පාපන්දු ඉතිහාසයේ බිහිවූ විශිෂ්ට ක්‍රීඩකයෙක් වන බ්‍රසීල පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ ලුවිස් නසාරියෝ පසුගිය සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වී සිටියේය. කලක් පාපන්දු පුරාවෘතයක් බවට පත්ව සිටි රොනාල්ඩෝ ලුවිස් නසාරියෝ ශ්‍රී ලංකා සංචාරක දෙස් විදෙස් බොහෝ දෙනකුගේ ඉහළ අවධානයක් දිනාගත්තෙක් විය.
රොනාල්ඩෝගේ ශ්‍රී ලංකා ගමන පිළිබඳ අවධානය යොමුවන්නට පටන් ගත්තේ ශ්‍රී ලංකන් ගුවන් සේවය ඔහුගේ ආගමන පිළිබඳ තොරතුරු වාර්තා කිරීමත් සමඟයි. ගුවන් කාර්ය මණ්ඩලය සමඟ සිටින ඡායාරූපයක් ද බෙදාගත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ඔහු ගුවන් යානයට පැමිණීම සතුටක් යැයි පවසා තිබිණි.
“හිටපු බ්‍රසීලියානු වෘත්තීය පාපන්දු ක්‍රීඩකයා ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ සුවපහසු ගමනකට එක්විය.”
සිය සමාජ මාධ්‍ය පිටුවල ශ්‍රී ලංකන් ගුවන් සේවය සටහනක් තබා තිබුණි.
බ්‍රසීල සුපිරි පාපන්දු තරුව සිය පවුලේ සාමාජිකයන් ද සමඟ සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටි අතර, පසුගිය දා මෙරට ජාතික වනෝද්‍යානයක සංචාරයක නිරත වන ඡායාරූප සමාජ මාධ්‍ය වෙත මුදා හැරියේය. එසේම මෙම විශිෂ්ට ක්‍රීඩකයා හමුවූ ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකු ද අන්තර්ජාලය වෙත ඔහු සමඟ ගත් ඡායාරූප මුදාහැර තිබෙනු දැකගත හැකි විය.
ඒ සමඟම මුළු රටම ඔහුගේ ආගමනය පිළිබඳ දැනුවත් වූ අතර, බොහෝ දෙනෙක් මෙම විශිෂ්ට ක්‍රීඩකයා පිළිබඳ අතීත මතක ආවර්ජනය කරන්නට වූහ. බ්‍රසීල පාපන්දු ක්‍රීඩක රොනාල්ඩෝ 2002 වසරේ දී ලෝක පාපන්දු ශූරතාවය බ්‍රසීලයට උරුම කර දීමට දැක්වූ විශිෂ්ට දක්ෂතාව හේතුවෙන් එවර විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි රන් සපත්තුවට ද හිමිකම් කීමට සමත් වූ ක්‍රීඩකයාය.
එම වකවානුවේ ඔහුගේ කොණ්ඩා විලාසිතාව ලොව පුරා අතිශය ජනප්‍රිය විය. ශ්‍රී ලංකාවේ තරුණියන් සහ දරුවන් අතර ඉතා ජනප්‍රිය විලාසිතාවක් වූ අයුරු බොහෝ දෙනකුට හොඳ හැටි මතකය. කොණ්ඩය සහමුලින්ම කපා අඩසන්තක හැඩයේ කොටසක් නළලෙහි ඉතුරු කළ “රොනාල්ඩෝ කට්” අතිශය ජනප්‍රියත්වයට පත් වූයේය.
රොනාල්ඩෝ ලුවිස් නසාරියෝ ද ලිමා, 1976 සැප්තැම්බර් 22 වැනි දින බ්‍රසීලයේ දී උපන් අයෙකි. එතරම් ආර්ථික ශක්තියක් නොවූ පවුලක දරුවකු වූ රොනාල්ඩෝ වයස අවුරුදු එකොළහ පමණ වනවිට පාපන්දුව සඳහා දස්කම් දක්වන්නට සමත් විය. මෙම වකවානුවේ අධ්‍යාපනය ද අතහැර දැමූ ඔහු, සිය පියාගේ මගපෙන්වීම යටතේ පාපන්දු ලෝකයට ප්‍රවේශ වී ඇත. ලාබාල අවධියේ සිටම ලොව හොඳම පාපන්දු ක්‍රීඩකයා වීමේ සිහිනය ඔහු තුළ වූ බව වරක් ඔහු පැවසීය.
