගියේ ප්‍රධාන ගෝලයන් තිදෙනකු විසිනි. එක් අයකු ප්‍රියන්තය, අනෙකා ජිලේය, අනෙකා සුබෙයිර් නොහොත් සුමේදය. ප්‍රියන්තත් ජිලේත් මේ වන විට සිටින්නේ ඩුබායි රාජ්‍යයේය. ඒ අනුව සුබෙයිර් ද අංගොඩ ලොක්කා මිය යාමත් සමඟ රට පනින්න උත්සාහ කළේය. එහෙත් සුබෙයිර්ගේ කැරැට්ටුව හේතුවෙන් අවසානයේ පොලිසියට කොටුවිය. පසුව ප්‍රශ්න කිරීම් හමුවේ සුබෙයිර් හෙරොයින් කිලෝ 54 ක් සහ ටී 56 ගිනිඅවි තුනක් පොලිසියට ලබා දී තිබිණි. අවසානයේ සුබෙයිර් බන්ධනාගාරගත කරනු ලැබීය. එසේ බන්ධනාගාරගත වූ සුබෙයිර් සම්බන්ධයෙන් නැවත තොරතුරු වාර්තා වූයේ පසුගිය 26 දාය. ඒ මුල්ලේරියා රෝහලෙනි. එනම් සුබෙයිර් මුල්ලේරියාව රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිටියේය. කටින් සෙම දමා මුහුණ විකෘති වී තිබිණි. පැහැදිලිවම යම් විෂ දෙයක් පෙවී ඇතැයි බැලූ බැල්මට පෙනී ගියේය. එසේම සුබෙයිර් සමගින් තවත් දෙදෙනකු රෝහල්ගත කෙරිණි. එක් අයෙක් මහර බන්ධනාගාරයේ නියාමකවරයෙකි. ඔහු දැඩි ලෙස අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බැවින් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි. අනෙක් පුද්ගලයා රෝහල් සේවකයෙකි.

මේ තිදෙනා එක්ව 25 දා රාත්‍රියේ මත්පැන් සාදයක් මහර බන්ධනාගාර නියාමකවරයාගේ නිවෙසේ පවත්වා ඇත. මෙම අවස්ථාවට ආරක්ෂක අංශයේ සාමාජිකයන් තිදෙනකු ද පැමිණ ගොස් ඇතැයි කියති. කෙසේ වෙතත් ඔවුන් එක් මත්පැන් බෝතලයක් නිමා කර දෙවැනි බෝතලය පානය කිරීමෙන් පසුව මෙම තත්ත්වය උදා වී තිබේ. රෝහල් සේවකයා එක් වීදුරුවක් පමණක් පානය කළ නිසා ඔහුගේ ජීවිතයට ලොකු බලපෑමක් වූයේ නැත. එහෙත් සුබෙයිර් සහ බන්ධනාගාර නියාමකවරයා බෝතලය හිස් කළ නිසා තත්ත්වය වෙනස් වී තිබිණි. කෙසේ වෙතත් මෙය යම් සංවිධානාත්මක පිරිසක් සුබෙයිර් සමඟ ඇති අවුලක් නිසා සිදු කළ දෙයක් බවට සැකයක් පවතී. විශේෂයෙන් ඔහුගේ කල්ලියේ පිරිසක් මත්ද්‍රව්‍ය ජාලයේ ගැටුමක් හේතුවෙන් මෙය සිදු කරන්නට ඇති බවට සැක පළ කරයි. එහෙත් ඔවුන්ට මේ මත්පැන් ලබා දුන්නේ කවුදැයි තවමත් තොරතුරක් නැත. ඒ බන්ධනාගාර නියාමකවරයා තවමත් දැඩි සත්කාර ඒකකයේ සිටින බැවිනි. එහෙත් පසුගියදා සුබෙයිර්ගේ මරණ පරීක්ෂණය සිදු කළ අතර ඒ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දුන්නේ වැඩිදුර පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයාට යොමු කරන ලෙස කියමිනි. ඒ අනුව මේ සිදුවීමේ තත්ත්වය හරියටම දැනගත හැකි වන්නේ ඉන් පසුවය. කෙසේ වෙතත් ලැබුණු තොරතුරු අනුව මෙය පළිගැනීමක් බවට සැකයක් පවතී.

පොලිසියට මේ සිදුවීම මහා ප්‍රහේළිකාවක් බවට පත්ව තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ බන්ධනාගාර නිලධාරීන් සහ ආරක්ෂක අංශයේ නිලධාරීන්ට ඇති ගනුදෙනුව කුමක්ද යන ගැටලුවයි. එහෙත් පුදුම වන්නට දෙයක් නැත. මෙය සාමාන්‍ය දෙයකි. පාතාලයත් බන්ධනාගාරයත් ආරක්ෂක අංශයේ කොටසකුත් දැන් ගහට පොත්ත වී අවසන්ය. ඒ හේතුවෙන් මේ රටේ පාතාලය මර්දනය කිරීම ලෙහෙසි දෙයක් නොවේ. බහුතරයක් මේ වනවිට අපරාධ ලෝකයේ කොටස්කරුවෝ වී සිටිති. ඒ නිසා යම් අපරාධයක් සිදුවූ සැණින් එහි කොණක ආරක්ෂක සාමාජිකයකු ගෑවෙන තැනට මේ පිළිකාව ඔඩුදුවා ඇත. ඒ නිසා ආරක්ෂාව ගැන ටියුෂන් දෙන අයට කියන්නට ඇත්තේ එක දෙයකි. ආරක්ෂාව යනු ටියුෂන් ලබාදීම නොව ප්‍රායෝගික වැඩපිළිවෙළක් බවය. එය නිවැරදි ලෙස ඉටු නොවන තාක් තත්ත්වය බරපතළ වනු ඇත.

• ගයාන් ගාල්ලගේ

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:05