නිත්‍යනුකූල නොවන උන්ඩියල් හවාලා මුදල් හුවමාරු කරන ක්‍රම හරහා මෙරටට අහිමිවන විදේශ විනිමය ප්‍රමාණය ගණනය කළ නොහැකි තරම්ය. ඉකුත් සමයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් විදේශ විනිමය අර්බුදය හමුවේ, මේ පිළිබඳ පුළුල් කතාබහක් නිර්මාණය වුවද පසුව එය තරමක් අඩු වී ගියේය. කෙසේ වෙතත් මෙය සුළු කොට තැකිය හැකි තත්වයක් නොවන අතර, වසරකට කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් මෙම ක්‍රමවේද භාවිත කරමින් විදේශයන් වෙත යැවීම සිදුවේ.
පැරණි දත්ත විමර්ශනය කර බලන විට 2012 සිට 2015 දක්වා වසර හතර තුළදී පමණක් රේගු වැටලීම්වලින් අත්අඩංගුවට ගත් මුදල්වල වටිනාකම රුපියල් කෝටි 47 කට අධිකය. පසුගිය කාලයේ මෙම තත්වය තවදුරටත් වර්ධනය වූ බව අප අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. එසේම වැටලීම්වලට අමතරව තවදුරටත් අනීතික ක්‍රමවේද ඔස්සේ මෙම ගනුදෙනුව හොඳ හැටි සිදුවන බවද අපි දනිමු. එබැවින් සාපේක්ෂව වසරකට රුපියල් කෝටි සිය ගණනක විදේශ විනිමය, උන්ඩියල් හවාලා මුදල් හුවමාරු හේතුවෙන් මෙරටට අහිමිවන බව පිළිගත යුතු සත්‍යයකි.
විශ්‍රාමික රේගු නිලධාරියකුගෙන් ලබාගත් තොරතුරු, සම්බන්ධ පසුගිය විමර්ශන වාර්තා සහ ක්ෂේත්‍රයේ සිදු කරනු ලැබූ ගවේෂණ පදනම් කරගෙන මෙම වංචා සහගත ක්‍රමවේදය අනාවරණය කිරීමට අපි උත්සාහ දරමු. මෙහිදී ජාවාරම්කරුවන් ක්‍රමවේද කිහිපයක් භාවිත කරන බවට තොරතුරු ලැබී තිබේ. මෙහිදී මෙම පිරිස් භාවිත කරන කුප්‍රකට ප්‍රධානම ක්‍රමවේදය නම්, විදේශගතව සිට ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ ඔවුන් සතුව ඇති විදෙස් මුදල් මිලදී ගැනීමයි.
නිත්‍යනුකූලව විදෙස් මුදල් මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර හිමි ආයතනයක් පවත්වාගෙන යා යුතුය. එහෙත් මෙම ජාවාරම්කරුවෝ බොහෝ විට අවසරලත් ආයතන පවත්වාගෙන යන්නෝ නොවෙති. මෙරට බැංකු පද්ධතිය තුළින් විදෙස් මුදල් මාරුකර ගැනීමට යාමේදී මතුවන දුෂ්කරතා සහ අවසරලත් ආයතනවලින් විදෙස් මුදල් මාරු කිරීමේදී ඇතිවන දුෂ්කරතා සැලකිල්ලට ගනිමින්, ජාවාරම්කරුවන් වාසිදායක ලෙස සිය අවස්ථාව සකසාගෙන තිබේ. සාමාන්‍ය පද්ධතියෙන් විදෙස් මුදල් හෝ මාරු කිරීමේදී ලැබෙන මුදලට සාපේක්ෂව ඉතා සුළු මුදලක් පාරිභෝගිකයන් වෙත ලබාදීමට මෙම පිරිස් කටයුතු කරති. මෙම තත්වය මත විදෙස්ගතව සිට මෙරට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සැලකිය යුතු ප්‍රමාණයක් මෙම ජාවාරම්කරුවන් වෙත ගමන් කිරීම සිදුවේ.
