සියලු පළාත්වල තෙවැනි වාර පරීක්ෂණ මේ දිනවල පැවැත්වෙන අතර උතුරුමැද පළාතේ දරුවන් පසුගිය 6 දා පාසල කරා ආවේ විභාගයට මුහුණදීමේ අරමුණ ඇතිවය. දින ගණන් නිදි වරමින් වාර විභාගයට සූදානම් වූ ඔවුන්ගේ එකම අරමුණ වූයේ හොඳින් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමය. අනාගතය පිළිබඳ බලාපොරොත්තු රැසක් ඔවුන් තුළ පැවතියේය. 11 වැනි ශ්‍රේණියේ දරුවන් එම විභාගයට මුහුණ දුන්නේ ඉදිරියේ පැවැත්වීමට නියමිත අපොස සා.පෙළ විභාගයට පෙර සූදානමක් ලෙසිනි.
උතුරුමැද පළාතේ අධ්‍යාපන කලාප 8 ක කොට්ඨාස 30 ක 11 වැනි ශ්‍රේණියේ තුන්වැනි වාර පරීක්ෂණය පැවැත්වීමට නියමිත විය. එදින එම දරුවන්ට පිළිතුරු ලිවීමට තිබුණේ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයටය. එහෙත් ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කරමින් අසන්නට ලැබුණේ එම ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය හරහා කලින් පිටවීම හේතුවෙන් එය අවලංගු කර ඇති බවයි. එම ප්‍රශ්න පත්‍රය උතුරුමැද පළාතේ පාසල් දරුවන් 22,000 ක් මුහුණ දීමට තිබූ ප්‍රශ්න පත්‍රයකි. එහෙයින් උතුරුමැද පළාතේ 11 වසරේ සියලු සිසුන්ට සිදු වූයේ යළි තම නිවෙස් බලා යෑමටය. මේ සම්බන්ධයෙන් දරුවන් ප්‍රකාශ කළේ මෙලෙස විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීමෙන් තමන්ට විභාග කෙරෙහි ඇති විශ්වාසය බිඳ වැටෙන බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ උතුරුමැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා ප්‍රකාශ කළේ එම විෂයට අදාළ ප්‍රශ්න පත්‍රය නොපමාව ලබා දී විභාග කටයුතු යාවත්කාලීන කරන බවටය. ඒ අනුව දින දහයක් තුළ විශේෂ රැකවරණ යටතේ ප්‍රශ්න පත්‍රය යළි සකසන බවද ඔහු පැවසුවේය. විභාග පනත අනුව මෙවැනි ක්‍රියා බරපතළ වරදක් බවද මෙම ක්‍රියාවට සම්බන්ධ පුද්ගලයන් වැඩ තහනමකට හා අනිවාර්ය නිවාඩු යැවීමට කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.
ලංකා ගුරු සංගමය ප්‍රකාශ කළේ පසුගිය 4 වැනි සෙනසුරාදා අනුරාධපුර හා පොළොන්නරුව යන දිස්ත්‍රික්ක දෙකෙහි පෞද්ගලික උපකාරක පන්තිවල මෙම ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කර ඇති බවට අනාවරණ වී ඇති බවයි. එම ප්‍රශ්න පත්‍රය සකස් කළ ගුරුවරයා හෝ, මුද්‍රණ ආයතනය මගින් හෝ බෙදාහැරීම සිදු කළ ස්ථානයෙන් හෝ මෙම ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට තමන් සැක කරන බව එම සංගමය සඳහන් කළේය.
