හිටපු ජනපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා මෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ සහෝදරයා වන හිටපු නාවික හමුදා නිලධාරියකු වන යෝෂිත රාජපක්ෂ මහතා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය. පසුගිය සෙනසුරාදා උදෑසන බෙලිඅත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වූ යෝෂිත එදිනම දහවල් වන විට කොළඹ රහස් පොලිසිය වෙත රැගෙනවිත් පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 27 දා දක්වා බන්ධනාගාර ගත කරනු ලැබීය.
යෝෂිත මෙලෙස අත්අඩංගුවට ගත්තේ මුදල් විශුද්ධිකරණ පනතට අනුවය. 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරණ පනතට අදාළව සැකකරු විසින් වැරදි සිදුකර ඇති බැවින් මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද තහවුරු කළේය. ඒ අනුව යෝෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි.
මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් නිර්මාණය විය. ඇතැම් අය යෝෂිත අත්අඩංගුවට ගැනීම දේශපාලන පලිගැනීමක් යැයි කීහ. තවත් පිරිසක් ආණ්ඩුවේ නොහැකියාව වසා ගැනීම සඳහා ඔහුව මෙලෙස අත්අඩංගුවට ගත් බව පැවසූහ. මේ අතර ආණ්ඩු හිතවාදීහු මෙය ඔවුන්ගේ ජයග්‍රහණයක් ලෙස උකහා දැක්වූහ. ඒ නිසා යෝෂිතගේ අත්අඩංගුවට ගැනීම බොහෝ දෙනාගේ මතවලට හොඳ අවස්ථාවක් විය. කෙසේ වෙතත් යෝෂිත පොලිස් අත්අඩංගුවට රැගෙන යාම සඳහා ඩුවල් ඒසී වෑන් රථයක් පැමිණීමත්, යෝෂිත පොලිසිය තුළදී ඇඟිලි දෙක දිගු කරමින් ජයග්‍රාහී සෙයියාවෙන් ඡායාරූපවලට පෙනී සිටීමත් බොහෝ දෙනා විවේචනය කළහ.
ඒ හොඳ නරක විවේචන මැද ඇත්තටම යෝෂිත අත්අඩංගුවට ගැනීමට හේතුව කුමක්දැයි අපි මෙහිදී සොයා බැලුවෙමු.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ මූල්‍ය විශුද්ධිකරණ පනතට අනුව සැකකරුට විරුද්ධව විමර්ශන තුනක් ක්‍රියාත්මක වන අතර මේ අත්අඩංගුවට ගැනීම සිදුවූයේ එක් චෝදනාවකට අදාළව පමණක් බවයි. එමෙන්ම දෙහිවල ප්‍රදේශයෙන් රුපියල් මිලියන 500 ක නිවසක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ එක් විමර්ශනයක්ද, සී.එස්.එන්. නාළිකාවේ මුදල් ආයෝජනය සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ අනෙක් විමර්ශනයද ක්‍රියාත්මක වන බව මෙහිදී රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා සඳහන් කළේය.
එම විමර්ශනවල එක් කොටසක් ලෙස 2012 වර්ෂයේදී රත්මලාන සිරිමල් මාවතේ පිහිටි රුපියල් මිලියන 350 ක් වන නිවෙසක් සහිත පර්චර්ස් 31.5 ක ඉඩමක් මිලදී ගැනීමක් සම්බන්ධයෙන් මෙලෙස යෝෂිත අත්අඩංගුවට ගත් බවද ඔහු පැවසීය. මහත් ආන්දෝලනයකට තුඩු දුන් ඩේසි ආච්චිගේ මැණික් මල්ල ගැනද මෙහිදී කරුණු ඇදී ආවේය. එනම් මෙම ඉඩම ඇයගේ බව සඳහන් කිරීම හේතුවෙනි. රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයා වන දිලීප පීරිස් මහතා පසුගිය 27 දා අධිකරණයේදී ඒ පිළිබඳව සඳහන් කර සිටියේ මෙසේය. එය බීබීසී වෙබ් අඩවියෙන් මෙලෙස උපුටා දක්වමි.
“ඩේසි ෆොරස්ට් නමැති කාන්තාවගේ නමක් මෙම ප්‍රශ්නගත ඉඩමේ ඔප්පුවේ සඳහන් වෙනවා. මේ කාන්තාව සැකකරුගේ මිත්තණිය බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා. එම කාන්තාව මෙම නඩු කටයුත්තේ පළමුවැනි සැකකාරිය වශයෙන් නම් කර තිබෙනවා. මෙම තැනැත්තිය සුලේමන් රෝහලේ මෙන්ම ගුරුවරියක ලෙසත් සේවය කර තිබෙනවා.”
ඊට අමතරව ඇය ශාන්ත තෝමස් විද්‍යාලයේ නේවාසිකාගාර පාලිකාව වශයෙන්ද කටයුතු කළ තැනැත්තියක්. ඇයට මුලදී හිමි වී තිබෙන්නේ රුපියල් 250 ක හෝ 300 ක වැටුපක් පමණයි. මේ තරම් විශාල දේපළක් මිලදී ගැනීමට තරම් මුදලක් ඇය සතුව තිබී නැහැ. ඇය මුලින්ම පොලිසියට ලබා දුන් ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා තමන් සතුව නිශ්චල දේපළ නැහැ කියලා. පසුව ඇය සඳහන් කර තිබෙනවා, දෙවැනි සැකකාර යෝෂිත රාජපක්ෂ මේ දේපළ මිල දී ගත්තා කියලා.
තවත් අවස්ථාවක ඇය පොලිසියට ලබා දුන් කටඋත්තරයේ සඳහන් කර තිබෙනවා මුස්ලිම් ජාතිකයෙක් ලබා දුන් මැණික් මල්ලක් විකුණා ලැබුණු මුදල්වලින් මේ දේපළ මිලදී ගත් බව. පසුව මේ ඔප්පුව පොලිසිය විසින් සොයා ගත්තේ පාලිත ගමගේ නමැත්තෙක් භාරයේ තිබිලා. ඔහු සඳහන් කර තිබෙනවා, මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් මේ ඔප්පුව ලැබුණා කියලා.
ඒ අනුව පැහැදිලි වෙනවා, මෙම ඉඩමේ ඩේසි ෆොරස්ට් නමැති කාන්තාවගේ නම සඳහන්ව තිබුණත් එය පාලනය කර තිබෙන්නේ වෙනත් පිරිසක් බව.” යැයි අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ ප්‍රකාශයේ සඳහන් විය.
ඉන් අනතුරුව මෙම ඉඩම මිලදී ගැනීමට සැකකරු වන යෝෂිත රාජපක්ෂ මහතාට ඇති හැකියාව සම්බන්ධයෙන් ඔහුගේ ආදායම් ගැන පැහැදිලි කිරීමක් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ අනාවරණය කළේය. එම අවස්ථාවේ සිදුකළ අදහස් බීබීසීය හරහා මෙලෙස උපුටා දක්වමි.
“සැකකරු 2006 වසරේ ලුතිනන්වරයකු වශයෙන් නාවික හමුදාවට බැඳී 2016 වසරේ වැඩ තහනමට ලක්ව තිබෙනවා. නාවික හමුදාවේ සේවය කරන විට ඔහුට ලැබී තිබෙන්නේ මාසිකව රුපියල් 73000/- ක වැටුපක්. එම මුදල ඍජුවම ඔහුගේ ගිණුමට බැර වී තිබෙනවා. ඔහු එම මුදල් ආපසු අරගෙන නෑ. එවැනි තත්වයක් යටතේ සැකකරු ලක්ෂ 350 ක් වැනි මුදලක් යොදවා මෙවැනි දේපළක් මිලදී ගත්තේ කෙසේද? ඒ අනුව පැහැදිලි වෙනවා මෙම දේපළ මිලදී ගැනීමේදී මුදල් විශුද්ධිකරණයක් සිදුවී තිබෙන ආකාරය.
ඒ වගේම පැහැදිලි වෙනවා අසාදු මුදල්වලින් මේ මිලදී ගැනීම සිදුවී තිබෙන බව. මෙවැනි අසාදු මුදල් සංසරණය වැළැක්විය යුතුයි. ඊට සම්බන්ධ අඩි සටහන් ද මකා දැමිය යුතුයි.
2017 වසරේ මෙම සැකකරු පොලිසියට දුන් ප්‍රකාශයේ මේ පිළිබඳව කිසිවක් සඳහන් කරන්නේ නෑ. මෙම සැකකරු විසින් සිදු කර තිබෙන ප්‍රකාශය පිළිබඳව වැඩිදුරටත් විමර්ශනය සිදු කළ යුතුයි.” යැයි සඳහන් කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරු බන්ධනාගාර ගත කරන ලෙසට අධිකරණයෙන් ඉල්ලීය.
