2025 ජනවාරි 25 වන සෙනසුරාදා

උඩරට දුම්රියේ ඊ ටිකට් මිල හඳට ගෙනියන ජාවාරම

 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:02 82

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ සංචාරකයන්ගෙන් වැඩි පිරිසක් උඩරට මාර්ගයේ ඇති සොබා සෞන්දර්ය විඳ ගැනීමට කැමැත්තක් දක්වති. විශේෂයෙන්ම ඇල්ල ප්‍රදේශයේ සංචාරය කිරීම ඔවුන්ගේ සිහිනයකි. මේ සඳහා ඔවුන් තෝරා ගන්නේ දුම්රියයි. විශාල පිරිසක් පොඩි මැණිකේ, උඩරට මැණිකේ සහ ඇල්ල ඔඩිසි යන දුම්රිය මගින් ඇල්ල දක්වා ගමන් කිරීමට කැමැත්තක් දක්වන්නේ නානුඔය සිට ඇල්ල දක්වා ඇති පරිසරයේ සුන්දරත්වය විඳ ගැනීමටය.

එලෙස විදේශිකයන්ගේ ආකර්ෂණය දිනාගත් උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රවේශ පත්‍ර කිසියම් සංවිධානාත්මක වංචනිකයන් පිරිසක් විසින් මිලට ගෙන වැඩි මුදලට අලෙවි කරන බවට විවිධ අවස්ථාවන්හි අසන්නට ලැබිණි. මෙම ක්‍රියාවලියේ ආසන්නතම සිදුවීම පසුගිය දා වාර්තා විය. ඒ ඇල්ල දක්වා නිකුත් කළ දුම්රිය ඊ ටිකට් පත් අන්තර්ජාලයට මුදාහැර තත්ත්පර 42 ක් තුළ සියල්ලම විකිණී අවසන් වීමය. මේ පසුපස මහා පරිමාණ වංචාවක් සිදුවන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී අනාවරණය කළේය.

ඔහු කියා සිටියේ දුම්රිය දත්ත පද්ධතියට උඩින් තවත් දත්ත පද්ධතියක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ඒ සම්බන්ධයෙන් තවම අනාවරණ කරගත නොහැකි වී ඇති බවත්ය. මෙම ජාවාරම සිදුවන්නේ කොළඹ, නුවර සහ කොළඹ සහ ඇල්ල යන දුම්රිය ස්ථානවලින් බවද මොහොතකින් අලෙවි වන ප්‍රවේශ පත්‍ර මෙම දුම්රිය ස්ථානවලට ලැබෙන අතර ඒවා වැඩි මිලට අලෙවි කරන බවද ඔහු ප්‍රකාශ කළේය. එය සත්‍යයක් බැව් වැටහෙන්නේ ලබන පෙබරවාරි 8 වැනිදා ඇල්ල බලා ධාවනය වීමට නියමිත දුම්රිය සඳහා වන ප්‍රවේශ පත්‍ර පසුගිය සතිය වන විටම අවසන්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සඳහන්ව තිබුණද, එම ප්‍රවේශ පත්‍ර ඩොලර් 58 බැගින් අලෙවි කිරීමට ඇතැයි අන්තර්ජාලයේ සඳහන් වීමෙනි.

මෙම වංචාව පිළිබඳව මුලින්ම අනාවරණ වූයේ මේ වසර ආරම්භයේ පැවැති ඇල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමේදීය. එහිදී ඇල්ල දුම්රිය ස්ථානාධිපති අශේන්ද්‍ර දිසානායක මහතා ප්‍රකාශ කළේ ජාවාරම්කරුවන් කොළඹ සිට බදුල්ල දක්වා වන දුම්රිය ප්‍රවේශ පත්‍ර වෙන්කර ගන්නා අතර දුම්රිය ධාවනයට පැය කිහිපයකට පෙර ප්‍රවේශ පත්‍ර අවසන් බව ප්‍රකාශ කළ විට ඔවුන් එම ප්‍රවේශ පත්‍රයක් රුපියල් 40,000 ක් වැනි අධික මුදලකට විදේශිකයන්ට අලෙවි කරන බවට තොරතුරු ලැබී ඇති බවටය. ගමන් බලපත් අංකය සහ හැඳුනුම්පත් අංකය පරීක්ෂා කළ යුතු වුවද එය නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවත් මෙම ජාවාරමට දුම්රිය සේවකයන්ද සම්බන්ධ බවටත් ඔහු ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ධාවන) එන්.ජේ. ඉඳපොළගේ මහතා සඳහන් කළේ මෙවැන්නකි.

