2025 ජනවාරි 18 වන සෙනසුරාදා

කොටස් වෙළෙඳපොළේ ආයෝජනය සහ අවදානම

 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 17

කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තාගත වර්ධනයක් සනිටුහන් කරයි. මෙම වසර තුළ පළමු සති කිහිපය තුළ ආකර්ශනීය තත්ත්වයක් උදා කරගෙන තිබේ. කෙසේ වෙතත් වරින් වර උච්චාවචන සිදුවේ. පිබිදීම් හමුවේ සතුටට පත්වන ආයෝජකයෝ පිරිහීම සමඟ පීඩාවට පත්වෙති. දිනක් දෙකක් දර්ශක පහත වැටෙන අතර කොළඹ කොටස් වෙළෙඳපොළට සිදුවන්නේ කුමක්දැයි ප්‍රශ්න කරති. වෙළෙඳපොළ ගනුදෙනු මෑත කාලය තුළ ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කළ අතර එයට සෑහෙන සාධක ප්‍රමාණයක් බලපෑවේය. අලුත් ආණ්ඩුවක් සහ එම ආණ්ඩුව අඛණ්ඩව කරගෙන යන පුරුදු ආර්ථික ක්‍රියාදාමය අස්වැසිල්ලක් වී ඇත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රමිතියට අනුකූල වීම හා ණය ආපසු ගෙවන ක්‍රමවේද සකස් කරගැනීම තවත් අංශයකි. දේශීය මූල්‍ය හා විනිමය වෙළෙඳපොළ පවතින ස්වභාවය ද ආයෝජන අංශ සැලකිල්ල යොමුකර ඇති කරුණකි. ආර්ථික අර්බුදය සමඟ ගැටලුකාරී තැනකට පත් ව්‍යාපාර නැවත පුනර්ජීවනයකට පත්වෙමින් පවතින අතර එහි වාසිදායක බව කොළඹ කොටස් වෙළෙඳාමට බලපා තිබේ.

කෙසේ වෙතත් මනුෂ්‍ය ස්වභාවය අනුව අවදානම ගැනීමේ සීමාවක් තිබේ. තමන්ට ලාභ ලැබෙන අවස්ථාවේදී ඉවත් වීමට මාන බලති. කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවලදී දිගු කාලීන වාසි පමණක් නොව ලැයිස්තුගත සමාගම්වල මිල ගණන් වෙනස් වීම හේතු කොටගෙන දෛනිකව ලාබ උපයාගත හැකි අවස්ථා නිර්මාණය වේ. සුපරීක්ෂාකාරී ගනුදෙනුකරුවෝ එයින් ප්‍රයෝජන ලබති. කෙසේ වෙතත් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය සඳහා ස්ථාවරභාවයත් දිගු කාලීන ආයෝජන හා විශේෂයෙන් පිටතින් එනම් විදේශ රටවලින් කැඳවාගත හැකි ධනයත් ඉතාම වැදගත්ය.

• සියලු කොටස් මිල දර්ශකය දහසය දහස ඉක්මවීම

ඉතිහාසයේ පළමු වතාවට දර්ශක අගය ඒකක 16,226.00 ඉක්මවීම පසුගිය බ්‍රහස්පතින්දා (16) වාර්තා විය. මෙම වසර තුළ අවස්ථා දෙකක දී මෙම තැනට ළඟා වී තිබීම විශේෂත්වයකි. දහස ඉක්මවා තිබීම විශේෂත්වයකි. පසුගිය පසු වසර තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඉදිරියේ අවස්ථා ගණනාවක දී උච්චාවචනය සනිටුහන් කළේය. වේගයෙන් ඉහළ ගිය අතර පසුව පිරිහීමට ලක්විය. නොයෙක් හේතු එයට බලපා තිබුණු බව වෙළෙඳපොළ විශ්ලේෂකයන් පෙන්වා දී ඇත. ත්‍රස්තවාදය පරාජය කර රට තුළ සාමය තහවුරු කළ වහා දෙස් විදෙස් ආයෝජකයෝ මෙරට ඇති අවස්ථා හඹා පැමිණියහ. අලුත් ආණ්ඩු බලයට පත්වන විට ප්‍රතිපත්ති වෙනස්කම් සලකා තීරණ ගැනීමට යුහුසුළු විය ආර්ථිකය අර්බුදයකට පත්වුණු වේගයෙන් පිරිහීමට පත් වූ බවද මතක් කළ යුතුය.

