බදු හා කුලී ගිවිසුම්වල මුද්දර ගාස්තු සියයට සියයකින් වැඩි කිරීමේ ගැසට් නිවේදනයක් මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කරනු ලැබ ඇත. මෙය 2025 අයවැය ලේඛනයේ අඩංගු අයවැය යෝජනාවක් බවද දැනගන්නට තිබේ. යම් දේපළක් බද්දකට හෝ කුලියට දීමේදී අත්සන් කරනු ලබන කල්බදු ගිවිසුම් හෝ කුලී ගිවිසුම් සඳහා අධි මිලදී ගැනීම්ද ඇතුළුව කල් බද්ද හෝ බදු කුලිය සෑම රුපියල් 1000කට හෝ ඉන් කොටසකට දැනට අය කරනු ලබන රුපියල් 10 ක්වූ ගාස්තුව අප්‍රේල් 01 දා සිට රුපියල් 20 දක්වා වැඩි කර ඇත. මෙය එකකට එකක් වැඩි කිරීමකි.
කෙසේ වුවද පාරිභෝගික ණය පනතේ එළැඹ ඇති සින්නක්කර ගිවිසුම් යටතේ ගෙවිය යුතු මුළු වටිනාකමකින් සෑම රුපියල් 1000කට හෝ ඉන් කොටසකට දැනට අය කරනු ලබන මුද්දර ගාස්තුව මෙම නියෝගයෙන් සංශෝධනය නොවන බව ගැසට් නිවේදනයේ සඳහන්ය. එය අඛණ්ඩව රුපියල් 10 ක් ලෙස ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යංශය කියයි.
මෙම ගැසට් නිවේදනය අනුව දේපළවල බදු ගිවිසුම් හා කුලී සින්නක්කර ගිවිසුම්වල මුද්දර ගාස්තුව සියයට සියයකින් වැඩි වී ඇත. මෙම සංශෝධන නිසා රජය 2025 වසරට රුපියල් බිලියන 50කට වැඩි ආදායමක් අපේක්ෂා කරන බව නිවේදනය කෙරේ. මේ මුද්දර ගාස්තු ගෙවිය යුත්තේ මිලට ගන්නා හෝ ණයකරු විසින් වීම නිසා එම දේපළ මිලට ගන්නා තැනැත්තාට මෙම අතිරේක මුදලද ගෙවීමට පැවරේ. අද පවතින ආර්ථික තත්ත්වය අනුව ඉඩමක් හෝ යම් දේපළක් මිලදී ගන්නා කෙනකුට වැඩි මුද්දර ගාස්තුවක් ගෙවීමට සිදුවීම ඔහු හිරිහැරයකට පාත්‍ර වීමකි. දේපළ අයිතිකරුට මෙයින් හානියක් සිදු නොවන අතර ණය ගන්නා තැනැත්තාට කරන අසාධාරණයක් වෙයි.
එසේම ගිවිසුම් ගාස්තු වැඩිවීම නිසා දේපළ උගසට තබා ණය ගන්නා අයටද සිදුවන්නේ හානියකි. වාහන මිලදී ගැනීමේදී වැඩිදෙනා ලීසිං සහ ෆිනෑන්ස් පහසුකම් ලබා ගැනීමට නිරතුරුව පෙළඹෙති. අත්පිට මුදල් ගෙවා වාහනයක් මිලදී ගන්නට හැකිවන සංඛ්‍යාව ඉතාම විරලය. මෙම ලීසිං ගිවිසුම්වලදී අය කරන පොලියද ඉතා ඉහළ මට්ටමක පවතී. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් මෙලෙස අය කරන පොලී ප්‍රතිශත පාලනය කිරීමට නිසි ක්‍රියාමාර්ග ගෙන ඇති බවක් නොපෙනේ. ඒ නිසා සියයට 25-30 අතර පොලියක් ගෙවීමට ජනතාවට සිදුව තිබේ. එවැනි පරිසරයක් තුළ තම වාහන සිහිනය සැබෑකර ගැනීමට උත්සාහ කරන ජනතාවට බදු හා කුලී ගිවිසුම්වලට ගෙවිය යුතු මුද්දර ගාස්තු එකට එකක් වැඩි කිරීම ගහෙන් ඇන්න මිනිහාට ගොනා ඇන්නා මෙන් වූ ප්‍රතිඵලයක් ගෙන දෙන්නකි.
