කොළඹ කලබලකාරී නගරයේ එහා මෙහා යන දහස් ගණන් මිනිසුන්ගේ දෙසවනට ඔහුගේ ගී හඬ හොඳට හුරුය. කිහිප වතාවක්ම රූපවාහිනී වැඩසටහන්වලට සහභාගි වෙමින් ගීතවත් වුණු, වරක් රූපවාහිනී රියැලිටි තරගයකට සහභාගි වෙමින් ගීතවත් වුණු, ඔහුගේ හඬ මෙන්ම රුවද බොහෝ දෙනාට මතකය. කුඩාම සිරුරකට හිමිකම් පෑ ඔහු නමින් මනෝජ් සංජයයි. මේ දිනවල මනෝජ් ගැන බොහෝ දෙනා කතා කරති. ඔහුගේ තොරතුරු දැන ගැනීමට කැමැත්තෙන් පසුවෙති. අඩි දෙකහමාරක් පමණක් උස වූ මනෝජ් ගැන කතා කරන්නට මේ දිනවල බොහෝ දෙනා පෙළඹී ඇත්තේ නොබෝදා ඔහු “පුංචි මනමාලයෙක්” වූ නිසාවෙනි. සැබවින්ම වසර තුනක ප්‍රේමයක් අවසන් කළ මේ අපූරු ආදරවන්තයා අද වන විට ආදරණීය සැමියෙකි.
“මම විවාහ වුණේ නිමේෂා ජීවන්ති එක්කයි. අපි ජනවාරි මාසේ විසිපස් වැනිදා විවාහ වුණා. අපේ විවාහ උත්සවය වේයන්ගොඩ රුවේෂා හෝටලේ පැවැත්වුවා. මගේ ගම වේයන්ගොඩ. නිමේෂා රාජාංගණයේ.” යැයි මනෝජ් තම ආදර කතාව ආරම්භ කරමින් දේශය සමඟ දොඩමළු විය.
මනෝජ් ඒ වනවිට ශ්‍රී ලංකා කුඩා මිනිසුන්ගේ සංගමයේ (little people association) සාමාජිකයෙකි. මේ හේතුවෙන් ඔහුට තම සගයන් සමඟ සහභාගි වූ එක්තරා රූපවාහිනී වැඩසටහනකදී ගීත ගායනා කරන්නට අවස්ථාව ලැබුණි. එහිදී ඔහු තම සංගමයේ සහෝදරියක සමඟ යුග ගීතයක් ඉදිරිපත් කළේය. ඇය තඹුත්තේගමය. නිමේෂා ඇගේ මිතුරියක වූවාය. ඒ නිසාම එදින නිමේෂා රාජාංගණයේ සිට තම මිතුරිය සහභාගි වූ වැඩසටහන නරඹමින් සිටියාය. තම මිතුරිය සමඟ ගීතවත් වන මේ අපූරු මිනිසා ගැන මොකක්දෝ හැඟීමක් නිමේෂාට ඇතිවිය. ඇය තම මිතුරිය මාර්ගයෙන් මනෝජ්ගේ දුරකථන අංකය ලබාගෙන ඔහු සමඟ කතාබහ කළාය. ඒ දැන හැඳුනුම්කම මේ තරම් දුර යාවි යැයි ඔවුන් සිතුවේ නැත. මනෝජ් මෙන්ම නිමේෂා ද වයසට වඩා කුඩා සිරුරකට හිමිකම් කී තරුණියකි. නමුත් ඒ වනවිට ඇය little people association හි සාමාජිකාවක වූයේ නැත. ඇය ලැජ්ජාකාරී තරුණියකි. තම පෙනුමත් සමඟ සමාජීය ඇසුරක් ලබන්නට ඇය කැමැති වූයේ නැත. තමා කුඩා කල විඳි අනේක විධ දුක්ඛ දෝමනස්ස නිසාවෙන් ඇය සමාජයට එකතු වන්නට එතරම් කැමති වූයේ නැත.
එහෙත් මනෝජ් කෙසේ හෝ නිමේෂාවද සංගමයට එක් කර ගත්තේය. ඒ 2020 වසරේදීය. එතැන් සිට ඔවුහු වසර දෙකක් පමණ හොඳ මිතුරන් ලෙස ඇසුරු කළහ. කාලයත් සමඟ little people association හි සභාපතිනි දර්ශනී නානායක්කාරගේ මැදිහත්වීමෙන් සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ සුහද හමුවක් සංවිධානය විය. ඒ වන විට මනෝජ් සහ නිමේෂා ආදරවන්තයෝ වී සිටියහ. දුරකථනය ඔස්සේ ඒ ආදරය ගලා ගෙන ගියද ඒ වන විටත් ඔවුන් එකදු වතාවක්වත් හෝ මුණගැසී තිබුණේ නැත. සංගමයේ තිබූ සුහද හමුවට නිමේෂා රාජාංගණයේ සිට කොළඹට ආවාය. එදින මනෝජ්ටත් නිමේෂාටත් ආදරණීය දිනයක් විය. හඬින් ආදරය කළ ඔවුන් රුවින් සැබෑවටම දුටුවේ එදිනය.
