2005 වසර ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් වසරක් වූයේය. උණුසුම් තරගයක් සහිත ජනාධිපතිවරණය පැවැත්වීමට එම වසරේ සැලසුම් කොට තිබිණි. ප්‍රධාන අපේක්ෂකයන් වූයේ එවකට අගමැති ධුරය හෙබවූ මහින්ද රාජපක්ෂ සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ යන දෙදෙනාය. එහි ප්‍රතිඵල පිළිබඳව ඉන්දියාව බොහෝ දුරට උනන්දු වූයේ කවුරු ඉන් ජයග්‍රහණය කළත්, අවම වශයෙන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව බලය විමධ්‍යගත කරවීමට දමිළ දේශපාලන පක්ෂ වලින් ඉන්දියාවට දැඩි බලපෑමක් එල්ල වූ නිසාය.
ස්කැන්ඩිනේවේනියානු රටවල මැදිහත්වීමෙන් සිදු කළ සාම සාකච්ඡා සහ ශ්‍රී ලංකා රජයේ වැනෙන සුළු දේශපාලන ස්ථාවරය හේතු කොටගෙන ත්‍රස්තවාදයට එරෙහි ශ්‍රී ලංකාවේ යුද්ධය තවත් පැත්තකට හැරී තිබිණි. යුක්ති සහගත හා සාධාරණ බව පෙනී යන මාවතකට පා තැබිය යුතු නිසා ඉන්දියානු රජයට අමතර පීඩනයක් එල්ල වී තිබිණි. එල්ටීටීඊය පෝෂණය කළේ ඉන්දියාව බවත් එම නිසා කිසිවකුට පාලනය කළ නොහැකි අද්භූතයකු බවට පත් වූ ත්‍රස්තවාදී ව්‍යාපාරයකට ඉන්දියාව ගාමක බලය දුන් බවටත් සිංහල ජාතිකවාදී සංවිධානවලින් ඉන්දියාවට චෝදනා එල්ල වූයේය.
2005 ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් ශ්‍රී ලංකාවේ පස්වැනි ජනාධිපතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ බලයට පත්වනු පෙනිණි. ඉන්දියාව ජනාධිපතිවරණ ප්‍රතිඵල දුටුවේ අන්තිම මොහොතේ බැවින් මහින්ද රාජපක්ෂ සමඟ කටයුතු කිරීමට හිත හදාගත් බව විශ්වාස කෙරේ. ජනාධිපතිවරණ සමීක්ෂණ මෙන්ම, කොළඹ ඉන්දියානු මහ කොමසාරිස්වරිය වූ නිරුපමා රාවෝ මහත්මිය ද අගමැති මහින්ද රාජපක්ෂ ඉතා කුඩා බහුතර ඡන්ද සංඛ්‍යාවකින් ජය ගනිතැයි පුරෝකථනය කර තිබිණි. ඇතැම් විට කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් මුදල් යොදවා කළ දීපව්‍යාප්ත සමීක්ෂණයකින් බලාපොරොත්තු නොවූ මෙම ප්‍රතිඵලය ලැබෙතැයි අපේක්ෂා කරන්නට ඇත. එසේම මහ කොමසාරිස්වරයා උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලින් ප්‍රකාශ වනුයේ ඉතා අඩු සමස්ත ඡන්ද සංඛ්‍යාවක් බව දැන සිටින්නට ඇත.
ජනතා විමුක්ති පෙරමුණෙන් හා අනෙකුත් ජාතිකවාදී කණ්ඩායම්වලින් ලැබුණු සහයෝගය හේතු කොටගෙන එය සාධාරණ වේවා හෝ නොවේවා, මහින්ද රාජපක්ෂ ජාතිකවාදියකු ලෙස හංවඩු ගැසුණි. එම නිසා එවැනි ශ්‍රී ලාංකික නායකයකු සමඟ කටයුතු කිරීමේදී ඉන්දියාවට ප්‍රවේශම්සහගත වන්නට සිදු වූයේය. සිරිතක්ව පැවති නිසා 2005 දෙසැම්බරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ සිය ප්‍රථම නිල සංචාරය සඳහා ඉන්දියාවට ගියේය. සියලුම කටයුතු පැවරී තිබුණේ එවකට විදේශ අමාත්‍ය මංගල සමරවීර වෙත බැවින් ඉහළ මට්ටමේ සාකච්ඡා උදෙසා ඔහුට අසීරු කාලයක් ගත කරන්නට සිදුවිය.
