පල ඇති රුකට ගල් ගසන බවට කතාවක් අප අතර පැතිර පවතී. ඒ වගේම අමිල පාරිසරික ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරයටත් සිදුවන ගැහැට නිමක් නැත. දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේද නොමඳ අවධානයට යොමුව ඇති මේ වනබිම ඉහළම ජෛව විවිධත්වයක් සහිත පාරිසරික කලාපයකි. මේ නිසා සිංහරාජයට යාබද පාරිසරික පද්ධතිවල වටිනාකමද ඉතා ඉහළය. හෙක්ටයාර 11187ක විශාලත්වයකින් යුත් සිංහරාජ ලෝක උරුම වනාන්තරය දකුණු දිසාවෙන් ගිං ගඟ සහ මහදොළ යන ජල මාර්ගවලටද උතුරු දිසාවෙන් නාපොල දොළ සහ කොස්ගුලන ගඟට ද බටහිරින් කළුකන්දාව ඇළ සහ කුඩව ගඟට ද නැගෙනහිරින් මෝනිංසයිඩ් වතු යායට ද මායිම් වේ.
සිංහරාජයට මතු නොව ඒ අවට ඇති වනබිම් සහ ඉඩම්වලටත් විවිධ පාරිසරික කෙණෙහිලිකම් සිදුවන බවට සිද්ධි නිතර වාර්තා වේ. අලුත්ම කතාව වන්නේ රක්වානට නුදුරු බෝටියතැන්න ප්‍රදේශයේ වන පිවිසුමේ සහ අලිමංකඩේ පෞද්ගලික ඉඩමක යාන්ත්‍රික මැණික් ගැරීමකි. මේ ඉඩම කලින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත්ව තිබුණු අතර පසුව පෞද්ගලික අයිතියට ලබාගත් බිමකි.
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ පරිසරවේදී සජීව චාමිකර චෝදනා කරන්නේ මෙම මැණික් ගැරීම මෙහෙයවන පුද්ගලයා පොලිසිය ඇතුළු රාජ්‍ය ආයතන ගණනාවකට බලපෑම් කරමින් කැණීම් කටයුතු සිදු කරන බවයි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් මේ සඳහා බලපත්‍ර ලබා දී ඇති අතර එම නිලධාරීන් මෙම යාන්ත්‍රික මැණික් පතල් කැණීම් භූමිය පරීක්ෂා කර බැලීම සඳහා වෙනත් පරිසරය හා සම්බන්ධ කිසිදු රාජ්‍ය ආයතනයක නිලධාරීන්ට ඇතුළු වීමට අවස්ථාව ලබා නොදෙන බව පැවසේ. නමුත් මේ සිද්ධිය ගැන මාධ්‍ය ඔස්සේ කතා කිරීමට පටන් ගැනීම නිසා පසුගියදා මධ්‍යම පරිසර අධිකාරිය සහ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් එහි ගොස් පරීක්ෂා කර බැලු බව වාර්තා වේ. ජනතාව විශාල බලාපොරොත්තු තබා පත්කළ නව ආණ්ඩුව යටතේද මෙවැනි පාරිසරික විනාශ සිදුවීම ගැන පරිසරවේදීන් කතා කරන්නේ කලකිරීමෙනි.
මෙම බැකෝ යන්ත්‍ර භාවිත කර මතුපිට පස් ස්ථරය ඉවත් කිරීම නිසා ප්‍රදේශයේ ප්‍රධාන ජල සැපයුමක් වන රඹුක ගඟේ ආරම්භය සිදුවන දිය උල්පත් විනාශ වී යාම සිදුවේ. රඹුක ගඟ, කුකුළේ ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන අතර එය පසුව කළු ගඟ පෝෂණයට එක්වේ. ලංකාවට ආවේණික හා ඉතාම දුලබ මසුන් ඇතුළු ජීවීන් රැසක් මෙම ජල මාර්ගවල වාසය කරති. මැණික් ගැරීම නිසා වර්ෂා කාලයේදී රොන්මඩ ජල මාර්ගවලට එක්වන අතර එය මිරිදිය ජීවීන්ගේ පැවැත්මට බාධා ඇති කරයි.