“පසුගිය ජනවාරි 1 දා සිට ආසන වෙන් කිරීමේදී ජාතික හැඳුනුම්පත් අංකය සටහන් කිරීම අනිවාර්ය කර තිබෙනවා. පසුගිය සතියේ ඒ සම්බන්ධයෙන් දැඩිව පරීක්ෂා කළේ නැහැ. කෙසේ නමුත් ප්‍රවේශ පත්‍රයේ සඳහන් හැඳුනුම්පත් අංකය සමඟ පුද්ගලයා සතු හැඳුනුම්පතේ අංකය නොගැලපුණොත් එය වලංගු ප්‍රවේශ පත්‍රයක් නොවන ලෙස සලකා මගීන්ගෙන් දඩ මුදල් අය කිරීමට කටයුතු කරනවා. පවුලේ සාමාජිකයන් පිරිසක් ගමන් කරන විට අනිවාර්යයෙන් එක් අයකුගේ හෝ හැඳුනුම්පත් අංකය ප්‍රවේශ පත්‍රයේ සටහන් වී තිබිය යුතුයි. විදේශිකයන්ට ඔවුන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ ගමන් බලපත්‍ර අංකය සඳහන් වී තිබිය යුතුයි. අපේ ප්‍රවේශ පත්‍ර සියල්ල තත්පර 42 ක් තුළ අලෙවි වුණා කියන්නේ අපට තත්ත්පර 42 කින් මුදල් ලැබුණා කියන එකයි. එය දුම්රිය දෙපාර්තමේන්තුවට හොඳයි.” යනුවෙනි.

දුම්රිය දෙපාර්තමේන්තුව නියමිත ගමන් වාරය සඳහා අදාළ දිනයට වලංගු ඊ ප්‍රවේශ පත්‍ර මසකට කලින් අන්තර්ජාලයට මුදා හරී. සෑම සති අන්තයකම අන්තර්ජාලයට ප්‍රවේශ පත්‍ර 200 ක් පමණ නිකුත් කරන අතර එලෙස මුදාහරින ප්‍රවේශ පත්‍ර සියල්ල තත්ත්පර 42 ක් වැනි කෙටි කාලයකදී විකිණී අවසන් වීම අඛණ්ඩව සිදුවෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් සඳහන් කර තිබේ. ප්‍රවේශ පත්‍රයක ගාස්තුව රුපියල් 2,000 කි. එහෙත් එම ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නා පිරිස් එක් ටිකට්පතක් විදේශිකයන්ට අලෙවි කරනුයේ රුපියල් 16,000 ට වැනි මුදලකට බවට තොරතුරු ලැබී ඇතැයි ඔහු සඳහන් කළේය.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පවසන්නේ මගීන්ගේ අවශ්‍යතාවට සරිලන දුම්රිය සේවයක් නොමැතිවීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.

“දැනට දුම්රිය ස්ථානවල ආසන වෙන් කිරීම සඳහා පවතින්නේ 2013 පමණ නිර්මාණය කළ දත්ත පද්ධතියක්. එම දත්ත පද්ධතිය හා ඔන්ලයින් ක්‍රමයට නිවසේ සිට ආසන වෙන් කිරීමේ පද්ධතිය අතර ඇත්තේ විශාල පරතරයක්. ඒ නිසා තත්ත්පර 42 ක් නොවෙයි තත්ත්පර දෙකක් වැනි කාලයකදී  සියලු‍ ආසන අවසන් වෙනවා. අවශ්‍ය වෙලාවට අවශ්‍ය කෙනකුට මිලදී ගැනීම සඳහා ප්‍රවේශ පත්‍ර සුලබ කිරීමයි මේකට තියෙන එකම විසඳුම.