ඉතිහාසය පරීක්ෂා කිරීමේදී 2011 වසරට පසු පළමු වතාවට 2014 වසරේ අගෝස්තු 20 දා වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 7,000 ඉක්මවා තිබුණි. 2011 මාර්තු මාසයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,000 ට සමීප වූ බව අමතක කළ යුතු නැත. ආයෝජන අවිශ්වාසය හේතු කොටගෙන ගනුදෙනුකරුවන්ගේ අවධානය ගිලිහී ගිය අතර 2011 වසරේ දෙසැම්බර් වන විට ඒකක 6,000 දක්වා සහ 2012 මැද වන විට 3,600 පහත වැටිණ. මෙම සියලු ප්‍රතිපීඩනය මැඩගෙන අද වන විට ළඟා කරගෙන ඇති ස්ථානය ආයෝජන අංශයෙන් කල්පනා කිරීමේදී ඉතාම වාසිදායකය.

කෙසේ වෙතත් නූතන ධනවාදී ආර්ථික රාමුව තුළ ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීමේදී කොටස් නිකුතුවට සැලකිය යුතු වගකීමක් ඇත. ව්‍යවසාය සඳහා ප්‍රාග්ධනය සපයා ගැනීමේදී කොටස් නිකුතුව එක ප්‍රධාන අංශයකි. කොටස් නිකුත් කරන්නට සූදානම් වන සමාගම සම්බන්ධයෙන් පවතින විශ්වාසය හා එම ව්‍යවසාය පවත්වාගෙන යන්නට රට තුළ ඇති පසුබිම අනුව ඉල්ලුමක් නිර්මාණය වේ. කොටස් වෙළෙඳපොළ ගනුදෙනු වර්ධනය වී ඇති නමුත් 2024 වසරේ දී මූලික කොටස් නිකුත් කිරීම් හතරක් පමණක් වාර්තා වී තිබුණි. එය ප්‍රමාණවත් නැත. අලුත් ධනය සොයන හා ආර්ථිකය ප්‍රසාරණය කරන පිළිවෙළක් වශයෙන් කොටස් නිකුතුව සඳහා නැඹුරුව අවශ්‍ය වේ.

• වසර සිය ගණනක ඉතිහාසය

1896 වසරේ දී කොටස් තැරැව්කරුවන්ගේ සංගමය යටතේ මෙරට කොටස් වෙළෙඳාම ආරම්භ කර ඇති බව ඉතිහාසය දක්වයි. 1904 දී ඉඩම් කොටස් වෙන්දේසි කිරීම ආරම්භ කළ අතර ක්‍රමයෙන් කොටස් හුවමාරුව සම්බන්ධ තැරැව්කරු බවට පත්ව තිබේ. 1985 දී කොළඹ සුරැකුම්පත් හුවමාරුව පිහිටුවා ඇත. විනිමය හා සුරැකුම් කොමිසම සංස්ථාගත කිරීමත් සමඟ විධිමත් කොටස් හුවමාරුවකට මාවත විවෘත වී ඇත. ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව පිහිටුවීම සහ ව්‍යවස්ථාව මුලින්ම හඳුන්වා දෙනු ලැබුවේ 1987 අංක 36 දරන සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත මගින් වන අතර එය අවලංගු කර 2021 අංක 19 දරන ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභා පනත මගින් ප්‍රතිස්ථාපනය කර ඇත.

කොටස් හුවමාරු අංශය කොළඹ කොටස් වෙළෙඳපොළ ලෙස නම් කරන්නේ 1990 වසරේදීය. පසුව මධ්‍යම තැන්පතු ක්‍රමය හඳුන්වා දුන් අතර එය ස්වයංක්‍රීය නිෂ්කාශන අංශයක් දක්වා පරිවර්තනය වී තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ මූලස්ථානය 1995 වසරේ දී කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ගෙන ඇත. මහනුවර, යාපනය, අම්බලන්තොට, මාතර, කුරුණෑගල, අනුරාධපුර සහ රත්නපුර නගරවල එහි ශාඛා කාර්යාල තිබේ. වාර්තා දක්වන පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා ලියාපදිංචි වී ඇති සාමාජික ගිණුම් සංඛ්‍යාව 9,30,072 කි. විශේෂඥ වාර්තා දක්වන පරිදි මෙරට බැංකු හා මූල්‍ය සාක්ෂරතාව ඉහළ මටට්මක පවතී. ජනගහනයෙන් සියයට අසූ අටකට වැඩි පිරිසකට බැංකු ගිණුම් ඇත. තවත් ප්‍රසාරණය කිරීමෙන් පසු සමාජයට ප්‍රතිලාභ නංවාගත හැකි වේ.