සිංහරාජයේ ජීවත් වන අලි දෙදෙනකුගෙන් යුත් රංචුව එහි පාරිසරික විවිධත්වයට විශාල දායකත්වයක් දක්වති. පතල් කැණීම් සිදු කරන මාණික්කවත්ත, බෝටියතැන්න ප්‍රදේශය එම අලි නිතර ගමන් ගන්නා අලිමංකඩකි. සිංහරාජ වන රක්ෂිතයේ මෝනිං සයිඩ් ප්‍රදේශයේ සිට හඳපාන් ඇල්ල ඔස්සේ දෙල්ලව - වලන්කන්ද වනාන්තරයට අලි සංක්‍රමණය වන්නේ මේ පෙදෙස හරහාය. ඒ අතරම සිංහරාජ වන රක්ෂිතයේ හඳපාන්ඇල්ල හා පනිල්කන්ද සම්බන්ධ කරන වන පිවිසුම වන්නේද බෝටියතැන්නයි.
මේ ප්‍රදේශය අවහිර කළ විට සිංහරාජ වන රක්ෂිතය සම්පූර්ණයෙන්ම දෙකඩ වී යන බව පරිසරවේදීන්ගේ අදහසයි. අද වනවිට හෝටල් හා නවාතැන්පොළවල් ඉදිකිරීමෙන් හා යාන්ත්‍රික පතල් කැණීමෙන් වනාන්තර පද්ධතියේ විශාල ප්‍රදේශයක ඒකාබද්ධතාව බිඳ වැටී තිබේ. මෙසේ අලි ගමන් ගන්නා මාර්ගයට බාධා පැමිණීමෙන් සිදුවන්නේ රඹුක, තණවෙල, ඇල්ලගම, හන්දියෙකඩේ, කජුගස්වත්ත, පොතුපිටිය, කෝපිකෑල්ල හා සයිප්‍රස්වත්ත යන ගම්මානවලට අලින් පිවිසීමෙන් ගම්වාසීන්ට ජීවිත තර්ජනවලට හා වගා බිම් හා දේපල හානි කිරීම්වලට මුහුණ දීමට සිදුවීමයි. මෙයට වසර කිහිපයකට පෙර ද කලින් කල අලි පහරදීම් ගැන අපට අසන්නට ලැබී තිබේ. ඉදිරියේදී එම පාරිසරික පද්ධතිය විනාශ වුවහොත් අලි මිනිස් ගැටුම තවත් ඉහළ යනු ඇත.
මේ ගැන සඳහන් කරන පරිසරවේදී සජීව චාමිකර:
“මෙවන් ඉතාම සංවේදී පරිසර පද්ධතියක යාන්ත්‍රික පතල් කැණීම සඳහා අනුමැතිය ලබාදීමෙන් සිදුවන හානිකර තත්ත්වය හා නීති විරෝධී තත්ත්වය පිළිබඳව කිසිදු අවබෝධයකින් තොරවයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් මේ සඳහා කැණීම් බලපත්‍ර ලබා දී තිබෙන්නේ. ජාතික පාරිසරික පනතේ 32(2) උප වගන්තියට අනුව ප්‍රකාශිත 2006 ජූලි 17 වැනි දින අංක 1454/4 දරන ගැසට් නිවේදනය අනුව වැලි හා මැණික් ගවේෂණය කිරීම, පතල් හෑරීම හා උකහා ගැනීම පිණිස උපකරණ භාවිතය තහනම් කිරීමේ ජාතික පාරිසරික නියෝගවලට අනුව තහනම් උපකරණ වන බැකෝ යන්ත්‍ර, බුල්ඩෝසර් යන්ත්‍ර හා උකහා ගැනීමේ යන්ත්‍ර භාවිත කර ගංගා තුළ හෝ ගං ඉවුරුවල හෝ ගංගා රක්ෂිතවල මැණික් කැණීම තහනම් වෙනවා. මේ අනුව සන්නන් දොළ මායිමේ පිහිටි ඉඩමක යාන්ත්‍රික පතල් කැණීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට හැකියාවක් නෑ.
ගංගාවල හෝ එහි රක්ෂිත ප්‍රදේශවල නීති විරෝධී යාන්ත්‍රික මැණික් කැණීම් සිදු කරන පුද්ගලයන්ව අත්අඩංගුවට ගැනීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට තිබෙනවා.”
