2025 මැයි 03 වන සෙනසුරාදා

දළදා වන්දනාවේ කසළ යුද්ධය

 2025 මැයි 03 වන සෙනසුරාදා, ප.ව. 02:02 60

මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ එක් නගරයක් තුළට ඒකරාශි වූ වැඩිම ජන සන්නිපාතය පසුගිය දළදා වන්දනාව පැවති දින 10 තුළ මහනුවර නගරයට රොක්වූහ. නගරයේ වීදිවල රැය පහන් කරන පිරිස ලක්ෂ තුනකට අධික වූහ. ඒ සමඟම නගරයේ බලාපොරොත්තු නොවූ කසළ ප්‍රශ්නයක් පැන නැගුණි. කසළ රැස් කිරීමට තබා තිබූ භාජන ප්‍රමාණවත් නොවූ අතර වන්දනාකරුවන්ගේ පෝලිම් නාගරික සීමාවෙන් එපිටට කි.මී. 7-8ක් දක්වා විහිදුණු නිසා ඒ ප්‍රදේශවලත් කසළ කඳු ගොඩගැසුණි. ඒවා ඉවත් කිරීමට නගර සභා සේවකයන්ට පැමිණිය නොහැකි තරම් පාරවල් අවහිර වී තිබුණි. වැව තුළත් ප්ලාස්ටික් පොලිතින් කඳු දැකගත හැකි විය. වැව රවුමේ ලේක්සයිඩ් අවට සමහර පෙදෙස් මුත්‍රා ගඳින් පිරී පැවතුණු බවත් වාර්තා විය.

ඒත් සමඟම මහනුවර නගරයේ උද්ගත වී ඇති තත්ත්වය සම්බන්ධයෙන් බොහෝ දෙනකු සමාජ මාධ්‍ය ගිණුම්වල සටහන් තැබූ අතර, එම ඡායාරූප සහ වීඩියෝවල විශාල වශයෙන් කැලිකසළ මහා මාර්ග අවට එකතු වී ඇති ආකාරය දැකගැනීමට හැකියාව ලැබුණි. කෙසේවුවත් මහනුවර නගර සභාව දිවා රෑ නොබලා කසළ ඉවත් කළ අතර ස්වේච්ඡා සංවිධානවලින් ද විශාල සහායක් ලැබුණි. කසළ බැහැර කිරීමේදී පැවති අඩුපාඩු සම්බන්ධයෙන් විවේචන එල්ල වන්නට වූයේ දළදා වන්දනාවේ දින දෙක තුනක් ගතවන විටය. සමහරු දොස් පැවරුවේ මහනුවර විසාලා නුවරක් වී ඇතැයි කියාය. එහෙත් මහනුවර වැසියන් මෙන්ම රාජ්‍ය ආයතන ද මේ විවේචන ඉවසා දරා ගනිමින් කණ්ඩායම් වශයෙන් පැමිණ කසළ ඉවත් කිරීමට පෙරමුණ ගත්හ. ෆේස්බුක් හරහා එකතු වූ කණ්ඩායම් ද නිතර මහනුවර පිරිසිදු කිරීමට පැමිණයහ.

මහනුවර නාගරික ජන සංඛ්‍යාව 125000 කි. සාමාන්‍යයෙන් වැඩ කරන දිනක දිවා කාලයේ මහනුවර නගරයට ඒකරාශි වන ජන පිරිස ලක්ෂ 05කට ආසන්න වේ. ඊට අධික ජනතාවක් දරාගැනීමට තරම් මේ කුඩා ඉඩක පිහිටි නගරය සමත් නොවේ. දළදා වන්දනාව වෙනුවෙන් මහනුවර පාසල් බහුතරයක් හා ව්‍යාපාරික ස්ථාන ගණනාවක් වසා තැබුණු අතර සාමාන්‍යයෙන් නගරයට පැමිණෙන ජන සංඛ්‍යාව අඩු විය. එසේ වුවත් දළදා වන්දනාවට දිවයිනේ සතර දෙසින් ජනතාව පැමිණීම හේතුවෙන් සෑම දිනකම දිවා කල මෙන්ම රාත්‍රියේ ද නගරයේ රැඳුණු ජන සංඛ්‍යාව ලක්ෂ තුන ඉක්මවූ බව වාර්තා විය. සාමාන්‍යයෙන් මහනුවර නගරයෙන් දිනකට එකතු වන කසළ ප්‍රමාණය ටොන් 50ක් පමණ වේ. 2024 ඇසළ පෙරහර අවසන් වනවිට කසළ ටොන් 340ක් එකතු වී තිබුණි. මෙවර එකතු වූ කසළ ප්‍රමාණය ටොන් 625කට අධිකය. එක් පුද්ගලයකු කසල කි.ග්‍රෑ. එකක් පමණ ඉවත දා ඇති බව ඒ අනුව පෙනේ.

වන්දනාකරුවන්ට දින 10 තුළ දී බෙදා දී තිබෙන වතුර බෝතල් සංඛ්‍යාව පමණක් ලක්ෂ 35 කි. යෝගට් ප්‍රමාණය ලක්ෂ 05 කි. මෙයට අමතරව බත්, බනිස්, පාන්, නූඩ්ල්ස්, කඩල, කිරිපැකට් ආදී ආහාර වර්ග ද අයිස්ක්‍රීම්, වැනි දේ ද සැදැහැවතුන් අතර බෙදාදීම සිදුවිය. ඒවායේ තිබෙන පොලිතින් ඇසුරුම් ද නගරය තුළ එකතු වූයේ කසළ ප්‍රමාණය වැඩි කරමිනි. දෛනිකව දළදා වහන්සේ වන්දනා කිරීමට අවස්ථාව හිමිවූයේ 55,000ත් 70,000ත් අතර පිරිසකට නිසා දුරබැහැරින් පැමිණි ජනතාවට දින 4ක් පමණ පෝලිම්වල රැඳී සිටීමට සිදුවීම ද කසළ ප්‍රශ්නය ඔඩු දිවීමට බලපෑ කරුණකි.

ඉඳුල්, කඩදාසි හා පොලිතින් වෙන් වෙන් වශයෙන් කසළ බඳුන්වලට බැහැර කරන ලෙස සංවිධායක මණ්ඩලය දැනුම් දී තිබුණද ඊට අනුව කසළ බැහැර කර තිබුණේ ඉතා සුළු පිරිසකි. දෛනිකව එකතු වන කසළ කටුගස්තොට ගොහාගොඩ මහවැලි ගංගාවට නුදුරින් පිහිටි කසළ අංගනයට නගර සභාවේ වාහන මගින් ප්‍රවාහනය කෙරුණි. කසළ ඉවත් කරන කම්කරුවන්ට දිවා රාත්‍රී සේවයේ යෙදීමට සිදුව තිබුණි. කසළ අංගනයේ පැය 24 පුරා සේවයේ යොදවා සිටි සංඛ්‍යාව 10 දෙනෙකි.
ප්ලාස්ටික් බෝතල්, අසුරන මහනුවර වැවේ ද පාවෙමින් තිබුණි. මහනුවර මහ නගර සභාවට අමතරව රාජ්‍ය ආයතන සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් හා සිසුන් පිරිසක් මහනුවර නගරය පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වූහ. ත්‍රිවිධ හමුදාව, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ Zero ප්ලාස්ටික් සංසදය, ගවේෂකයන්ගේ සංගමය අපි නුවර ෆේස්බුක් කණ්ඩායම ඇතුළුව විශාල සංඛ්‍යාවක් පිරිසිදු මහනුවරක් යළිත් ඇතිකිරීමට එක්වූ බව දැකගැනීමට ලැබුණි. දළදා වන්දනාව අවසන් වී පසුදින වනවිට කසළ බොහෝ ප්‍රමාණයක් ඉවත් කර තිබුණු අතර 29 වන දින වනවිට කසළ තිබුණාදවත් කියා සොයාගත නොහැකි පරිදි ඉවත් කර පාරවල් සෝදා ලස්සන කර තිබුණි. දළදා මාලිගාව අවට පෙදෙස විෂබීජහරණය කිරීම ද සිදුවිය. ඔබ මේ ලිපිය කියවන විට මහනුවර සියලු‍ම මාර්ග ද නගර සභාව විසින් විෂබීජහරණය කර අවසන්ව තිබෙනු ඇත.

මහනුවර වැවේ එකතු වී තිබූ පොලිතින්, ප්ලාස්ටික් ඉවත් කිරීමට පැමිණියේ ක්ලීන් ශ්‍රී ලංකා ක්‍රියාන්විතය සහ නාවික හමුදාවේ කණ්ඩායමකි. බෞද්ධ ජනතාවට ලැගුම් ගැනීමට වෙත මුස්ලිම් ජනතාව ලබාදුන් සියලු‍ පල්ලිවල වැසිකිළි විෂබීජ නාශක යොදා සෝදා පවිත්‍ර කිරීම ද සිදුවිය.