එහෙත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් සඳහන් කළේ මෙම නඩුව වසර අටකට පෙර ගොනුකළ නඩුවක් බවත් එසේම සැකකාර ඩේසි ෆොරොස්ට් නැමැත්තිය නොතීසි මත අධිකරණයට ගෙන්වා ඇප ලබා දී ඇති බවත්ය. පසුව විමර්ශනය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පතා 2018 වසරේදී නීතිපතිවරයා වෙත යොමුකළ බව ඔහු සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ නීතීඥවරයා බීබීසී වෙත මෙලෙස සඳහන් කර තිබිණි.
“වසර 8 කට වැඩි කාලයක් ගත වී තිබිලත් විමර්ශන අවසන් වී නොතිබීම ඛේදවාචකයක්. පසුව නඩුව බහා තැබුණු අතර නොතීසි ලැබුණොත් පමණක් අධිකරණයේ පෙනී සිටින ලෙස ප්‍රධාන සැකකාරියට දැනුම් දී තිබුණා. වසර 8 කට පමණ ඉහතදී ප්‍රධාන සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමකින් තොරව ඇප මත මුදා හැර තිබියදී මෙම සැකකරු පමණක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා සිටීම යුක්තිසහගත නෑ. ඒ නිසා ඕනෑම කොන්දේසියක් මත සැකකරු ඇප මත මුදා හරින ලෙස මා ඉල්ලා සිටිනවා.” යැයි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මේ සියල්ල කෙරෙහි අවධානය යොමුකළ මහේස්ත්‍රාත්වරයා මුදල් විශුද්ධිකරණ නඩුවකට අදාළව දේපළ තහනම් කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් අදහස් පළ කළේය. එය බීබීසිය මෙලෙස දක්වා තිබිණි.
“මෙම නඩුවට පාදක වන දේපළ මේ දක්වා තහනමට ගෙන නොමැති බව මා කළ විමසීමේදී පොලිසිය පැවසුවා. මෙය වසර 8 කට පමණ ඉහතදී ආරම්භ වූ විමර්ශනයක් වන අතර එහි ප්‍රධාන සැකකාරිය මේ වන විට ඇප මත මුදා හැර තිබෙනවා. යම් සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නම් ඒ සඳහා අධිකරණයට සෑහීමකට පත්විය හැකි ප්‍රමාණවත් කරුණු පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.
මෙම නඩුකරයේ බරපතළභාවය සහ මහජන කැළඹීම් යන කරුණු මත ඇප ප්‍රතික්ෂේප කරන ලෙස පැමිණිල්ලෙන් ඉල්ලීම් කර තිබුණා. එහෙත් එම කාරණා සම්බන්ධයෙන් සෑහීමකට පත්විය හැකි කරුණු පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කළේ නැහැ. හුදෙක් නඩුවේ බරපතළභාවය සහ මහජන කැළඹීම් යන යන වචන මත පදනම් වී සැකකරුවකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණයට හැකියාවක් නැහැ.”
ඒ අනුව ඉදිරිපත් වූ කරුණු පිරික්සීමේදී මෙම සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නොමැති හෙයින් ඔහු ඇප මත මුදා හැරීමට තීන්දු කරන බව මහේස්ත්‍රාත්වරයා සිය ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් පැවසීය.
ඒ අනුව 25 දින අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත වූ යෝෂිත නැවත 27 දා ඇප ලබා ගෙදර ගියේය.
මෙම ඇප ලැබීම සම්බන්ධයෙන් විවිධ අදහස් ඉදිරිපත් වන මොහොතක අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා මාධ්‍ය ඉදිරියේ කීවේ ඇප ලැබීම නිදොස් කොට නිදහස් කිරීමක් නොවන බවයි. ඒ නිසා වැරදි වටහා ගැනීම් ඇතිකර නොගන්නා ලෙස අමාත්‍යවරයා සඳහන් කළේය.
එහෙත් මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රකාශයට අනුව පෙනී යන්නේ 27 දා යෝෂිතට ඇප ලැබීමට හේතුව පැමිණිල්ලෙහි පවතින දෝෂයක් බවයි. එසේ නම් අපට ප්‍රශ්නයක් ඇත. නිසි ලෙස චෝදනා ගොනුකර නඩුවක් දැමීමට පොලිසියට නොහැකි නම් ඔවුන්ගේ විමර්ශනවල නිරවද්‍යතාවය ද ප්‍රශ්නගත බවය. රජය ඒ සම්බන්ධයෙන් නිසි අවධානය යොමු නොකළහොත් මෙය ද ආණ්ඩුවේ සංදර්ශනයක් පමණක්ම වන බව කිව යුතුය.
• ගයාන් ගාල්ලගේ