අනතුරුව බ්‍රසීල ක්‍රීඩා සමාජ වෙත අවතීර්ණ වූ රොනාල්ඩෝ ලාබාල අවධියේ සිටම දස්කම් පෙන්නුම් කළ අතර, එක් තරගයකදී ගෝල 11 ක් ලබා ඔහු දැක්වූ සමත්කමත් සමඟ බ්‍රසීල පාපන්දු සංගමය මෙම කුඩා ක්‍රීඩකයා දෙස සුවිශේෂී අවධානයක් යොමුකොට තිබුණි. ඒ අනුව අනූව දශකයේ මුල් වසරවලදී යොවුන් ක්‍රීඩකයකු ලෙස බ්‍රසීල ජාතික කණ්ඩායමට සුදුසුකම් ලැබීමට ඔහු සමත් විය.
රොනාල්ඩෝ, බ්‍රසීල ජාතික කණ්ඩායම වෙනුවෙන් 1994 සහ 2002 ලෝක කුසලාන ජයග්‍රහණයන්හි ප්‍රධාන භූමිකාවක් සිදු කළ චරිතයකි. ඔහුගේ විශිෂ්ට ගෝල වාර්තා කිරීමේ හැකියාව නිසාම R9 අන්වර්ථ නාමයෙන් පාපන්දු ලෝකයේ ඔහු අද ද හඳුන්වනු ලබයි. 1990 - 2000 කාලසීමාව තුළදී පාපන්දු ලෝකය වෙනස් කළ ක්‍රීඩකයා රොනාල්ඩෝ වන අතර, 2002 ලෝක කුසලානයේදී ඔහු ගෝල අටක් වාර්තා කරමින් වාර්තාගත දස්කම් දක්වන්නට සමත් විය.
FIFA World Cup 2 ක්, FIFA Confederations Cup 1 ක්, Copa América 1 ක්, ඔලිම්පික් ලෝකඩ පදක්කමක් සහ Ballon d’Or සම්මානය දෙවතාවක් දිනා ගැනීමට රොනාල්ඩෝ සමත් විය.
වෘත්තීය ක්‍රීඩා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් පසු, රොනාල්ඩෝ ව්‍යාපාරික ක්ෂේත්‍රයට පිවිස, බ්‍රසීලයේ ක්‍රීඩා සමාජයක් වන "Cruzeiro" හි හිමිකරුවෙක් ලෙස කටයුතු කරයි. මේ වන විට සිය විශ්‍රාම දිවිය උපරිම විනෝදයෙන් ගත කරන ඔහු ලොව පුරා විවිධ රටවල්වල සංචාරයන්ටද එක්වන අයුරු දැකගත හැකිය. සිය පවුල සමඟ සංචාරය කරන රොනාල්ඩෝ, වර්තමානයේ ඉතා සුහද ආදරණීය චරිතයක් ලෙස බොහෝ දෙනෙක් හඳුන්වති.
මෙම සුවිශේෂී ක්‍රීඩකයාගේ ශ්‍රී ලංකා සංචාරය සෑම අතින්ම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට විශාල පිටුබලයක් සපයන බව අවසානයේ සඳහන් කළ යුතුය. මේ පිළිබඳව නිර්මාණය වන පුවත් සංචාරකයන්ගේ ද අවධානයට ඉතා අගනේය. කෙසේ වෙතත් මෙවන් සුවිශේෂී පුද්ගලයන්ගේ පැමිණීම, ක්‍රමෝපායිකව මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට භාවිත කිරීමට වගකීම් ස්ථාන කටයුතු කරන්නේ ද යන්න පිළිබඳ සැක සංකා මතු වේ.
පසුගිය දිනවල ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු වන ජොන්ටි රෝඩ්ස් පවා මෙරට සංචාරයකට එක්ව සිටින අයුරු දැකගත හැකි විය. ඔහු මෙරට සංචාරය සඳහා ත්‍රීරෝද රථයක් යොදා ගැනීම ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනකුගේ අවධානය දිනාගත් සිදුවීමකි. කෙසේ වෙතත් එම අවස්ථාව ද නිසි පරිදි සංචාරක ප්‍රවර්ධනය සඳහා භාවිත නොවුණු බව ඉතා පැහැදිලි කරුණකි. එම නිසාම ලෝකය පුරා විසිරුණු විශිෂ්ටයන් ශ්‍රී ලංකාව තුළ සිදු කරන සංචාර හරහා ප්‍රචාරක ප්‍රවර්ධන වැඩසටහන් සිදුකර ගැනීමට බලධාරීන් මීට වඩා උනන්දු විය යුතු යැයි අවසානයේ සටහන් කොට තබමු.
• චමිඳු නිසල් ද සිල්වා