තමන්ගේම වාහනයක ගමන් බිමන් යාමටත්, අලුත් වාහනයක් උජාරුවෙන් තම නිවෙස ඉදිරිපිට නවතා තැබීමටත් මනුෂ්‍යයන් ලෙස මිනිසුන්ට ඇත්තේ නොනිත් ආශාවකි. පෞද්ගලික ගමන් බිමන්, ප්‍රිය සාදවලට පවා පොදු ප්‍රවාහන සේවය භාවිත කිරීමට වඩා තමන්ගේම වාහනයක දරු පවුලත් සමඟ සුව පහසුවෙන් ගමන් බිමට යාමට අකැමැති පුද්ගලයකු සිටිනවා නම් එය පුදුමයට කරුණකි. නමුත් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකුට වාහනයක් මිලදී ගැනීමේ සිහිනය, සිහිනයක් පමණක් වී තිබීම කනගාටුදායකය.
කොරෝනා වසංගතයත් සමඟ පසුගිය කාලයේ ඇතිවූ දැඩි ආර්ථික අර්බුදයට විසඳුමක් වශයෙන් එවකට පැවති ආණ්ඩුව ආනයන සීමා පැනවීමට කටයුතු කළේය. රටේ පවතින ඩොලර් සංචිත පිටතට ඇදී යාම වළක්වා, ඒවා රට තුළම රඳවා ගැනීම ආනයන තහනමේ අරමුණ වී තිබුණි. එහි එක් පියවරක් වශයෙන් 2020 සිට මෙරටට වාහන ආනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට එවකට පැවති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජය පියවර ගනු ලැබීය.
ඒ තීරණය හේතුවෙන් අලුත් වාහනයක් මිලට ගැනීමට සිටි බොහොමයක් ජනතාවගේ බලාපොරොත්තු බිඳ වැටුණි. එදා සිට අද දක්වාම මෙරටට වාහන ආනයනය අත්හිටුවා ඇති අතර ජනතාවට අලුත් වාහනයක් මිලට ගැනීම සිහිනයක්ම වී ඇත. වාහන ආනයනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමත් සමඟ මෙරට තුළ ඇති පරණ වාහනවලට ඉහළ වටිනාකමක් හිමිවිය. වාහන ආනයන තහංචියට පෙර අලුත්ම වාහන අලෙවි කළ වාහන සේල්කරුවන්ටද තමන් ආනයනය කළ වාහන සංචිත අවසන් වූ පසු, පාවිච්චි කරන ලද වාහන විකිණීමට සිදුවිය. ආනයන තහංචියෙන් ප්‍රයෝජන ගත් බොහෝ පුද්ගලයෝ, වාහනයේ සැබෑ වටිනාකම මෙන් තුන් හතර ගුණයකින් වාහන මිල ඉහළ දැමූහ. ඒ හේතුවෙන් ලක්ෂ 8 ත් 10 ත් අතර වූ මරුටි රථයක් ලක්ෂ 15 ත් 20 ත් දක්වා වැඩි විය. ලක්ෂ 15 ත් 20 ත් අතර තිබුණු ඇල්ටෝ රථයක් ලක්ෂ 25 ත් 30 ත් අතර මිලකට අලෙවි විය. සෑම වාහනයකම මිල දරාගත නොහැකි ලෙස අසීමිතව ඉහළ ගියේය.
නමුත් 2024.12.18 වැනි බදාදා දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ 2025 වසරේ පෙබරවාරි පළමුවැනි දින සිට පෞද්ගලික වාහනද ආනයනය කිරීමට කටයුතු කරන බවය. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකාවේ වාහන ආනයනයට පනවා ඇති සීමා ක්‍රමානුකූලව විවෘත කළ යුතු බවයි. “එයත් එක්ක ගොඩනැගුණු කර්මාන්තයක් තියෙනවා. ව්‍යවසායකයන් ඉන්නවා. ඒ නිසා දීර්ඝ කාලයක් මෙම වාහනවලට වෙළෙඳපොළ වසාගෙන සිටීමේ හැකියාවක් නෑ.”
ඒ අනුව කාණ්ඩ තුනකින් වාහන ආනයනයට අවසර දීමට රජය සැලසුම් කර ඇති බව ජනපතිවරයා පැවසීය.
