දැන් පාරවල්වල දුවන්නේ පරණ වාහන බව අපි දනිමු. ඒ අලුත් වාහන ගෙන්වීම 2021 සිට තහනම් කර ඇති හන්දාය. වාහන පරණ වනවිට නිසි නඩත්තුවක් නැතිවිට ඉන්ධන දහනය අකාර්යක්ෂම වී කළුදුම පිටකරන බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඩීසල් වාහනවලට මේ තත්ත්වය බහුලව බලපායි. මෙසේ කළුදුම දාගෙන දුවන වාහන මහ පාරේ ඉඳහිට දැකගත හැකිය. එසේ කළුදුම පිටකිරීම නීතියෙන් තහනම්ය. නීතියට අනුව එවැනි වාහන මහ පාරේ ධාවනයටත් නුසුදුසුය. විස දුමාරය පිටකරමින් ධාවනය කෙරෙන එවැනි සියලු වාහන අසාදු ලේඛනගත (Black List) කිරීම සඳහා ඉදිරියේදී කටයුතු කරන බව මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.
කළු දුම පිටකරන වාහන හඳුනාගෙන ඒවා නැවත යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා ලබාදෙන දින 14 ක සහන කාලයකින් පසුව අවසන් සිහිකැඳවීමක් නිකුත් කර මෙම ක්‍රියාමාර්ගය ගැනෙන බව පැවසේ.
මෝටර් රථ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිසිය ඒකාබද්ධව විස දුම පිටකරන වාහන හඳුනා ගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් වැඩපිළිවෙළක් මේ වන විටත් ආරම්භ කොට තිබේ. විස දුම පිටකරන බවට මුල්වරට හඳුනාගත් අවස්ථාවේ එම වාහන සඳහා දින 14 ක කාලසීමාවකට අදාළව නඩත්තු නියෝගයක් ලබාදේ ඉන් වාහනයට මහා පාරේ ධාවනය කිරීමට තාවකාලික අවසරයක් ලැබෙන අතර එම කාලය ඉකුත් වීමට පෙර දෝෂය නිවැරදි කර නැවත පෙන්වා දුම් සහතිකය සමත් වී ධාවන අවසරය ලබාගත යුතු වේ.
මෙම පරීක්ෂා කිරීම් සිදු කරන්නේ මෝටර් රථ පරීක්ෂකවරයකුගේ සහභාගිත්වය යටතේ පොලිස් නිලධාරීන්ද යොදාගෙන වන අතර එහිදී පොලිස් නිලධාරීන් රියැදුරුගේ බලපත්‍රයත් මෝටර් රථ පරීක්ෂකවරයා විසින් ආදායම් බලපත්‍රයත් සිය භාරයට ගැනීම සිදුවේ. ඒ වෙනුවට තාවකාලික බලපත්‍ර නිකුත් කෙරේ. මේ ගැන දැනගැනීමට අප කතා කළේ මෝටර් රථ වාහන විමෝචන පරීක්ෂණ භාර අරමුදලේ (VET) අධ්‍යක්ෂ දසුන් ගමගේටය:
“වාහන අසාදුලේඛනගත කිරීම අප සෑම අවුරුද්දකම කරන දෙයක්. ගිය අවුරුද්දේ වාහන 8000 ක් පරීක්ෂා කර ඒ අතරින් 226 ක් බ්ලැක් ලිස්ට් කළා. ඊට පෙර අවුරුද්දේ වාහන 400 ක් පමණ අසාදුලේඛනගත වුණා. වාහන පරීක්ෂාවේදී කළු දුම නිකුත් කරන වාහනවල ආදායම් බලපත්‍රය රැගෙන අපි නඩත්තු නියෝගයක් නිකුත් කරනවා, දෝෂය නිවැරදි කර දින 14 ක් ඇතුළත නැවත පෙන්වන්න කියලා. ඒ අතර තාවකාලික බලපත්‍රයක් ලබා දෙනවා. සාධාරණ ඉල්ලීමක් කළොත් ඒ දින ගණන යළිත් දික්කර දෙනවා. ඒ කාලය තුළ දෝෂය නිවැරදි කර යළිත් අපට පෙන්විය යුතුයි. මෙසේ කළු දුම නිකුත් කරන වාහනවලින් සියයට 90 ක් පමණ යළිත් වරද නිවැරදි කරගෙන පාරේ ධාවනයට අවසර ලබා ගන්නවා. නමුත් සියයට 10 ක් වගේ සංඛ්‍යාවක් බ්ලැක් ලිස්ට් වෙනවා. බොහෝ විට මාර්ග පරීක්ෂාවේදී අහුවෙන වාහන නොවෙයි බ්ලැක් ලිස්ට් වෙන්නෙ. ජනතාව ඉදිරිපත් කරන පැමිණිලි අනුව පරීක්ෂා කරන වාහනයි. මෙසේ පාරේ අහිතකර අන්දමින් කළු දුම දාගෙන දුවන වාහන ගැන ජනතාවට පුළුවන් අපට දැනුම් දෙන්න.” යැයි ඔහු දේශයට පැවසුවේය.
