2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

හොඳම මිතුරාටත් නඩු දැමූ සිංගප්පූරු අගමැති

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:04 167

ශ්‍රී ලංකාවේ ඇතැම් දේශපාලකයන් වංචාව, දූෂණය හා සොරකම සම්බන්ධයෙන් කප් ගැසූවන්ය. එහෙත් ගජමිතුරු සබඳතා හේතුවෙන් ඔවුනට විරුද්ධව කිසිදු පියවරක් ගැනීමට පැවැති දේශපාලන අධිකාරින් කිසි විටෙක පියවර ගත්තේ නැත. ඒ වෙනුවට ඔවුන්ට රිසි සේ ජනතා දේපළ සොරකම් කිරීමට අවසර දුන් අතර රටේ ජනතාව කුසගින්නේ පසුවන විට ඔවුහු සුරසැප අත්වින්දාහ. මේ වන විට ශ්‍රී ලංකාව අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා 76 වසරක් ගතව තිබේ. එහෙත් නිදහස ලැබීමෙන් පසු රට දිගින් දිගටම ගමන් කළේ වලපල්ලටය. ඒ දේශපාලකයන්ගේ හා නිලධාරීන්ගේ වංචා, දූෂණ හා සොරකම් හේතුවෙනි. එම තත්ත්වය 1977 න් පසු පුළුල්ව ව්‍යාප්ත වූ අතර 2020 වන විට ශ්‍රී ලංකාව ණය බරින් මිරිකුණු, ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කෙරුණු රටක් බවට පත් විය.

විවිධ ජාතීන් යටතේ පැවැති රාජ්‍යයක් වූ සිංගප්පූරුව 1959 දී ස්වයං පාලනයක් හිමි කරගත් අතර, 1963 දී මලයාව, උතුරු බෝර්නියෝ සහ සරවක් ප්‍රාන්තය සමඟ මැලේසියානු නව ෆෙඩරේශනයේ කොටසක් බවට පත්විය. පැවැති මතවාදී වෙනස්කම් හේතුවෙන් දෙවසරකට පසු සිංගප්පූරුව ෆෙඩරේශනයෙන් ඉවත් වූ අතර1965 දී ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් බවට පත් විය. අලු‍ත් රටක් ගොඩනැගීමේදී විවිධ අර්බුදවලට මුහුණ දෙන්නට සිංගප්පූරු පාලනයට සිදුවිය. ඔවුනට ස්වභාවික සම්පත් හෝ විශාල භූමි ප්‍රදේශයක් ද නොවීය. එහෙත් අගමැති ලී ක්වාන් යූගේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය යටතේ සිංගප්පූරුව ආසියාවේ ප්‍රබලතම රාජ්‍යයක් බවට පත්විය. සිංගප්පූරුව ගොඩනැගීමේදී ලී ක්වාන් යූ අනුගමනය කළේ ශ්‍රී ලංකාවය. ශ්‍රී ලංකාව ආදර්ශයට ගෙන සිංගප්පූරුව ගොඩගැනීමට ඔහුට හැකි වුවද ශ්‍රී ලංකාව ක්‍රමක්‍රමයෙන් ගමන් කළේ අගාධය කරාය.

දූෂණයට එරෙහි ප්‍රතිපත්තිය යටතේ ලී ක්වාන් යූ තම සමීපතම මිතුරාට වුවද සමාව දුන්නේ නැත. ඔහුගේ හොඳම මිතුරා මෙන්ම මහජන ක්‍රියාකාරී පක්ෂයේ ප්‍රබල සාමාජිකයකු හා 1979 සිට 1986 දක්වා අගමැති ලී ක්වාන් යූගේ ඇමැති මණ්ඩලයේ ජාතික සංවර්ධනය පිළිබඳ අමාත්‍යවරයා මෙන්ම සිංගප්පූරුව ගොඩනැගීමේ ක්‍රියාවලියේ ප්‍රබලම ක්‍රියාකාරිකයකු ටේ චෙන් වොන් හට දිවි නසා ගැනීමට සිදු වූයේ අගමැතිවරයාගේ දූෂණ විරෝධී ප්‍රතිපත්තිය හේතුවෙනි.