පසුගිය කාලය පුරාම විවිධ විභාගවලදී මෙලෙස ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර විවිධ පුද්ගලයන් අත පත්ව තිබිණි. පසුගිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් කලින් පිටවීම සම්බන්ධයෙන් විශාල අර්බුදයක් මතුවූ අතර මව්පියන්ට අධිකරණයේ පිහිට පැතීමට සිදුවිය. එහිදී වරදකරුවන් වූ පුද්ගලයන් දෙදෙනකුට රුපියල් ලක්ෂ 30 ක් සහ 20 ක් වශයෙන් දඩ මුදල් ගෙවන ලෙසට අධිකරණය නියෝග කළේය. එය සති 4 ක් තුළ ගෙවන ලෙසටද නියෝග කළේ මෙවැනි වැරදි යළි යළිත් සිදුවීම වැළැක්වීමටය. මෙලෙස උතුරුමැද පළාතේ ප්‍රශ්න පත්‍ර පිටවී තිබෙන්නේ එවැනි වාතාවරණයක් යටතේය. දැන් දැන් ජාතික විභාගවලදී පමණක් නොව පාසල් වාර විභාගවලදී ද ප්‍රශ්න පත්‍ර පිටවීමට පටන්ගෙන තිබේ. ප්‍රශ්න පත්‍ර පිටවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පසුගිය 6 වැනිදා අනුරාධපුර පොලිසියට පැමිණිලි කළ අතර ඒ සම්බන්ධ විමර්ශන කටයුතු අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සිදු කරමින් පවතී.
සිංහල සාහිත්‍ය විෂයය ප්‍රශ්න පත්‍රය පිටවී ඇති බවට වාර්තා වී දිනක් ගතවීමට පෙර තවත් ප්‍රශ්න පත්‍ර 5 ක් පිටවී ඇතැයි අනාවරණය විය. ඒ අනුව 11ශ්‍රේණියේ වාර පරීක්ෂණයට අදාළ සියලුම විෂයයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට උතුරුමැද පළාත් අධ්‍යාපන බලධාරීන්ට සිදුව තිබේ. උතුරුමැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා සඳහන් කළේ නොබෝ දිනකින්ම එම සියලු විෂයන්ට අදාළ ප්‍රශ්න පත්‍ර නැවත සකස් කර කඩිනමින් විභාගය පැවැත්වීමට පියවර ගන්නා බවටය.
ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ මේ සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලෙසටය.
“පසුගිය 6 වැනිදා සිංහල ප්‍රශ්න පත්‍රය පැවැත්වීමට නියමිතව තිබුණත් විභාගයට කලින් පිටවීම නිසා එම ප්‍රශ්න පත්‍රය අවලංගු කළා. අපට දැනගන්නට ලැබෙන පරිදි පළාත් දෙපාර්තමේන්තුවෙන් ලබා දෙන සිංහල භාෂාව, විද්‍යාව, ගණිතය, ඉතිහාසය සහ ඉංග්‍රීසි යන විෂයන්වලට අදාළ ප්‍රශ්න පත්‍ර ද විභාගයට පෙර පිටවී තිබෙනවා. ප්‍රශ්න පත්‍ර ඡායාරූපගත කරලා වට්ස් ඇප් මගින් බෙදා හැරලා. පෞද්ගලික උපකාරක පන්තිවල විභාගයට අදාළ මෙම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කර තිබෙනවා. ළමයකුට ලබා දෙන වාර විභාග ප්‍රශ්න පත්‍ර පිට කරලා ගුරුවරයෙක් එය පන්තියක උගන්වනවා නම් එය ඉතා බරපතළ වරදක්. මෙම ප්‍රශ්න පත්‍ර මුද්‍රණය සඳහා ලක්ෂ 25 කට වැඩි මහජන මුදල් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව වැය කර තිබෙනවා. මේ මුදල් උතුරුමැද පළාතේ දරුවන්ගේ අධ්‍යාපනයට වෙන් කළ මුදල්. එමෙන්ම මේ දරුවන් නුදුරේ අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින්නට නියමිත පිරිසක්. මෙවැනි තත්ත්වයක් ඇතිවුණාම මේ දරුවන්ගේ මානසික තත්ත්වයට මොන තරම් බලපෑමක් ඇතිවෙනවද? මේ වන විට උතුරුමැද පළාතේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පවතින තත්ත්වය ගැන අප ඉතාමත් කනගාටු වෙනවා. මේ වන විට එහි ඇතැම් නිලධාරීන් අධ්‍යාපනය පැත්තකට දාල ඉහළ පුටු ලබා ගැනීමේ කර්තව්‍යයක නිරත වෙනවා. මේ ප්‍රශ්න පත්‍රය පිටවීම ඇතුළේ පැහැදිලි කුමන්ත්‍රණයක් තිබෙනවා. මේක හුදෙකලා සිදුවීමක් නොවෙයි. අප මේ සම්බන්ධයෙන් බුද්ධි අංශ දැනුම්වත් කර තිබෙනවා. ප්‍රශ්න පත්‍ර එළියට දාපු පුද්ගලයන් සම්බන්ධයෙන් මේ වන විටත් අනාවරණ වී තිබෙනවා. පසුගිය කාලයේ සිදු වූ ප්‍රශ්න පත්‍ර වැරදි සම්බන්ධයෙන් ඒවාට වගකිව යුතු පුද්ගලයන්ට නීත්‍යානුකූලව ගත් ක්‍රියාමාර්ග අරගෙන නැහැ. ඔවුනට කිසිම දඬුවමක් දීලත් නැහැ. එහෙයින් මේ සම්බන්ධයෙන් ඇති සියලු තොරතුරු රහස් පොලිසියට ලබා දීමට අප සූදානම්. මෙවැනි සිද්ධීන්වලට සම්බන්ධ සියලු දෙනාට උපරිම දඬුවම් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගත යුතුයි.” යනුවෙන් සඳහන් කළේය.
මේ අතර පසුගිය 8 වැනිදා පැවැත්වීමට නියමිත වූ උතුරුමැද පළාතේ 6 සහ 7 යන ශ්‍රේණිවලට අදාළ භූගෝල විද්‍යාව ප්‍රශ්න පත්‍රයට අදාළ පිළිතුරු පත්‍ර විභාගයට පෙර සමාජ මාධ්‍යයට මුදාහැරි බව එම ප්‍රශ්න පත්‍ර සකස් කළ ඇලයාපත්තුව ප්‍රදේශයේ ගුරුවරියක විසින් පිළිගෙන තිබේ. මේ සම්බන්ධයෙන් පසුගියදා විමර්ශනයක් ආරම්භ කෙරුණු අතර උතුරුමැද පළාත් අධ්‍යාපන ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතා ප්‍රකාශ කර ඇත්තේ එම විමර්ශනයේදී අදාළ ගුරුවරිය එම තමන් විසින් කළ බව පිළිගත් බවයි. විමර්ශන වාර්තාව මත පදනම්ව ඇයට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය සඳහන් කර තිබේ. එම ප්‍රශ්න පත්‍ර දෙක ද අලුතින් සකස් කර මුද්‍රණය කිරීමට බලධාරීන් කටයුතු කර තිබේ. සාමාන්‍යයෙන් එක් විෂයක් සඳහා ප්‍රශ්න පත්‍ර 22,000 ක් මුද්‍රණය කෙරේ. ඒ අනුව එක් විෂයක් සඳහා ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීමට ලක්ෂ 2 කට ආසන්න මුදලක් ඒ සඳහා වැය කෙරේ. එලෙස වැය කළ මුදල ප්‍රශ්න පත්‍ර පිට කිරීමට සම්බන්ධ පුද්ගලයන්ගෙන් අය කරගත යුතු යැයි පවසන ලංකා ගුරු සංගමය උතුරුමැද පළාතේ මෙවැනි අසෝබන ක්‍රියා අවස්ථා කිහිපයකදීම සිදුව ඇති බවත් එම වැරදි කළ පුද්ගලයන්ට නිසි දඬුවම් ලබා නොදීම නිසා යළි යළිත් එවැනි වැරදි සිදුවන බවත් එහෙයින් එවැනි පුද්ගලයන් හට දැඩි දඬුවම් ලබා දිය යුතු බවත් පෙන්වා දෙයි.
• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා