2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා

නවීන වෙන්න යන බොරැල්ල ආයුර්වේදේ

 2025 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 02:04 113

“ආරෝග්‍යා පරමා ලාභා - සංතුෂ්ටි පරමං ධනං”‍ බුද්ධ දේශනාවට අනුව පරම ලාභය නම් නිරෝගී සුවයයි. පරම ධනය නම් සතුටයි. මනුෂ්‍යයන් වන අපට ආරෝග්‍ය සුවය එසේත් නැතිනම් නිරෝගී සුව සම්පත්තිය නොමැතිව සතුටින් සිටීමටද නොහැකිය. මිනිසුන් රෝගී වීම සියයට සියයක් වැළැක්විය නොහැකි නමුත් රෝගී වූ විටෙක ඉතා ඉක්මනින් නිරෝගී සුවය ලබා ගැනීමට නම්, අප අනිවාර්යයෙන් වෛද්‍ය විද්‍යාවේ පිහිට පැතිය යුතුමය. වෛද්‍ය විද්‍යාව ගත් කල “දේශීය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව”‍ අදටත් මහත් ආශ්චර්යයන් දක්වමින් මිනිස් ජීවිත සිය දහස් ගණනක් බේරා ගැනීමට සමත්ව ඇත. ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කියූ සැණින් “බොරැල්ල ආයුර්වේදය”‍ සියල්ලන්ගේ මතකයට නැගෙන්නේ නිරායාසයෙනි.

හඬාගෙන පැමිණෙන්නා වූ රෝගීන් දහස් ගණනකගේ අනේක ව්‍යාධීන් සංසිඳුවමින්, කොළඹ නගරය මධ්‍යයේ අක්කර නවයක පමණ භූමි භාගයක පිහිටා ඇති “එකම ශික්ෂණ ආයුර්වේද රෝහල”‍ වන බොරැල්ල ආයුර්වේදය වටා ඇත්තේ නවීකරණය වූ පරිසරයකි. නමුත් එහි ද්වාරයෙන් ඇතුළු වූ විට දැනෙන්නේ නාගරික පරිසරය ගව් ගණනක් දුරින් පවතින තරම් සුවැති හැඟීමකි. 1929 වර්ෂයේදී ආරම්භ වුණු මෙම රෝහල “ස්වදේශ වෛද්‍ය විද්‍යාලයට”‍ සම්බන්ධව කාර්යයන් පවත්වාගෙන ගොස් තිබේ. ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් අද වන විට “බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහල”‍ ලෙස පවත්වාගෙන යනු ලබයි. වසර ගණනාවක් පුරාවට රෝගීන්ගේ ගත සිත සුවපත් කළ බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලට නුදුරේදීම ස්වර්ණමය යුගයක් උදාවන්නට යන ලකුණු, මේ වන විට පෙනෙන්නට තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා රාජගිරිය ආයුර්වේද ජාතික රෝහලේ පාලන අධිකාරිය සමඟ පසුගිය දිනක සිදුකළ සාකච්ඡාවකින් පසු, බොරැල්ල ආයුර්වේද රෝහලේ සියලු‍ සේවා නව්‍යකරණයට ලක්කර වඩාත් පුළුල් නව සැලැස්මක් යටතේ අංගසම්පූර්ණ “ජාතික රෝහලක්”‍ බවට පත්කිරීමට අවශ්‍ය කඩිනම් සැලසුමක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ. අමාත්‍යවරයා මෙම සාකච්ඡාවට එක්වූයේ බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ සියලු‍ සේවා වඩාත් පුළුල් කර ප්‍රතිකාර සේවා තවදුරටත් ඵලදායී ලෙස ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මානව, භෞතික සහ අනෙකුත් සම්පත් ලබාදීම පිළිබඳව සොයා බැලීම වෙනුවෙන් පසුගියදා එම රෝහලේ සිදුකළ විශේෂ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව පැවති සාකච්ඡාවේදීය.

මෙහිදී අමාත්‍යවරයා රෝහලේ බාහිර රෝගී අංශය, වාට්ටු, ගෙවන කාමර, සායන පරිශ්‍රය, මුළුතැන්ගෙය, ඖෂධාලය, පංචකර්ම ඒකකය, ඇතුළු රෝහලේ සියලු‍ අංශ මෙන්ම රෝහල් පරිශ්‍රය නිරීක්ෂණයට ලක් කළ අතර රෝගී සත්කාර සේවා සිදුවන ආකාරය මෙන්ම රෝහලේ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සියලු‍ කාර්ය මණ්ඩලවල අවශ්‍යතාව පිළිබඳවත්, රෝහලෙන් ලබාදෙනු ලබන ප්‍රතිකාර සේවා පිළිබඳවත් විශේෂ අවධානය යොමු කළේය. රෝහල් කාර්ය මණ්ඩලය සමඟ ද සාකච්ඡාවක නිරත වෙමින් කාර්ය මණ්ඩලයට පවතින රාජකාරි ගැටලු‍, යෝජනා, විසඳුම් පිළිබඳවත්, ඉදිරියේ දී රෝහල සංවර්ධනය කිරීමේදී කාර්ය මණ්ඩලයේ යෝජනා සහ අදහස් පිළිබඳවත් විමසා බැලීම පැසසිය යුතුය.

එහිදී විශේෂයෙන්ම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගැනීම සහ සායනවලට සහභාගි වන රෝගීන්ට දැනට සපයනු ලබන පහසුකම් හා සේවාවලට අමතරව තවදුරටත් අලු‍තින් එක්කළ යුතු සේවා පිළිබඳව ද විශේෂය අවධානයක් යොමු කිරීමට නියමිතය. අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, රෝගී සත්කාර සේවාවේදී සියලු‍ ප්‍රතිකාර ක්‍රමවේද ඒකාබද්ධ කරමින්, ඒකාබද්ධ ප්‍රතිකාර සේවාවක් ලෙස පවත්වාගෙන යාමට යම් ක්‍රමවේදයක් සියලු‍ දෙනාගේ සහයෝගය ඇතිව සකස් කිරීමට කටයුතු කරන බව සහ නිවැරදි තීන්දු තීරණ ගෙන ගුණාත්මක හා කාර්යක්ෂම රෝහලක් ලෙස මෙම රෝහල ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු සම්පාදනය කරන බවයි. මෙම අවස්ථාවට ආයුර්වේද කොමසාරිස් ජනරාල් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන, රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය පරාක්‍රම හේමචන්ද්‍ර, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත පද්මකුමාර, පරිපාලන නිලධාරිනී මයෝමි පෙරේරා යන මහත්ම මහත්මීන් මෙන්ම ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරු, ආයුර්වේද වෛද්‍යවරු, හෙද හෙදියෝ ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

මෙරට පවතින එකම ආයුර්වේද ජාතික රෝහල වන බොරැල්ල ආයුර්වේද ජාතික රෝහලේ මේ වනවිට පවතින ඇඳන් ධාරිතාවය 216 කි. එහි වාට්ටු සංඛ්‍යාව 11 ක් වන අතර ගෙවන කාමර 87 කින් ද යුක්ත වේ. වාර්ෂිකව බාහිර රෝගීන් එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසකට ප්‍රතිකාර සේවා මෙම රෝහලෙන් සපයනු ලබයි. එමෙන්ම තුන්දහස් පන්සියයකට අධික පිරිසකට වාර්ෂිකව නේවාසික ප්‍රතිකාර සේවා ද ලබා දෙයි.  