මීට අමතරව මෙම ජාවාරම්කරුවන් විසින් සංචාරක කර්මාන්තය ආශ්‍රිතව විදේශිකයන් මාරු කරගන්නා විදෙස් මුදල්ද තමන් වෙත ආකර්ශනය කර ගැනීමට ක්‍රමවේද සකස් කොට තිබේ. සංචාරක මගපෙන්වන්නන්ට රියැදුරන්ට කොමිස් මුදල් ලබාදෙමින් සංචාරක මුදල් හෝ මාරු තමන් හරහා සිදු කිරීමට අවශ්‍ය කටයුතු ඔවුන් සකසාගෙන ඇත. ඒ අතර සංචාරක කර්මාන්තය බහුල වශයෙන් පවතින ප්‍රදේශවල, අවසරලත් ආයතනවල පවා ගනුදෙනුවලින් අඩක් පමණ මහ බැංකු නියාමනයන්ට යටත් නොවන පරිදි සිදුවන බවට තොරතුරු ලැබී තිබේ.
මෙම ක්‍රමවේදයන්ට අමතරව ජාවාරම්කරුවන් විසින් මෙරට ආනයන අපනයන වෙළෙඳපොළ ද සිය ජාවාරම් සඳහා භාවිත කරනු ලබන බවට සාක්ෂි හමුවේ. අපනයනය කරන භාණ්ඩ හා සේවා සඳහා සත්‍ය මුදලට වඩා විශාල මුදලක් පෙන්වා දෙමින්, අතිරික්තය ශ්‍රී ලංකාවට ගෙන්වා තමන් සතු කරගැනීමට මෙම පිරිස් කටයුතු කරති. ආනයන ක්‍රියාවලියේදී බිල්පත නැවත සකස් කොට වටිනාකමින් අඩක් පමණ වන පරිදි පෙන්වා මෙරට විදේශ විනිමය වංචා කරන අතරේම, රේගු බදු ද වංචා කිරීමට මෙම පිරිස් කටයුතු කරමින් සිටිති.
මේ ආදී කූට උපක්‍රම භාවිත කරමින් මෙම ජාවාරම්කරුවන් මෙතරම් ඩොලර් ප්‍රමාණයක් තමන් සන්තක කරගන්නේ ඇයිද යන්න පුළුල්ව විමසා බැලිය යුතු කරුණකි. විධිමත් ක්‍රමවේදය යටතේ මෙරටට පැමිණෙන පිරිස් වෙත ඇමෙරිකානු ඩොලර් පහළොස් දහසක් රැගෙන ඒමටත්, ඇමෙරිකානු ඩොලර් දසදහසක් රටින් පිටතට රැගෙන යාමටත් අවකාශය සලසා දී තිබේ. මෙය ලොව දියුණු රටවල තත්වයේම අවකාශයක් බව රේගු මූලාශ්‍ර සඳහන් කරයි. ප්‍රශ්න කිරීමෙන් තොරව රැගෙන යන මෙම මුදල්වලින්ද, ජාවාරම් සිදුවන බව නොරහසකි. කෙසේ වෙතත් මෙතරම් මුදල් ප්‍රමාණයක් රැගෙන යාමට අවකාශය ලබා දී තිබියදී අනීතික ගනුදෙනු සඳහා මෙතරම් උනන්දුවක් පවතින්නේ ඇයිද යන්න අප සිතා බැලිය යුතුය.
මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන යාන්ත්‍රණය පිළිබඳ යම් අදහසක් පවතින්නකුට මෙම තත්වය හොඳින් තේරුම් ගත හැකිය. මෙරටට රැගෙන එන මත්ද්‍රව්‍ය මෙරටදී වෙළෙඳාම් කොට නැවත එම මුදල්, ගනුදෙනු සඳහා නිසැක වශයෙන්ම විදේශයන් වෙත යැවිය යුතුමය. ඒ සඳහා පැහැදිලිවම ඩොලර් අවශ්‍ය වෙයි. එසේම රන් භාණ්ඩ සහ විද්‍යුත් උපකරණ ඩුබායි සිංගප්පූරු ඉන්දියාව ආදී රටවලින් රැගෙන එමින් ජාවාරම් සිදු කරන පිරිස් වෙත ද ගනුදෙනු සඳහා ඩොලර් ඇතුළු විදෙස් මුදල් අවශ්‍ය වේ. වසරකට මෙආදී ජාවාරම් සඳහා මෙරට සිටින ජාවාරම්කරුවන්ට අවශ්‍ය වන ඩොලර් ප්‍රමාණය කොපමණද? එම ප්‍රමාණය සපයනු ලබන්නේ කවුරුන්ද? බලධාරීන් කඩිනමින් මේ පිළිබඳ අවධානය යොමු කළ යුතුය.
