2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා

ජල පිරිපහදුවට ප්‍රශ්නයක් වූ “ලයිම්”

 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:04 88

මිනිසාට ආහාර නොමැතිව කෙටි කලක් වුවද ජීවත් විය හැකි නමුත්, ජලය නොමැතිව ජීවත් වීම කළ නොහැකි බව අප කවුරුත් දන්නා කරුණකි. ආරම්භයේ පටන් පානීය ජලය මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් වී තිබේ.
පානීය ජලය යනු, මිනිසාගේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය වන කිසිදු වර්ණයකින් හෝ කිසිදු ගන්ධයකින් තොර අවර්ණ ද්‍රාවණයකි.

ශ්‍රී ලංකාව තුළ ජනතාවට පිරිසුදු පානීය ජලය ලබාදෙනු පිණිස, ජලය පිරිපහදු කිරීම සිදු කරනු ලබයි. ජලය පිරිපහදු කිරීම යනු, නුසුදුසු රසායනික ද්‍රව්‍ය, අපවිත්‍ර ද්‍රව්‍ය සහ ජලයෙන් අහිතකර වායු ඉවත් කිරීමේ ක්‍රියාවලියයි. ජලය පිරිපහදු කිරීමේ අරමුණ නම් පානය කිරීමට සහ මිනිස් පරිභෝජනයට සුදුසු ජලය නිපදවීමයි.

කෙසේ නමුත් පානීය ජලය පිළිබඳව මේ වනවිට මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති සිදුවීම නම්, පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී. චානක මහතා විසින් 06/02/2025 වැනි දින පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශයයි. ජල පිරිපහදුව සඳහා ලංකාවට ගෙන්වූ “ලයිම්” වල ක්‍රෝමියම් ප්‍රතිශතය වැඩිවීමෙන් පිළිකා ඇතුළු විවිධ රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව ඒ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ක්‍රෝමියම් ප්‍රතිශතය ඉහළ ලයිම් කන්ටේනර් 25ක් ලංකාවට ගෙනැවිත් ඇති බව පැවසූ මන්ත්‍රීවරයා, ශ්‍රී ලාංකික පරීක්ෂක කණ්ඩායමක් විසින් පරීක්ෂා කිරීමේදී එහි ක්‍රෝමියම් ප්‍රතිශතය වැඩි බව අනාවරණය වූ බවද පවසා සිටියේය. පසුව පෞද්ගලික විද්‍යාගාරයකදී සිදුකළ පරීක්ෂා කිරීමේදී ද අදාළ කාරණය තහවුරු වී ඇති බව ඩී.වී. චානක මහතා පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, ලංකාවේ වැඩිපුරම බීමට ගන්නේ ටැප් ජලය බවත්, රත්මලාන, ගාල්ල සහ අඹතලේ යන මධ්‍යස්ථානවල අදාළ පිරිපහදු කටයුතු සිදුවන බවත්ය. ජලය පිරිසුදු කිරීමේ මාර්ගෝපදේශ ඇති අතර ඒ සඳහා භාවිත කරන මූලද්‍රව්‍ය සහ සංඝටකවල නිශ්චිත මිලිග්‍රෑම් ප්‍රමාණ සඳහන් වන බවද හෙතෙම පැවසීය. ජලයේ ක්‍රෝමියම් ප්‍රමාණය වැඩි වුවහොත් පිළිකා, වකුගඩු රෝග, අංගවිකල දරු උපත් ආදී ගැටලු‍කාරී තත්ව ඇතිවිය හැකි බවද සඳහන් කළ මන්ත්‍රීවරයා විමසා සිටියේ, සති දෙකක් තුළ මෙම අලු‍ත් ජාවාරම පටන්ගෙන තිබෙන්නේ කාගේ වුවමනාවකට දැයි යනුවෙනි.

ඩී.වී. චානක මහතාගේ ආන්දෝලනාත්මක චෝදනාවට පිළිතුරු දෙමින්, ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අශෝක රන්වල මහතා පවසා සිටියේ ලයිම්වල බැර ලෝහ අන්තර්ගත යැයි නැගුණු චෝදනාව බරපතළ එකක් බවයි.

“ජලය පිරිසුදු කරන්න භාවිත කරන ලයිම් ලොකු තාක්ෂණ ක්‍රියාවලියකින් හදන එකක් නෙවෙයි. ලයිම්වල ප්‍රධාන මූලාශ්‍රය වන්නේ හුණුගල්. හුණුගල් ක්‍රම දෙකකට ගන්නවා. කොරල්පර ආශ්‍රිත හුණුගල් හා කඳු ආශ්‍රිත හුණුගල් තියෙනවා. සාමාන්‍ය ආකාරයට උඳුන්වල මේ හුණුගල් පිළිස්සූ විට ඒවා කැල්සියම් ඔක්සයිඩ් බවට පත් වෙනවා.

කැල්සියම් ඔක්සයිඩ්වලට වතුර ගසා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් බවට පත්කර ගන්නවා. එම කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ්, ජලය පිරිසුදු කරන්න භාවිත කරනවා. මේ හුණුගල්වල හෝ කැල්සියම් කාබනේට්වල ස්වභාවිකව බැර ලෝහ අන්තර්ගත වන්නේ නැහැ. නිෂ්පාදන ක්‍රියාවලිය තුළත් එලෙස බැර ලෝහ අන්තර්ගත වන්නේ නැහැ. හැබැයි වෙනත් ආකාරයකට ව්‍යාජ ලෙස වෙනත් ද්‍රව්‍ය එකතුවීමෙන් මේවාට බැර ලෝහ එකතු වන්න ඉඩ තියෙනවා. එමෙන්ම ලයිම්වල බැර ලෝහ පරීක්ෂා කිරීමක්ද සිදුකෙරෙන්නේ නැහැ. අයථා ක්‍රමයකින් ලයිම් ලංකාවට ගෙනෙනවාද, නැද්ද කියා මා දන්නේ නැහැ. ලයිම් කියන්නේ බුලත්විටවලට කන හුණු. මේ හුණුවල බැර ලෝහ තියෙන්න විදිහක් නෑ. හුණුගල් මුහුදින් ගත්තත් බැර ලෝහ එකතු වන්නේ නැහැ. කඳුවලින් කඩා ගත්තත් බැර ලෝහ එකතු වන්නේ නැහැ. ලයිම්වලට බැර ලෝහ අන්තර්ගත වී ඇතැයි නැගුණු චෝදනාව බරපතළ තත්වයක්. ඒ සම්බන්ධව සොයා බැලිය යුතුයි. සාමාන්‍ය ලයිම්වල එහෙම අන්තර්ගත වන්නේ නැහැ,” යැයි අශෝක රන්වල මහතා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තුව තුළ දෙපාර්ශ්වයේ කතාබහ මතභේදාත්මක වන නමුත් අවසානයේදී සුපුරුදු ලෙසම පීඩාවට පත්වන්නේ මහජනතාවය. මෙරට ජනතාවගෙන් වැඩි පිරිසක් පානය කරන්නේ නළ ජලය වීම ඊට හේතුවයි. එමෙන්ම නාගරික ප්‍රදේශ හැරුණුකොට දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල පවා ජල පිරිපහදු ක්‍රම පවත්වාගෙන යනු ලබයි. “අපජලය”‍ හෙවත් බීමට නුසුදුසු ජලය පිරිපහදු කිරීමේ පියවර හතරක් මේ වනවිට අනුගමනය කරයි. ඒවා ප්‍රාථමික පිරියම, ද්විතියික පිරියම, විෂබීජ නාශනය සහ පිරිපහදු කළ ජලය මුදා හැරීම සිදු කරන අතර මෙලෙස පිරිපහදු කරන ජලය පානය කිරීමට භාවිත කරයි. එමෙන්ම “නිර්වායු රොන් බොර ජීරණය”‍ ලෙසද පිරිපහදු ක්‍රමයක් හඳුනාගත හැකි අතර “මෙමගින් පිරිපහදු කරන ලද ජලය පානයට නුසුදුසු වේ. ඒවා වගා කටයුතු, ගිනි නිවීම් කටයුතු, පිරිසිදු කිරීම් වැඩ ආදියට යොදාගනු ලබයි.

කුමන ආකාරයෙන් පිරිසුදු කරනු ලැබුවද ලයිම් යොදාගන්නේ නම්, ඩී.වී. චානක මහතා පැවසූ පරිදි ලයිම්වල ක්‍රෝමියම් ප්‍රතිශතය ඉහළ ගොස් ඇත්නම් එය ඉතා ව්‍යසනකාරී තත්වයක් බවට පත්වීමේ අවදානමක් පවතී. කෙසේ වෙතත් ජල සම්පාදන විෂය භාර අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පසුගිය හය වැනිදා පාර්ලිමේන්තුවේදී මෙලෙස ප්‍රකාශ කර සිටියේය.

“ජාතික ජල සම්පාදන මණ්ඩලය විසින් “හයිඩ්‍රේට් ලයිම්”‍ තොගය තවමත් භාරගෙන නැහැ. “ලෙටර් ඔෆ් එක්පෙන්ටන්ස් ඔෆ් ගුඩ්”‍ නිකුත් කරලා නැහැ. ඒ වගේම ප්‍රමිතියට අනුකූල නැහැ කියලා දැනට තීරණය වෙලා තියෙන නිසා මේ කිසිම තොගයක් ලංකාවේ කිසිම ජල පවිත්‍රාගාරයක භාවිත කරලා නැහැ. ඒ වගේම නැවත මේ තොගය කොන්ත්‍රාත්කරුට භාරදීලා ටෙන්ඩරය අනුව, ප්‍රමිතියට අනුකූල තොග ලබා ගැනීමේ හැකියාව මණ්ඩලයට තියෙනවා.”‍

ජනතාවගේ සෞඛ්‍යයට ඍජුව බලපාන අර්බුදකාරී තත්වයක් වන මෙම ගැටලු‍ව පිළිබඳව ජාතික ජල සම්පාදන මණ්ඩලයෙන් ”‍දේශය”‍ අප කළ විමසීමකදී ඔවුන් පවසා සිටියේ ජල සම්පාදන මණ්ඩලය විසින් ඒ පිළිබඳ පැහැදිලි, විස්තරාත්මක නිවේදනයක් නිකුත් කර ඇති බවයි. ඒ අනුව, www.waterboard.lk යන ජාතික ජල සම්පාදන මණ්ඩලයේ නිල වෙබ් අඩවියේ පළ කර ඇති නිවේදනයේ මෙලෙස දැක්වේ.

“ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවට පරිභෝජනය කිරීම සඳහා පිරිපහදු කොට ලබාදෙන ජලය ලබාගන්නේ ඇළ දොළ ගංගා යනාදී ජල ප‍්‍රභව මගිනි. එසේ ලබාගන්නා ජලය සෞඛ්‍යාරක්ෂිත ජලය බවට පරිවර්තනය කිරීමේදී භාවිත කරන ඇලම් (අලුමිනියම් සල්පේට්) පිළිස්සුණු හුණු (Hydrated Lime), ක්ලෝරීන් යනාදී රසායනික ද්‍ර‍ව්‍ය භාවිත කරනු ලබයි.

එසේම අවශ්‍යතාවය අනුව ඇතැම් අවස්ථාවලදී රසායනික අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා සක්‍රියායිත කාබන් පෙරහන් භාවිත කරන අතර අවශ්‍ය යැයි හඳුනාගත් පවිත‍්‍රාගාර සඳහා ඉදිරියේදී සක්‍රියායිත කාබන් පෙරහන් භාවිත කිරීමට අපේක්ෂා කරනු ලබයි.
ඉහත සඳහන් පිළිස්සුණු හුණු ඇතුළු සියලු රසායනික ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වර්තමාන විද්‍යාත්මක දත්ත මත පදනම්ව ලෝකයේ පිළිගත් ප‍්‍රමිතීන්ට අනුව සෞඛ්‍යාරක්ෂිත බව අරක්ෂා වන පරිදි සකස් කරන ලද පිරිවිතර භාවිත කරමින් තරගකාරී පදනම මත ලංසු කැඳවා සැපයුම්කරු තෝරා ගැනීම ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ පිළිවෙතයි.