මනෝජ් අඩි දෙකහමාරක් උසින් යුත් තරුණයෙකි. නිමේෂා අඩි හතරක් පමණ උස තරුණියකි. මොවුන්ගේ ආදර කතාවට උස කිසිසේත්ම බාධාවක් වූයේ නැත.
“මම නිමේෂාට වඩා උසින් ගොඩක් අඩුයි. මගෙයි නිමේෂාගෙයි එකම අඩුපාඩුව අපි උසින් අඩු දෙන්නෙක් වීම විතරයි. ඒත් අපි දෙන්නගේ ආදරයට උස පොඩ්ඩක්වත් ප්‍රශ්නයක් වුණේ නැහැ. උස අඩු වුණාට අපි දෙන්නාගේ ආදරේ අඩුවක් නැහැ.” යැයි මනෝජ් සිය ආදර කතාව හෙළි කළේය.
සහෝදර සහෝදරියන් අට දෙනකුගෙන් යුත් පවුලේ හත්වැනියා වූයේ මනෝජ්ය. වැඩිමහල් සහෝදරියන් දෙදෙනකු, වැඩිමහල් සහෝදරයන් හතර දෙනකු සහ බාල සහෝදරයකු සිටි පවුලේ උසින් අඩු දරුවකු වූයේ මනෝජ් පමණය. ඔහුගේ මවගේත් පියාගේත් උසෙහි වෙනසක් තිබුණේ නැත. නිමේෂා වැඩිමහල් සහෝදරියගේත් වැඩිමහල් සහෝදරයාගේත් ආදරය ලබමින් පවුලේ බාලයා ලෙසින් හැදී වැඩුණාය.
වසර පහක් පමණ නිමේෂා තලාව ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කළාය. මනෝජ් පාසල් අධ්‍යාපනය ලැබුවේ වේයන්ගොඩ කස්සප කනිෂ්ඨ විදුහලෙනි. පාසල් ජීවිතය මනෝජ්ට සුන්දර වූයේ නැත. හැම තැනකදීම ඔහුට විඳින්නට වූයේ තමන් උප්පත්තියෙන් ගෙන ආ පෙනුමට ලැබුණු ගැරහුම්ය. කුඩා දරුවකු වූ තමන්ට ඒ නින්දා අපහාස විඳ දරාගන්නට ශක්තිය නැති බව මනෝජ් කුඩා කලම තේරුම් ගත්තේය. ඉගෙනීමට ආසාවක් තිබුණද පාසලෙන් සහ පාසල් මිතුරන්ගෙන් මනෝජ්ට ලැබුණේ දැඩි පීඩනයකි. දිනෙන් දිනම ඔවුන්ගේ උසුළු විසුළුවලට මුහුණ දෙද්දී මනෝජ්ගේ හිත දැඩි සේ කලකිරුණි. මේ නිසාම පහ වසර පන්තිය තෙක් පාසල් ගිය මනෝජ් තම පාසල් ජීවිතයට “ආයුබෝවන්” කීවේය.
කුඩා කල සිටම මනෝජ් සංගීතයට අසීමිතව ඇළුම් කළේය. ඔහුට ගීත ගායනා කිරීමේ හැකියාවද තිබුණි. එයට ද ඇතැම්හු විහිළු කළහ. “උඹට සිංදු කියන්න පුළුවන්ද? බැරි වැඩ නොකර හිටපන්.” ඇතැම්හු මනෝජ්ගේ මුහුණටම කීහ. නමුත් පාසල් ගමන සේ මනෝජ් සිය සංගීත ගමන නතර කළේ නැත. ඔහු වේයන්ගොඩ ඩිලාන් අමරවංශ ගුරුතුමා යටතේ කටහඬ පුහුණුවීම් කළේය.
නිමේෂා රාජාංගණයේ සාලිය අශෝකා නවෝද්‍යා පාසලේ ඉගෙනුම ලැබුවාය. ඇයගේ පාසල් ජීවිතයද එතරම් සුන්දර වූයේ නැත. ඇය ද අප්‍රමාණ හිත් වේදනාවලට මුහුණ දුන්නාය. ඇය සාමාන්‍ය පෙළ විභාගය දක්වා පාසල් අධ්‍යාපනය ලැබුවාය. පාසලේදී නිමේෂාට ළඟින්ම ඇසුරු කරන්නට මිතුරියක සිටියේ නැත. පාසලේදී ඇය කොන් වූවාය. පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අනේක විධ අපහාසවලට ඇය මුහුණ දුන්නාය. නමුත් ඇය සාමාන්‍ය පෙළ විභාගය තෙක් ඒ හැම දුකක්ම ඉවසා සිටියාය.