ඉන්දියාවට සංවේදී වූ බොහෝ කාරණා සාකච්ඡා මේසයට ගතයුතුව තිබිණි. පළාත්වලට බලය බෙදා හැරීම, උතුරු සහ නැගෙනහිර පළාත්වල ශ්‍රී ලාංකීය සන්නද්ධ හමුදාවල ක්‍රියාකාරකම් සහ දමිළ පුරවැසියන්ගේ ජීවිතවල බලාපොරොත්තු සුන් කළ විනාශ, ඊට අදාළ විය. මෙම කාරණා විශේෂයෙන්ම උතුරු සහ නැගෙනහිර පළාත්වල වාසය කරන ශ්‍රී ලාංකිකයන්ගේ යහපැවැත්මට තීරණාත්මක ලෙස බලපාන අතිශය සංවේදී කාරණා වූයේය.
අලුත බලයට පත්වුණු ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හමුවිය යුතු නොවන බවට එවකට ඉන්දියානු අගමැති ආචාර්ය මන්මෝහන් සිංට එරෙහිව තමිල්නාඩුවෙන් මෙන්ම ශ්‍රී ලංකාවේ දමිළ දේශපාලන පක්ෂවලින්ද විරෝධතා එල්ල වූ බව යළි මතකයට නැගේ. සුළුතර සික් ප්‍රජාවක සාමාජිකයකු වූ සිං තුළ ශ්‍රී ලාංකීය දමිළ ජනයා කෙරේ සහානුකම්පාවක් ඇතිවූවා විය හැකිය. මෙම සහානුකම්පාව එවකට ඉන්දියානු මුදල් අමාත්‍යවරයා වූ පී. චිදම්බරම් වෙතින් එල්ල වූ බලපෑම නිසා වඩාත් ශක්තිමත් වන්නට ඇත. ඔහු දමිළ ප්‍රභවයක් ඇත්තකු වූ නිසාත් තමිල්නාඩුවේ උද්ඝෝෂණය කළ දමිළ පක්ෂ නිරන්තරයෙන්ම සහතික කොට කියා සිටියේ ශ්‍රී ලංකාවේ දමිළ ජනතාවට ජනවාර්ගික අසාධාරණකම් සිදුවනවා පමණක් නොව සිංහල සන්නද්ධ හමුදා අතින් ඔවුන් සමූල ඝාතනයට ද ලක්වන්නේය යනුවෙනි.
වඩාත් විශ්වාසය තැබිය හැකි මූලාශ්‍රයක් පෙන්වා දුන්නේ ඉන්දියාව විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පළමු නිල සංචාරය ඉන්දියාව වෙත යොදාගනු ලැබූවේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ක්‍රියාත්මක කිරීමේ ස්ථාවරය සහතික කරවා ගැනීමේ උත්සාහය දැරීම උදෙසා බවය. මහින්ද රාජපක්ෂ බහුතර සිංහල බෞද්ධ ජනතාවගේ විශ්වාසය දිනා ඇති බව ඉන්දියාව දැන සිටියේය. බහුතර සිංහල බෞද්ධ ජනතාවට ත්‍රස්තවාදය නිමා කරවීමට අවශ්‍ය වූ අතර මෙම නොරිස්සුම් ගැටලුවට ජනාධිපති රාජපක්ෂ දේශපාලන විසඳුමක් රැගෙන එතැයි ඉන්දියාව විශ්වාස කළේය. රටට සාමය උදා කරලීම සඳහා එසේ කරතැයිද සිතා බහුතර සිංහල බෞද්ධ ජනයා ද එය අනුමත කළහ.
