2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ආණ්ඩුවට පෙත්සමක්!

 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:05 90

තුන්වැනි ලෝකයේ රටවල් මුහුණදෙන බරපතළම ගැටලු‍වක් වන්නේ බුද්ධි ගලනය හෙවත් උගතුන් රට හැරයෑමය. රටේ පැවැති ආර්ථික උද්ධමනය හා අධික බදු හේතුවෙන් පසුගිය සමයේ වෛද්‍යවරුන් 2000ක් පමණ රට හැර ගිය අතර, තවත් වෛද්‍යවරුන් 7,000ක පමණ පිරිසක් රට හැර යෑමට තීරණය කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කර තිබේ.

එලෙස රට හැර යන වෛද්‍යවරුන් රට තුළ රැඳී සිටීම දිරීමත් කිරීමත්, නිදහස් සෞඛ්‍ය සේවය සුරක්ෂිත කිරීමත් ඉලක්ක කරගනිමින් 2025 අයවැය වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනාවලියක් ඉදිරිපත් කර ඇත. මෙරට සේවයේ නියුතු සියලු‍ වෛද්‍යවරුන් සඳහා සුවිශේෂී වැටුප් ව්‍යුහයක් ඉදිරිපත් කරන ලෙසට හා තීරු බදු සහන යටතේ වෛද්‍යවරුන්ට වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබාදීම ඇතුළු යෝජනා කිහිපයක් එමගින් ඉදිරිපත් කර තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස ප්‍රකාශ කළේ රටේ සිටින වෛද්‍යවරුන් රට තුළ රඳවා ගැනීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වන තෙක් ගෙන නොමැති බවයි. වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් රට හැර යාමේ තත්ත්වයක් නිර්මාණය වී ඇත්තේ ඔවුන්ට තමන්ගේ මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමේ ගැටලු‍ පැන නැගී ඇති බැවිනැයි ඔහු පෙන්වා දෙයි. මෙම යෝජනාවලිය මගින් තම සැලැස්ම රජයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බවද ඔහු සඳහන් කළේය.

“අපේ යෝජනාවලිය ප්‍රධාන කාරණා තුනක් යටතේ එළි දැක්වෙනවා. ඉන් පළමුවැන්න රට තුළ සිටින වෛද්‍යවරු මෙහි රඳවා ගැනීමටත් රාජ්‍ය සේවයට ආකර්ශනය කර ගැනීමටත් අවශ්‍ය කරුණු මොනවාද යන්න මේ තුළ සාකච්ඡාවට බඳුන් කර තිබෙනවා. දෙවැනුව සාධාරණ සහ පාරදෘශ්‍ය බදු ප්‍රතිපත්තියක් හඳුන්වාදීමේ වැදගත්කම පෙන්වා දී තිබෙනවා. තෙවනුව ආර්ථික සංකල්ප මත පදනම් වූ ආදායම් උපයන ක්‍රමවේදයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය හරහා ගොඩනැගීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබෙනවා. මේ ඔස්සේ 2025 අයවැයෙන් මෙම යෝජනා සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවනු ඇතැයි අපේක්ෂා කරනවා.”
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක චමිල් විජේසිංහ මෙලෙස සඳහන් කළේය.

“තමන් කරන සේවයට දැනෙන මට්ටමේ වැටුපක්වත් ලැබෙන්නේ නැති, හරිහමන් නිල නිවාසයක් නැති, සේවය කරන රෝහල අවට කෑමට යමක් සපයාගත නොහැකිව මේ රටේ වෛද්‍යවරු පැය විසිහතරම සේවය කරනවා. ගෙවුණු වසර දෙකක කාලය ඇතුළත වෛද්‍යවරුන් 2000කට වැඩි පිරිසක් රට හැර ගියා. තවත් වෛද්‍යවරුන් 5000කට ආසන්න ප්‍රමාණයක් රට හැර යාමට සුදුසුකම් සපුරා සිටිනවා. වෛද්‍යවරුන් රැක ගැනීමට නොහැකි වුවහොත් මෙරට රෝහල් පද්ධතිය බිඳ වැටෙනවා. එබැවින් සියලු‍ කාණ්ඩවලට අයත් වෛද්‍යවරුන් සඳහා සුවිශේෂී වැටුප් ව්‍යුහයක් ඉදිරිපත් කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටිනවා. ඔවුන්ගේ ඩැට් දීමනාව හෙවත් ප්‍රවාහන දීමනාව නිශ්චිත අගයකට යාවත්කාලීන වෙලා නැහැ. මේ අවස්ථාවේ ඒ සඳහා හිමිවිය යුතු දීමනාවෙන් හතරෙන් එකක්වත් ලැබෙන්නේ නැහැ. දැනට සීමාවාසික වෛද්‍යවරුන්ට ලැබෙන දීමනාව රුපියල් පනස්දහසකටත් වඩා අඩුයි. එය වහාම වැඩි කරන්න. එමෙන්ම 2013න් පසු යාවත්කාලීන නොවූ පශ්චාද් උපාධි වෛද්‍යවරුන්ගේ ජීවන වියදම් දීමනාව යාවත්කාලීන කරන්න. නිශ්චිත කාල රාමුවක් සහ ක්‍රමවේදයක් යටතේ තීරුබදු සහන සහිත වාහන ආනයන බලපත්‍ර ලබා දෙන්න. වෛද්‍යවරුන්ගේ නිල නිවාස ටික හරියට ප්‍රතිසංස්කරණය කරන්න. වෛද්‍යවරුන් මෙරට බදු ව්‍යුහය තුළ සුවිශේෂී කාණ්ඩයක් ලෙසට සලකා කටයුතු කරන්න වැනි යෝජනා අපි මෙවර අයවැය සඳහා යෝජනා කරනවා,” යනුවෙන් සඳහන් කළේය.