“සාමාන්‍ය පෙළ විභාගය කරලා මට අවුරුදු විසි පහක් වනතුරු ගෙදර හිටියේ. රස්සාවල් අනන්තවත් හෙව්වා. සම්මුඛ පරීක්ෂණ බොහොමයකට ගියා. නමුත් මාව දැකපු ගමන් ඒ හැම තැනකදීම මාව ප්‍රතික්ෂේප වුණා. මගේ අම්මා විදෙස් ගතවෙලා හිටියේ. තාත්තා ගොවිතැන් කළා. දැන් නම් තාත්තා ජීවතුන් අතර නැහැ. මම ගාමන්ට් කිහිපයකටම ඉන්ටවිව් ගියා. නමුත් මට රස්සාවක් ලැබුණේ නැහැ. තලාව ගස්ටන් ලංකා ගාමන්ට් එකේ ජනක ඉන්ද්‍රජිත් සර් මට ගාමන්ට් එකේ රස්සාව ලබා දුන්නා. මම ඒ ගාමන්ට් එකේ අවුරුදු පහයි මාස තුනක් වැඩ කළා. මනෝජ්‍ව මම රූපවාහිනියෙන් මුලින්ම දැක්කේ. එයාට මගේ හිතේ ආදරයක් ඇතිවුණා. අපි මුලින්ම ෆෝන් එකෙන් කතා කළේ.” යැයි නිමේෂා ජීවන්ති දේශයට පැවසීය.
නිමේෂාගේත් මනෝජ්ගේත් ආදරයට දෙදෙනාගේම දෙමව්පියන්ගෙන් ආශිර්වාදය ලැබුණි. විවාහයෙන් පසුව මේ වන විට ඔවුහු වේයන්ගොඩ කුලී නිවසක පදිංචිව සිටිති.
විවාහයත් සමඟ නිමේෂා තම රැකියාවෙන් සමුගත්තාය. එතැන් සිට ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය වී ඇත්තේ මනෝජ්ගේ ආදායම් මාර්ගය පමණි. මනෝජ් මේ වන විට පදික වේදිකාවේ ගීත ගායනා කරයි. ඊට අමතරව ඔවුන්ට ඉඳහිට ප්‍රසංග වේදිකාවේත් උත්සවවලත් ගීත ගායනා කරන්නට අවස්ථාව උදා වේ. නමුත් ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ පදික වේදිකාවේ ගීත ගායනා කර ලැබෙන මුදලයි.
“පදික වේදිකාවේ ගීත ගායනා කරද්දී මිනිසුන්ගෙන් ලැබෙන ආදරය කියල නිම කරන්න බැහැ. පදික වේදිකාවේ ගීත ගායනා කරද්දී මට පදික වේදිකාවේ ගීත ගායනා කරනවා කියලා හිතෙන්නෙ නැහැ. මට හිතෙන්නෙ මම වේදිකාවේ ගීත ගායනා කරනවා කියලයි. ඒ තරමටම මම පදික වේදිකාවට ආදරෙයි. පුංචි කාලේ පාසලේදිත් මේ වගේ ආදරයක් තිබුණා නම් කොච්චර හොඳද කියලා අද මට අනන්තවත් හිතිලා තියෙනවා. මම හොඳට ඉගෙන ගන්න ආසා කළා. නමුත් මට ඒක කරගන්න බැරි වුණා. මගේ අම්මයි තාත්තයි කුලී වැඩ කළේ. ඒ නිසා පුංචි කාලේ ඉඳන් ආර්ථික අපහසුතා ගොඩක් අපිට තිබුණා. ජීවිතේ අඬපු දවස් අනන්තවත් තිබුණා. ජීවිතේ නැති කරගන්න පවා උත්සාහ ගත්තා. ඔය අතරේ දර්ශනී නානායක්කාර මැඩම් මුණගැසීමත් එක්ක අපේ ජීවිත වෙනස් වුණා.” යැයි මනෝජ් සංජය පැවසීය.
මනෝජ්ගේත් නිමේෂාගේත් විවාහ උත්සවය උත්කර්ෂවත් ලෙසින් පැවැත්විණි. එම සංගමයේ සිටි සාමාජිකයන් දෙදෙනකුගේ මුල්ම විවාහ උත්සවය වූයේ මෙයයි. මනෝජ් පිටකොටුවේ පදික වේදිකාවේ ගීත ගායනා කරන්නට වැඩි කැමැත්තක් දක්වයි. සතියකට දෙවතාවක් ඔහු පිටකොටුවේ ගීත ගායනා කරයි. මෙලෙස ගීත ගායනා කරමින් ඉතුරු කරගත් මුදලින් මනෝජ් ත්‍රීරෝද රථයක්ද මිලදී ගෙන ඇත. ඔහුගේ මස්සිනා මනෝජ්‍ව එහා මෙහා රැගෙන යයි. මනෝජ්ගේත් නිමේෂාගෙත් ජීවිතවල සිහිනයක් ඇත. ඒ තමන්ගේම නිවහනකට ගොඩවැදීමයි. මේ වන විටත් ඔවුන් ජීවත් වන්නේ කුලී නිවසකය. ඔවුහු තමන්ගේම නිවහනක සිය ආදර කතාව ලියන්නට සිහින දකිමින් සිටිති.
විශේෂ ස්තුතිය
දර්ශනී නානායක්කාර මහත්මියට
• දිශානි ජයමාලි කරුණාරත්න