වීදි සටන්කරුවකු ලෙස ජන ප්‍රසාදය දිනාගත් තමාට වඩා වයසින් බාල ශ්‍රී ලාංකීය ජනාධිපතිවරයාව ඉන්දියානු අගමැතිවරයා හසුරුවා ගත්තේ මෙම පසුබිම යටතේය. ආචාර්ය මන්මෝහන් සිං වඩාත් සංවේදී 13 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අතිශය ප්‍රවේශම් සහගත ප්‍රවේශයක් අනුගමනය කළ බව වාර්තා වේ. වඩාත් මෘදු ගුණයෙන් යුතු මනුෂ්‍යයකු වූ ආචාර්ය සිං, මෙම කාරණය ශ්‍රී ලාංකීය ජනාධිපතිවරයා ඉදිරියේ තැබුවේ බලය විමධ්‍යගත කිරීම සාධාරණීකරණය කරමිනි. ඉන්දියානු අගමැතිවරයා මෙම ගැටලුව දෙස බලන්නට ඇත්තේ ඉන්දියාවේම දෘෂ්ටිකෝණයෙනි. විවිධ ජනවර්ගවලින් යුතු විශාල රටක පාලනයේ යෙදෙමින් ග්‍රාමීය ජනතාව වෙත ප්‍රවේශ වීම පහසු කාර්යයක් නොවන බැවින් බලය විමධ්‍යගත කිරීම සාධාරණීකරණය කිරීම ඔහුට කළ හැකි විය. ශ්‍රී ලංකාව උදෙසා පළාත් වෙත බලය විමධ්‍යගත කිරීමේ පිළිගත හැකි හොඳම පිළිවෙත 13 වැනි සංශෝධනය වීද?
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පළමු නිල සංචාරයෙන් පසුව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කෙරිණි. කෙසේ වුවද එයින් ශ්‍රී ලංකා රජයට කිසිදු අපහසුවකට (ලජ්ජාවකට) හෝ අසීරු තත්වයකට මුහුණ පාන්නට සිදු නොවූයේය. ඒ සම්බන්ධයෙන් උනන්දු වූ සියලු දෙනා වඩාත් වැඩි උනන්දුවකින් ඒකාබද්ධ නිවේදනය දෙස බැලූයේ නායකයන් දෙදෙනා අනුගමනය කිරීමට එකඟ වූ කාරණා දැක්වෙන ලේඛනය එය නිසාය. එම ප්‍රකාශයේ සෑම වචනයක්ම අර්ථවත් වූයේය. සැක සහිත යම් වචනයක් එහි වේ නම් එය දැවැන්ත උද්ඝෝෂණයකට තුඩු දී තිව්‍ර විවාදයකට හේතු වන්නට ඉඩ තිබිණි.
ආචාර්ය මන්මෝහන් සිංට ඉතා වැදගත් හා බහු ආංශික සම්බන්ධතාවක් ශ්‍රී ලංකා ආණ්ඩුව සමඟත් එහි නායකයන් සමඟත් ඔහුගේ ධුර කාලය වූ 2004 සිට 2014 දක්වා තිබිණි. ඔහුගේ බලපෑම සහ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහය රටවල් දෙක අතර ද්විපාර්ශ්වික බැඳීම් හැඩගැස්වීමේලා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරලූයේය. ඔහුගේ මූලික උනන්දුව ඉන්දියාවේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යොදවන අතරතුර ශ්‍රී ලංකාවේ කිසියම් අස්ථාවරභාවයක් වේ නම් එයින් ඉන්දියාවට ද දැඩි තර්ජනයක් එල්ල විය හැකි බවද ඔහු තේරුම් ගත්තේය.
ද්විපාර්ශ්වික සම්බන්ධතා තුලිතව පවත්වා ගැනීමේ ඔහුගේ උත්සාහය කිසිම අයුරකින් පහසු නොවූයේය. 2007 පමණ සිදුවූ ජනාධිපති රාජපක්ෂගේ එක් ද්විපාර්ශ්වික ප්‍රවේශයක දී, ආචාර්ය මන්මෝහන් සිං හා ජනාධිපති රාජපක්ෂගේ හමුව නිල ඡායාරූප ශිල්පීන් විසින් ආවරණය නොකරන තරමට ඉන්දියානු රජයට දැඩි බලපෑම් එල්ල විය. එවැනි රැස්වීම් රහසේ පවත්වන්නට ඉන්දියාවට සිදුවූයේ සිය දමිළ දේශපාලන සන්ධාන සමඟ තම රටේ මැදිහත් බව පවත්වා ගන්නටය. පැවති තත්වයේ ස්වභාවය සහ බැරෑරුම්කම ජනාධිපති රාජපක්ෂ වටහාගත් නමුත් කිසිදු ප්‍රකාශයක් ඒ සම්බන්ධයෙන් නොකළ බව නිරීක්ෂකයෝ කියා සිටියහ.
