2025 ජනවාරි 04 වන සෙනසුරාදා

ප්‍රතිජීවක ප්‍රතිරෝධය වළක්වන්න සෞඛ්‍ය අංශ සීරුවෙන්!

 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 50

මෙරට තුළ ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිරෝධය හෙවත් ප්‍රති-ක්ෂුද්‍රජීවී ප්‍රතිරෝධය - Antimicrobial Resistance (AMR) පාලනය කිරීම සඳහා ඖෂධ ගෙන්වීම, නිර්දේශ කිරීම සිට බෙදාහැරීම සහ නිසි භාවිතය දක්වා වන සමස්ත ක්‍රියාවලිය විධිමත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පසුගියදා පැවසීය. මේ ප්‍රකාශයත් සමඟ ප්‍රතිජීවක සහ ප්‍රතිජීවක ප්‍රතිරෝධය නමැති භයානක සෞඛ්‍ය ගැටලු‍ව පිළිබඳ මනා අවධානයක් සහ අවබෝධයක් ජනතාව වෙත ලබාදීමේ වැදගත්කම ද අවධාරණය කෙරී තිබේ.

මේ වනවිට ප්‍රතිජීවක ප්‍රතිරෝධය බරපතළ ලෝක සෞඛ්‍ය ගැටලු‍වක් බවට පත්ව තිබේ. එය ලංකාවටද දැඩි ලෙස බලපාන තත්ත්වයක් බව හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට තුළ ප්‍රතිජීවක ප්‍රතිරෝධය හෙවත් ප්‍රති-ක්ෂුද්‍රජීවී ප්‍රතිරෝධය (AMR) පාලනය කිරීම සඳහා විද්‍යාත්මකව ඒ සඳහා අවශ්‍ය කරන නව නීති ගෙන ඒම, නීති ක්‍රියාත්මක කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ ජනතාව දැනුවත් කිරීම‍ට විධිමත් සැලැස්මක් සකස් කරන බවද ඇමැතිවරයා කියා තිබුණි. “ලෝක ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවය පිළිබඳව දැනුවත් වීමේ සතිය” ට (World Antimicrobial Resistance Awareness Week) සමගාමීව ජනතාව දැනුම්වත් කිරීම සඳහා වූ පාගමනට එක්වෙමින් ඔහු මේ බව කියා තිබුණි.

ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තාවන්ට අනුව ප්‍රති-ක්ෂුද්‍රජීවී ප්‍රතිරෝධය (AMR) මේ වනවිට මානව, සත්ව, ශාක, ආහාර සහ පාරිසරික අංශ හරහා පැතිර යා හැකි ප්‍රධාන ගෝලීය තර්ජනයක් නියෝජනය කරයි. වාර්තා අනුව 2019 දී, ගෝලීය වශයෙන් එයින් ඍජුවම සිදුවන මරණ මිලියන 1.27 ක්ද ඇතුළුව, මිලියන 5 කට ආසන්න මරණ ප්‍රමාණයක් බැක්ටීරියා AMR සමඟ සම්බන්ධ වී ඇති බවට ඇස්තමේන්තු කර ඇත.

ප්‍රති-ක්ෂුද්‍රජීවී ප්‍රතිරෝධය (AMR) ශ්‍රී ලංකාවේ ද මහජන සෞඛ්‍ය ගැටලු‍වක් ලෙස දිගටම පවතී. 2021 දී ශ්‍රී ලංකාව තුළ Escherichia coli සඳහා දෙන සිප්‍රොෆ්ලොක්සැසින් ඖෂධයට ප්‍රතිරෝධී වූ අනුපාතය 57.7% ක් සහ Klebsiella pneumoniae ආසාදන සඳහා 72% ක් ලෙස වාර්තා කළේය. 2023-2028 සඳහා වන ජාතිකAMR උපායමාර්ගික සැලැස්මට අනුව, Escherichia coli සඳහා තුන්වැනි පරම්පරාවේ cephalosporin ප්‍රතිරෝධය 61.9% ක් වූ අතර Staphylococcus Aureus  ජීවීන් සඳහා Methicillin ප්‍රතිරෝධය 2020 දී 53.2% ක් බව සොයාගෙන තිබේ.

මේ අනුව ප්‍රතිජීවක ප්‍රතිරෝධය පාලනය කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දී ඇති මූලික අරමුණක් බවට පත්ව තිබේ. ඒ අනුව පාලනයකින් තොරව ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ භාවිතයෙන්, ප්‍රතිවිරෝධය ඇතිවී එම ඖෂධවල විෂබීජනාශක ගුණය හීන වී, එම විෂබීජ මගින් සාදන රෝග වසංගත තත්ත්වයන්වලට උත්සන්න වී මනුෂ්‍ය වර්ගයා ඇතුළු සමස්ත ජෛව ගෝලයම විනාශයට පත්විය හැකි බවට මේ වනවිට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇති අතර ඒ සඳහා මේ තත්ත්වය වැළැක්වීමේ සහ පාලනය කිරීමේ ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වැඩසටහන් මාලාවක් ද ඇරැඹී හමාරය. ප්‍රති ක්ෂූද්‍ර-ජීවක ඖෂධ ප්‍රධාන වශයෙන් බැක්ටීරියා මගින් ඇතිවන ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා යොදා ගනී. ඔවුහු බැක්ටීරියා ගුණනය වීම නැවැත්වීම හෝ බැක්ටීරියා විනාශ කිරීම මගින් ආසාදනය පැතිර යාම වැළැක්වීමට ක්‍රියා කරති. මැනවින්, මෙම කාර්යය සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රමාණවත් ප්‍රතිජීවක මාත්‍රාවක් නියමිත අනිවාර්ය කාල පරාසයන් තුළ ලබා දිය යුතුය. ඒ මනා වෛද්‍ය පරීක්ෂාවකින් පසු වෛද්‍ය නිර්දේශ මතය. නමුත් මේ භාවිතය නිසි පරිදි සිදු නොවේ.

මේ පිළිබඳව අදහස් දැක්වූ අයි.ඩී.එච්. රෝහලේ උපදේශක සායනික ක්ෂුද්‍රජීව විද්‍යා විශේෂඥ වෛද්‍යවරිය සහ ශ්‍රී ලංකා ක්ෂුද්‍රජීව විද්‍යාඥයන්ගේ ආයතනයේ හිටපු සභාපතිවරිය අප සමඟ පැවසුවේ ප්‍රතිජීවක ඖෂධ ඉවක් බවක් නොමැතිව හිතූමතයේ භාවිතය සහ නිසි උපදෙස් මත ලබාගන්නා ඖෂධ පවා හිතූමතයේ “දැන් ඇති” කියා කලින් නැවැත්වීම සහ නැවත සුළු රෝග ලක්ෂණයක් ආ විට ලබා ගැනීම මගින් ඒ ඖෂධ සඳහා ක්ෂුද්‍රජීවියා තුළ ප්‍රතිරෝධී බව වර්ධනය වීමෙන් බෙහෙත් නාහන තත්ත්වයක් වර්ධනය වන බවය. ඉන් ඉතා අසාධ්‍ය සහ මරණීය අවදානමකට මුහුණ දීමට සිදුවිය හැකි බවය.

ඇය කියන්නේ මෙය දැන් ලෝකය පුරාම පැතිර යන බරපතළ සෞඛ්‍ය ගැටලු‍වක් වන අතර මේ තත්ත්වය ‘නිහඬ වසංගතයක්’ ලෙස හඳුනාගෙන ඇති බවය. මේ නිසා ප්‍රතිජීවක ඖෂධ නිසි පරිදි පමණ දැන භාවිතයට ගැනීම ගැන ජනතාව දැනුම්වත් කිරීම මෙන්ම ඒවා නිකුත් කිරීම පිළිබඳ සෞඛ්‍ය වෘත්තිකයන් සහ ඖෂධ අලෙවිසල් දැනුවත් කිරීමද සිදුවිය යුතු බවය. එසේම පසුගියදා පැවැති පාගමන ඇතුළු දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ ඒ ක්‍රියාන්විතයේම කොටසක් බවත්ය. මීට අමතරව නිතර යාවත්කාලීන කෙරෙන ජාතික ප්‍රතිජීවක මාර්ගෝපදේශ මාලාවක් National antibiotic Guidelines Sri Lanka, ශ්‍රී ලංකාව සඳහා හඳුන්වා දී ඇති බවත් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් ශ්‍රී ලංකාවේ රෝහල් සහ සෞඛ්‍ය සේවා ආයතනයන්හි වෘත්තිකයන් උදෙසා ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ භාවිතය සහ නිකුත් කිරීම පිළිබඳ සමස්තය දැනුවත් කරන ක්ෂුද්‍රජීවීනාශක සඳහා වූ ක්‍රමෝපාය සම්පාදන ජාතික මාර්ගෝපදේශනයක් National antimicrobial stewardship guideline for healthcare institutions, පසුගිය වසරේ ජූනි සිට නිකුත් කර ඇති බවය. එය ක්ෂුද්‍රජීවී ප්‍රතිරෝධීතාව- Antimicrobial Resistance (AMR) වර්ධනය සහ පැතිරීම වැළැක්වීම සඳහා 2023-2028 අතර ක්‍රියාත්මක ජාතික උපායමාර්ගික වැඩපිළිවෙළේම දිගුවක් බව ඇය පෙන්වා දෙයි.