කළු දුම දාගෙන දුවන ලංගම බස් රථ ඕනෑතරම් අප දැක තිබේ. රජයේ වාහනවලට දුම් සහතිකය අවශ්‍ය ද නැද්ද යන්න ගැන ජනතාව තුළ ඇත්තේ කුකුසකි. මේ ගැන විස්තර කළ අධ්‍යක්ෂ දසුන් පැවසුවේ “රජයේ වාහනත් ඇතුළුව සෑම වාහනයක්ම දුම් සහතිකය ලබාගෙන කළු දුම නැති බව තහවුරු කරගත යුතුයි. ලංගම වාහන, පොලිස් වාහන වගේම හමුදා වාහනවලටත් මේ සහතිකය ලබා දෙනවා. ‘යුහ’ අංක තහඩුව යටතේ දුවන හමුදා වාහනවලට අපි කඳවුරුවලට උපකරණ රැගෙන ගොස් පරීක්ෂා කිරීම් කර වායු විමෝචන සහතිකය නිකුත් කරනවා.” යනුවෙනි.
මෝටර් රථවාහන විමෝචන පරීක්ෂණ භාර අරමුදලට අනුව දුම් පරීක්ෂාවෙන් නිදහස් කරන වාහන වන්නේ විදුලි වාහන, හයිබ්‍රිඩ් වාහන, අලුත් වාහන (පළමු වසර පමණි), 1975.12.31 දාට පෙර නිපදවූ වාහන පමණි. නමුත් දුම් පරීක්ෂාව නොකළත් පරණ වාහනවලටත් කළු දුම් නිකුත් වන්නේ නම් එම දෝෂය නිවැරදි කරගත යුතුය.
දින 14 ක කාලසීමාවක් සඳහා ලබාදෙන නඩත්තු නියෝගයෙන් පසුව නැවත වාහනය මෝටර් රථ දෙපාර්තමේන්තු කාර්යාලයකට පෙන්වීම අනිවාර්ය කොට තිබේ. එහිදී වාහන දැඩිව පරීක්ෂාවකට ලක්කරන අතර, අවසන් සිහිකැඳවීමකින් පසුව මෝටර් රථ දෙපාර්තමේන්තු වාහන පද්ධතියෙන් අසාදුලේඛනගත කිරීම සිදුවේ. අසාදුලේඛනගත කිරීමෙන් පසුව එම වාහනය නැවත අලෙවි කිරීමට නොහැකිය. ලීසිං කටයුත්තක් සඳහා ඉදිරිපත් කිරීමට හැකියාවක් නැත.
වාර්ෂික දුම් පරීක්ෂාවට ද ඉදිරිපත් කිරීමට නොහැකි නිසා වාහනයේ ආදායම් බලපත්‍රය ලබාගත නොහැකි මට්ටමක් උදාවන අතර ඉන් සිදුවන්නේ එය මහ පාරේ ධාවනයට නුසුදුසු වීමයි.
මෝටර් රථ වාහන විමෝචන පරීක්ෂණ භාර අරමුදල සදහන් කරන්නේ කළු දුම නිකුත් කරන වාහන පිළිබඳ පැමිණිලි 070 3500 525 WhatsApp අංකයට යොමුකළ හැකි බවයි. අධික දුම් පිටවෙන වාහනයක් දුටුවහොත් එම වාහනය දුටු ස්ථානය, වේලාව, දිනය සහ වාහන අංකය සඳහන් කර එම වට්ස්ඇප් දුරකථන අංකයට යොමු කරන ලෙස වායු විමෝචන භාරකාර අරමුදල ජනතාවගෙන් ඉල්ලා සිටී. එම වට්ස්ඇප් අංකයට වාහනයේ ඡායාරූපයක් හෝ වීඩියෝ පටයක් ද යොමුකිරීමට පුළුවන.