මේ වන විට කරන ලද මූලික විමර්ශනවලින් තහවුරු වී ඇත්තේ වෙනත් දත්ත පද්ධතියක් ඔස්සේ දුම්රිය දෙපාර්තමේන්තු වෙබ් අඩවියට පිවිස මෙම ජාවාරම සිදු කරන බවටය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ මෙම ජාවාරම වැළැක්වීම සඳහා අවශ්‍ය තාක්ෂණික ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

“මගීන්ට අන්තර්ජාලය ඔස්සේ දුම්රිය ප්‍රවේශ පත්‍ර ලබාගැනීමට අවස්ථාව ලබා දුන්නේ ඔවුන්ට වඩා හොඳ සේවයක් ලබා දීමටයි. ඒ සඳහා තාක්ෂණික සහය ලැබුණේ මොබිටෙල් ආයතනයෙන්. එහෙත් එලෙස ලබා දුන් අන්තර්ජාල පද්ධතිය අවභාවිතයට ලක් කරමින් සාමාන්‍ය මගියකුට ප්‍රවේශ පත්‍රයක් මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් මේ වන විට ඇතිව තිබෙන බව අපට වාර්තා වුණා. ඒ නිසා ඉතා කඩිනමින් මෙම තත්ත්වය වැළැක්වීම සඳහා තාක්ෂණික විසඳුම් ලබාදීමට කටයුතු කරනවා. මෙවැනි තත්ත්වයක් නිර්මාණය වී තිබෙන්නේ කොළඹ සිට බදුල්ල දක්වා ගමන් කරන දුම්රියේ ආසන සඳහා පවතින අධික ඉල්ලු‍ම නිසයි. තාක්ෂණික පිළියමට අමතරව දුම්රිය දෙකක් හඳුන්වා දීමට අප පියවර ගන්නවා. එක දුම්රියක් නානුඔය සිට දෙමෝදර දක්වා සංචාරක දුම්රියක්. පෙබරවාරි 15 දින සිට එය දෛනිකව ධාවනය කරනවා. සති අන්තයේ මහනුවර සිට දෙමෝදර දක්වා දුම්රියක් ධාවනය කිරීමට කඩිනමින් කටයුතු කරනවා. මෙම ජාවාරම අපි අනුමත කරන්නේ නැහැ. අමාත්‍යංශය මගින් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබෙනවා.” යනුවෙනි.

මෙම ජාවාරම එක් පුද්ගලයකු විසින් කරන ක්‍රියාවක් නොවේ. කෙසේ වුවද මේ වන විට එම ජාවාරමට සම්බන්ධ දුම්රිය සේවකයකුගේ සේවය අත්හිටුවා තිබෙන බවට මාධ්‍ය වාර්තා කළේය. එම පුද්ගලයා මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු පුද්ගලයෙකි. එම පුද්ගලයා තම පියාගේ නමින් ආයතනයක් ලියාපදිංචි කර අදාළ ප්‍රවේශ පත් වංචාව සිදු කරන බවට අනාවරණ වී ඇත. මේ සඳහා ඔහුට තවත් කාන්තාවකගේ සහය ලැබෙන අතර එම කාන්තාවට දුම්රිය දෙපාර්තමේන්තුව තුළින්ම ප්‍රවේශ පත්‍ර අන්තර්ජාලයට නිකුත් කරන වෙලාව දන්වන බවත් අන්තර්ජාලයේ ප්‍රවේශ පත්‍ර අලෙවියට විවෘත වූ විගස එම කාන්තාව විසින් ඒවා ලබා ගන්නා බවත් එක්තරා මාධ්‍යයක් හෙළිකර තිබිණි. මෙය එක් පිරිසක් විසින් සිදු කරන ජාවාරමක් නොව තවත් කණ්ඩායම් කිහිපයක් මෙම ජාවාරමේ නිරත බවද අනාවරණ වී ඇත.

මෙවැනි අසෝබන ක්‍රියා හේතුවෙන් විනාශ වන්නේ ශ්‍රී ලංකාවේ කීර්තිනාමයයි.  රුපියල් 2000 කට මිල කර ඇති ප්‍රවේශ පත්‍රයක් එම මුදල මෙන් අට ගුණයකට මිලදී ගැනීමට විදේශිකයකුට සිදුවන්නේ නම් ඔවුන් ඒ සම්බන්ධයෙන් කලකිරෙන අතර ඔවුන්ගේ රටවල එය ප්‍රචාර කිරීමට ද මැලි නොවනු ඇත. එවිට ශ්‍රී ලංකාව යනු වංචනිකයන්ගේ රටක් ලෙස හංවඩු ගැසීම වළක්වාලිය නොහැකිය. එහෙයින් බලධරයන්ගේ වගකීම වන්නේ මෙවැනි ක්‍රියා නතර කිරීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගැනීම මෙන්ම මෙවැනි වංචනික ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන්ට දැඩි දඬුවම් පැමිණවීමය. එසේ නොවුණහොත් ජනාධිපතිවරයාගේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන නමට පමණක් සීමාවනු ඇත.

• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා