2025 ජනවාරි 11 වන සෙනසුරාදා

කෝටි 32කින් තරුණයන්ගේ නමට බජට් දැමූ හරින්ගේ ’’නයිට්’’

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:02 201

සැණකෙළියේ මායාවන් බිඳී යමින් තිබේ. බඩ පොත්ත පිටපොත්තට ඇලුණු රටවැසියා කර මත්තට ගිලී සිටියදී සැණකෙළි සංදර්ශන වෙනුවෙන් රුපියල් කෝටි ගණනින් වැය කිරීම් පිළිබඳ තොරතුරු පසුගිය සති කිහිපයේදී අනාවරණය වීමට පටන් ගත්තේය. පසුගිය ආණ්ඩු සමයේ ජාතික තරුණසේවා සභාව විසින් දියත් කරනු ලැබූ බව කියන ව්‍යාපෘතියක් වන මෙය, හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාගේ පූර්ණ ආශිර්වාදය සහිතව ක්‍රියාත්මක වූවක් බවට ද තොරතුරු අනාවරණය වෙමින් පවතියි.

පසුගිය මැතිවරණ වසර ඉලක්ක කර ගනිමින් දේශපාලන ප්‍රචාරක ව්‍යාපෘති සඳහා අනුබල ලැබෙන පරිදි සංවිධානය කරන සංගීත සංදර්ශන 14 පිළිබඳ මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත. ජාතික තරුණසේවා සභාව විසින් පවත්වා ඇති මෙම ප්‍රසංග නම් කොටසක් තිබී ඇත්තේ “ස්මාර්ට් යූත් නයිට්”‍ නමිනි. දැනට හෙළිදරව් වී ඇති පරිදි ඉකුත් වසර තුළදී මේ සඳහා වැය කොට ඇති මුදල රුපියල් මිලියන 323 කට අධිකය.

මෙම ප්‍රසංග සඳහා ව්‍යාපෘති යෝජනා සකස් කිරීම සහ ඒවාට අනුමැතිය ලබාදීම සම්බන්ධව ඉකුත් ආණ්ඩු සමයේදී විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් විසින් ප්‍රශ්න කරන අයුරු දැකගත හැකි විය. කෙසේ වෙතත් රාජ්‍ය මුදල් මෙතරම් මේ සඳහා වියදම් වන බවක් නොහඟවා විෂය භාර අමාත්‍යවරයා සහ ජාතික තරුණසේවා සභාවේ වගකිවයුත්තන් මෙම ව්‍යාපෘතිය සාර්ථකව මෙහෙයවා තිබේ. මීට පෙර අවස්ථාවලදී ද ජාතික තරුණසේවා සභාව රුපියල් මිලියන බිලියන ගණනින් වියදම් කරමින් සංදර්ශන ප්‍රසංග නොපැවැත්වූවා නොවේ. එහෙත් ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව බංකොලොත්භාවය ප්‍රකාශ කර තිබූ පසුගිය වසර තුළ මෙවන් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික තරුණසේවා සභාව සහ හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා මූලිකත්වය ගනු ලැබුවේ ඇයිදැයි යන්න පැහැදිලිව ප්‍රශ්න කළ යුතු කරුණකි.

දැනට හෙළිදරව් වී ඇති තොරතුරු අනුව “ස්මාර්ට් යූත් නයිට්”‍ ආරම්භ වන්නේ 2024 වර්ෂයේ උදාවත් සමඟයි. 2031 දෙසැම්බර් 31 රෑ සැමරීම සඳහා කොළඹදී තරුණසේවා සභාවේ මූලිකත්වයෙන් ප්‍රසංගයක් සංවිධානය කිරීමට තරුණ කටයුතු විෂය භාර අමාත්‍යවරයා කටයුතු කොට ඇත. මේ සඳහා වැයවුණු බව කියැවෙන මුදල රුපියල් ලක්ෂ 220 කට ආසන්නය. කෙසේ වෙතත් මෙම ප්‍රසංගයේ සාර්ථකත්වය සමඟ, මීට සමාන ආකෘතියේ ප්‍රසංග මාලාවක් දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි පැවැත්වීමට ඉහළ බලධාරීන් විසින් උපදෙස් ලැබී ඇතැයි දැන ගැනීමට ලැබේ. 2024 වසර පුරා ප්‍රසංග 14 සඳහා පිඹුරුපත් සකස් වී ඇත්තේ මේ සමඟයි.