1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනතේ මූලික අර්ථනිරූපණයේ දැක්වෙන්නේ මැණික් කර්මාන්තය විධිමත් කිරීම සඳහා මෙම පනත ක්‍රියාත්මක වන බවය. කෙසේ වුවත් එම පනතේ විධිවිධාන වෙනුවට අධික මුදල් ලෝභයෙන් කටයුතු කරන මැණික් මුදලාලිලාට යහපත සලසන ලෙසින් එම අධිකාරිය කටයුතු කරන බවට පරිසරවේදීහු චෝදනා කරති.
“අප අවධාරණය කරන්නේ සිංහරාජ සමස්ත වනාන්තර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට මෙන්ම වත්මන් හා අනාගත පරපුරේ පැවැත්ම සුරක්ෂිත කිරීමට මෙම නීති විරෝධී යාන්ත්‍රික පතල් කැණීම් හා හෝටල් ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම ඉවත් කළ යුතු බවයි. බෝටියතැන්න සමස්ත ප්‍රදේශයම වන පිවිසුමක් ලෙස රක්ෂිත තත්ත්වයට පත් කර සුරක්ෂිත කරන ලෙසයි අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ.” සජීව වැඩිදුරටත් පැවසුවේය.
2020 ජනවාරි 14 වැනි දින දරන විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් සිදුකර ඇති ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විශේෂ විගණන වාර්තාවේද සඳහන් කරන්නේ නීති විරෝධී මැණික් කැණීම්වලට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් මැදිහත්වීම් මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරිය ක්‍රියාත්මක කර නැති බවය.
අප අතීතයට නෙත් හෙළුවහොත් වර්ෂ 2013 සිට සිංහරාජය අවට පිහිටි පොතුපිටිය, කැකිල්ලපිටිය, ගාලෙවත්ත, ඉළුඹකන්ද, රඹුක, කජුගස්වත්ත, රජවත්ත - කෝපි කෑල්ල, මාණික්කවත්ත, හඳපාන්ඇල්ල, කඩමුදුන හා සූරියකන්ද යන ප්‍රදේශවල මහා පරිමාණයෙන් වනාන්තර එළි පෙහෙළි කරමින් තේ වගාව ව්‍යාප්ත කිරීම ගැන අසන්නට ලැබුණි. එහිදී සිදුකර ඇත්තේ වනාන්තරය තුළ යටි වගාව ඉවත් කර තේ පැළ සිටුවීමෙන් අනතුරුව විශාල ගස් කපා ඉවත් කරමින් වනාන්තරය තුළට තේ වගාව ව්‍යාප්ත කිරීමයි.
මීට අමතරව මාණික්කවත්ත ප්‍රදේශයේ වනාන්තර අක්කර 300 ක් පමණ අනවසරයෙන් අල්ලාගෙන මැණික් ගැරීමක් කළ බවටද කලකට පෙර වාර්තා විය. ඒ කාලයේම මහා පරිමාණයෙන් ගස් කපා විකිණීමේ ජාවාරමක් ඉතා සූක්ෂමව ක්‍රියාත්මක කිරීමක් ද සිදුවිය.
මේ අතර 2022 දී ලෝක උරුම සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය හෙළිකර මාර්ගයක් හෝ ජලාශයක් ඉදි නොකරන බවට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිඥාවක් ලබාදීම සිදුවුණේ පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත් කළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේය. සිංහරාජ වනාන්තරය හෙළිකර මාර්ගයක් හා ජලාශයක් ඉදිකිරීමට ගෙන තිබූ තීරණයක් අභියෝගයට ලක් කරමින් මෙම පෙත්සම ගොනු කර තිබුණි. එහිදී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරිය කියා සිටියේ සිංහරාජ රක්ෂිත වනාන්තර කලාපය හරහා මංමාවත් ඉදිකිරීමක් සිදු නොකරන බවයි. දැනට පවතින මාර්ග පුළුල් කිරීමක් සිදු නොකරන බවද ඇය අධිකරණයට ඒ අවස්ථාවේදී දැනුම් දුන්නාය.
මේ උවදුරුවලට අමතරව සතුන් හා ශාක දර්ශ හොර රහසේ ජාන හොරකමට රැගෙන යාම, ඇළ දොළ සහ ගංඟාවලින් අනවසරයෙන් වැලි ගොඩදැමීම, වල්ලාපට්ටා ගස් කැපීම, වන සතුන් දඩයම ඇතුළු විනාශකාරී ක්‍රියා ද සිංහරාජය ආශ්‍රිතව සිදුවේ.
• කුසුම්සිරි විජයවර්ධන