ආචාර්ය සිංගේ දස අවුරුදු පාලන කාලය ශ්‍රී ලංකාවේ තිව්‍ර දේශපාලන හා හමුදාමය ක්‍රියාකාරකම් සනිටුහන් වූ දීර්ඝ කාල පරිච්ඡේදයක් විය. විශේෂයෙන්ම එල්ටීටීඊය සමඟ පැවති යුද ගැටුම් තිව්‍ර ලෙස සිදුවූයේ එම කාලයේය. ශ්‍රී ලංකා භූමියෙන් ත්‍රස්තවාදය තුරන් කර දැමීම උදෙසා ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ට ඇතැම් සහයෝගය ලබා දෙන අතරතුර ආචාර්ය සිං යටතේ පැවති ඉන්දියානු රජය ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහයෝගය දෙමින් අතිශය තුලිතභාවය පවත්වාගෙන ශ්‍රී ලංකාවේ දමිළ පුරවැසියන් වෙනුවෙන් පෙනී සිටීම හා යුද ගැටුම් උදෙසා සාමකාමී විසඳුම් ද ප්‍රවර්ධනය කරනු ලැබීය. ඉන්දියාව කිසිදු අයුරක යුද ආම්පන්න සැපයීම නොකළ නමුදු ශ්‍රී ලාංකීය සන්නද්ධ හමුදාවන්ට ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ යුද හමුදා පාසල්වල පුහුණුව ලබා දුන්නේය. කෙසේ වුවද ඉන්දියාවේ දමිළ දේශපාලනඥයන්ගෙන් එල්ල වූ විරෝධතා හේතු කොටගෙන ඉන්දියානු රජයට ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදාවන්ට ලබා දෙන පුහුණු වැඩසටහන් සංඛ්‍යාව අඩු කරන්නට සිදුවිය.
ආචාර්ය සිං ශ්‍රී ලංකාව සමඟ පවත්වාගත් සම්බන්ධතාවයේ එක් මූලික අංශයක් වූයේ එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ ඔහුගේ කාර්ය පිළිවෙළයි. එම කාර්යය ක්‍රියාකාරීව පවත්වා ගැනීමට ආචාර්ය මන්මෝහන් සිං යොදාගත් යාන්ත්‍රණයෙන් එය පැහැදිලිව පෙනී යයි. නිලධාරී මට්ටමෙන් ශ්‍රී ලංකාව වඩාත් සුසංයමයෙන් කටයුතු කරනු ලැබුවේ ඉන්දියානු අගමැතිවරයා ශ්‍රී ලාංකීය නායකයන් සමඟ කටයුතු කිරීමට දැඩි ලෙස උනන්දු වූ නිසාය.
මන්මෝහන් සිංගේ පාලන කාලයේ ගොඩනැගූ ඉන්දියා - ශ්‍රී ලංකාව නියෝජනය කළ බැසිල්/ ගෝඨාභය, ලලිත් වීරතුංග යන ට්‍රොයිකාව දෙරට අතර සාකච්ඡාමය සහයෝගීතා නැංවීම අරමුණු කොටගත් වැදගත් ද්විපාර්ශ්වික යාන්ත්‍රණයක් විය. එය සුපුරුදු විදේශ අමාත්‍යංශ කටයුතුවලින් බැහැරව දෙරටේ නායකත්වය අතර ගැඹුරු අවබෝධය ප්‍රවර්ධනය කිරීම සහ තීරණ ගැනීම කඩිනම් කිරීමේ අරමුණෙන් ආරම්භ කළ කටයුත්තකි.