මෙවර අයවැයෙන් සියලු‍ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට නියමිත යැයි ජනාධිපතිවරයා අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබේ. ඒ අනුව වෛද්‍යවරුන්ටද එම වැටුප් වැඩිවීම හිමිවනු ඇත. එහෙත් වෛද්‍යවරුන්ගේ සංගමය ප්‍රකාශ කරන්නේ එකම අගයකින් සියලු‍ දෙනාට වැටුප් වැඩි වුවහොත් නැවත වැටුප් විෂමතාවක් නිර්මාණය වන බවයි. ඒ හරහා රාජ්‍ය සේවයේ අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය වන බවත් එම සංගමය පෙන්වා දෙයි.
වෛද්‍යවරුන්ගේ යෝජනාවලියෙන් කර ඇති අනෙකුත් යෝජනා පහත පරිදි වේ.

“ඉතිහාසයේ සියලු‍ දුෂ්කර අවස්ථාවන්හිදී පවා මෙරට සෞඛ්‍ය සේවය ස්ථාවරව පවත්වා ගනිමින්, සංවර්ධිත රාජ්‍ය සමඟ කරට කර සිටිමින් ඉහළ ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබාදීමෙහිලා තීරණාත්මකම සාධකය වනුයේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි.

රට තුළ පැවති ආර්ථික හා දේශපාලන අස්ථාවරත්වය හමුවේ, ප්‍රමාණවත් වැටුප් නොලැබීමත්, අහිතකර වෘත්තීය පරිසරයත් හේතුවෙන් 2000 කට අධික වෛද්‍යවරුන් පිරිසක් මෙරටට අහිමිවුණු අතර, 5000 කට අධික පිරිසක්ද රට හැර යාමේ සූදානමින් පසුවෙති. මෙම ප්‍රවණතාවය අඛණ්ඩව පැවතුණහොත්, මෙරට රෝහල් පද්ධතිය බිඳවැටීම වැළැක්විය නොහැකි වනු ඇත.

එබැවින් වෛද්‍යවරුන්ට ආර්ථික යුක්තිය සහ සාධාරණය ඉටු කරමින්, යහපත් වෘත්තීය පරිසරයක් ගොඩනගමින් ඔවුන් රට තුළ රැඳී සිටීම දිරිමත් කරන සහ නිදහස් සෞඛ්‍ය සේවය තවත් ශක්තිමත් කරන කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන වැඩපිළිවෙළක අවශ්‍යතාවය දැඩිව පවතී.

එමෙන්ම නිදහස් සෞඛ්‍ය සේවයේ මූලිකාංග සුරක්ෂිත කරමින්, මෙරට සෞඛ්‍ය පද්ධතිය හරහා ආදායම් උත්පාදනය කිරීම සඳහා නිර්මාණාත්මක සහ තිරසාර ක්‍රමෝපායද හඳුනාගත යුතුය.
එවන් වැඩපිළිවෙළක මූලික අඩිතාලම දැමීමට හැකිවන පරිදි, ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන 2025 අයවැය ලේඛනයට අන්තර්ගත කරන ලෙස ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපතිතුමන්ට සහ රජයට මෙම යෝජනාවලිය ඉදිරිපත් කරයි.