ඔහු 1956 දී සිඩ්නි විශ්වවිද්‍යාලයෙන් ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධිය ලද ටේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ නිව් සවුත් වේල්ස් හි පොදු වැඩ පිළිබඳ දෙපාර්තමේන්තුවේ ගෘහ නිර්මාණ ශිල්පියකු ලෙසිනි. පසුව ඔහු ක්වාලාලම්පූර්හි නිවාස භාරය යටතේ සිය විශේෂඥ දැනුම පුළුල් කරගෙන පීනෑන්ග් නගර සභාවේ සේවය කළේය.

1959 අගෝස්තු මාසයේ දී ටේ සිංගප්පූරුව ගොඩනැගීමේ ක්‍රියාවලිය සඳහා ගෘහ නිර්මාණ ශිල්පියෙක් ලෙස සම්බන්ධ විය. ඔහු 1959 ඔක්තෝබර් මාසයේ දී අලු‍තින් පිහිටුවන ලද නිවාස හා සංවර්ධන මණ්ඩලයේ ගොඩනැගිලි දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස උසස් කරන ලදී. 1970 සිට 1979 දක්වා එහි ප්‍රධාන විධායක නිලධාරියා විය. 1979 දී දේශපාලනයට පැමිණීම සඳහා සිය තනතුරුවලින් ඉල්ලා අස්විය.

1979 ජනවාරි මාසයේදී ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ අතර 1979 පෙබරවාරි 1 වැනි දින ජාතික සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත් කරනු ලැබීය. රටේ පිරිසුදුකම පිළිබඳ පැවැති ගැටලු‍ සැලකිල්ලට ගනිමින් ටේ සිංගප්පූරුවේ චුයින්ගම් කෑම තහනම් කිරීමට යෝජනා කළේය. අග්‍රාමාත්‍ය ලී ක්වාන් යූ එම අදහස ඉතා දරුණු යැයි ප්‍රතික්ෂේප කළ නමුත් ටේගේ මූලික යෝජනාවෙන් වසර නවයකට පසු චුයින්ගම් තහනම සිංගප්පූරුවේ නීතියක් බවට පත් විය.
ටේ ජාතික සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටියදී ඉඩම් අත්පත් කර ගැනීමේ අභියාචනයක් සලකා බැලීම සඳහා ඩොලර් 500,000 ක් සහ රජයේ ඉඩමක් හෝටල් හිමිකරුවකුට ලබා දීම සඳහා තවත් ඩොලර් 500,000 ක් ලෙස ඩොලර් මිලියනයක් අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් දූෂණ විමර්ශන කාර්යාංශය (CPIB) විසින් විමර්ශනයක් ආරම්භ කළේ අගමැති ලී ක්වාන් යූගේ නියෝගයක් පරිදිය. ටේ ලබාගත් ඩොලර් මිලියනයෙන් ලක්ෂ දෙකක් ඔහු තම අතරමැදියාට ගෙවා තිබිණි. ලී ක්වාන් යූ තම හොඳම මිතුරාගේ දූෂණ සම්බන්ධයෙන් විවෘත විමර්ශනයක් පවත්වන ලෙසට නියෝග කළේය.

නඩු විභාගයක් නොපැවැත්වේ නම් තමා ලබාගත් ඩොලර් ලක්ෂ 8 ක් යළි ගෙවීමට සූදානම් යැයි ටේ ලී ක්වාන් යූ වෙත දන්වා තිබිණි. “මාව නඩු විභාගයට පමුණුවනු ලැබුවහොත්, එය වේදනාකාරී හා දිගු ක්‍රියාවලියක් වනු ඇත. මා නිර්දෝෂී බව ඔප්පු වුවද, නියත වශයෙන්ම මගේ අවසානය වනු ඇතැ”යි ටේ ලියා තිබිණි.

එහෙත් ලීගේ නීතිය සැමට පොදු එකක් විය. ඔහු පැවසුවේ ටේ නඩු විභාගයට අනිවාර්යෙන්ම මුහුණ දිය යුතු බවටය. ඒ අනුව ටේට ඇති චෝදනා සම්බන්ධයෙන් දූෂණ විමර්ශන කාර්යාංශය විමර්ශනය ආරම්භ කළේය. 1986 දෙසැම්බර් 11 දින දූෂණ විමර්ශන කාර්යාංශය ටේට එරෙහිව ඇති සියලු‍ සාක්ෂි නීතිපතිවරයාට ඉදිරිපත් කළ අතර ඒ අනුව ඔහු අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත විය. අධිකරණය හමුවේ පෙනී සිටීම විශාල අපකීර්තියක් යැයි ටේ විශ්වාස කළ අතර අධිකරණයට කැඳවීමට පෙර 1986 දෙසැම්බර් 14 වැනි දින ටේ සියදිවි නසා ගත්තේය. එම නඩු විභාගය නොපැවැත්වූ හෙයින් මේ වන තෙක්, දූෂණ විමර්ශන කාර්යාංශය රැස් කරන ලද සාක්ෂි හැර, ටේ දූෂණ චෝදනාවට වරදකරු යැයි තීන්දු කෙරෙන නීතිමය නිගමනයක් නොමැත.

සියදිවි නසා ගැනීමට පෙර ටේ තම වරද සම්බන්ධයෙන් සටහනක් ලියා තැබීය. එහි මෙලෙස සඳහන් විය.

“ගතවූ දෙසතිය පුරා මම දැඩි මානසික පීඩාවකට පත්වීමි. මෙම අවාසනාවන්ත සිදුවීමට මා වගකිව යුතු බව හැඟුණ අතර එහි සම්පූර්ණ වගකීම මා භාරගත යුතු බැව් මට හැඟේ. ගෞරවණීය පුද්ගලයකු ලෙස මගේ වරදට මා උපරිම දඬුවම් විඳිය යුතුයි.”
ඇමයිටල් බාබිටියුරේට් අධි මාත්‍රාවක් ගැනීම හේතුවෙන් ටේ ගේ මරණය සිදුව ඇතැයි 1987 ජනවාරි 20 වැනි දින රජයේ හදිසි මරණ පරීක්ෂකවරයා තීන්දුවක් ලබා දුන්නේය. ටේ සියදිවි නසාගැනීම නිසා නීතිපතිවරයාට ඔහුට එරෙහි චෝදනා අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි විය. සෞඛ්‍ය අමාත්‍යාංශය ඔහුගේ මරණය සිය දිවි නසාගැනීමක් බවට තහවුරු කළ අතර අගමැති ලී ක්වාන් යූ ශෝක ලිපියකින් මරණයට ප්‍රතිචාර දැක්වීය. ඉදිකිරීම් කර්මාන්තය නවීකරණය කිරීමට, අධිවේගී මාර්ග ඉදිකිරීම කඩිනම් කිරීමට සහ වාහන තදබදය අවම කිරීමට ඔහු ලබා දුන් දායකත්වය අති විශාලය.” යනුවෙන් එහි සඳහන් විය.

1987 ජනවාරි 26 වැනි දින, ලී ක්වාන් යූ විසින් පාර්ලිමේන්තුවේ දේශනයක් පැවැත්වීය. ඔහු එම දේශනය ආරම්භ කළේ ටේ විසින් දිවි නසා ගැනීමට පෙර ලියන ලද ලිපිය කියැවීමෙනි. ටේ ගේ මරණය සම්බන්ධයෙන් අගමැති ලී මෙලෙස සඳහන් කළේය. “අමාත්‍යවරයකුට පරීක්‍ෂණ මගහැර යා හැකි ක්‍රමවේදයක් තම රටේ නොමැති බවත්, වරදක් පිළිබඳ සාක්ෂි තිබේ නම් නඩු විභාගයක් පැවැත්විය යුතු බවත්” ඔහු කියා තිබිණි.

 “සිදු වූ දේ සම්බන්ධයෙන් මා කනගාටු වෙනවා. ඔහුගේ වරදට ඉහළම දඬුවම ගෙවීම ඔහුට පමණක් ගෞරවණීය වේ. ටේ චෙන් වොන් වෙනුවෙන් නඩු විභාගයක් පැවැත්වීමේ අරමුණ ධාර්මික වීම පමණක් නොවේ. එහි අරමුණ වන්නේ ඉදිරියටත් පවතින ක්‍රමවේදයක් නිර්මාණය කිරීමයි. මම එය ටේ චෙන් වොන් සඳහා පමණක් කළ දෙයක් නොවේ. එවැනි සම්මුතියක් පවත්වාගෙන නොගියහොත් එය අපගේ දේශපාලන පද්ධතියේ අවසානය වනු ඇත. දූෂණ විමර්ශනය කිරීම සහ දඬුවම් කිරීම සඳහා අපගේ ක්‍රමයේ සඵලතාවය රඳා පවතින්නේ, පළමුව, දූෂණය වැළැක්වීමේ පනතේ අඩංගු දූෂණයට එරෙහි නීතිය මතය. දෙවැනුව, සියලු‍ සැක කටයුතු දූෂණ පිළිබඳ තොරතුරු ලබා දීමට සුපරීක්ෂාකාරී මහජනතාව මතය. තෙවැනුව, දූෂණ විමර්ශන කාර්යාංශය මත සහ එහි විමර්ශනවලදී දක්වන සූක්ෂමතාව සහ පරිපූර්ණභාවය මතය”‍ යනුවෙන් අගමැති ලී සඳහන් කර තිබිණි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පිළිතුරු නොමැති ගැටලු‍වක් පැන නැගී ඇතැයි විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චියම් සී ටොන්ග් චෝදනා කළ අතර ඒ අනුව යළි පරීක්ෂණයක් පැවැත්විණි. 1987 දෙසැම්බරයේදී, විමර්ශන කොමිසමේ නිර්දේශ සිංගප්පූරු අගමැතිවරයා වෙත ඉදිරිපත් කරන ලද නමුදු, වසර අවසානය දක්වා එය මහජනතාවට නිකුත් නොකළේය. සම්පූර්ණ පරීක්ෂණය මාස 31 ක් පුරා පැවතුණි.

සිංගප්පූරුව තුළ සුවිශේෂී හැකියාව, කුසලතාව සහ ආදර්ශමත් හැසිරීම මගින් සනිටුහන් කරන ලද දීර්ඝ සේවාව සහ සම්පත් හා රාජකාරියට ඇති කැපවීම ප්‍රකට කෙරෙන සේවයක් ඉටු කළ පුද්ගලයන් සඳහා පිදෙන පිංගත්ජසා ගෙමිලං සම්මානය ටේ වෙත පුදකර තිබිණි. කෙතරම් කැපවීමෙන් සෙවය කළ ද දූෂණයක් සිදුකර ඇත්නම් ඔහු අධිකරණය කැඳවීමට තරම් සිංගප්පූරු නීතිය ප්‍රබල විය.

1998 දී ප්‍රකාශයට පත් කරන ලද Lee Kuan Yew: The Man and His Ideas නම් ග්‍රන්ථයේ, මිනිසුන් තම ප්‍රතිපත්තිවලට අනුකූලව ක්‍රියා කිරීමේ අවංක ක්‍රමවේදයක් පැවතීමේ වැදගත්කම පිළිබඳව ලී ක්වාන් යූ සඳහන් කර තිබිණි.

• ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:02
 2024 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 02:05
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2025 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 02:03