මේ අතර සමහර රියැදුරන් සහ වාහන හිමිකරුවන් දුම් සහතිකය ලබාගැනීමේදී කූට තාක්ෂණික උපක්‍රම භාවිත කරන බවට ද තොරතුරු අසන්නට ලැබේ. පොලිසිය සහ මෝටර් රථ දෙපාර්තමේන්තු නිලධාරීන් එසේ හොරට ලබාගත් වාහන ගැන ද අවධානයෙන් දිවයින පුරා දැඩි පරීක්‍ෂණ සිදු කෙරේ.
පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ: “කළු දුම නිකුත් කිරීමෙන් පරිසරයට වාහනවලින් සිදුවන හානිය ගැන කථිකාව 1990 දශකයේ තදින් තිබුණා. මේ ගැන තොරතුරු සෙවීමට අපිත් මූලික වුණා. 2007 න් පසුව තමයි වාහන දුම් පරීක්ෂණ ක්‍රමය ලංකාවේ පටන්ගත්තේ. නමුත් මේක දූෂිත විදිහටත් සිදුවුණා. දුම් පරීක්ෂාවෙන් ගැලවෙන්න විවිධ උපක්‍රම භාවිත වුණා. කළු දුම නිකුත් වීමට හේතුව මිනිස්සු වාහන නිසි පරිදි නඩත්තු නොකිරීමයි. සයිලන්සරයෙන් කාබන්ඩයොක්සයිඩ් ඇතුළු කළු දුම් පිටවීම සෞඛ්‍යයටත් විශාල ප්‍රශ්නයක්. මේක වැළැක්වීමට යුරෝපීය රටවල නම් ඉන්ධනවල ප්‍රමිතිය ඉහළ නැංවීම සිදුවෙනවා. ඒ වගේම වාහනවල ප්‍රමිතිය වැඩි කිරීමත් සිදු වෙනවා. තෙල් දහනය නිසි පරිදි සිදු නොවන නිසා තමයි කළු දුම පිටවන්නේ. ඉන් වාහනයේ ධාවන කාර්යක්ෂමතාවයත් අඩු වෙනවා.
ඒ වගේම කළු දුම පිටවීම සිදුවන විට එය වැළැක්වීමට පුහුණු කාර්මිකයන් සිටීම වැදගත්. ලංකාවේ එහෙම විශේෂඥ කාර්මික පිරිස් අඩුයි. මෝටර් රථ වාහන විමෝචන පරීක්ෂණ භාර අරමුදලක් පිහිටුවා තිබෙනවා. එතැන ලොකු අරමුදලක් තිබෙනවා. කළු දුම වැළැක්වීමේ වැඩසටහන්වලට ඒ ආදායම යොදාගත යුතුයි. ඒක නිසි පරිදි සිදුවන බව පේන්නෙ නෑ.”
වාහන කළු දුමේ අන්තර්ගත වන්නේ කාබන්, හයිඩ්‍රොකාබන්, සල්ෆෙට් ඇතුළු රසායනික වන අතර මේවා ශ්වසනය කිරීම ශරීරයට අහිතකරය. මේ නිසා යුරෝපීය රටවල සහ සංවර්ධිත රටවල කළු දුම සම්බන්ධ නීතිය ඉතා තදින් ක්‍රියාත්මක වේ. ශ්‍රී ලංකාවේද මේ සම්බන්ධව කටයුතු කිරීමට වෙනම ආයතනයක් පවතින අතර එය වාහන වායු විමෝචන භාරකාර අරමුදල වේ. එහි මූලික පරමාර්ථය වනුයේ ශ්‍රී ලංකාවේ වාහන වායු විමෝචන පරීක්ෂණ වැඩසටහන වැඩිදියුණු කිරීම සහ නියාමනය කිරීමයි. දුම් සහතික නිකුත් කරන සමාගම් පරීක්ෂණ ගාස්තුවෙන් 10% ක මුදලක් වාහන වායු විමෝචන භාරකාර අරමුදල වෙත බැර කිරීම කළ යුතුය.
පසුගිය කාලයේ ලියාපදිංචි සමස්ත වාහනවලින් ලක්ෂ 55 ක් පමණක් වාර්ෂික බලපත්‍ර අලුත් කර ඇති අතර වාහන බලපත්‍ර නිකුත් කිරීමට අනිවාර්යයෙන්ම ගත යුතු වායු විමෝචන පරීක්ෂණ සහතික පසුගිය වසර කිහිපයේම ලක්ෂ 50 ත් 55 ත් අතර සංඛ්‍යාවක පවතී.
ඔබේ වාහනයෙත් කළු දුම් පිටවන්නේ නම් අදම හදාගන්න විමසිලිවත් වන්න.
• කුසුම්සිරි විජයවර්ධන