සියලු‍ කාණ්ඩවල වෛද්‍යවරුන් වෙනුවෙන් සුදුසුකම්, කාර්ය සාධනය සහ වෙළෙඳපොළ වටිනාකම මත පදනම් වූ සුවිශේෂී වැටුප් ව්‍යුහයක් හඳුන්වා දීම, වෛද්‍යවරුන්ගේ DAT (බාධා කිරීමේ, රැඳී සිටීමේ සහ ප්‍රවාහන) දීමනාව යාවත්කාලීන කිරීම, සියලු‍ කාණ්ඩවල වෛද්‍යවරුන්, රාජ්‍ය සේවයේ අනෙකුත් විධායක නිලධාරීන්ට ප්‍රවාහන පහසුකම් හිමිකර දී ඇති 22/99 චක්‍රලේඛයට අන්තර්ග්‍රහණය කිරීම, සියලු‍ කාණ්ඩවල වෛද්‍යවරුන්ගේ අතිරේක රාජකාරි දීමනාව උපයා ගැනීමේදී මුහුණදෙන ප්‍රායෝගික ගැටලු‍ නිරාකරණය කරන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම, පශ්චාද් උපාධි පුහුණු වෛද්‍යවරුන්ගේ විදෙස් පුහුණුවේදී ලබාදෙන ජීවන වියදම් දීමනාව යාවත්කාලීන කිරීම, සීමාවාසික වෛද්‍යවරුන්ගේ මාසික දීමනාව ඉහළ නැංවීම, සියලු‍ කාණ්ඩවල වෛද්‍යවරුන්ගේ ශ්‍රේණි උසස්වීම් ක්‍රමවේදයේ විෂමතා නිවැරදි කිරීම, වෛද්‍යවරුන් ඇතුළු වෘත්තියවේදීන්ට තීරුබදු සහන සහිත බලපත්‍ර යටතේ මෝටර් රථ ආනයනය කිරීම සඳහා පහසුකම් සැලසීම, වෛද්‍යවරුන් ඇතුළු සියලු‍ රාජ්‍ය සේවකයන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමවේදය නැවත හඳුන්වා දීම, සෞඛ්‍ය සේවා ආයතනවල අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව යාවත්කාලීන කිරීම, සෞඛ්‍ය සේවා ආයතනයන්හි නිල නිවාස ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, සාධාරණ සහ පාරදෘශ්‍ය බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දීම, උපයන විට ගෙවීමේ බදු ව්‍යුහය සංශෝධනය කිරීම, බදු නිදහස් මාසික ආදායම් සීමාව රු. 100,000.00 සිට 200,0000 දක්වා ඉහළ නැංවීම, බදු ආදායම් කාණ්ඩවල ප්‍රතිශතය 6% - 36% සිට 4% - 24% ලෙස සංශෝධනය කිරීම, බදු පැනවීමේ වාර්ෂික ආදායම් කාණ්ඩවල අගය රු. 500,000.00 සිට රු. 600,000.00 දක්වා සංශෝධනය කිරීම, පවතින බදු ව්‍යුහය තුළ වෘත්තීයවේදීන් සුවිශේෂී කාණ්ඩයක් ලෙස හඳුනා ගැනීම, වෘත්තියවේදීන්ගේ සම්පූර්ණ වැටුපටම බදු පැනවීම වෙනුවට සාධාරණ ක්‍රමවේදයක් හඳුන්වා දීම, බදු මුදල් වියදම් කිරීමේදී වගවීමේ යාන්ත්‍රණයක් සහිත පාරදෘශ්‍ය ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම, දැනුම ආර්ථික සංකල්පය මත පදනම්ව ආදායම් උත්පාදනය කිරීමේ යෝජනා, ජාත්‍යන්තර මට්ටමේ සෞඛ්‍ය සේවා සපයන රෝහල් (Centers of Excellence) ස්ථාපිත කිරීම හරහා ආදායම් උත්පාදනය කිරීම, සියලු‍ කාණ්ඩවල වෛද්‍යවරුන් සඳහා විශේෂ නිවාඩු ක්‍රමයක් ඔස්සේ විදේශයන්හි වෛද්‍යවරුන් ලෙස සේවයේ නියුක්ත වීමට අවස්ථාව ලබාදීම හරහා විදේශ විනිමය උපයා ගැනීම, සායනික සංචරණ විද්‍යාව, පශ්චාත් උපාධි අධ්‍යයන ක්ෂේත්‍රයක් ලෙස හඳුනා ගැනීම සහ ඒ සඳහා අවස්ථා පුළුල් කිරීම, වැනි කරුණු එම යෝජනාවලියට අයත්ය‍.

ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන මෙරට නිදහස් සෞඛ්‍ය සේවය ආරක්ෂා කිරීම ඕනෑම රජයකට සහ පාලකයකුට අත්හල නොහැකි වගකීමකි. මෙම යෝජනාවලියෙහි අන්තර්ගත කරුණු, ප්‍රමුඛතා හඳුනා ගනිමින් කාලරාමුවක් ඔස්සේ ක්‍රියාත්මක කිරීම වැදගත්ය. එහිදී කෙටිකාලීනව ක්‍රියාවට නැංවිය යුතු යෝජනාද පවතින අතර, ඇතැම් යෝජනා කාලරාමුවක් සහිතව ක්‍රියාත්මක කළ හැකිය.

මෙම යෝජනාවලියේ අන්තර්ගතය හා එය ක්‍රියාත්මක කිරීමෙහිලා අනුගමනය කළ යුතු උපාය මාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිතුමා, සෞඛ්‍ය අමාත්‍යතුමා ඇතුළු වගකිවයුත්තන් සමඟ කඩිනමින් සාකච්ඡා ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර, නිදහස් සෞඛ්‍ය සේවයේ පුනරුදය ඇති කිරීම තුළ සුවපත් සහ නිරෝගී අනාගත පරපුරක් බිහිකිරීම වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ස්වකීය උපරිම සහයෝගය අඛණ්ඩව ලබා දීමට සූදානමින් සිටින බවද සපථ කරන බව,” රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කර ඇත.

 • ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:05