ඉකුත් ආර්ථික අර්බුද සමයේදී අප අත්විඳිනු ලැබුවේ විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් අනීතික ක්‍රමවේද ඔස්සේ මෙරටට මුදල් එවීම නිසා, විදෙස් සංචිත තර නොවීම පිළිබඳ ගැටලුවකි. එම ජාවාරමේද පාර්ශ්වකරුවන් වූයේ අප ඉහත කී ජාවාරම් සඳහා මුදල් සපයන විදෙස් මුදල් ජාවාරමේ යෙදෙන පිරිස්ය. ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියට වසන් වී ශ්‍රී ලංකාවේ සහ අදාළ රටෙහි සිටි ජාවාරම්කරුවන් ශ්‍රමිකයන්ගේ මුදල් ලබා ගනිමින් අනීතික ක්‍රමවේදයට ඒවා ශ්‍රී ලංකාවට සම්ප්‍රේෂණය කිරීම පසුගිය සමයේ බහුලව සිදුවිය. එහිදී විදෙස් ශ්‍රමිකයන් උපයන ඩොලර් සැබෑවටම ලංකාවට නොපැමිණි අතර, ඒවා විදෙස් රටවල ජාවාරම් සඳහා භාවිත කිරීමේ අරමුණෙන් ජාවාරම්කරුවන් සන්තක කර ගත්තේය. ඒ සඳහා වන ගෙවීම ශ්‍රී ලංකාවේ සිටින අදාළ ජාවාරමේ පාර්ශ්වකරුවන් ශ්‍රී ලංකා රුපියල්වලින් ඔවුන්ගේ පවුල් වෙත සිදු කරනු ලැබීය.
කෙසේ වෙතත් මෙම ජාවාරම අප පෙර කී ජාවාරමේම එක් කොටසක් පමණක් බව සිහිපත් කළ යුතුය. අනීතික ක්‍රමවේද ඔස්සේ මුදල් මාරුකර ගැනීමට ජනතාව පොළඹවමින් දැවැන්ත ජාලයක් සකස් කර ගැනීමට මේ වන විට ජාවාරම්කරුවෝ සමත්ව සිටිති.
මෙහිදී අසන්නට ලැබෙන ඇතැම් තොරතුරු සැබෑවටම මවිත කරවන සුළුය. රුසියානු යූක්රේන යුද්ධය නිසා රුසියානු රූබෙල් භාවිතයෙන් ගනුදෙනු කිරීමට ලොව පුරා විවිධ සීමා නිර්මාණය වී තිබේ. ඒ නිසාවෙන්ම බොහෝ නිත්‍යනුකූල රූබෙල් මාරු කරනු නොලබයි. එහෙත් මේ දිනවල ශ්‍රී ලංකාවට අධික වශයෙන් පැමිණෙන රුසියානු සංචාරකයන්ගෙන් රූබෙල් මාරු කරනු ලබන ජාවාරම්කරුවන් සැලකිය යුතු පිරිසක් දිවයින පුරා විසිර සිටිති. රුසියානුවන් සතු විදේශයන්හිදී ගනුදෙනු කළ බැංකු කාඩ්පත්වලින් පවා මුදල් ලබා ගැනීමට ඔවුනට හැකියාවක් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙවන් ගනුදෙනු සිදුකිරීමට ජාවාරම්කරුවන්ට හැකි නම් දැවැන්ත මුදල් විශුද්ධිකරණ වංචා කිරීමේ ඔවුන් සතු හැකියාව අවතක්සේරු කළ නොහැකිය. පද්ධතියේ අඩුපාඩු හඳුනාගෙන කඩිනම් නියාමන ක්‍රමවේදයක් හඳුන්වාදීම, ගුවන් තොටුපළ සහ විදේශ මුදල් හුවමාරු සිදුවන ස්ථානවල වැටලීම් වැඩි කිරීම, දිවයින පුරා විසිර සිටින ජාවාරම්කරුවන් ඉලක්ක කොට වැටලීම් සිදුකිරීම ආදී ක්‍රියාමාර්ග රැසකට රටක් ලෙස අප අවතීර්ණ විය යුතු බව අවසානයේ සඳහන් කළ යුතුය. සාකච්ඡා කමිටු කොමිෂන් වාර්තා ලබා ගැනීමෙන් පමණක් විසඳුම් නොලැබෙන බවත්, විසඳුම් ලබා ගැනීමට නම් ඒවා ක්‍රියාත්මක විය යුතු බවත් අපි බලධාරීන්ට නැවත නැවත පසක් කර සිටිමු.
• චමිඳු නිසල් ද සිල්ව