ඍජු බදු අයකිරීම අකාර්යක්ෂම බවට පත්වීම නිසා රජය වැඩිපුර උත්සාහ ගන්නේ වක්‍ර බදු පැනවීමටය. එවිට බදු අය කිරීමට වෙහෙස ගෙන නොදෙන අතර අය කිරීමකින් තොරව එක්වරම බදු ගෙවීමක් මෙහිදී සිදුවේ. එසේ වුවද ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ රජය ඍජු බදු ප්‍රතිශතය ඉහළ දැමීමට සහ ඍජු බදු අයකිරීම කාර්යක්ෂම කිරීමට කටයුතු කළ යුතු බවය. ආදායම් මට්ටම අනුව බදු අය කරන්නේ නම් ඇති හැකි අයගෙන් බදු එකතු කිරීමට හැකි වේ. එහෙත් ඒ තත්ත්වය නොසලකා මෙලෙස වක්‍ර බදු වැඩි කිරීම සුදුසු නොවන බව වැඩි දෙනාගේ අදහසය.
මුද්දර පනතට මෙයට පෙර ගෙන ආ සංශෝධනයක් අනුව තෑගි ඔප්පු ලිවීමේදී දේපළවල වර්තමාන සත්‍ය අගය අඩංගු විය යුතු බවට නියම කර තිබේ. මෙයට පෙර පැවැති ක්‍රමය අනුව තෑගි ඔප්පුවක් ලියන විට එම දේපළවල අගය අඩුකර ඔප්පුව ලිවීමට නීතිඥවරයාට නිදහස තිබුණි. උදාහරණයක් ලෙස ගතහොත් පියා තම දේපළ දරුවන්ට පවරන විට එහි වටිනාකම වුවමනාවෙන්ම අඩුකර පෙන්වයි. එයට එක් හේතුවක් වන්නේ එම දේපළ පැවරීමේදී මූල්‍යමය ගනුදෙනුවක් සිදු නොවීමයි. ඒ නිසා මුද්දර ගාස්තු අඩු කිරීම සඳහා අඩු වටිනාකමක් ඔප්පුවට යොදයි.
එහෙත් නව සංශෝධනය අනුව මෙවැනි ගනුදෙනුවලදී පවරණ දේපළවල නිවැරදි වටිනාකම ඔප්පුවට ඇතුළත් කළ යුතු වේ. නීතිඥයන්ට හෝ වෙනත් පාර්ශ්වවලට දේපළ මිල කිරීමට තිබුණු අවස්ථාව මෙහිදී අහිමි වී යයි. මෙම දේපළවල විස්තර පළාත් තක්සේරුකරුට ඉදිරිපත් කර ඔහු සහතික කරන වටිනාකම ඔප්පුවට ඇතුළත් කළ යුතු වේ. එම තක්සේරුවට මුද්දර ගාස්තු අය කරන විට ඒ සඳහා විශාල මුදලක් වැය වේ. ත්‍යාග ලෙස පවරණ දේපළ ද අලෙවි කරන දේපළ ලෙස සලකා කටයුතු කිරීම නිසා පවරණ අයට විශාල මුදලක් මුද්දර ගාස්තු ලෙස ගෙවීමට සිදුවේ. එසේම දේපළවල බදු ඔප්පුවලට සහ කුලියට දෙන ඔප්පුවලටද එම දේපළවල නිවැරදි වටිනාකම අඩංගු කළ යුතු වේ. කුමන මුදලකට බද්දට හෝ කුලියට දුන්නද නියම තක්සේරු වටිනාකමට මුද්දර අලවා අවලංගු කළ යුතු වෙයි. මෙය කුඩා ගනුදෙනුවලදී අකුරට ක්‍රියාත්මක කිරීම නිසා පුංචි මිනිහා විපතට වැටෙයි.
මෙම තත්ත්වය වර්තමානයේ පවත්වාගෙන එන ලීසිං සහ මූල්‍ය සමාගම්වලට අහිතකර ලෙස බලපායි. එයට හේතුව එම පාරිභෝගිකයන්ට මෙම රෙගුලාසි අතිරේක බරක් වන නිසාය. ගිවිසුම්ගත වන්නන්ට මුලින් ගෙවූ මුද්දර ගාස්තුව දෙගුණ වීම එය හේතුවයි. මෙම මුද්දර ගාස්තු සම්පූර්ණයෙන් ගෙවිය යුතු වන්නේ පාරිභෝගිකයාටය.
