2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා

දකුණේ පාතාලයේ ඇවිළෙන කුඩු ගින්න

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:02 128

ලංකාවේ පාතාලයේ දැන් දැන් ඇහෙන කතා හිතාගන්න බැරි ඒවාය. ඉස්සර බලය වෙනුවෙන්, නායකත්වය වෙනුවෙන් මරාගත් පාතාලයෝ දැන් මරාගන්නේ කුඩු තොගයකටය. මෙරටට කුඩු ගෙන ඒමත්, රැගෙන එන කුඩු බෙදාහැරීමත්, ඒ බෙදාහැරීම සම්බන්ධයෙන් වූ බලයත් නිසා එක එකා මරාගැනීම දැන් සුලබ සිදුවීමක් වී තිබේ. ඊටත් වඩා නරකම තත්ත්වය නම් දැන් දැන් පාතාලයන් අතර කුඩු සොරාගැනීම සුලබ සිදුවීමක් වීමය. හොරුන්ගෙත් හොරු බවට දැන් පාතාලයෝ පත්ව සිටිති. මෑතකදීත් එවැනි සිදුවීම් කිහිපයක් වාර්තා විය.

පසුගියදා තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ දොරටුව අසලදී තංගල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මාළු ලොරියක් නවත්වා අහඹු පරීක්ෂාවක් සිදු කළහ. ලොරි රථය පිටුපසින් විවෘත කරන විට පොලිසියට දැකගත හැකිවූයේ මාළු නොමැති ගෝනි හතක් පමණි. එම ගෝනි එකිනෙක පරීක්ෂා කිරීමේදී හෙළිවූයේ සියලු‍ මළුවල හෙරොයින් කිලෝ 52 ග්‍රෑම් 600 ක් සහ අයිස් කිලෝ 65 ග්‍රෑම් 720 ක් අඩංගු බවටය. ඒ අනුව පොලිසිය ලොරි රථය අත්අඩංගුවට ගත් අතර එහි පැමිණි තිදෙනකුගෙන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. අනෙක් පුද්ගලයා එම ස්ථානයෙන් පලා ගොස් තිබුණි. එසේම මෙම කුඩු තොගය සමඟ සැටලයිට් ෆෝන් දෙකක්ද සොයා ගැනීමට පොලිසිය හැකිවිය.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූයේ කුඩාවැල්ලේ ධීවර බෝට්ටුවක තිබූ එම කුඩු සහ අයිස් තොගය ලොරි රථයක පටවාගෙන කඩුවෙල ප්‍රදේශයට රැගෙන යාමට සූදානම් කර තිබූ බවත්, මාර්ගය පෙන්වීම සඳහා පැන ගිය පුද්ගලයා පැමිණි බවත්ය. එහෙත් ඔහු සොයා ගැනීමට නැත.

පොලිසියට විශාල සැකයක් මතුවූයේ මෙම කුඩු තොගය කාගේද යන්නයි. එහෙත් පසුව පොලිසියට සිදුවීම අනාවරණය විය. මෙම කුඩු සහ අයිස් තොගය එවා තිබුණේ කොළඹ ප්‍රදේශයේ අයෙකි. අදාළ කුඩු තොගය බාරගැනීමට සිටියේ දැනට ඩුබායි හි සිටින බව කියන අංගොඩ ලොක්කාගේ ගෝලයකු වන අංගොඩ ප්‍රියංකර සහ හංවැල්ලේ අමිල යන දෙදෙනාගේ කණ්ඩායම විසිනි. කෙසේ වෙතත් මත්කුඩු තොගයක් ගෙන ඒම සඳහා ධීවර බෝට්ටුවක් මුහුදු ගිය බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ඔත්තුවක් ලැබී තිබුණි. එම ඔත්තුව නාවික හමුදාවට දැනුම් දීමෙන් පසුව නාවික හමුදාව විසින් අදාළ බෝට්ටුව මුහුද මැදදී අත්අඩංගුවට ගනු ලැබීය. එසේ අත්අඩංගුවට ගන්නා විට එහි මත්කුඩු තිබුණේ නැත. එහෙත් බෝට්ටුවේ සිටි පස්දෙනා අපූරු කතාවක් කීහ. එනම් තමන් ඇතුළු පිරිස මෙම මත්කුඩු ගැනීම සඳහා යකඩයා නැමති අයකු සමඟ පැමිණි බවත්, පසුව මත්කුඩු තොගය මුහුදට වැටුණු බවත්, එය ගැනීම සඳහා යකඩයා නමැති අය මුහුදට පැන්න බවත් අවසානයේ මත්කුඩු පමණක් නොව ඔහු ද මුහුදේ අතුරුදන් වූ බවත්ය. කෙසේ වෙතත් එය විශ්වාස කරන්නට බැරි කතාවක් බව නාවික හමුදාවට වැටහී තිබිණි. ඒ වෙන කිසිවක් නිසා නොව යකඩයා යනු මත්කුඩු මෙරටට මුහුදු මාර්ගය ඔස්සේ ගෙනෙන අයකු බවත් ඔහුට සුළි කුණාටු මැද වුවද පිහිනීමට හැකියාව ඇති අයකු බව නාවික හමුදාව දැන සිටීමය. ඒ අනුව බෝට්ටුවත් සැකකරුවනුත් තංගල්ල පොලිසියට බාරදීමට නාවික හමුදාව කටයුතු කළේය.