“මගී ප්‍රවාහන බස් සහ විශේෂ කාර්යයන් සඳහා භාවිත කරන වාහන ගෙන්වීම 2024.12.14 සිට විවෘත කරලා තියෙන්නේ. භාණ්ඩ ප්‍රවාහනය සඳහා රථ සහ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා මෝටර් රථ අපි විවෘත කරන්න සැලසුම් කරලා තියෙනවා. පෞද්ගලික ප්‍රයෝජනය සඳහා වාහන ආනයනය 2025 පෙබරවාරි 01 වැනිදා සිට අපි සැලසුම් කරලා තියෙනවා ක්‍රියාත්මක කරන්න. නමුත් කවුරුත් සැකයක් තියාගන්න එපා නැවත අපි ඩොලර් අර්බුදයකට මුහුණ දේවි කියලා. මහ බැංකුවත් එක්ක අපි දීර්ඝ සාකච්ඡාවක් හරහා මේ වාහන ආනයනය කිරීම නිසා පිටව යන ඩොලර් ප්‍රමාණය කොපමණද කියලා අපි යම් ඇස්තමේන්තුවක් කරලා තියෙනවා. එය කොච්චර අපේ ආර්ථිකයට බලපානවද කියලා අපි සැලකිල්ලට භාජනය කරලා තියෙනවා. නමුත් අපේ ආර්ථිකය යළි කරකවන්න නම්, උද්දීපනය කරන්න නම් මේ වාහන වෙළෙඳපොළ අපි විවෘත කළ යුතුයි.” යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.
වාහන ආනයනයට අවසර හිමිවුවත් ඒ මුලින්ම බස් සහ ලොරි රථ සඳහාය. දෙවැනි අදියරේදී අවසර හිමිවනුයේ වාණිජ වාහන සඳහාය. පෞද්ගලික පරිහරණයට මෝටර් රථ ආනයනය කරන්නේ ඉන් පසුවය.
වාහන ආනයනයට අවසර දීම නිල වශයෙන් ප්‍රකාශයට පත්වීම සමාජයේ විශාල කතාබහකට ලක්වූ කාරණයක් විය. මේ සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ අදහස් දැක්වීම් සිදු කරති. පිරිසක් කියා සිටියේ වාහන මිල 300% කින් පමණ ඉහළ යනු ඇති බවය. ඒ අතරතුර තවත් පිරිසක් පැවසුවේ අලුතෙන් ගෙන්වන වාහනවල මිල අඩු බැවින්, දැනට රට තුළ පවතින පාවිච්චි කරන ලද වාහනවල මිල බොහෝ සෙයින් අඩුවනු ඇති බවය.
පසුගිය දිනක රූපවාහිනී මාධ්‍ය හමුවකට සම්බන්ධ වෙමින්, ජපන් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංගමයේ සභාපති ජගත් රාමනායක මහතා කියා සිටියේ, අලුත් වාහන ගෙන්වීමේදී දැනට මෙරට තුළ පවතින වාහන මිල ගණන් ශීඝ්‍රයෙන් පහළ යනු ඇති බවයි.
“අපි රජයෙන් ඉල්ලා සිටියා දැනට පවතින අවුරුදු තුනේ නීතිය අවුරුදු පහක්, හතක් දක්වා දීර්ඝ කරන්න කියලා. ඒ දීර්ඝ කිරීමේ අදහස තමයි මේ වාහන අවුරුදු පහක් හතක් විතර ජපානය පාවිච්චි කළා කියලා එකේ තත්ත්වය ගොඩක් පහළ යන්නෙ නෑ.
හැබැයි මිල සියයට පනහට වඩා අඩුයි. ඒ වාහනයෙන් පරිසරයට වෙන හානිය ඉතාම අවමයි. ශ්‍රී ලංකාවට ගැලපෙන්නේ එන්ජින් ධාරිතාව අඩු වාහන. මේ වාහන අධික මිලට ගිහින් තිබෙන්නේ වාහන ගෙන්වන්න බැරිවීම නිසා. අලුතෙන් වාහන ආවම ඒ වාහනවල මිල අඩුවීම නිසා අකැමැත්තෙන් හෝ කියන්න වෙනවා පරණ වාහනවල මිල අඩු වෙනවා කියලා.” යැයි ඒ මහතා මාධ්‍ය හමුවේදී අදහස් දැක්වීය.
දේශය අප කළ විමසීමකදී ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා කියා සිටියේ, වාහන ආනයන සීමා ඉවත් කරන බව ප්‍රකාශ කර ඇති නමුත්, එහි ක්‍රියා පටිපාටිය පිළිබඳ නිල වශයෙන් තම ආයතනය දැනුවත් කර නොමැති බවයි.