සමස්ත රටම ආර්ථික දේශපාලන ව්‍යාකූලත්වයෙන් පීඩා විඳිමින් සිටි කාලවකවානුවක් තුළ මෙවන් ප්‍රසංග සැලසුම් කිරීමේ පදනම කුමක්ද යන්න ගැටලු‍ සහගතය. ආර්ථික පීඩනයෙන් මිදීම සඳහා මෙරට තරුණ තරුණියන් රට හැරදා යාමට අධික වශයෙන් පාස්පෝට් පෝලිම්වල රැඳී සිටියේ මේ සමයේදීය. සැබවින්ම තරුණ පිරිස ස්මාර්ට් ප්‍රසංග ඉල්ලා සිටියේ නැත. ජීවිතය සරිකර ගැනීමට ක්‍රමවේදයක් ඔවුහු සොයමින් සිටියහ. එහෙත් අවස්ථාවාදීන් එක් පසෙකින් ඔවුන්ගේ ආර්ථික පීඩනය හමුවේ රජයේ වීසා කෝටා වංචනික ලෙස අලෙවි කරමින්, අනික් පසින් මෙවන් ප්‍රසංග හරහා රාජ්‍ය මුදල් නාස්ති කරමින් සිදුකර තිබෙන්නේ බරපතළ අපරාධයකි.

මෙම ප්‍රසංග පිළිබඳ මේ වන විට හෙළිදරව් වෙමින් පවතින තොරතුරු අනුව මේ සඳහා රාජ්‍ය මුදල් භාවිතයේ දී විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ද සිදුව නොමැති බව කියැවේ. තරුණසේවා සභාවේ වර්තමාන පාලන අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි මෙම ප්‍රසංගය මාලාවට අදාළව ගෙවීම සහ පියවීම්වලද සැලකිය යුතු පරිමාවක ගැටලු‍ දැකගත හැකිය. ජාතික තරුණසේවා සභාව දේශපාලන අවශ්‍යතාව වෙනුවෙන් භාවිත වූ පළමු අවස්ථාව මෙය නොවන බවත්, ජාතික තරුණසේවා සභාව අභ්‍යන්තරයේ මෙලෙස වංචා වාර්තා වූ පළමු අවස්ථාව මෙය නොවන බවත් පැහැදිලිවම සඳහන් කළ යුතුය.

ජාතික තරුණසේවා සභාව ස්ථාපිත කළ වකවානුවේ සිට අද දක්වාම එහි අභ්‍යන්තරයේ දේශපාලන අරමුණු සඟවා ක්‍රියාත්මක කිරීම මෙරට දේශපාලකයන්ගේ සාමාන්‍ය භාවිතය විය. ජාතික තරුණසේවා සභාව සතු සම්පත් සහ ප්‍රතිපාදන විවිධ දේශපාලනඥයන්ගේ දේශපාලන ව්‍යාපෘති වෙනුවෙන් නිරන්තරයෙන් භාවිත විය. ඒ අනුව ආණ්ඩු සහ අමාත්‍යවරුන් මාරුවන විට කල්ලි කණ්ඩායම් පිටින් මාරු වී ඇතිපදමට සූරා කෑ හැකි රාජ්‍ය ආයතනයක් බවට තරුණසේවා සභාව ඉකුත් දශක හතරක පමණ කාලය තුළ පත්ව තිබූ බව ප්‍රසිද්ධ රහසකි.

වර්තමාන ප්‍රසංග සිදුවීම මූලික කොටගෙන සමස්තය කියවා ගැනීමේදී ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව සාමූහික වශයෙන් රැවටීම ජාතික තරුණසේවා සභාවේ ඉකුත් කාලයේ සිදු වූ බව අකැමැත්තෙන් නමුත් සඳහන් කළ යුතුය. මෙම ප්‍රසංග මාලාව ඔස්සේ ද සිදුව ඇත්තේ එම රැවටීමේම තවත් දිගුවක් පමණි. මෙම ප්‍රසංග මාලාවේ හිඟුරක්ගොඩ ප්‍රසංගයේ සැලකිය යුතු පරිමාවක දැවැන්ත වංචා වාර්තා වන බව පසුගියදා මාධ්‍ය හමුවකදී ජාතික තරුණසේවා සභාවේ වර්තමාන පාලන අධිකාරියට සම්බන්ධ පිරිස් අනාවරණය කරගෙන තිබුණි.