සැකකරුවන් රිමාන්ඩ් කළ ද කුඩු තොගය හමුවුණේ නැත. එසේ තිබියදී තමන්ට පසුගියදා කොටුවූයේ එම කුඩු බවට පොලිසියට පසුව අනාවරණය විය. එසේම පොලිසියට පසුව අනාවරණය වූයේ මෙම මත්කුඩු කොල්ලකා රැගෙන ගොස් ඇති බවත්, යකඩයා මේ වනවිට කොළඹ ප්‍රදේශයේ සැඟවී සිටින බවත්ය. ඒ එක සිදුවීමකි.

පසුගියදා නාවික හමුදාව මත්කුඩු කිලෝ 800කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබිණි. එහිදී බෝට්ටුව අත්අඩංගුවට ගත් මොහොතේ ස්කීපර්වරයා සඳහන් කළේ මෙම මත්කුඩු තොගය දකුණු පාතාලයේ කෙරුමකු වන කොස්ගොඩ සුජීගේ බවය. ඒ අනුව නාවික හමුදාව සහ පොලිසිය සිතුවේද එම මත්කුඩු තොගය සුජීගේ බවය.

අනතුරුව පරීක්ෂා කිරීමේදී හෙළිවූයේ මෙම මත්කුඩු තොගය තිදෙනකුගේ ඒවා බවය. එනම් මොහොමඩ් සිද්ධිදික්, පරෙයි සුදා සහ සිරාන් බාසික් යන තිදෙනාගේ බවටය. මේ තිදෙනාගේ මත්කුඩු වෙන වෙනම ඉරාන බෝට්ටු තුනකින් අත්අඩංගුවට ගත් බෝට්ටුවට ලබා දී ඇත. මෙම කුඩු තොගය මෙරටදී බාරගනුයේ රත්මලානේ රසල් සහ බලපිටියේ වසන්ත සහ කුමාර යන තිදෙනෙකි. මෙම කුඩු තොගය වෙන වෙනම ගොඩබිමට ගෙන ඒම සඳහා සිද්ධික්, සුදා, සිරාන් වෙන වෙනම කොන්ත්‍රාත් ලබා දුන්නද මොවුන් තිදෙනාගෙන්ම මුදල් ගෙන එකම බෝට්ටුවේ රැගෙන එන්නේ හැමෝටම කොළය වසාය. එසේ ගෙනෙන විට දකුණේ බෝට්ටුවක් නිසා ඔවුන් බය කිරීමටත්, වැඩේ ඉක්මන් කිරීමටත් බෝට්ටුවේ ස්කීපර්වරයාට ඇමතුමක් ලබා ගනිමින් තමන් කොස්ගොඩ සුජී බවත්, සියල්ල තමන්ගේ බඩු බවත් පවසයි. මේ නිසා ස්කීපර්වරයා ඔහු සුජී බවට හඳුනාගෙන සිටී. එහෙත් නාකොටික් මගින් අත්අඩංගුවට ගත් පිරිසගේ එක් එක් අයගේ කටහඬ අසා සැකකරුවන් සහතික කිරීමට උත්සාහ ගත්විට ස්කීපර් පවසන්නේ සුජීගේ කටහඬ එය නොවන බවයි. එහෙත් තවත් අයගේ කටහඬවල් පරීක්ෂා කිරීමේදී අනාවරණය වනුයේ සුජී ලෙස කතා කර ඇත්තේ රත්මලානේ රසල් බවයි. ඒ අනුව සුජීගේ නම විකුණමින්, ඔවුන් යම් හෙයකින් හසුවුවහොත් ඒ සියල්ල සුජීගේ නමට බැරවන ආකාරයට වූ පසුබිම පිරිස විසින් සාදා තිබේ. කෙසේ වෙතත් සිදුවීම දැනගත් පසු සුජීගේ පිරිසට යකා වැසී ඇත. ඒ නිසා කොයි මොහොතක හෝ ගින්න ඇවිලෙනු ඇත.

මේ අතර තවත් හෙරොයින් කිලෝ සිය ගණනක් නාවික හමුදාව විසින් බස්නාහිර ප්‍රදේශයට වන්නට තිබියදී අත්අඩංගුවට ගනු ලැබීය. එහිදී අනාවරණය වුණේ මෙම අත්අඩංගුවට ගත් පිරිස අතරින් කිහිප දෙනකු දෙවුන්දර අය බවයි. මෙම පිරිස දෙවුන්දරින් වෑන් රථයක නංවාගෙන රැගෙන ගොස් ත්‍රිකුණාමලය ප්‍රදේශයෙන් බෝට්ටුවකින් මුහුදු ගොස් ඇති බවයි. එසේ ගිය පිරිස හොරොයින් රැගෙන ඒමේදී නාවික හමුදාවට කොටුවී ඇතැයි කියති. ඔවුන් පවසා ඇත්තේ එම මත්කුඩු තොගය දෙවුන්දර ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරු වන දෙහිබාලේ මල්ලි නැමැත්තාගේ බවයි. කෙසේ වෙතත් එය සියයට සියයක් තහවුරු කිරීමට බැරිය. ඉහත කී සිදුවීම අනුව එක එක අයගේ නම් ගම් කී පමණින් ඍජුව කිසිවකුට චෝදනා කළ නොහැක. එහෙත් දැන් දැන් පාතාලය තුළ සිදුවන ඇතැම් සිදුවීම් නිසා පාතාලය මේ වනවිට ගිනි ගොඩක් වී ඇත. කොයි මොහොතක හෝ මෙය පුපුරා යනු ඇත. එය අද හෝ හෙට විය හැක.

• ගයාන් ගාල්ලගේ

 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 26 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:03