“අපිට කියන්න පුළුවන් අනිවාර්‌යෙන් වාහන ආනයනය කරනවා කියලා. නමුත් ඒක සිද්ධ වෙන්නේ කොහොමද කියලා මේ වෙනතුරු අපිට කිසිම ගැසට් නිවේදනයකින් විස්තර දීලා නැහැ. පළවෙනි ශ්‍රේණියේ ගෙන්වීම් වශයෙන් බස් රථ ආනයනය කරනවා. ඊළඟට භාණ්ඩ ප්‍රවාහනය කරන ලොරි වගේ වාහනත්, ඊටත් පස්සේ වාහන ඩබල් කැබ් රථ ආනයනය කරනවා. අවසානයට තමයි පෞද්ගලික රථවාහන ආනයනය කරන්නේ. වාහන ආනයනය පිළිබඳව විවිධ අය විවිධ මත ප්‍රකාශ කරනවා. වගකිව යුතු සංගමයක් වශයෙන් අපිට තවම හරියටම කියන්න බැහැ, මොන වගේ දෙයක් වෙයිද කියලා. වාහන තීරු බදු පිළිබඳවත් නිවැරදි අදහසක් මේ වනවිට වගකීමකින් ප්‍රකාශ කරන්න අමාරුයි. දැනට තියෙන බදු අනුපාතය යටතේ ගෙන්වීම් කරයිද කියල වගකීමක් සහිතව දැනට කියන්න අමාරුයි.” යැයි ප්‍රසාද් මානගේ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
වාහන ආනයනයේදී මූලික අවධානය ලබා දී ඇත්තේ මගී ප්‍රවාහන බස් රථවලටය. පොදු ප්‍රවාහනය ශක්තිමත් සහ සුව පහසු එකක් කිරීම උදෙසා බස් රථ ආනයනය කිරීමට ගත් තීරණය අගය කළ යුතුය. මෙරටට බස් ආනයනය කිරීම පිළිබඳව, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා මෙලෙස “දේශයට” අදහස් දක්වා සිටියේය.
“වාහන ගෙන්වන්න අවසර දීලා තියෙනවා. වැට් එක සහ තව ටැක්ස් එකක් එකතු වෙනවා. ලේලන්ඩ් බස් එකක් දළ වශයෙන් එක් කෝටි හැත්තෑ පන්ලක්ෂයක් වගේ වෙනවා. ඒ වගේ මිලකට බස් ගෙන්නුවොත් බස් ගාස්තුවල අවම මිල රුපියල් පනහ දක්වා ඉහළ යා යුතුයි. බස් එකේ පිරිවැයත් සමඟ ඊට සම්බන්ධ හැමදේකම මිල ඉහළ යනවා. මේකේ පරස්පර විරෝධී කතාවකුත් තිබෙනවා, පරණ බසුත් ගෙන්වන්න දාලා තිබෙනවා කියලා. අවුරුදු හතක් පමණ පරණ වාහන නම් අපිට ගෙන්වන්න බෑ.”
දැනට ශ්‍රී ලංකාවේ පවතින පොදු ප්‍රවාහනයේ තත්ත්වය කෙබඳුදැයි අප විමසූ පැනයට පිළිතුරු දෙමින් ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ, ”දැනට අපේ තියෙන්නේ අවුරුදු දහයක් දොළහක් පරණ බස්. අපි ඒ බස් හද හදා ධාවනය කරනවා. ලේලන්ඩ් බස් නිසා ගැටලුවක් නෑ. අපේ බස්වල තත්ත්වය හොඳයි කියන්න තියෙන හොඳම නිදසුන තමයි පසුගිය දවසක හැටන්වල සිදුවුණු බස් අනතුර. ඒකෙදි තුන්දෙනකු මිය ගිහින් අනිත් පිරිසගේ ජීවිත බේරුණා. එහෙම හරි බේරුණේ ඒක ලේලන්ඩ් බස් එකක් වීම නිසා. චයිනා බස් එකක් පෙරළුණා නම් හැමදෙනාම මැරෙනවා. ලංකාවේ පාරවල්වලට, පරිසරයට ඔරොත්තු දෙන බස් එකක් තමයි ලේලන්ඩ් බස් කියන්නේ.” යනුවෙනි.
කෙසේ වුවත් ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීමට හැකිවන පරිදි තරමක් දුරට හෝ ආර්ථික සහනයක් පැවතීම පිළිබඳ අප සතුටු විය යුතුය. නමුත් මේ කර්තව්‍ය සිදුවිය යුත්තේ ශ්‍රී ලංකාවේ ඩොලර් සංචිතවලට හානි නොවන පරිදි වීම විශේෂයෙන් සැලකිය යුතු කරුණකි. මේ වන විටත් මෙම වාහන ආනයනය පිළිබඳව බොහෝ දෙනා විවිධ මතිමතාන්තර පළ කරන නමුත් තවමත් නිවැරදි මිල ගණන් පිළිබඳ තොරතුරු ලැබී නොමැති බව කිව යුතුය. මෙබඳු වතාවරණයක් යටතේ, වාහන ආනයනය පිළිබඳ බොරු ප්‍රචාර කරමින් මහජනයා නොමග යැවීමෙන් වළකින ලෙස පසුගියදා කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා ඉල්ලීමක් ද කර තිබිණි.
• මංගලා පවිත්‍රානි