 ක්ෂුද්‍රජීව විද්‍යා විශේෂඥ වෛද්‍යවරිය පෙන්වා දෙන පරිදි, ‘කලින් මේ වගේ ලෙඩකට දුන් බෙහෙත’ කියා හෝ සිය පවුලේ නැතිනම් වෙනත් අයකුට තිබූ සමාන රෝග ලක්ෂණ සඳහා දුන් බව කියා සිතා රෝගීන් තමන්ම තනි තීන්දුවකට එළැඹ හෝ නැතිනම් ෆාමසි කවුන්ටර වෙතින් ලැබෙන උපදෙස් පරිදි හිතූමතයේ ප්‍රතිජීවක ගැනීම වරදකි. ඒ බව වටහා දීම කළ යුතුවාක් මෙන්ම එය තවදුරටත් එසේ සිදු නොවන තැනට වගබලා ගැනීමට සක්‍රිය යාන්ත්‍රණයක් සෑදීම ද අවශ්‍යව ඇත. එසේම සුරතල් සතුන් වෙත වුවද ප්‍රතිජීවක ඖෂධ හිතූමතයේ ලබාදීම මගින් ඔවුන්ගේ ජාන තුළ ද ඖෂධ ප්‍රතිරෝධී වෙනස්කම් හටගැන්වීම මගින් සාමාන්‍ය මට්ටමේ ස්වභාවික රෝගයක් පවා මාරාන්තික වසංගතයක් ලෙස පැතිර යාමට හැකි කෘත්‍රිම තත්ත්වයක් බිහිවිය හැකිය. වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය සේවකයන්ට පවා ඒවායේ සංවේදීතාව සහ ප්‍රබලතාව අනුව මෙම ඖෂධ භාවිත කළ යුතු ක්‍රමානුකූල පිළිවෙළ පුහුණු කරවා ඇත. නමුත් එය එසේ වන බව තහවුරු කෙරෙන සක්‍රිය යාන්ත්‍රණයක් අවශ්‍යව ඇත. මේ සියල්ල ගැන මනාව දැනුවත් කෙරෙන වැඩපිළිවෙළක් ද අවශ්‍යව ඇති අතර දැන් ඒ සඳහා ඖෂධ ගෙන්වීම, නිර්දේශ කිරීම සිට බෙදාහැරීම සහ නිසි භාවිතය දක්වා වන සමස්ත ක්‍රියාවලිය විධිමත් කිරීමට කටයුතු සම්පාදනය වෙමින් පවතී.

ප්‍රතිජීවක නිසි ලෙස භාවිතය ගැන සහ ඖෂධ ප්‍රතිරෝධය වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර ලෙස පහත සඳහන් දෑ නිර්දේශ කර තිබේ. ප්‍රතිජීවක ඖෂධ අත්‍යවශ්‍ය අවස්ථාවක පමණක් වෛද්‍ය උපදේශ මත භාවිතය වැදගත්ය. ස්වයං තීන්දු මත ඖෂධ ගැනීමෙන් භාවිතයෙන් වළකින්න. මිලදී ගැනීමේදී කල් ඉකුත් වන දිනය බලන්න. නියමිත කාලය සඳහා නිවැරදි මාත්‍රාව භාවිත කරන්න. නිවැරදි මාත්‍රාව පිළිබඳ වෛද්‍ය උපදෙස් පිළිපදින්න. එසේම ඔබට හොඳක් දැනෙන විට ප්‍රතිජීවක ගැනීම කල්තියා නතර නොකරන්න. නිර්දේශිත සම්පූර්ණ ප්‍රමාණය අදාළ කාලසීමාව තුළ ගන්න. භාවිතයෙන් ඉතිරිව ඇති ප්‍රතිජීවක ඖෂධ නිවසේ තබා නොගත යුතු අතර ආරක්ෂාකාරීව ඉවත් කළ යුතුය. එවැනි ප්‍රතිජීවක වෙනත් කිසිවකුට ලබා නොදිය යුතුය. නැවත අවධාරණය කළ යුතුව ඇත්තේ ඔබේ වෛද්‍යවරයා විසින් තීරණය කළ විශේෂිත අවස්ථාවක හැර බැක්ටීරියා ආසාදන වැළැක්වීම සඳහා යැයි හිතුමතේ ප්‍රතිජීවක භාවිත නොකරන්න. සෙම්ප්‍රතිශ්‍යාව හෝ වෛරස් උණ, පාචනය වැනි වෛරස් ආසාදනවලට ප්‍රතිකාර කිරීම සඳහා ඒවා භාවිත නොකළ යුතුය. මේවාට බැක්ටීරියා සහ දිලීර නසන ප්‍රතිජීවක භාවිතයෙන් ප්‍රයෝජනයක් නොලැබේ. ප්‍රතිජීවක ඖෂධ තෝරාගැනීම විශේෂිත බැක්ටීරියාවක් මත අදාළ ඖෂධය කොතරම් ඵලදායී ද යන්න මත පදනම් වේ. එබැවින් ඒවා භාවිත කළ යුත්තේ වෛද්‍යවරයකුගේ නිර්දේශය මත පමණි. ඇත්තෙන්ම ප්‍රතිජීවක අනිසි ලෙස භාවිත කිරීම යනු මීළඟ බෙහෙත් නැති වසංගතයකට මග හෙළි කර දීමකි.

• සුගත් පී. කුලතුංග ආරච්චි