ආයුර්වේද, සිද්ධ, යුනාහි යන ක්‍රම තුනෙන්ම රෝහලේ ප්‍රතිකාර විධි පවත්වාගෙන යන අතර, රෝහලේ ප්‍රධාන අංශ 3 ක් ලෙස බාහිර අංශය, නේවාසික අංශය හා ඖෂධ නිෂ්පාදන අංශය හඳුනාගත හැකිය. මෙම රෝහලේ එක් එක් රෝග සඳහා සායන විස්සක් පවත්වනු ලබයි. ශල්‍ය සායනය, ශාලාක්‍ය සායනය (ඇස්, කන්, උගුර හා නාසය සම්බන්ධ රෝග සඳහා ඇති සායන), සන්ධි රෝග සායනය, ස්ත්‍රී රෝග සායනය, ළමා රෝග සායනය ආදිය ඊට ඇතුළත් වේ. බොරැල්ල ආයුර්වේද රෝහලෙන් කෙරෙන තවත් ප්‍රධාන කාර්යයක් වන්නේ සාමාන්‍ය ජනතාවට සෞඛ්‍ය පහසුකම් සපයන අතරම මිනිසුන්ගේ එදිනෙදා සෞඛ්‍ය කටයුතු ප්‍රවර්ධනය කිරීම සඳහා සායන පැවැත්වීමයි. යෝග සායනය පැවැත්වෙන්නේ ඒ අනුවය. සාමාන්‍ය පුද්ගලයකුටත් යෝග සායනයට සම්බන්ධ වීමෙන් ලෙඩ රෝග නැති සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යාමට හැකියාව ලැබේ. ඊට අමතරව මානසික රෝග පිළිබඳව ද අවධානය යොමුකර තිබීම පැසසිය යුතුමය. මෙම සායනවල ඇති විශේෂත්වය නම්, රෝහල තුළ වෛද්‍යවරුන් වර්ග කිහිපයක් සේවය කිරීමයි. විශේෂඥ වෛද්‍යවරු සහ පාරම්පරික වෛද්‍යවරුන්ගේ සේවය මෙහිදී මහජනතාවට නොමිලයේ ලබාගත හැකිය. දේශීය වෛද්‍ය ක්‍රමයේ එන කැඩුම් බිඳුම්, සර්ප විෂ, ගෙඩි, වණ, පිළිකා, මානසික රෝග ආදිය සඳහා මෙම දේශීය වෛද්‍යවරුන්ගේ ප්‍රතිකාර ලබාගැනීමේ පහසුකම ජනතාවට හිමිවේ.

ඊට අමතරව සියලු‍ම නේවාසික රෝගීන් සඳහා නොමිලයේ ආහාර පිළියෙළ කෙරෙන මුළුතැන්ගෙයක් ද මෙහි පවත්වාගෙන යනු ලබයි. එසේම ප්‍රතිකාර කිරීම ඇතුළු සියලු‍ම සේවා සිදුවන්නේද නොමිලයේ වීම ජනතාවට මහත් සහනය ගෙන දෙන්නකි. එමෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යායතනයේ, පශ්චාත් උපාධිය හදාරන සිසුන් පර්යේෂණ සඳහා බොරැල්ල ආයුර්වේද රෝහලට පැමිණීම ද සිදුවේ.

සමස්තයක් ලෙස ගත් කල ශ්‍රී ලංකාවේ ඖෂධවල මිල ගණන් ඉතා ඉහළ මට්ටමක පවතින මෙම මේ යුගයේදී බොරැල්ල ආයුර්වේද රෝහලෙන් සිදුවන සේවය අති මහත්ය. විවිධාකාර සෞඛ්‍ය සේවා සපයන බොරැල්ල ආයුර්වේද රෝහලේ සියලු‍ සේවා නව්‍යකරණයට ලක්කර නව සැලැස්මක් යටතේ අංගසම්පූර්ණ “ජාතික රෝහලක්”‍ බවට පත්කිරීමේ යෝජනාව මගින් දේශීය ආයුර්වේදයට සුබ කලක් උදාවනවා මෙන්ම ජනතාවටද සැලසෙන්නේ අනුපමේය මෙහෙවරකි. එමෙන්ම මෙම ව්‍යාපෘතිය විධිමත්ව මෙහෙයවුවහොත්, මෙරටට පැමිණෙන දේශීය ආයුර්වේදයට පෙම් බඳින විදේශිකයන්ගේ ආකර්ෂණය පවා නොමඳව ලබා ගැනීමේ හැකියාව පවතින අතර, මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රවර්ධනය කෙරෙහිද බෙහෙවින්ම බලපාන සාධකයක් බවට පත්කර ගැනීමේ හැකියාව පවතී.

• මංගලා පවිත්‍රානි