ඒ අනුව සැපයුම්කරු තෝරාගත් පසු සපයන ලද රසායනික ද්‍රව්‍ය නැවත පිළිගත් රසායනාගාර පරීක්ෂාවකින් පසුව ජල පවිත්‍රකරණ කටයුතු සඳහා භාවිත කරනු ලබයි. එසේම මෙම පරීක්ෂණ සැපයුම්කරුවන් පිළිනොගන්නා අවස්ථාවලදී ස්වාධීන බාහිර පරීක්ෂණාගාර පරීක්ෂණයකට භාජනය කරනු ලැබීමද සිදු කරනු ලබයි. යම් හෙයකින් මෙවැනි රසායානාගාර පරීක්ෂාවකින් අනතුරුව පිළිගත් සෞඛ්‍යාරක්ෂිත ප‍්‍රමිතීන්ට අනුකූල නොවන අවස්ථාවලදී එම ද්‍රව්‍ය ප‍්‍රතික්ෂේප කර ඒ සඳහා සෞඛ්‍යාරක්ෂිත ප‍්‍රමිතීන්ට අනුකූල රසායන ද්‍රව්‍ය අදාළ සැපයුම්කරුගෙන්ම මණ්ඩලයට අතිරේක වියදමකින් තොරව ලබා ගැනීමට කටයුතු කිරීම මණ්ඩලයේ ක්‍රමවේදයයි.

තවද අන්තර්ජාතික තත්ව සහතිකයෙන් (ISO 17025 for Laboratory Accreditation) පිදුම් ලැබූ රසායනාගාරද ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සතු බව පාරිභෝගික ජනතාවට ඉතා නිහතමානීව ප‍්‍රකාශ කර සිටිමු. උක්ත පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ප‍්‍රකාශයට අනුව එම රසායනික ද්‍රව්‍ය මිලදී ගෙන නොමැති බවත් ඒ සඳහා අවශ්‍ය රසායනාගාර පරීක්ෂණ සිදු කරමින් පවතින බවත් වගකීමෙන් යුතුව දැනුම්දීමට කැමැත්තෙමු. සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහි කිරීම සඳහා කැපවී සිටින ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සෞඛ්‍යයට හානිවන කිසිදු ද්‍රව්‍යයක් මිලදී නොගත් බවත් ඉදිරියටද එසේ නොකරන බවට සහතික වන අතර මණ්ඩලය විසින් විශාල පිරිවැයක් දරා සපයන ජලය පිළිබඳ කිසිදු අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කාරුණිකව දන්වා සිටිමු.”‍

කෙසේ වෙතත් මෙම ගැටලු‍ව සුළු කොට බැහැර කිරීමේ හැකියාවක් නැත. මන්ද යත් සංගණන වාර්තා පෙන්වා දෙන්නේ මේ වනවිට ලෝකයේ ලක්ෂ විස්සකට වැඩි පිරිසකට පිරිසුදු පානීය ජලය නොලැබෙන බවය. ශ්‍රී ලංකාව ගතහොත් රජරට ප්‍රදේශ ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක ජලයේ ගුණාත්මක බව අඩු වී ඇති බැව් ප්‍රසිද්ධ කරුණකි. රජරට ප්‍රදේශවල ජනතාව වැඩි වශයෙන් වකුගඩු රෝගයට ගොදුරුවීමේ මූලික හේතුවක් වශයෙන් “කිවුල් ජලය”‍ හඳුන්වා දිය හැකිය. ජලය පිළිබඳ ගැටලු‍කාරී තත්වය මෙවන් පසුබිමක තිබියදී බාහිරින් ගෙන්වන ලද රසායනිකයක් පානය කර රෝගීවීමට ජනතාව කැමැති නැත. එය ඔවුන්ට කරන මහත් අසාධාරණයකි. එමෙන්ම තවත් වකුගඩු රෝගීන් වැඩි වී ඒ සඳහා රෝහල් ඇති කිරීම නොව පිරිසුදු වතුර පරිභෝජනයට අවශ්‍ය කටයුතු සැලසීම බලධාරීන්ගේ වගකීමකි.

 මංගලා පවිත්‍රානි

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:05