මේ පිළිබඳ අදහස් දක්වන ඇසට්ලයින් ලීසිං සමාගමේ කළමනාකරු නලින් හෙට්ටිආරච්චි පවසන්නේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18ට අඩු නම් ඒ බව සනාථ කර මෙම මුද්දර ගාස්තු ගෙවීම්වලින සහනයක් ලබාගත හැකි බවයි. එසේ නොවේ නම් සංශෝධිත ගාස්තුව වන සියයට 20 ගිවිසුම් අත්සන් කරන අවස්ථාවේ ගෙවිය යුතු වෙයි. නියමිත මුද්දර ගාස්තුව ගෙවන තෙක් ගිවිසුම් බලාත්මක නොවේ. සෑම ආයතනයකටම මෙය බලපාන නිසා තම ආයතනයට පමණක් විශේෂයක් නොවන බව හෙතෙම කියයි.
මේ පිළිබඳ අදහස් දක්වන ප්‍රකට ආර්ථික විශ්ලේෂක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ පවසන්නේ මෙම ගැසට්ටුව නිකුත් කර ඇත්තේ 2025 අයවැය යෝජනාවක් අනුව බවයි. 2025 අයවැය ලේඛනය මේ වනවිට පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති නිසා මුදල් අමාත්‍යංශය එය ක්‍රියාත්මක කිරීම ගැන විවේචනය කිරීමක් දැන් නොකළ හැකි බව ඔහු කියයි.
“අයවැය ලේඛනය අනුව සියයට 1 සිට 2 දක්වා මුද්දර ගාස්තු වැඩි කරලා තියෙනවා. මෙමගින් 2025 වසරට රුපියල් බිලියන 50ක ආදායමක් රජය අපේක්ෂා කරනවා. බදු ගිවිසුම් අත්සන් කරන අවස්ථාවේ වටිනාකමට අය කළ බද්ද දෙගුණයකින් වැඩි කර තියෙනවා. 2024 වසරේ අය කළ සියයට 10 බද්ද සියයට 20 කරලා ගැසට්ටුවක් නිකුත් කර තිබෙනවා. පළාත් පාලන ආයතන මෙම බදු ආදායම එකතු කර රජයට වසර අවසානයේදී ගෙවිය යුතු වෙනවා. පසුගිය වසරේදීද බිලියන 50 ක් එකතු කර තිබෙනවා. දැන් මේ වසරේද එකතු කරන්න යන්නේ එයට සමාන මුදලක්. බදු වැඩි කරලත් අඩුවෙන් එකතු වේ යැයි අපේක්ෂා කිරීම නිසා නිගමනය කළ හැක්කේ මෙවැනි බදු ගිවිසුම් අඩුවෙන් ඇතිවනු ඇති බවයි. ජනතාව අත මුදල් නොමැතිවීම නිසා බදු ගිවිසුම් ගතවීම් අඩු ප්‍රමාණයක් සිදුවේ යැයි උපකල්පනය කිරීම මෙයට හේතුවයි.
කෙසේ වුවද බදු ප්‍රතිශතය ඉහළ නැංවීමට වඩා මෙවැනි ගිවිසුම්වලට යාමේදී සිදුවන වංචා දූෂණ අවම කිරීමට රජය කටයුතු කළ යුතු වෙනවා. බොහෝ අවස්ථාවල අඩු වටිනාකමක් යොදා නියමිත මුද්දර ගාස්තුවෙන් ලිස්සා යාමට ඇතැම් ඔප්පු ලියන නිලධාරීන් කටයුතු කරනවා. එම තත්ත්වය මර්දනය කිරීමට නීති ගෙන එන්නේ නම් එය වඩාත් වැදගත් බව මගේ අදහසයි. එවිට බදු වැඩි නොකර රජය අපේක්ෂා කරන ආදායම එකතු කරගත හැකියි. කෙසේ වුවද මෙම අවස්ථාවේදී මෙයට විරුද්ධ විය නොහැකියි. සංශෝධනයක් කිරීමට අවශ්‍ය වූවා නම් අයවැය කාරක සභා අවස්ථාවේදී එය කළ හැකිව තිබුණා. එහෙත් එය සිදුවූයේ නැහැ.”
• යසවර්ධන රුද්‍රිගු