2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා

පහේ ශිෂ්‍යත්වයෙන් ජය කෙහෙළි නැංවූ උහන දුෂ්කර පාසල

 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:03 129

පුංචි දරුවන්ගේ විභාග කඩයිම් ප්‍රතිඵලයක් පසුගිය සතියේ නිකුත් විය. එනම් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වීමය. ශිෂ්‍යත්ව විභාගය පහ වසර දරුවන්ගේ විභාගය වූවාට සැබවින්ම මෙය මවුපියන්ගේ විභාගයක් කීවාට වරදක් නැත. පහ වසර ශිෂ්‍යත්වය සඳහා මවුපියන් තම දරුවා ඒ සඳහා සූදානම් කරන්නේ වසර කිහිපයක සිටය. ඒ නිසාම කුඩා දරුවන්ගේ මනසට මෙය පීඩනයක් වී හමාරය.

කෙසේ වුවද මෙවර පැවති ශිෂ්‍යත්ව විභාගයෙන් නැගෙනහිර පළාතේ එක්තරා පාසලක් ඉතා ඉහළ ජයග්‍රහණයක් ලබාගෙන තිබිණි. ඒ අම්පාර උහන කනිෂ්ඨ විදුහලයි. එම පාසලෙන් ශිෂ්‍යත්ව විභාගයට දරුවන් එකසිය පනස් නවයක් ඉදිරිපත් වූ අතර එයින් දරුවන් සියයක් ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වීම විශේෂත්වයකි.

“අපේ පාසල ලබපු මේ ජයග්‍රහණය ගැන නිහතමානීව සතුටු වෙනවා. මේ ජයග්‍රහණය අපි එකවර ලබපු ජයග්‍රහණයක් නෙවෙයි. මේක දිගු කාලයක ඉඳන් වුණු මහන්සියක ප්‍රතිඵලයක් විදිහටයි මම දකින්නෙ. එය මීට වසර ගණනාවක් තිස්සේ සේවය කරපු විදුහල්පතිවරුන්ගේ ගුරුවරුන්ගේ උත්සාහයේ මහන්සියේ ප්‍රතිඵලයක්. ඔවුන් දිගින් දිගටම මේ වෙනුවෙන් කටයුතු කළා. පහුගිය වසරවලත් පාසලේ හොඳ ශිෂ්‍යත්ව ප්‍රතිඵල තිබුණා. ගිය වසරේදි මෙම පාසලෙන් දරුවන් හැත්තෑ හතර දෙනකු ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වුණා. මම මේ පාසලේ සේවයට පැමිණ දැන් වසර එකහමාරක් පමණ වෙනවා. පාසලට පැමිණියාට පසුව මීට වඩා මේ ජයග්‍රහණය ඉහළ ගෙන එන්න පුළුවන් කියලා මට හිතුණා. ඒ අනුව මම මේ වෙනුවෙන් යම් යම් වෙනස්කම් කරන්න උත්සාහ කළා.”‍ යැයි උහන කනිෂ්ඨ විදුහලේ වත්මන් විදුහල්පති එස්.ජී. රත්නසිංහ මහතා දේශයට අදහස් දක්වමින් පැවසීය.

ශිෂ්‍යත්ව විභාගය යනු දරුවන්ට දැඩි පීඩනයක් ලබා දෙන විභාගයක් යැයි මතයක් පවතී. නමුත් වත්මන් විදුහල්පතිවරයාගේ දැක්ම වන්නේ, හය ශ්‍රේණියේ සිට හොඳ පදනමක් ඇතිව ද්විතීයික අධ්‍යාපනයට යා හැකි දරුවකු නිර්මාණ කළ යුතු බවය. ඒ සඳහා ශිෂ්‍යත්ව විභාගය සමත් වීම එක් වාසියක් ලෙස දැක්විය හැකිය. නමුත් සිසුන්ට ක්‍රියාකාරී අධ්‍යාපනයක් ලබාදීම ප්‍රධාන වේ. ඒ අනුව උහන කනිෂ්ඨ විදුහලේ ගිය වසර ඇතුළත වැඩසටහන් රැසක් දරුවන්ගේ මානසික සුවය සඳහා සිදු කර ඇත.

ශිෂ්‍යත්ව විභාගයෙන් ඇතිවන දැඩි පීඩනය අවම කිරීම සඳහා දරුවන්ව විවිධ ක්‍රියාකාරකම්වල යොදවනු ලැබීය. නැගෙනහිර පළාතේ ප්‍රාථමික ක්‍රීඩා තරගවලියේදී උහන කනිෂ්ඨ විදුහලෙන් ඉදිරිපත් වූ කණ්ඩායම් හයම ඉතා විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කොටගෙන තිබිණි. ඒ සඳහා ඉදිරිපත් වූ දරුවන්ගෙන් බහුතරයක් මෙම ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වූ දරුවන්මය. ඒ අනුව දරුවන් ක්‍රීඩාවට යොමුකොට එයින් ඔවුන්ගේ මනස සුවපත් කිරීමට විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය නිරන්තරයෙන් උත්සාහ දැරූහ. එපමණක්ම නොව ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වූ මේ දරුවන්ව විවිධ ප්‍රසංග, භක්ති ගීත වැඩසටහන්, චෙස් පුහුණුවීම්, යෝග ව්‍යායාම් ඇතුළු විවිධ බාහිර ක්‍රියාකාරකම්වලට යොමුකර තිබිණි. එයින් දරුවන්ට ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දීමේදී ඇතිවන පීඩනය අවම කිරීමට හැකි විය. චාරිකාවලට සහභාගි වූ දරුවන්ගේ ශිෂ්‍යත්වය විභාගයේ පීඩනය නැතිව ගියද ඔවුහු නිරන්තරයෙන් අධ්‍යාපන කටයුතුවල නිරත වූහ.