ශ්‍රී ලාංකීය ඉතිහාසයේ තීරණාත්මක කාල පරිච්ඡේදයක් තුළ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ආලොක් ප්‍රසාද් මූලික කාර්යභාරයක් ඉටු කළේය. ඉතා අසීරු සමයක ද්විපාර්ශ්වික සම්බන්ධතා තුලිතව පවත්වා ගැනීම තහවුරු කිරීම උදෙසා ඔහුට අතිශය ගෞරව සම්මානයක් හිමිවිය යුතු වේ. ට්‍රොයිකාව පවා ඔහුගේ පූර්ණ සහයෝගයෙන් දියත් වූවකි. ත්‍රස්තවාදයට එරෙහි ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන අදියරේදී අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ දමිළ ජනයා යළි පදිංචි කොට සහන සැපයීමේලා ඔහු දීර්ඝ කාලයක් මැදිහත් වූයේය. අවශ්‍ය අයට මානුෂීය ආධාර සැපයීම තහවුරු කිරීම හා යළි පදිංචි කිරීමේ ක්‍රියාදාමයට පහසුකම් සැපයීමේලා ඔහු දැරූ වෑයම අතිශය තීරණාත්මක වූයේය.
ඊට අමතරව දෙරට අතර සාමය ප්‍රවර්ධනය, ස්ථාවරභාවය හා ආර්ථික සහයෝගිතාව පවත්වා ගැනීම අරමුණු කරගත් ක්‍රියාමාර්ග හා ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවන්හි ඔහු නිරත වූයේය. අගමැති මන්මෝහන් සිං සමඟ ඉතා සමීපව වැඩ කිරීම ප්‍රිය කළ ඔහු සුමට ද්විපාර්ශ්වික සම්බන්ධතාවක් පවත්වා ගැනීමේදී අවශ්‍ය වන තුලිතභාවය හා මධ්‍යස්ථ බව ගෙන ඒමට වෙහෙස නොබලා වැඩ කළේය. දමිළ ජනතාවගේ දුක් ගැනවිලිවලට විසඳුම් ලබාදීමේ හා ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද සමයේ කළ ඉදිකිරීම් ඇතුළු සංහිඳියා වෑයම ඔහුගේ පාලන කාලය තුළ සනිටුහන් කළ කැපවීම් වේ.
ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් රැස්වීම් කිහිපයකදී හැරුණුකොට බහු ආංශික රැස්වීම්වලදී ඉන්දියාව නිතරම ශ්‍රී ලංකාවට සහයෝගය දුන්නේය. ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයට එරෙහිව කළ යුද්ධයේ අවසාන අදියරේදී ඉහළ මට්ටමින් දේශපාලන සාකච්ඡාවල යෙදෙමින් දෙරටේ නායකයෝ නිරන්තර සන්නිවේදනය පවත්වා ගත්හ. ආචාර්ය සිංගේ රජය මානුෂීය සහයෝගය ලබා දී පශ්චාත් යුද අවධියේ යළි ගොඩනැගීම් කරන විට දමිළ ජනතාවගේ දුක් ගැනවිලිවලට විසඳුම් ලබාදීමේ වැදගත්කම අවධාරණය කරනු ලැබුවේය.
ආචාර්ය සිංගේ බලපෑම ක්ෂණික දේශපාලන හා යුදමය කාර්යයන්ගෙන් ඔබ්බට යොමු වූවක් විය. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ආර්ථික සහයෝගීතාව වර්ධනය කිරීම වෙනුවෙන් ඔහු ප්‍රබලව පෙනී සිටියේය. ඔහුගේ ප්‍රතිපත්ති, වෙළෙඳාම, ආයෝජන සහ සංස්කෘතික හුවමාරු වර්ධනය කිරීම හා දෙරටේ ආර්ථික බන්ධනයට පහසුකම් සැලසුවේය.
ඔහු පදවි දැරූ කාලයට කලින් අත්සන් කරනු ලැබූ ශ්‍රී ලංකා - ඉන්දියා නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධ ද්විපාර්ශ්වික වෙළෙඳාමේ සැලකිය යුතු වර්ධනයක් ඔහුගේ පාලන කාලය තුළ දක්නට ලැබේ.
නායකයන් දෙදෙනා අතර පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවල ප්‍රතිඵලයක් වූයේ සමවබෝධිත ආර්ථික සහයෝගිතා ගිවිසුම (Comprehensive Economic Partnership Agreement හෙවත් (CEPA) සෙපා ගිවිසුම එළි දැක්වීමයි. 2004 – 2014 කාලය ඇතුළත ඒ සම්බන්ධයෙන් අවසාන තීරණවලට එළඹුණේ නැත.