මහරගම, ගාල්ල, අම්පාර, කුලියාපිටිය, පුත්තලම, දඹුල්ල, යාපනය, මහියංගණය, හැටන්, හිඟු‍රක්ගොඩ, බණ්ඩාරවෙල, වැලිසර, කොළඹ තුරඟ තරග පිටිය සහ ඛෙත්තාරාමය ක්‍රීඩාංගණය වැනි ස්ථානවල පැවැති ප්‍රසංගවල තත්ත්වයද මීට ඉඳුරා වෙනස් විය නොහැකිය. සිය දේශපාලන සහචරයන්ටද ඇතිපදමට මෙවන් ව්‍යාපෘති හරහා ගසාකෑමට අවස්ථාව සලසා දීම මෙරට දේශපාලනයේ සාමාන්‍ය ස්වභාවය බව අපි දනිමු. ඒ අනුව මේ හා සම්බන්ධ ඉදිරි විමර්ශනවලදී ඒ පිළිබඳ තවදුරටත් තොරතුරු අනාවරණය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඒ ඒ දිස්ත්‍රික්කවල දේශපාලන අධිකාරියේද ආශිර්වාදය සහිතව මෙම ප්‍රසංග සංවිධානය වී ඇති අතර පැහැදිලිවම මෙය පූර්ව මැතිවරණ ප්‍රචාරක ව්‍යාපෘතියක් ලෙස හැඳින්වීම වරදක් නොවේ. ජනාධිපතිවරණ ඉලක්ක කරගනිමින් මෙම ප්‍රසංග සංවිධානය වූ බව, මෙම ප්‍රසංග සංවිධානය කිරීමට එක් වූ පිරිස් පිළිබඳ සොයා බැලීමේදී ඉතා පැහැදිලිව අනාවරණය විය. ජනාධිපතිවරණයට ආසන්න දින වකවානුවලදී ද මෙම ප්‍රසංග සංවිධානය කිරීමට සංවිධායකයන් කටයුතු කර ඇත. ඇතැම් ප්‍රසංග මැතිවරණ නීති හමුවේ හකුලා ගැනීමට ද ඔවුනට සිදුවූ අවස්ථා පිළිබඳ තොරතුරු වාර්තා ලැබී තිබේ.

මේ වන විට ඉදිරිපත්ව ඇති තොරතුරු වාර්තා අනුව පසුගිය වසරේ ජාතික අයවැයෙන් තරුණයන් සඳහා වෙන්ව ඇත්තේ රුපියල් මිලියන 1000 ක් පමණි. එයින් ද රුපියල් මිලියන 220 කට අධික ප්‍රමාණයක් ප්‍රසංග 14 ක් සංවිධානය කිරීම වෙනුවෙන් හරීන් ප්‍රනාන්දු තරුණ කටයුතු අමාත්‍යවරයාගේ ආශිර්වාදය සහිතව ජාතික තරුණසේවා සභාව විසින් වෙන් කර තිබීම කොතරම් සදාචාර සම්පන්න දැයි අපි නැවත නැවත ප්‍රශ්න කර සිටිමු. එසේම මෙම ප්‍රසංග මාලාව සංවිධානයේදී ජාතික තරුණසේවා සභාවේ පළාත් කාර්යාලයකට වැය කළ හැකි රුපියල් මිලියනයක පමණ මුදල අණපනත් මගින් වැඩි කොට කටයුතු පහසු කොට දී ඇති බවට මේ වන විට වර්තමාන ආණ්ඩුවට සම්බන්ධ පිරිස් චෝදනා කරමින් සිටිති.

ඉදිරිපත් වන මෙම චෝදනා සියල්ල පිළිබඳ පුළුල් විමර්ශනයක අවශ්‍යතාවය නැවත නැවතත් අවධාරණය වන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. මේ වන විටත් මේ හා සම්බන්ධ විගණන වාර්තාව ඉදිරිපත්ව ඇති අතර, එහි තොරතුරු තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ද යවා ඇති බව වාර්තා වී තිබේ. එහෙත් මේ හා සම්බන්ධ අභ්‍යන්තර විගණනයක් නොව, විගණකාධිපති මැදිහත්වීම සහිත විගණනයක් හරහා තවදුරටත් තොරතුරු අනාවරණය වන්නේ නම් තත්වය තවත් පැහැදිලි වනු ඇත. කෙසේ වෙතත් දැනට පවතින විගණන වාර්තාව සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා උපදෙස් ලබා දී ඇතැයි දැන ගැනීමට ලැබේ.

මේ ව්‍යාපෘතිය සඳහා කටයුතු කිරීමේදී මූල්‍ය වංචා සිදුව ඇත්නම් වරදකරුවන්ට නිසි දඬුවම් ලැබිය යුතුමය. මීට සමාන තවත් සිදුවීම් රැසක් ජාතික තරුණසේවා සභා ඉතිහාසයේ පවතින බව අමතක කළ යුතු ද නැත. එසේම වංචාවේ වරදට අමතරව, තාරුණ්‍යයට ද්‍රෝහී වීම සහ සදාචාරයට පටහැණිව ආත්මාර්ථකාමී පටු චින්තනාවලි ක්‍රියාත්මක කිරීම පිළිබඳ කටයුතු කිරීම පිළිබඳව ද යම් දණ්ඩනයක් වරදකරුවන්ට ලැබිය යුතුමය.

• චමිඳු නිසල් ද සිල්වා