ගොහාගොඩ කසළ අංගනයේ සේවය කරන කම්කරුවන් පවසන්නේ සේවා කාලය තුළ වර්ගීකරණය කිරීමට ලැබුණු වැඩිම කසළ කන්ද මෙය බවයි. ගොහාගොඩට රැගෙන එන මිශ්‍ර කසළ වර්ගීකරණය කිරීම කම්කරුවෝ ඉටුකරමින් සිටියහ.
මහ නුවර නගර සභාවේ ජල හා අපජල ප්‍රධාන ඉංජිනේරු සහ ඝන අපද්‍රව්‍ය අංශයේ ප්‍රධානී නාමල් ධම්මික දිසානායක සඳහන් කරන්නේ වර්ගීකරණය නොකළ මිශ්‍ර කසළ පැමිණීම නිසා ඒවා වෙන් කිරීම ඉතා දුෂ්කර සහ කාලයක් ගතවන වැඩක් බවයි.
“මීට කලින් සාමාන්‍යයෙන් මිශ්‍ර කසළ දවසකට ආවේ ටොන් 4ක් 5ක් උපරිම. ඒක අපි මෙතනට ගෙනැල්ලා කම්කරුවෝ දාලා වර්ගීකරණය කරනවා. නමුත් මේ වෙලාවේ දවසකට ආව ටොන් 50කට අධික ප්‍රමාණය තනිකර ආවේ මිශ්‍ර කසළ. මේක වර්ගීකරණය කරනවා නම් ටොන් 5කට කම්කරුවෝ 6 දෙනෙක් දානවා නම් ටොන් 50ට ඒ වගේ දහ ගුණයක් දාන්න ඕනෙ.”‍

“මේ වගේ මිශ්‍ර කසළ සනීපාරක්ෂක දාහකයකින් පුච්චනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ. මේ ගොඩගැහුණු ප්‍රමාණය ක්ලියර් කරන්න අවුරුදු දෙකක්වත් යනවා මිනිස්සු දාලා වෙන් කරන්න ගියොත්,” ඔහු බීබිසී පුවත් සේවයට පවසා තිබුණි.
එකතු වූ කසළවලින් ටොන් 102ක් හිස් බෝතල් සහ පොලිතින් බවත්, ටොන් 480ක් මිශ්‍ර කසළ බවත් නාමල් ධම්මික දිසානායක සඳහන් කර සිටියේය. මේ අතර මහනුවර පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේදී එකතු කරන ලද වර්ග නොකළ කසළ ඉදිරියේදී කොළඹ මහ නගර සභාවේ දාහකය භාවිතයෙන් පුළුස්සා දැමීමට නියමිත බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ මහත්මිය මාධ්‍යවලට පැවසුවාය.
ෆේස්බුක් ඔස්සේ කසළ ඉවත් කිරීමට බොහෝ දෙනා එකතු වූ අතර මේ එවන් කෙනකු දමා තිබූ සටහනකි:

“මට අදහසක් තියෙනවා මහයියාවෙ ඉඳන් කටුගස්තොට වෙනකන් පාරෙ තියෙන කුණු ටික එකතු කරන්න. අවශ්‍ය වියදම දරලා ඩස්ට්බින් බෑග් ටික, ඉදල් ටික අරන් වාහනේකුත් අරන් ඒකට වියදම දරා කරන්න මම කැමතියි. මේ වැඩේට තව 10ක් 12ක් දෙනෙක් ඕන. කවුද එකතු වෙන්න කැමති මා එක්ක මේ වැඩේට. අවශ්‍ය වෙන්නෙ මුදල් නෙමෙයි උදව් පමණයි. කොල්ලො කෙල්ලො ඕන කෙනෙක් එකතු වෙමු. පැය 3 හතරකින් මේ වැඩේ ඉවර කරන්න පුළුවන්.”
මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මාධ්‍යයට සඳහන් කළේ දැන් මහනුවර නගරය පෙරදි වගේම පිරිසිදුව අපද්‍රව්‍යවලින් තොරව පවතින බවයි. මහනුවර වැසියන් බොහෝ දෙනෙක් ද නගරයේ අලු‍ත් අලංකාරය ගැන සමාජ මාධ්‍යවලට අදහස් දක්වා තිබුණි.

• කුසුම්සිරි විජයවර්ධන

 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:04