විශ්වාසදායී ආරංචි මාර්ගවලින් පෙන්වා දෙනු ලැබූයේ මෙම ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අවසාන තීරණයකට එළඹීමට අපහසු වූයේ ඉන්දියානු ආර්ථිකයේ සහ ශ්‍රම බලකායේ සුවිසල් බව හේතුවෙන් ශ්‍රී ලංකාව සතු වන ආර්ථික අවස්ථාවන්ට හානි වෙතැයි පැවති බිය නිසාය. වෙනත් වචනවලින් කිවහොත් සෙපා ගිවිසුම ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලාංකිකයන් සතුව ඇති ආර්ථික අවස්ථා හා රැකියා අවස්ථා ඉන්දියානුවන් විසින් උදුරා ගන්නට ඉඩ තිබේ යැයි ශ්‍රී ලංකාව තර්ක කළේය.
2004 – 2014 අතර කාලය තුළ දෙරටේ නායකත්වය අතර සම්බන්ධතා පවත්වා ගන්නට අසීරු වූ අවස්ථා නොතිබුණාම නොවේ. අභියෝගාත්මක අවස්ථා කිහිපයක්ම එළඹී තිබිණි. එක් වැදගත් ගැටලුවක් වූයේ ආචාර්ය සිංගේ සභාග රජයේ ප්‍රධාන පක්ෂයක් වූ ද්‍රවිඩ මුන්නේත්‍ර කසාගම් (DMK) පක්ෂයෙන් එල්ල කළ බලපෑමයි. ත්‍රස්තවාදයට එරෙහිව ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති සමයේ දමිළ පුරවැසියන්ගේ අනතුරුදායක තත්වය ගැන DMK පක්ෂය නිතරම කතා කළේය. ඔවුහු නිතරම ඉන්දියානු රජය වඩාත් ප්‍රබල ස්ථාවරයක් වෙත තල්ලු කර දැමූහ.
2008 ඔක්තෝබරයේ දී DMK පක්ෂය ශ්‍රී ලංකාවේ දමිළ ප්‍රශ්නය සම්බන්ධයෙන් UPA (එක්සත් ප්‍රගතිශීලී සන්ධාන) රජයට දෙන සහයෝගය ඉවත් කරගන්නා බවට තර්ජනය කළේය. යුද්ධය අතරතුරදී මියයන සිවිල් වැසියන් සංඛ්‍යාව අවම විය යුත්තේය යන්න තහවුරු කර ගැනීමට මේ නිසා ඉන්දියාව දැඩි රාජ්‍ය තාන්ත්‍රික වෑයමක් දැරුවේය. උතුරේ යුද්ධය හමාර වෙමින් තිබියදී තමිල්නාඩුවෙන් මන්මෝහන් සිං අගමැතිතුමාටත් සෝනියා ගාන්ධි මැතිනියටත් දකුණු ඉන්දියාවෙන් එල්ල වූ බලපෑම් උග්‍ර වෙද්දී එරට ජාතික ආරක්ෂක උපදේශක එම්.කේ. නාරායනන් සහ විදේශ ලේකම් ශිවශංකර් මෙනන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන්ගේ එකම ඉල්ලීම වූයේ යුද්ධය නතර කරන ලෙසය. එහෙත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තමන් ත්‍රස්තවාදී යුද්ධය කිසිසේත්ම නොනවත්වන බවයි. එවිට ඔවුහු සිය දෙවැනි ඉල්ලීම සිදු කළහ. එනම් යුද්ධ කරන්නේ නම් බරඅවි භාවිත නොකරන හැටියට කළ ඉල්ලීමයි. මෙම ඉල්ලීම කළේ 2009 අප්‍රේල් මස 29 දින බව මට මතකය. අනතුරුව මහින්ද රාජපක්ෂ ඊට එකඟ විය. එම පණිවුඩය රැගෙන නාරායන් හා ශංකර් මෙනන් නවදිල්ලියට පිටත් වූහ.