කොටස් වෙළෙඳපොළ ප්‍රසාරණය වීමෙන් පසු ශ්‍රී ලංකා මහ බැංකුව පවා අවිනිශ්චිතව පසුවේ. වාණිජ බැංකුවලට තරගකාරීව තැන්පත් ආකර්ශනය කරගන්නා සේ දක්වා ඇත. වාණිජ බැංකුවල පොලියට අය කරන රඳවා ගැනීමේ බද්ද හේතු කොටගෙන තැන්පත් රිද්මය සාපේක්ෂව අඩු වූ අතර එය මෙරට බදු ප්‍රතිපත්තිවල විෂමතාවයකි. අයෝජන අවස්ථා සීමාසහිත වන අතර කොටස් වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වේ. ඉදිරි අයවැය යෝජනාවලදී රජය ඉදිරිපත් කරන ප්‍රතිපත්ති ඉතාම වැදගත්ය. එයට අනුව ආයෝජන අවස්ථා පැතිරීමක් සිදුවුවහොත් කොටස් වෙළෙඳාමේ තියුණු බව සීමාවිය හැකි බවද සැලකිය යුතු අංශයකි.

• දේශපාලන ස්ථාවරභාවය

කොටස් වෙළෙඳාම තුළ හඳුනාගත යුතු සංකීර්ණ පැති ගණනාවක් තිබේ. කොටස් මිල දී ගෙන සමාගමක අධ්‍යක්ෂ මණ්ඩල නියෝජනයට අවස්ථාව ලැබේ. ධනය ඇති ඇතැම් පිරිස් කොටස් මිල දී ගන්නේ දීර්ඝ කාලීන වාසි අපේක්ෂාවෙනි. ආයතනික ආයෝජකයෝ ද එම කොට්ඨාසය තුළ සිටිති. සෑහෙන පිරිසක් සුළු වශයෙන් ඉහළ යන වහා කොටස් විකුණන අතර පසුව මිල අඩුවන විට නැවත මිල දී ගනිති. එය දක්ෂතාවයකි. තාවකාලික කොටස් හුවමාරුවට කැමැති වන ආයෝජකයන් මෙවැනි පැති දැනගෙන තිබීම අවශ්‍යය. දිනෙන් දින අඩු වැඩිවන හේතුව මෙම උපායශීලී සුළු ආයෝජකයන්ය. ආයතනික ආයෝජකයන් ඉතාම වැදගත් අතර ඔවුන් ස්ථාවරව පවත්වා ගැනීමට උපකාරී වේ. අනෙක් අතට විදේශ පාර්ශ්වයන්හි සහභාගීත්වය අවශ්‍යය. මෑත සති කිහිපය තුළ විදේශ ගනුදෙනු සීමා වී තිබුණි. විදේශිකයෝ මෙහි ලාබ උපයාගත හැකි පැති සහ ලබාගත හැකි කොටස් ප්‍රමාණයෙහි සීමා ගැන අවධානයක පසුවෙති. සමාගම් නීති අනුව විදේශිකයන්ට ලබාගත හැකි ප්‍රතිශතයක් ඇත. සමාගමකට ඇතුළු වූ පසු ක්‍රියාශීලී වීමට අප්‍රමාණවත්ය. නවීන යුගයට ගැලපෙන පරිදි සමාගම් නීති අවශ්‍ය කෙරේ.

වෙළෙඳපොළ ගනුදෙනුවලදී මෑත සිද්ධි කළු පැල්ලම් ඇති කර තිබේ. ලෝකයේ කොතැනත් මෙවැනි අපකීර්තිමත් සිද්ධි සිදුවෙයි. ඒවා පාලනය කළ හැකිය. තාක්ෂණ උපක්‍රම තිබේ. කොළඹ කොටස් වෙළෙඳපොළ අවස්ථා ගණනාවක දී දූෂිත ගනුදෙනු ගැන සොයා බලා විධිමත් පියවර ගෙන ඇති බවද සඳහන් කළ යුතුය. අලුත් ආණ්ඩුවක් සහ ආර්ථිකයේ පවතින ස්ථාවරභාවය කොටස් වෙළෙඳාමට තරගකාරීත්වය ඇතිකොට තිබේ. යුහුසුළුව වර්ධනය වන කොටස් වෙළෙඳාමේ ඉලක්කම් නිරීක්ෂණය කරන ආණ්ඩුවේ දේශපාලනඥයන් එය තමන්ගේ දක්ෂතාව බව ඉඟි කරන්නට ඉඩ තිබේ. එයට ඉක්මන් විය යුතු නැත. රට තුළ හොඳ ආයෝජන වාතාවරණයක් නිර්මාණය විය යුතු අතර ආර්ථිකය ගැන විශ්වාසය හා දේශපාලන ස්ථාවරභාවය වැදගත් වේ.

• සාරා කන්දෙගොඩ