“පන්ති කාමරයක එක ළඟ ඉඳගෙන අධ්‍යාපනය ලබනවාට වඩා පරිසරයත් එක්ක ඉඳගෙන අධ්‍යාපනය ලබන දරුවන් විශිෂ්ට ඡයග්‍රහණ අත්පත් කරගන්න බව මම විශ්වාස කළා. ඒ සම්බන්ධව උගන්වන ගුරුවරුන්වද මම දැනුවත් කළා. අපිට ශිෂ්‍යත්ව විභාගය සඳහා දක්ෂ, අත්දැකීම් තියෙන, හොඳ, ප්‍රවීණ, ගුරුවරුන් කණ්ඩායමක් ඉන්නවා. අපි සාමාන්‍යයෙන් උදේ හය හමාරට වැඩ පටන් ගත්තා. ඒ උදෑසන අපි දරුවන්ට විභාග ප්‍රශ්න පත්‍ර කළා. ශිෂ්‍යත්වය උගන්වන ගුරුවරුන්ට උදෑසන මම පාසලට එන්න කිව්වේ නැහැ. ඔවුනුත් මව්වරුන්. ඒ ගුරුවරුන්ටත් දරුවන් ඉන්නවා. ඒ නිවෙස්වල වැඩ රාජකාරිත් බොහොමයි. ඒ නිසා ඒ ගුරුවරුන්ට සුපුරුදු වෙලාවට පාසලට පැමිණෙන්නැයි මම කිව්වා. උදෑසන හයයි තිහට මමත් නියෝජ්‍ය විදුහල්පතිත් පාසලට පැමිණ මේ දරුවන්ට අවශ්‍ය ප්‍රශ්න පත්‍ර ලබා දීලා ඒ වැඩසටහන සංවිධානය කළා. ඒ වෙනුවෙන් දරුවන්ගේ දෙමව්පියන්ගෙන්ද ලොකු සහයෝගයක් ලැබුණා. ගුරුවරු පාසල් අවසානයේදී දරුවන්ට අමතර පන්ති පැවැත්වුවා.” යැයි පාසලේ විදුහල්පති එස්.ජී. රත්නසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

එහිදී කිසිදු වේලාවක දරුවන්ට විශාල පීඩනයක් ලබා නොදෙන්නට ගුරු මණ්ඩලය වග බලා ගත්හ. උහන කනිෂ්ඨ විදුහලේ ශිෂ්‍යත්ව පන්ති හතරකි. මේ විභාගයට මුහුණ දුන් දරුවෝ එක සමාන දක්ෂතාවලින් යුක්ත නොවූහ. අධ්‍යාපනයට දුර්වල දරුවන්ගේ දෙමාපියන්ව පළමුව දැනුවත් කොට ඒ දරුවන් වෙනුවෙන් අමතර පන්ති සහ විශේෂ සැලකිල්ලක් දක්වන්නට ගුරුවරුන් අමතක කළේ නැත. මෙහි ප්‍රතිඵලය හමුවේ එවැනි දරුවන් කිහිප දෙනකුද ඉහළ ජයග්‍රහණ ලබා තිබීම විශේෂත්වයකි.

මෙවර කඩයිම් ලකුණ වූයේ එකසිය තිස් හයකි. විභාගයට ඉදිරිපත් වූ දරුවන් එකසිය පනස් නව දෙනාගෙන් ලකුණු සියය ඉක්මවූ දරුවන් සංඛ්‍යාව එකසිය හතළිස් අටකි. එයද පාසල ලැබූ විශාල ජයග්‍රහණයකි. මෙම දරුවන් අතරින් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණය වූයේ එකසිය අසූවකි.

කොළඹින් කිලෝමීටර් තුන්සීය පනහකට ඈත පාසලක් වන උහන කනිෂ්ඨ විදුහලේ දරුවන් නවසිය හැටඅට දෙනෙක් ඉගෙනුම ලබති. ඒ අතර මේ පාසලට මෙවර එක වසර ශ්‍රේණියට දරුවන් දෙසීයක් ඇතුළත් වී සිටිති. ගුරු මණ්ඩලයේ ගුරුවරුන් තිස්අට දෙනෙක් සේවය කරති. මෙම පාසලේ විවිධ සමාජ කණ්ඩායම්වල දරුවෝ ඉගෙනුම ලබති. වෘත්තිකයන්ගේ දරුවාගේ සිට කම්කරුවාගේ දරුවා දක්වා මෙහි ඉගෙනුම ලබති. ඔවුන්ගේ සමාජ මට්ටම වෙනස්ය. නමුත් පාසලට ඇතුළු වූවාට පසුව මේ දරුවන් සියල්ලන්ටම ලැබෙන්නේ එකම සැලකිල්ලකි. විදුහල්පතිත් ගුරු මණ්ඩලයත් ඔවුන්ට එක සේ සලකති. මෙවැනි ජයග්‍රහණ ලබන්නට එම එක්ව සැලකීමද දරුවන්ට විශාල ශක්තියක් වී තිබිණි.

• දිශානි ජයමාලි කරුණාරත්න