කෙසේ හෝ යුද්ධයේ අවසන් සතිය තුළ (2009 මැයි මාසයේ) නවදිල්ලිය ඒ ගැන දැඩි නිහඬ බවක් පෙන්වීය. මන්මෝහන් සිං මහතා මෙන්ම සෝනියා ගාන්ධි මහත්මිය ද ශ්‍රී ලංකාව සම්බන්ධව නිහඬ ප්‍රතිපත්තියක් ගෙන යන අතර උතුරේ යුද්ධය 2019 මැයි 19 දා ජයග්‍රාහීව හමාර විය.
පසුව අභියෝග පැවතියේ වුවද ආචාර්ය සිංගේ රජය කලාපයේ සාමය හා ස්ථාවරත්වය පවත්වා ගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික වෑයමට සහයෝගය දෙමින් ප්‍රාදේශීය වශයෙන් එන දේශපාලන පීඩනය තුලිත කරගනිමින් ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධතා ක්‍රියාකාරීව පවත්වා ගැනීමට වග බලා ගත්තේය.
ආචාර්ය සිං ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉටුකළ රාජ්‍ය තාන්ත්‍රික හා ආර්ථික උත්සාහයට අදාළ කාර්ය කොටසට අමතරව ඔහුගේ මානුෂීය බව, බුද්ධිය හා රාජ්‍ය සේවය වෙනුවෙන් කැපවීම යන ගුණාංග ද සිහිපත් වන සුළුය. ජාත්‍යන්තර සබඳතාවන්ට අදාළ ඔහුගේ ප්‍රවේශය තුළ කැපී පෙනුණු සමානත්වය හා නිපුණත්වය බොහෝ ශ්‍රී ලාංකිකයන් තුළ නින්නාද වන්නකි.
ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ දුම්රිය මාර්ග, යටිතල පහසුකම් නවීකරණය සහ යළි ගොඩනැගීමට සහයෝගය දෙමින් ආචාර්ය මන්මෝහන් සිං රජය උතුරේ දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ආරම්භ කිරීම වැදගත් කාර්යයකි. එම ව්‍යාපෘතියේ අරමුණ වූයේ ත්‍රස්තවාදී යුද සමයේ හානි වූ දුම්රිය මාර්ග යළි ප්‍රතිස්ථාපනය කිරීම හා කලාපීය සම්බන්ධතා වර්ධනය කිරීමයි.
එම ව්‍යාපෘතියට පහත සඳහන් ප්‍රධාන කාරණා ඇතුළත් විය.
දුම්රිය මාර්ග ප්‍රතිසංස්කරණය – මහව සිට ඕමන්ත දක්වාත් (කි.මී. 128 ක්) මහව සිට අනුරාධපුරය දක්වාත් (කි.මී. 251) දුම්රිය මාර්ග මුළුමනින් ඉවත් කොට යළි ඉදිකිරීම මෙම ව්‍යාපෘතියට ඇතුළත් වූයේය. මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කළේ IRCON යන ඉන්දියානු රාජ්‍ය අංශයේ සමාගමකි. එය රේඛීය ණය (ඩොලර් මිලියන 318) ආධාර යටතේ සිදුවිය.
නවීකරණය – දුම්රිය මාර්ගයේ කි.මී. 330 ක කොටසක විශ්වාසදායී බව සහ ආරක්ෂාව තහවුරු කෙරෙන සංඥා ක්‍රමයක් හා දුර සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීම ඊට ඇතුළත් විය.
සමස්තයක් වශයෙන් ආචාර්ය මන්මෝහන් සිං ශ්‍රී ලංකා රජය සමඟ හා එහි නායකයන් සමඟ පැවැත්වූ සම්බන්ධතාව ආර්ථික සහයෝගීතාවයේත් ජනතාවගේ යහපැවැත්ම උදෙසා වූ අව්‍යාජ සැලකිලිමත්භාවයේත් අග්‍රගණ්‍ය වූ රාජ්‍ය තාන්ත්‍රික සුසංයෝගය සනිටුහන් කරන්නක් වූයේය.
ද්විපාර්ශ්වික සම්බන්ධතා ගොඩනැගීමේලා ඔහු දැක්වූ දායකත්වය ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර සම්බන්ධතා වෙත සදාකාලික බලපෑමක් ශේෂ කරනු ඇත.
• පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